අගෝස්තු පහ වන තෙක් අලස්ට ප්‍රශ්නයක් නෑ


තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද යන්න හා ඔහු අත්අඩංගුවට ගැනීම වලක්වාලන අතුරු නියෝගය නිකුත් කරනවාද නැත්ද යන්න පිළිබද නියෝගය ලබා දීම අගෝස්තු 05  වැනිදාට කල්තැබීමට ශ්‍රේඨාධිකරණය  අද (30) තීන්දු කළේය.

පෙත්සම අගවිනිසුරු කේ. ශ්‍රී පවන් ඊවා වනසුන්දර සහ රෝහිණි මාරසිංහ  යන ත්‍රිපුද්ගල  විනිසුරු මඩුල්ල මෙම තින්දුව දුන්නේය.

එම පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේ  නීතිපතිවරයා වෙනුවෙන්  පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ ‘රාඩා‘ රාජ්‍ය ආයතනයේ මුදල් එල්ටීටිඊ නායකයින් වෙත ලබා දී ඇති පෙත්සම්කරු සපාරාධි විශ්වාසය කඩ කිරීම හා මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනා යටතේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බවය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ විශේෂ විමර්ශන ඒකකයේ පස් වතාවක් පෙනී සිටිමින් ප්‍රකාශ ලබා දෙමින් පෙත්සම්කරු අදාළ විමර්ශන වලට සහාය දැක්වු බවය.එසේ  තිබියදී පුද්ගල නිදහස යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට  ගැනීම නීතිවිරෝධී බවය.

  අලස්  අත්අඩංගුවට නොගන්නා බවට නීතිපති  සහතිකය අගෝස්තු 05 වැනිදා තෙක් පවත්වා ගෙන යාමටද අතිරේක සොලිසිටර් ජනරාල් එකඟතාවය පළ කළේය.