අනීෂා මානගේ
තියුණු ආයුධයකින් කපා ඝාතනය කළ පුද්ගල මළ සිරුරක් අගුණුකොළපැලැස්ස අලුත්වැව ප්‍රදේශයේදී ඊයේ (31) සොයාගත් අතර එම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ඝාතනයට උපයෝගී කරගත් ආයුධය පැය දොළහක කාලයක් ඉක්මවීමට පෙර අත්අඩංගුවට ගැනීමට අගුණුකොළපැලැස්ස පොලිසිය සමත්වුහ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අගුණුකොළපැලැස්ස යකාගල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකි.
අගුණුකොළපැලැස්ස අලුත්වැව වත්තෙආර ඇළ අසල වෙල්යායක තිබී තියුණු ආයුධයකින් කපා ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් ඊයේ(31) උදෑසන 8.00ට පමණ සොයාගන්නා ලදී.
ඝාතනයට ලක්ව ඇත්තේ අගුණුකොළපැලැස්ස අලුත්වැව ප්‍රදේශයේ පදිංචි වීරප්පුලිගේ සජිත් (25) නැමැති අයෙකි.
ඝාතනය සිදුකිරීමට හේතුව ලෙස සැකකරු පවසා ඇත්තේ ඉකුත් අප්‍රේල් 8 වැනිදා තම 8 හැවිරිදි දියණිය නිවසේ නිදාගෙන සිටියදී මිතුරා ඇයගේ පාදයක් අල්ලනු දුටු බවත් ඒ අනුව ඔහුට අවවාද කළ බවත්ය. මේ සිදුවීම නිසා හිතෙහි හටගත් කෝපය නිසා මිතුරා ඝාතනය කිරීමට සැලසුම් කළ බවද ඔහු පවසා තිබේ.
පොල්ලකින් පහරදී පුද්ගල ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් හම්බන්තොට මහාධිකරණයේත්, අවි පෙන්වා බියගන්වා මුදල් මංකොල්ලකෑම සම්බන්ධයෙන් තංගල්ල මහාධිකරණයේ හා කල්ලි ගැසී ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට විරුද්ධව නඩු විභාග වෙමින් පවතින බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (1) අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.