(බිඟුන් මේනක ගමගේ )
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවියන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයේ වැරැදිකරුවන්ට එරෙහිව රජය නීතිය ක්‍රියාත්මක නොකරන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජිනීවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කළේ යැයි එහි සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා ‘ලංකාදීපය’ ට පැවසීය.
අදාළ පහරදීම සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය පරීක්ෂණ කමිටු දෙකක් පත්කළ ද එකී වාර්තා ප්‍රසිද්ධ කිරීමක් හෝ වැරැදිකරුවන්ට නීතිය ක්‍රියාවේ යෙදීමක් සිදු නොවන බැවින් මෙසේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කළේ යැයි නීතිඥ පෙරේරා මහතා කීය.
අගුනුකොලපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයෙහිදී පිරිසක් පොලු මුගුරුවලින් පහර දෙන දර්ශන ඇතුලත් සී.සී.ටී.වී දර්ශන කීපයක් කවුන්සිලය හමුවේ ප්‍රදර්ශනය කළේ යැයි ද සිවිල් සමාජය වෙනුවෙන් කරුණු දැක්වීමක් කළේ යැයි ද පෙරේරා මහතා පැවසීය.
ඒ අනුව මානව හිමිකම් කවුන්සිලය වධහිංසා සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියට මේ ගැන විමසාබලන්නට උපදෙස් දී ඇතැයි ද නීතිඥවරයා කීය.
සිරකරුවන්ට පහර දෙන දර්ශන ඇතුලත් වීඩියෝ සාක්ෂි තිබියදී රජය මෙම සිදුවීම යටගසන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ හෙතෙම බන්ධනාගාර ඇමැතිවරිය එම වාර්තා දෙක හෝ අඩුම තරමින් එම වාර්තාවල නිර්දේශවත් ප්‍රසිද්ධ නොකිරීම විමතියට කරුණක් යැයි අවධාරණය කර කීය.
තලතා අතුකෝරාල ඇමැතිවරිය එම වාර්තා ප්‍රසිද්ධ නොකරන්නේ නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒවා ඉල්ලාසිටීමට කටයුතු කරන්නේ යැයි ද පෙරේරා මහතා පැවැසීය.
අගුණුකොලපැලැස්ස බන්ධනාගාර ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට තලතා අතුකෝරාල ඇමැතිනිය බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගේ සභාපතිත්වයෙන් එක් කමිටුවක් ද රාජ්‍ය නිලධාරින්ගෙන් සමන්විත තවත් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කළ අතර එම කමිටු වාර්තා දෙකම පසුගිය පෙබරවාරි මාසයේදී ඇයට බාර දුන්නේය.
අගුණකොලපෑලැස්ස බන්ධානාගාරයේදී පසුගිය වසරේ නොවැම්බර් 22 වැනිදා සිදු වී යැයි කියන මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මුල්වරට මාධ්‍යට කරුණු අනාවරණය කෙරුණේ පසුගිය 16 වැනිදා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.
බන්ධනාගාර පරිශ්‍රයෙහිදී පිරිසක් පොලු මුගුරුවලින් පහර දෙන දර්ශන ඇතුලත් පැය භාගයක පමණ කාලයක් පුරා ධාවනය වන සී.සී.ටී.වී දර්ශන අඩංගු සංයුක්ත තැටියක් මෙම මාධ්‍ය හමුවේදී ප්‍රදර්ශනය කෙරිණි.

