අග්නිදිග සරසවියේ සිසුන් 21කට විනය පියවර



 
තරිඳු ජයවර්ධන
 
අග්නිදිග සරසවියේ තාක්ෂණික පීඨයේ සිසුන් 17 දෙනකුගේ පන්ති තහනම් කිරීමටත් හතර දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමටත් එම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.
 
විශ්ව විද්‍යාලයේ නිසි බලධාරිනිය වන උමා කුමාරස්වාමි මහත්මිය ලිඛිතව දැනුම් දී ඇත්තේ අග්නදිග සරසවියේ කවුන්සිලයේ 214 වැනි රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි.  මෙම කවුන්සිල රැස්වීම පසුගිය සෙනසුරාදා (14) පැවැති බව එම විශ්ව විද්‍යාලයේ ආරංචි මාර්ග කියයි.
 
පසුගිය බදාදා (11) එම විශ්ව විද්‍යාලයේ  ආපන ශාලාවේදී එහි පළමු වසරේ සිසුන්ට නවක වදය දුන්නේයැයි කියමින් සිසුන්ට මෙම විනය පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් සිසුන් ප්‍රකාශ කළේ තමන් පළමු වසර සිසුන්ට නවක වදය නොදු බවයි. මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවා නොතියා පාලනාධිකාරිය මෙම විනය පියවර ගෙන ඇති බව ද ශිෂ්‍ය සංගම් නියෝජිතයෙක් පැවසීය.
 
තාක්ෂණ පීඨයේ පන්ති තහනම් කළ සිසුන් 17 දෙනා සහ ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන් හතර දෙනා අද (16) සවස 6ට පෙර විශ්ව විද්‍යාල නේවාසිකාගාරයෙන් පිට විය යුතු බව ද  විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දන්වා තිබේ. 
 
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට තාක්ෂණ පීඨයේ සිසුන් සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සමග ගැටලු සහගත තත්ත්වයක් පැවැති අතර මීට පෙරද  සිසුන් පිරිසකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනිනි. එම සරසවියේ පරිපාලන අර්බුදය විසඳීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශ්ව විද්‍යාලයට නිසි බලධාරිනියක් ද පත් කැරිණි.