දෝෂාභියෝගය අනුව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ බව මහින්ද රාජපක්ෂ ජනපති අද පෙරවරුවේ ලිපියකින් දැනුම් දුන්නේය.
ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පදවියෙන් නෙරපා හැරීමේ අධිකාරී පත්‍රය ලැබුණු බව ඇගේ නීතීඥවරු කියති.
ශිරාණි බණ්ඩාරනායක
2013 ජනවාරි මස 13 11:33:44 | තරිඳු ජයවර්ධන
සම්පූර්ණ නම - උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාලහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්ඩාරනායක
උපන්දිනය හා ස්ථානය - 1958 අප්‍රේල් කුරුණෑගලදී
මව - ෆ්ලෝරා බණ්ඩාරනායක
පියා - විල්සන් බණ්ඩාරනායක
සහෝදරිය - රේණුකා බණ්ඩාරනායක (ඉන්ජිනේරු උපාධිධාරිනියක් වන ඇය දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන්නීය)
අධ්‍යාපනය ලැබූ පාසල් - (මව සහ පියා ගුරුවරු වූහ. ඔවුන්ගේ ස්ථානාමරුවීම් නිසා පාසල් කිහිපයක අධ්‍යාපනය ලැබීමට ශිරාණි බණ්ඩාරනායකට සිදුවිය) ගිණිගත්හේන මහා විද්‍යාලය (1962-65) , හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලය (1965), තෝලංගමුව විද්‍යාලය (1965-70), තෝලංගමුව මධ්‍ය විද්‍යාලය (1970-72), අනුරාධපුර මධ්‍ය විද්‍යාලය (1972-76)
උසස් අධ්‍යාපනය - කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපන හදාරා 1990 දී නීති උපාධි (ගෞරව)(ඉහළ දෙවන පෙළ) හිමි කර ගැනීම.1983 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධි, 1983 දී නීතීඥයකු ලෙස දිවුරුම්දීම, 1986 මාර්තු මාසයේදී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් පොදු නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය
විවාහය - ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් සමග
දරුවෝ- ශවීන් බණ්ඩාරනායක
වෘත්තීය ජීවිතය - 1981 කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ ආධුනික කථිකාචාර්යවරියක ලෙස එක්වීම, විවිධ තනතුරු දරමින් 1987 නීති අංශයේ ප්‍රධානියා බවට පත්වීම, වැඩබලන පීඨාධිපති ලෙස අවස්ථා ගණනාවකදී සේවය කර 1992දී පීඨාධිපති ලෙස පත්වීම. 1993 දී සහාය මහාචාර්ය වරියක ලෙස පත්වීම, වැඩබලන උපකුලපතිවරියක ලෙස අවස්ථා කිහිපයකදීම කටයුතු කිරීම
නීති ක්ෂේත්‍රයට එක්වීම - හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත් මිය විසින් 1996 ඔක්තෝබර් 30 ශ්‍රේෂ්ඨාධිකරණ විනිෂ්චකාරවරියක ලෙස පත්කරනු ලැබුවාය.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියක වූ ප්‍රථම කාන්තාව ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි. ඇය අවස්ථා ගණනාවකදීම වැඩබලන අගවිනිසුරු ලෙස කටයුතු කළාය. අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා විශ්‍රාම ගැනීමෙන් පසු මහින්ද රාජපක්ෂ ජනපති ඇය අගවිනිසුරු ලෙස පත්කළේය. 2011 මැයි 18 ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ජනපති ඉදිරියේ ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරු ලෙස දිවුරුම් දුන්නාය. ඒ වන විට ඇගේ ශ්‍රේෂ්ඨාධිකරණ සේවා කාලය වසර 15කි.
මෑත කාලයේ කතාබහට ලක්වුණු තීන්දු - 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය, උසස් පෙළ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු පිළිබඳ නඩුව. (ඇගේ තීන්දුව අනුව වැඩිපුර සිසුන් 5000කට පමණ විශ්ව විද්‍යාල වරම් හිමිවිය), දිවි නැගුම පණත පිළිබද අර්ථ නිරූපණය.
දෝෂාභියෝගය - අගවිනිසුරු ලෙස පත්ව අවුරුදු එක හමාරක් යන්නටත් මත්තෙන් 2012 නොවැම්බර 1 වැනි දින මන්ත්‍රීන් 117කගේ අත්සනින් චෝදනා 14කින් සමන්විත දෝෂාභියෝගයක් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීහු කතානායකට බාර දුන්හ. විවිධ මතගැටුම් මැද, පාර්ලිමේන්තුව හා අධිකරණය අතර උණුසුම් තත්ත්වයක් ඇති කරමින් 2013 ජනවාරි 11 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් (වැඩි ඡන්ද 106කින්) දෝෂාභියෝගය සම්මත විය.
ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වූ ප්‍රථම කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ධුරයට පත් ප්‍රථම කාන්තාව ලෙසත්, දෝෂාභියෝගයකට ලක්වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තා අගවිනිසුරුවරිය ලෙසත්, දෝෂාභියෝගය අවසානය දක්වා නිර්භීතය එයට මුහුණ දෙමින් අවසන් මොහොත දක්වා පැමිණි අගවිනිසුරුවරයකු ලෙසත්, දෝෂාභියෝගය යෝජනා සම්මතයකින් ඉවත් කැරුණු ශ්‍රී ලාංකික ප්‍රථම අගවිනිසුරුවරිය ලෙසත් ඉතිහාසයේ වාර්තා අතරට එක්වන්නීය.
දෝෂාභියෝග කතාව
2013 ජනවාරි මස 13 13:03:53 | තරිඳු ජයවර්ධන
ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියක් ගැන කණින් කොනින් ඇසෙන්නට පටන්ගනේතේ පසුගිය ඔක්තෝබර් මාසයේ ය. ඒ විපක්ෂයේ දේපාලනඥයන්ගෙනි. අගවිනිසුරුවරියට දෝෂාභියෝගයක් ගෙන ඒමට හොර රහසේ අත්සන් තබතියි විපක්ෂ දේශපාලනඥයෝ වේදිකාවල කීහ.
දෝෂාභියෝගය ගැන වැඩි කතාබහක් පටන් ගතේනේ ඔක්තෝබර් 30 වැනිදා රැස්වූ ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම අනුමත වූ බව ජන මාධ්‍ය වාර්තා කිරීමත් සමගය.
ඒ අනුව නොවැම්බර් 01 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීන් 117කගේ අත්සන් සහිත දෝෂාභියෝග යෝජනාව කතානායක චමල් රාජපක්ෂ මහතාට භාර දුන්හ. ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ශාන්ත බණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු සහ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුලේ යන මහත්ම මහත්මීහු දෝෂාභියෝග යෝජනාව බාර දීම සඳහා කතානායක නිල නිවසට ගොස් සිටියහ.
දෝෂාභියෝග යෝජනාව බාර දී දින කිහිපයක් ඇතුළත එහි අත්සන් තැබූ සමසමාජ පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වයි ජී පත්මසිරි මහතා සිය අත්සන ඉන් ඉවත්කර ගත්තේය.
කතානායක චමල් රාජපක්ෂ මහතාට බාර දුන් දෝෂාභියෝග යෝජනාව නොවැම්බර් හය වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරිණි. එහි අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 14ක් එල්ල කැර තිබිණි.
දෝෂාභියෝග යෝජනාවේ ඇතැම් චෝදනාවල සඳහන් දින වකවානු සහ පුද්ගල නාම වැරදි බවත් එවැනි ලියැවිල්ලක් ගැන විමර්ශනය කළ නොහැකි බවත්, අත්සන් කළ මන්ත්‍රීවරු චෝදනා නොදැක හිස් කොලවලට අත්සන් කර ඇති බවත් විපක්ෂයේ දේශපාලඥයෝ සහ නීතිවේදීහු චෝදනා කළහ.
දෝෂාභියෝගය විමර්ශනය කිරීම සඳහා ආණ්ඩුපක්ෂයේ සාමාජිකයන් හත් දෙනකුගෙන් සහ විපක්ෂ සාමාජිකයන් හතර දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීරණය කළ කතානායකවරයා ඒ සඳහා නම් ඉදිරිපත් කරන ලෙස දැන්වීය.
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය තව දුරටත් ඉදිරියට ගෙන නොයන ලෙස කතානායකවරයාගෙන් හා ජනපතිගෙන් ඉල්ලන යෝජනාවක් නොවැම්බර් 10 පැවති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මහා සභා රැස්වීමේදී සම්මත කර ගත්හ.
නොවැම්බර 12 වැනිදා ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය සෙලින්කෝ නඩු විභාගයෙන් ඉවත් වූවාය.
දෝෂාභියෝගයේ සඳහන් චෝදනා විමර්ශනය කිරීම සඳහා ඒ ඒ පක්ෂවලින් ලබාදුන් නම් අනුව සාමාජියන් 11 දෙනකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නොවැම්බර 14 වැනිදා කතානායකවරයා පත් කළේය.
අනුර ප්‍රිදර්ශන මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කාරක සභාවේ ආණ්ඩුපක්ෂයේ සෙසු සාමාජිකයන් වූයේ නිමල් සිරිපාලද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත්, දොස්තර රාජිත සේනාරත්න, විමල් වීරවංශ, ඩිලාන් පෙරේරා සහ නියොමාල් පෙරේරා මහත්වරුය. එක්සත් ජාතික පක්ෂයෙන් ජොන් අමරතුංග සහ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරු ද, ජනතා විමුක්ති පෙරමුණෙන් විජිත හේරත් මහතා ද, දෙමළ ජාතික සංධානයෙන් ආර් සම්බන්ධන් මහතා ද කාරක සභාවට පත් වූහ.
පාර්ලිමේන්තුවේදී රැස්වූ කාරක සභා සාමාජිකයෝ විත්ති වාචකය ඉදිරිපත් කිරීමට නොවැම්බර 23 දා තෙක් කල් දී දෝෂාභියෝග චෝදනාපත්‍රය අගවිනිසුරුවරියට යැවීමට කටයුතු කළේය.
අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය තව දුරටත් විමර්ශනය කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ 8 ග්‍රීන්ලව්ඇවනිව්හි පදිංචි වරලත් ගණකාධිකාරවරයකු වන චන්ද්‍රා ජයරත්න මහතා නොවැම්බර 19 වැනිදා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
නොවැම්බර් 20 වැනිදා පෙත්සම සළකා බැලූ එස් ශ්‍රී ස්කන්ධරාජා, ඒ ඩබ්ලිව් ඒ සලාම් සහ අනිල් ගුණරත්න යන අභියාචානාධිකරණ විනිශ්චකාරවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(3) වගන්තිය යටතේ ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගයේදී ක්‍රියා කළ යුතු ආකාරය ගැන අර්ථ නිරූපනයක් ලබා ගැනීම සඳහා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළහ.
අභියාචනාධිකරණයෙන් අර්ථ නිරූපනයක් ඉල්ලා යොමු කළ පෙත්සම් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(3) වගන්තිය ගැන අර්ථනිරුපනයක් ලබා දෙන තෙක් දෝෂාභියෝගය පිළිබඳ විමර්ශනය කල්දැමීම ගැන සලකා බලන ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දැනුම් දෙන ලෙස නොවැම්බර 22 දින ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
එය නොපිළිගෙන නොවැම්බර 23 රැස්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට නීතීඥවරු හය දෙනකුද සමග සහභාගී වූ අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පැය එක හමාරක කාලයක් කාරක සභාව හමුවේ ගත කළහ.
එල්ල වී ඇති සියලු චෝදනා අගවිනිසුරුවරිය ප්‍රතික්ෂේප කරන බවත්, සියලු චෝදනා පහසුවෙන් බිදහෙළිය හැකි චෝදනා බවත්, ඒ සියල්ලටම ඇය නිර්දෝෂී බවත් ඇගේ නීතීඥයෝ කීහ. ආණ්ඩුපක්ෂයේ දෙදෙනෙකු කාරක සභාවේ සිටිනවාට අගවිනිසුරු පාර්ශ්වය විරෝධය දැක්වීය.
එදින කාරක සභාව තීරණය කළේ දෙසැම්බර් 4 වැනිදා රැස්ව චෝදනා විමර්ශනය කිරීමටයි.
තේරීම් කාරක සභාවේ කටයුතු අත්හිටුවීමේ අතුරු නියෝගයක් පතා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද නොවැම්බර මස අගදී ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය.
නොවැම්බර 28 වැනිදා ජනපතිට ලිපියක් යවමින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉල්ලා සිටියේ දෝෂාභියෝග යෝජනාව ඉවත් කර ගන්නා ලෙසයි. තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නාහිමි, උඩුගම ශ්‍රී බුද්ධ රක්කිත අග්රි මහා නා හිමි, නාපාන පෙමසිරි රාමඤ්ඤ මහා නා හිම සහ දවුල්දෙන ඥානිස්සර අමරපුර මහා නා හිමි මේ ලිපියට අත්සන් තැබූහ.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කතානායකවරයාට හා තේරීම්කාරක සභාවේ සාමාජිකයනට නිකුත් කර තිබූ නොතීසි ඉවත දැමූ කතානායක චමල් රාජපක්ෂ මහතා තමාට හෝ කාරක සභාවට නියෝග දෙන්න පිටස්තර කිසිවකුට බලයක් නැතැයි නොවැම්බර 29 වැනිදා කීවේය.
ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(03) වගන්තිය ගැන අර්ථ නිරූපනයක් ලබා දෙන ලෙම අභියාචනාධිකරණයෙන් යොමු කර ඇති අයදුම් පත් හතක් දෙසැම්බර 13 හා 14 දිනයන්හි විභාගයට ගැනීමටත්, ඒ බව කතානායකට හා තේරීම් කාරක සභාවට දැනුම් දෙන ලෙසත් නෙවැම්බර 30 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. තමන් බාහිර ප්‍රකාශ ගැන සැළකිල්ලක් නොදක්වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පමණක් කටයුතු කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු කීහ.
දෙසැම්බර 4 වැනිදා විශේෂ කාරක සභාව රැස්වූ අතර අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පැය හතරක පමණ කාලයක් කාරක සභාව හමුවේ පෙනී සිටියාය. එහිදී කාරක සභාව තීරණය කළේ චෝදනා විමර්ශනය නිරීක්ෂකයනට විවෘත නොවන බවයි. 6වැනිදා පස්වරු 2.30ට නැවත පෙනී සිටින ලෙස විශේෂ කාරක සභාව අගවිනිසුරුවරියට දැන්වීය.
දෝෂාභියෝගය විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව දෙසැම්බර 6 වැනිදා දහව් 2.30ට පස්වැනි වරටත් රැස්වූ අතර අගවිනිසුරුවරිය ඊට සුළු වේලාවකට පසු කාරක සභාව හමුවේ පෙනී සිටියාය. දෝෂාභියෝග චෝදනා විමර්ශනය කරන ආකාරය ගැන තමාට විශ්වාසයක් නැතැයි පවසමින් ශිරානි බන්ඩාරනායක මහත්මිය තේරීම්කාරක සභාවෙන් පිටව ගියේ මෙලෙස දිගටම සිදුවන නිසා නැවත පෙනී නොසිටින බව ද පවසමිනි.
නොවැම්බර 7 වැනිදා නැවත තේරීම්කාරක සභාව රැස්වූ අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කමිටුව ක්‍රියාත්මක වන ආකාරය ගැන කිසිදු විශ්වාසයක් නැතැයි පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනා ද කාරක සභාවෙන් පිටව ගියහ. කමිටුවේ කටයුතු ස්වභාවික යුක්තියේ මූලධර්මවලට අනුව සිදු නොවන බව ද ඔවුහු කීහ.
විපක්ෂ මන්ත්‍රීවරු පිටව ගිය පසුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හත් දෙනා එදින මධ්‍යම රාත්‍රිය වන තුරුම රැස්වී සාක්කි කැඳවා චෝදනා විමර්ශනය කර වාර්තාව සැකැසූහ. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා, ශ්‍රී ලංකා මහ බැංකුවේ සභාපති අජිත් නිවාඩ් කබ්රාල්, අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි තිලකවර්ධන ඇතිළු 16 දෙනකු සාක්කි සඳහා කැඳවා තිබිණි.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව දෙසැම්බර අට වැනිදා කතානායකට බාර දුන්නේය. එම වර්තාව මගින් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය චෝදනා දෙකකින් නිදහස් කර චෝදනා තුනකට වැරදකාරිය කර තිබිණි.
අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කතානායකවරයා වෙත ලිපියකින් දැන්වූයේ කාරක සභාව අතරතුර එහි ඇතැම් සාමාජිකයන් අගවිනිසුරුවරියට අපහාස වන අන්දමින් අසභ්‍ය වචන භාවිත කළ බවයි.
දෙසැම්බර 10 වැනිදා ද අගවිනිසුරුවරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ සාමාන්‍ය පරිදි රාජකාරි කළාය. ඇගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල විනිශ්ච මණ්ඩලය මගින් එදින පෙත්සම් 21 සලකා බැලිණි.
ජනාධිපතිවරයා 11 වැනිදා ප්‍රකාශ කළේ දෝෂාභියෝග වාර්තාව ගැන සොයා බැලීමට ස්වාධීන කමිටුවක් පත් කරන බවයි.
දෝෂාභියෝගය විමර්ශනය කැරුණු ආකාරයට විරෝධය දක්වමින් දෙසැම්බර 12 වැනිදා රටපුරා නීතීඥවරු පැයක කාලයක් වැඩ වැරූහ. ඒ නිසා උසාවි කටයුතු අඩාල විය.
දෝෂාභියෝග වාර්තාව මත ඉදිරි පියවර ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අගවිනිසුරුවරිය දෙසැම්බර 19 වැනිදා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.
දෙසැම්බර 21 වැනිදා එම අභියාචනය විභාගයට ගත් අතර කතානායකටත්, පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවේ සාමාජිකයන් 11 දෙනාටත්, පාර්ලිමේන්තු මහලේකම්ටත් ජනවාරි තුන් වැනිදා අධිකරණයේ පෙනීසිටිය ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. පෙත්සම විභාග කර අවසන් වන තුරු අගවිනිසුරුවරියගේ අයිතිවාසිකම්වලට හානි නොවන ලෙස කටයුතු කරන්නැයි උපදෙස් දෙන බව ද එම නියෝගයේ දක්වා තිබිණි.
අභියාචනාධිකරණයේ නොතීසි ප්‍රතික්ෂේප කරමින් කතානායක සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩාම මෙන්ම එක්සත් ජාතික පක්ෂ කාරක සභාවේ සාමාජිකයන් දෙදෙනා ද ජනවාරි තුන් වැනිදා අධිකරණයේ පෙනී සිටියේ නැත. ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් දෙදෙනා අධිකරණ නොතීසි පිළිගෙන අභියාචනාධිකරණයේ පෙනී සිටියහ. අගවිනිසුරුවරිය විසින් ගොනු කැරුණු පෙත්සම ජනවාරි හත්වැනිදා විභාගයට ගැනීමටත්, ඒ සඳහා සහාය වීමට අධිකරණයේ පෙනී සිටින ලෙස නීතිපතිට නොතීසි නිකුත් කිරීමටත් අභියාචනාධිකරණය නියෝග කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(3) වගන්තිය ගැන අර්ථ නිරූපනයක් ඉල්ලා අභියාචනාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අයදුම්පත අනුව එවූ අර්ථ නිරූපනය ජනවාරි තුන් වැනිදාම අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කළේය. එම අර්ථනිරූපනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබුණේ විනිසුරුවරයකුට එරෙහිව තීරණ ලබා දීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ පත් කැරුණු තේරීම් කාරක සභාවකට බලයක් නොමැති බවයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග නීතියක් නොවන බව ද ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය විය.
විපක්ෂයේ දේෂපාලන පක්ෂ සහ වෘත්තීය සමිති නායකයන් එම තීන්දුව ගැන ප්‍රසාදය පළ කළ අතර ආණ්ඩුව එම තීරණය නොපිළිගන්නා බව පැවැසීය.
දෝෂාභියෝග වාර්තාව මත ඉදිරි පියවර ගැනීම වළකාලක අතුරු තහනමක් ඉල්ලා අගවිනිසුරුවරිය විසින් ගොනු කැරුණු පෙත්සම ජනවාරි 7 වැනිදා විභාග විය. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව මගින් අගවිනිසුරුවරිය වැරදිකාරිය කරමින් ප්‍රකාශිත තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සර්ටියෝරාරි රීට් ආඥාවක් නිකුත් කළේය. ඒ ඩබ්ලිව් ඒ සලාම් හා අනිල් ගුණරත්න යන සෙසු විනිසුරන්ගේ එකඟත්වයෙන් සභාපති විනිසුරු එස් ශ්‍රී ස්කන්ධරාජා මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව නොපිළිගන්නා බව නියෝජ්‍ය කාතානායක චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කරද්දී විපක්ෂය, වෘත්තීය සමිති සහ නීතීවේදීන් එම තීන්දුව පිළි ගන්නා ලෙස ආණ්ඩුවට බල කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ තීන්දුව ගැන ඇතැම් නීතීවේදීහු සහ ආණ්ඩුවේ දේශපාලනඥයෝ යම් යම් විවේචන කරද්දී විපක්ෂ දේශපාලනඥයන් සහ නීතිවේදීහු මෙම තීන්දු දෙක ඉතිහාසයේ ලියැවෙන ශ්‍රේෂ්ඨ තීන්දු දෙකක් බව පැවසූහ.
තීන්දුවට පසු දින පෙත්සම විභාග කළ අභියාචනාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරන් දෙදෙනෙකුට දුරකතනයෙන් මරණ තර්ජන කළැයි පොලීසියට පැමිණිලි කළහ. ඒ ගැන සෙයා බලා වාර්තා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසියට නියම කෙරිණි.
අධිකරණ තීන්දුව ඉවත දැමූ පාර්ලිමේන්තුව ජනවාරි 10 සහ 11 දිනයන්හි දෝෂාභියෝග වාර්තාව විවාදයට ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණ විවාදයට සහභාගී නොවීය. මේ දින දෙකෙහි රටපුරා උසාවිවල නීතීඥවරු වැඩවර්ජන කළ අතර උසාවි හතරක හැර සෙසු උසාවිවල වැඩකටයුතු සම්පූර්ණයෙන්ම හැණ හිටිනි.
දෝෂාභියෝගයට පක්ෂව අලුත්කඩේ උද්ඝෝෂණ පැවති අතර දෝෂාභියෝගයට විපක්ෂව ද අලුත්කඩේ උද්ඝෝෂණ පැවැතිනි. මහාධිකරණය ඉදිරිපිටදී දෝෂාභියෝගයට විරුද්ධව උද්ඝෝෂණය කරමින් සිටි පිරිසකට දෝෂාභියෝගයට සහාය පළකරමින් උද්ඝෝෂණය කළ පොලු රැගත් පිරිසක් පහර දුන් බව මාධ්‍ය වාර්තා කළේය.
දෝෂාභියෝගයට සහාය පළ කරමින් පාර්ලිමේන්තු වට රවුමේ සහ අගවිනිසුරුවරියගේ නිල නිවස ඉදිරිපට උද්ඝෝෂන පැවැත්විණි.
මේ පිරිස ආණ්ඩුව යම් යම් වරප්‍රසාද ලබා දෙමින් ගෙන්වා ගත් පිරිසක් බව දෝෂාභියෝගයට විරුද්ධ පාර්ශ්ව කීහ.
පාර්ලිමේන්තු විවාදය අවසානයේ ජනවාරි 11 වැනිදා ඡන්දය තිබූ අතර දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 155ක් ද, විපක්ෂව 49 ක් ලැබිණි. ඒ අනුව වැඩි ඡන්ද 106කින් දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට ආණ්ඩුව සමත්විය.
ඡන්ද විමසීම පැවති දිනය කලු සිකුරාදාවක් ලෙස නම් කරන බව කියමින් නීතීඥවරු ද, වෘත්තීය සමිති නායකයෝ ද කලු කොඩි එසවූහ.
දෝෂාභියෝගයට විරුද්ධ පිරිස් දැඩි කණස්සල්ල පළ කරද්දී දෝෂාභියෝගයට පක්ෂ පිරිස් ජයග්‍රහණය සමරමින් රට පුරා රතිඥා පත්තු කළහ. අගවිනිසුරු නිල නිවස ඉදිරිපිට ගොල්ඩන් කී තැන්පත්කරුවෝ කිරිබත් කෑහ. දෝෂාභියෝග විමර්ශන කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන මහතා ඇතුළු ආණ්ඩුවේ දේශපාලනඥයෝ එම ස්ථානයට පැමණ ඔවුන්හා සතුටු සාමිචීයේ යෙදුනහ.
විශේෂ බහුතර ඡන්දයකින් සම්මත වූ දෝෂාභියෝග යෝජනාව කතානායක චමල් රාජපක්ෂ මහතා එදින රාත්‍රියේම ජනපති වෙත යොමු කළ බව මාධ්‍ය වාර්තා කළේය.
සම්මත වූ දෝෂාභියෝගයට අනුව ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් නෙරැපූ බව මහින්ද රාජපක්ෂ ජනපති ජනවාරි 13 වැනිදා පෙරවරුවේ අධිකාරී පත්‍රයක් මගින් ඇයට දැනුම් දුන්යේය.

