අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරයි


පෙ.ව10.06 - මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡා නිසා සභාවේ කටයුතුවලට බාධා ඇති වෙන බැවින් පිටතට ගොස් සාකච්ඡා කරන ලෙස කතානාකවරයා ඉල්ලා සිටියි.


පෙ.ව ‍9.54 - පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවරයාට එරෙහි  විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරයි. ‘බැඳුම්කර නිකුත් කරද්දී වුණු වංචාව නිසයි මහ බැංකු අධිපති ඉවත් කරන්න ඉල්ලුවේ.  මහේන්ද්‍රන් ශ්‍රීලංකා පුරවැසියෙක් නොවේ.   රටේ මූල්‍ය කේන්ද්‍රිය ආයතනය කෙරෙහි ඇති සම්පූර්ණ විශ්වාසය කඩ වෙලා මේ චෝදනාවන්ට ලක් වෙලා තිබෙනවා. මේ සිද්ධිය නිසා රවී කරුණානායක මහතාට ඉල්ලා අස්වෙන්න වුණා. ‘


පෙ.ව ‍9.34 - බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රශ්නයට කර්මාන්ත ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතා පිළිතුරු දුන්නේය.


පෙ.ව ‍9.32ප්‍රශ්න වලට පිළිතුරු දීමේ අවස්ථාවේදී පද්ම උදය ශාන්ත මහතා විසින් යොමු කරනු ලැබූ ප්‍රශ්නයට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පිළිතුරු දුන්නේය. 


පෙ.ව 9.30 - කතා නායක කරු ජයසූරිය මහතා මූලාසනයට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ. ගෞරවනීයව සහ ආදර්ශමත් ලෙස අද විවාදය පවත්වන්නැයි කතානායකවරයා ඉල්ලයි


රංජන් කස්තුරි 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (04) දවස පුරා පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අතර රාත්‍රීයේ ඡන්ද විමසිමක් පැවැත්වීමට නියමිතය.

විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ඒ දේශපාලන පක්ෂ ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළ වී තිබේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල සංයුතිය අනුව කතානායකවරයා හැරුණුකොට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීන් සංඛ්‍යාව 105ක් වන අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 54ක් වේ.

ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී සංඛ්‍යාව 41ක් වන අතර දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීධුර 16ක්ද ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීධුර 6ක්ද හිමි වී තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට , ඊ.පී.ඩී.පී පක්ෂයට මන්ත්‍රීධුර 6ක් හිමි වී තිබේ.කෙසේ වෙතත් අතුරුලියේ රතන හිමි සහ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ ස්වාධින මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණ නමුත් ඒ දෙදෙනාම ඇතුළත්ව ඇත්තේ එක්සත් ජාතික පෙරමුණට අයත් මන්ත්‍රීන් 105 දෙනා අතරටය.