අගමැති මෝදිගෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 270ක ආර්ථික සහන පැකේජයක්


නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් කඩා වැටී ඇති ආර්ථිකය ගොඩගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 270ක ආර්ථික පැකේජයක් ක්‍රියාත්මක කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (12) ප්‍රකාශ කළේය.

‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ රටම වසා දැමීමේ දැඩි ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් මේ වනවිට සති 8කට ආසන්න කාලයක් මුළුල්ලේ ඉන්දියාව වසා දමා ඇත.

මේ හේතුවෙන් ලොව විශාලතම ආර්ථිකවලින් එකක් වන ඉන්දීය ආර්ථිකය අකර්මන්‍ය වී ඇත.

‘‘මේ ආර්ථික පැකේජය ඉන්දියාවේ ජනතාව වෙනුවෙන්. ඉන්දියාවේ ආර්ථිකය ගොඩනැගීමේ සටන වෙනුවෙන්. ගෘහ කර්මාන්ත, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වෙනුවෙන් මෙම ආර්ථික පැකේජයෙන් සහන සැලසෙනවා’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.

රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම සහන පැකේජය ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10කි. ඉන්දියාව වසා දමා මේ වනවිට දින 50කට ආසන්න කාලයක් ගත වී ඇත.

ඉන්දියාවෙන් අද (12) පස්වරු වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 70,000 ඉක්මවා ගොස් ඇති අතර එරටින් වාර්තා වන මරණ ගණන 2,200 ඉක්මවා ගොස් ඇත.

ඒ.එෆ්.පී. 

055