අගමැති බැඳුම්කර කොමිසමට කැඳවන්න පියවර



(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
 
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසමට කැඳවීමට පියවර ගන්නා බව කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත‍්‍රසිරි මහතා අද  (2) දැනුම් දුන්නේය.

ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම රනිල් වික‍්‍රමසිංහ මහතාට යොමු කළ ප‍්‍රශ්නාවලියට පිළිතුරු ලබා දෙමින් ඉදිරිපත් කළ දිව්රුම් ප‍්‍රකාශයේ සඳහන් ඇතැම් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා කැඳවීමට කොමිසම පියවර ගන්නා බව දැනුම් දුන්නේය.

මෙම තත්ත්වයන් පැහැදිලි කර කොමිසම විශේෂ නිවේදනයක් ද නිකුත් කළ අතර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා එම නිවේදනය කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී කොමිසමට දැනුම් දුන්නේය.

ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සෙවීම සඳහා පත් කළ මෙම කොමිසම හමුවට සාක්කිකරුවන් 70 දෙනෙකු කැඳවනු ලැබු බවත් ඔවුන් අතුරින් කිහිපදෙනෙකු ඉතා දීර්ඝ සාක්කි ලබා දුන් බවත් ඊට අමතරව ලේඛණ 450කට අධික ප‍්‍රමාණයක් ඉදිරිපත් කළ බවත් ඒවායේ විශාල පිටු සංඛ්‍යාවක් අඩංගු බවත් සඳහන් කළ විනිසුරුවරයා මෙම කාර්ය නිසි ලෙස පුර්ණය කිරීමට කැපවන බවත් සඳහන් කළේය.