අගමැති දිවුරුම් දෙයි


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 16 වැනි අගමැති ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර  මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්වන්නේ හතර වැනි වතාවටය. එය ලෝක වාර්තාවක් සම කිරීමකි.

දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  මහතා ද, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද, හිටපු ජනපති ආර් ප්‍රේමදාස මහතාගේ බිරිය හේමා ප්‍රේමදාස මහත්මිය ද දිවුරුම් දීමේ උත්සවයට පැමිණ සිටියහ. 

1993 මැයි මස හත් වැනි දා රනිල් වික්‍රමසිංහ මහතා පළමු වරට අගමැති ලෙස දිවුරුම් දුන්නේය. 2001 වසරේ දී දෙවැනි වතාවට ද, 2015 ජනවාරි නව වැනි දා තුන් වැනි වතාවට ද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දුන්නේය. කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කළ ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ මනාප ඡන්ද පන් ලක්ෂයක් ලබා ගනිමිනි. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයක දී වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා වන්නේ ද වික්‍රමසිංහ මහතාය.

දිවුරුම්දීමේ උත්සවය වෙනුවෙන් රජයේ මුදල් වලින් කිසිදු වියදමක් සිදු නොකළ බව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

01(14) 02(10) 03(10) 04(8) 05(6) 06(9) 07(7) 08(5) 09(5) 12(6) 13(3) 14(3) 15(6) 16(5) 17(3) 18(1) 19(4) 20(4) 21(1)