අගනුවර නොදන්නා සුපිරි තරුවට දවල් තරු පෙනෙයි


සුපිරි යැයි කියා ගන්නා තරු දෙකකි. තරුණයා එක්තරා රූපවාහිනී නාලිකාවක් මගින් පුම්බා අතහැරි සුපිරි ගායකයෙක් යැයි කියන අයෙකි. තරුණිය සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකුගේ බාල දියණියයි. ඇගේ සොයුරියන් දෙදෙනාද ප්‍රසිද්ධ නිළියන් බව කියති.

මොවුන් දෙදෙනා එක්තරා වැඩසටහනකට කැඳවිණි. එයද පෙරකී රූපවාහිනී නාලිකාවේය.

නිවේදිකාව මොවුන් දෙදෙනාගේ සාමාන්‍ය දැනීම පිළිබඳ විමසයි. පොත්පත්ද කියවන බව කියති. එනිසා ඉතා පහසු පැනයන් කිහිපයක් අසා මොවුන්ගේ බුද්ධිමත් බව කියාපාන්නට සූදානම් වෙයි. තරුණයාගෙන් ඇසුවේ මොන්ටිසෝරි යන ළමුන්ට පවා පිළිතුරු දිය හැකි පැනයකි. එනම් ලංකාවේ අගනුවර කුමක්ද යන්නයි. තරුණයාගේ පිළිතුර මහනුවර විය. නිවේදිකාවට හා නිළියට උන්හිටි තැන් අමතක විය. පිළිතුර කියන්නේ සැබෑවටම දැයි නැවතත් ඇසුවේ සැකහැර දැනගන්නටය. තරුණයා යළිත් එය තහවුරු කළේය. නිවේදිකාව හා නිළිය කොක් හඬලා සිනාසෙන්නට විය.

මහ හඬින් සිනාසෙන ඔවුන්ට එකතුවූ තරුණයාද තම නොදන්නාකම වසා ගැනීමට හයියෙන් සිනාසුනේය. අනෙකාට සිනාසුණු නිළියගෙන් එයට පිළිතුරු විමසූ නිවේදිකාවට පිළිතුර ලෙස ලැබුණේ කොළඹ  යන්නයි. නිවේදිකාව නිවැරදි පිළිතුර ලබාදී ඔවුන් දෙදෙනාටම කරුණු පැහැදිලි කළාය. තරුණයා තම නොදන්නාකමට අම්මාද පාවා දුන්නේය. මහනුවර ලංකාවේ අගනුවර බව කියා දුන්නේ තම මව බව පවසමින් රූපවාහිනිය ඉදිරියේ අම්මාගේ රෙදිද ගැලෙව්වේය.

අනුන්ට කෙතරම් සිනාසුනද තමන්ට අඬන්න වන බව නිළිය නොදත්තාය. ඇගෙන් ඇසූ පැනය ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු වසර කුමක්ද යන්නයි. එයද මොන්ටිසෝරි පැනයකි. එයට ඇගේ පිළිතුර වූයේ 1964 යන්නයි. විකට වැඩසටහනක් බවට පත්වූ එහිදී තරුණයා ගැලවීමට දුන් පිළිතුර වූයේ 1948 වන විට අප ඉපදී නොසිටි නිසා ඒ ගැන දැනීමක් නැති බවය.

මේවා බැලූ ප්‍රේක්ෂකයන් අසනුයේ තම මව හා පියා ඉපදෙන විට ඔවුන් ඉපිද නොසිටි නිසා මව පියාද හඳුන්නේ නැති බව කිවහොත් පුදුම නොවන බවය.

මොවුන් පුම්බා තරු බවට පත් කිරීමට ගිය රූපවාහිනී නාලිකාවේ අයට දවල් තරු පෙනුණාලු.