මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දකුණේ ඡන්ද රැස්වීම් අමතමින් අඟහරුවාදා අකුරැස්ස නගරයට ගියේය. එහි පරණ බස් නැවතුම්පළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රචාරක රැලියකි. සවස 4ට පමණ එය ඇරැඹිණි. මහින්ද එහි ආවේ සවස 5.30ට පමණය. වෙඩි නොවදින බෙන්ස් රියෙන් බැස සෙනග අතරින් යද්දී පුද්ගලයෙක් රැස්වීම බැලීමට පැමිණ සිටි පුද්ගලයකු ඔහුගේ අතින් අල්ලන්ට ආවේය.
එවිට කුමක් හෝ පැටලිල්ලක් සිදුවී මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණේ ඉරියව් වෙනස් විය. ඔහු දෙතොල විකාගෙන මිට මොලවාගත් අත ඔසවා ප්‍රහාරයකට මෙන් සැරසුණේය. ඔහුගේ ආරක්ෂකයෝ තිදෙනෙක් එම ප්‍රහාරය වැලැක්වීම සඳහා රාජපක්ෂ මහතා පසෙකට තල්ලු කළේය. ඔහු වැටෙන්නට ගියේය.
පිටුපසින් සිටි ආරක්ෂකයෝ ඔහු අල්ලා ගත්හ. ඉන්පසු අකුරැස්සේ සන්ධාන අපේක්ෂක මනෝජ් සිරිසේන මහතා මහින්ද වේදිකාවට කැඳවාගෙන ගියේය. මිනිත්තු 25ක් පමණ මහින්ද කථා කළ නමුත් එම සිදුවීම ගැන කිසිත් කීවේ නැත.
හිටපු ජනපති මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට කියනුයේ බීමත්ව එහි සිටි පුද්ගලයකුගේ ග්‍රහණයෙන් මිදීමට මහින්ද රාජපක්ෂ මහතා උත්සාහ කළ බවයි. රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් රජයෙන් සලසා නැතැයිද ඔහුට හිරිහැර කිරීම සඳහා සන්ධානයේ රැලිවලට බීමත් පුද්ගලයින් එවන බවද වැලිවිට කීවේය.
‘අකුරැස්ස රැලියේදී බීමත් පුද්ගලයකු රාජපක්ෂ මහතා බදාගන්න හැදුවා. ඔහු අත්දෙකම අල්ලාගත් පසු රාජපක්ෂ මහතා ඔහුගෙන් අත් දෙක මුදා ගත්තා. හිටපු ජනාධිපතිට ආරක්ෂකයන් දී ඇතත් ජංගම දුරකථන හා වාහන වැනි පහසුකම් සලසා දී නැහැ. ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසන්නේ නම් මෙවැනි දේ සිදුවන්නේ නැහැ‘
(වීඩියෝ අනුග්‍රහය - ප්‍රියන්ත දසනායක සහ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය)






