අක්මා රෝගයෙන් අයියා මලෝ බේරාගන්න ලක්ෂ 100ක් ලැබිලා


හිරාන් ප්‍රියංකර ජයසිංහ

දරුණු අක්මා රෝගයකට ගොදුරුව  ඉන්දියාවේදි අක්මා බද්ධයකට ලක් කළ යුතුව සිටි නවගත්තේගම මහ අන්දරවැව දරුවන් දෙදෙනා පිළිබදව ලංකාදිප එසැණ ඇතුළු මාධ්‍ය ගනණාවක් කළ හෙළිදරව්වෙන් පසු ඊට අදාළ මුදල ලැබී තිබේ.

දරු දෙදෙනා සමඟ සැත්කම සඳහා ලබන 21 වැනි දා ඉන්දියාව බලා පිටත්ව යාමට සුදානම් බව දෙමාපියෝ පවසති. ඉන්දියාවේ ගෝබල් රෝහලේදී මෙම සැත්කම සිදු කිරීමට නියමිතව ඇත.  

මේ දරු දෙදෙනා අතුරින් වයස අවුරුදු හතරකට ආසන්න චාමික හසිත හර්ෂණ පුතුගේ සැත්කම හැකි ඉක්මණින් සිදුකළ යුතු බව වෛද්‍යවරුන් මුලින් නිර්දේශ කර තිබුණි.  ඒ පිළිබදව එසෑණ වෙබ් අඩවියේ 2018 ජනවාරි 14 දින   පළ කිරීමත් සමග ලෝව පුරා ශ්‍රී ලාංකිකයෝ රැසක්   තම අවධානය යොමු කරමින් මෙම දරුවන්ගේ ගිණුමට මුදල් බැර කරමින් දායකත්වය දැක්වූහ.  මේ ගැන  සංවේදි වූ විදේශීකයින් පිරිසක් ද    සැත්කම සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබා දී තිබිණි.

සැත්කම සඳහා වැය වන ලක්ෂ 100 කට ආසන්න මුදලින් ලක්ෂ 80 වකට ආසන්න මුදලක් මාස දෙකක් ඇතුළතදී පරිත්‍යාගශීලින්  ලබා දී ඇතැයි පවුලේ උදවිය කියති.  ඉතිරි මුදලද ලබා දීමට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් එකඟවූ බව ඔවුහු පවසති.

අක්මා අකර්මන්‍ය වීම නිසා මෙම දරුවන් දෙදෙනාට පෙර මෙම පවුලේ තවත්  දරුවන් තිදෙනකු   මරණයට පත්ව තිබිණි.   

 දරුවන්ගේ පියා වන එච්.එම්.යු .හේරත් මහතා මේ ගැන අදහස් දක්වමින් මෙසේ ද කීවේය.

“ මගේ දරුවෝ තුන් තිදෙනකු මරණයට පත් වුණාම මම මැරිලා ජීවත් වුණේ .නමුත් නැවත මේ දරුවන් දෙදෙනාටම   අක්මා රෝගය හැදිලා කියපුහාම මම මැරිලා ගියා වාගේ දැනුනා. පස්සේ අපිට උදව් කරන්න මාධ්‍ය ඉදිරිපත් වුණා. මට ජීවත් වෙන්න නැවතත් ආසාව ආවා. දැන් මගේ දරුවෝ දෙන්නාගෙන් පොඩි පුතා ලබන 21 වැනිදා අපි ඉන්දියාවට අරන් යනවා සැත්කමට. මේ සඳහා අපිට උදව් කළ සියලු දෙනාටම ස්තුතියි. ‘‘