අක්කර දෙකක ගස්ලබු වගාව විනාඩි දහයෙන් වල් අලි වනසයි


හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
කරුවලගස්වැව නෙළුම් ගම ගම්මානයේ  අක්කර දෙකකින් යුත් ගස් ලබු වගාවකට වල් අලි රංචුවක් කඩා වැදී වගාව විනාශ කර ඇතැයි  වගාවේ  හිමිකරු පවසයි. 
 

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ  පලිගම ග්‍රාම නිලධාරි වසමේ  නෙළුම්ගම  ගම්මානයේ පදිංචි ඊ.එම් අවුසදහාමි මහතාට අයත් ගස්ලබු වගාව මෙසේ වල් අලි රංචුව විසින් විනාශ කර තිබේ.
 
වගා හිමිකරු මේසේද කීවේය.
 
“ වල් අලි රංචු දැන් එන්න  එන්නම වැඩිවෙලා .වන ජීවි ඇමති තුමා මෙහාට ඇවිත් ගිහින් දවස් හතරක් පහක් .නමුත් මේ අලි ප්‍රශ්නයෙන් අපි බැට කනවා . මම අලි පනින එක වලක්වන්න ඉඩම වටා විදුලි අලි වැටකුත් ගහලා  තිබුණා.
 
නමුත් අලි රංචුව විදුලි වැටට උඩින් තිබුණ ගස් ලබු ගස් හොඩෙන් ඇදලා වැට උඩට වට්ටලා තමයි ඉඩමට ඇතුල් වෙලා තියෙන්නේ .ඒ ඇතුළු වෙලා අක්කර දෙකක ගස්ලබු වගාව විනාඩි දහයක් යන්න කලින් වනසා දැම්මා. අලි වෙඩි ගහලා තමයි අනිත් වගාවන් බේරා ගත්තේ.
 
වල් අලි රංචු වනසා දැමූ ගස්ලබු වගාව අදායම් ලබමින් පැවති බවත් සතියකට රුපියල් 10000 ආසන්න මුදලක් ගස් ලබු අලෙවි කර උපයා ගත් බවත් වගා හිමිකරු පවසයි. ‘‘
 
කෙසේ වෙතත් මේ වන විට නෙළුම්ගම සහ පළිගම ගම්මාන වල වල් අලි 30 කට ආසන්න ප්‍රමාණයක් සැරිසරන බව ප්‍රදේශවාසීහු පවසති.