තරිඳු ජයවර්ධන
යෝජිත පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය හේතුවන් විල්පත්තු ජාතික වනෝද්‍යානය අවට අක්කර 19,000ක වනාන්තර විනාශයට පත් වන බව පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.
අක්කර 2000කට ජලය සැපයීම වෙනුවෙන් අක්කර 19,000ක් විනාශ කිරීමෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ල වන බව ද කාරියවසම් මහතා කීවේය.
ඒ මහතා මේ බව පැවසුවේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී අදහස් දැක්වූ ආචාර්ය කාරියවසම් මහතා මෙසේ ද කීවේය.
‘‘විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පසුගිය කාලයේ අක්කර 3000ක් පමණ විනාශ කළා. ඊටත් වඩා ලොකු විනාශයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මල්වතු ඔය කප්පච්චි කියන ප්‍රදේශයෙන් හරස් කරලා පහළ මල්වතුඔය ජලාශය ඉදි කරන්න පාරිසරික තක්සේරු වාර්තාම මේ වන විට මධ්‍යම පරිසර අධිකාරිය වෙත එවා තිබෙනවා. මේ පරිසර තක්සේරු වාර්තාව කරන්න කලින් ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරලයි තිබුණේ. ජාතික පාරිසරික පනතට අනුව නීති විරෝධී ක්‍රියාවලියක්. ජලාශයට සහ නැවත පදිංචිකිරීම් සඳහා කැපෙන කැළෑ ප්‍රමාණය අක්කර 19000ක්. මෙය මහවැලි යෝජනාවක් ලෙසයි ආරම්භ වුණේ. නමුත් යුද්ධයත් සමඟ මෙය නැවතී තිබුණා. යුද්ධෙයෙන් පස්සේ නැවත චීන සමාගමකට දෙන්න යෝජනා වෙලා තිබුණා. රුපියල් බිලියන 13ක අයෝජනයකින් මේ විනාශය කරන්නයි හදන්නේ.
මේ ව්‍යාපෘතිය නිසා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරන කලාපයට දැඩි බලපෑමක් එල්ල වෙනවා. දෙවැනි එක තමයි මෙම වැවෙන් අක්කර 2000ක වානිජ බෝග වගා කරන්න ජලය දෙන්නයි හදන්නේ. යෝද වැවෙන්, මාන්නක්කට්ටිය, මහළ මල්වතු ඔය , කුඩා වැව් වලින් සහ එල්ලංගා පද්ධතියෙන් ඒ ප්‍රදේශවල කුඹුරු වගා කරන්න අවශ්‍ය ජලය ලැබෙනවා. ජලශය නිර්මාණය කරලා අක්කර 2000කට ජලය දෙන්න අක්කර 19000ක් විනාශ කරන්නයි හදන්නේ. මෙය ලංකාවේ සිද්ධ වෙන දැවැන්තම පරිසර විනාශයක්. ඒ වගේම ලංකා ඉතිහාසයේ ක්‍රියාත්මක වෙන වැදගැම්මකට නැති ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය නිසා ප්‍රදේශයේ ජෛව විවිධත්වයටත් විශාල බලපෑමක් එල්ල වෙනවා. මීට ඉහත කළ පරීක්ෂණවලදී මේ ප්‍රදේශයෙන් ක්ෂරපායී විශේෂ 41ක් වගේ සොයාගෙන තිබෙනවා. පකෂි විශේෂ 29ක්, මැඩියන් හා ගෙම්බන් විශේෂ 17ක්, කුරුලු විශේෂ 119ක් විතර සොයාගෙන තිබෙනවා.
විල්පත්තුව දෙසට ගලන පිටාර ජලය රඳවා ගන්නයි ව්‍යාපෘතිය කරන්නේ කියලා කියනවා. හැබැයි පිටාර ජලයෙන් තමයි විලපත්තු ජාතික වනෝද්‍යානයේ සත්තුන්ට හා ශාඛ වලට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරයක් නිර්මාණය වෙලා තියෙන්නේ. විල්පත්තුව කියන්නේ විල්ලුවලින් හැදුණු ප්‍රදේශයක්. විල්ලු පිරෙන්නේ මල්වතු ඔයේ පිටාර ජලය ගැලුවාම. මේ පිටාර වතුර හරස් කරලා බැම්මක් බැන්දම වෙන්නේ ආපහු විල්පත්තුව ඇතුළට වතුර පිටාර ගලන්නේ නෑ. එයින් ජෛව විවිධත්වට විශාල හානියක් වෙනවා.
ඊළග කාරණය මේ ප්‍රදේශයේ තිබෙනවා පැරණි එල්ලංගා පද්ධතියක්. එල්ලංගා පද්ධතිය කියන්නේ පුරාණ වැව් පද්ධතියත් එක්ක එන විශ්මිත නිර්මාණයක්. එල්ලංගා පද්ධතිය පහුගිය කාලේ ලෝක උරුමයක් බවටත් පත් කළා. සර් එමර්සන්ට් වගේ එක් දහස් අටසිය ගණන් වල බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ අධ්‍යයන වාර්තා බැලුවාම එල්ලංගා පද්ධතියේ විශේෂත්වය ගැන දැනගන්න පුලුවන්. අක්කර 19,000ක් විනාශ කරලා අක්කර 2000කට වතුර දෙන්න රජයට තියෙන අයිතිය මොකක්ද? චීනයෙන් ණය අරගෙන රටේ වන සම්පත විනාශ කරන්න දෙන්න බෑ.‘‘ යැයි ද කාරියවසම් මහතා කීවේය.
එහි දී අදහස් දැක්වූ පරිසරවේදී වෑකඳවල රාහුල හිමියෝ මෙසේ ද කීහ.
‘‘විල්පත්තු වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය විනාශ වෙන්න පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය දැඩි බලපෑමක් කරනවා. විල්පත්තු ජාතික වනෝද්‍යානය ජලවිද්‍යාත්මකව හා ජෛව විවිධත්වය අයිත් අපට වැදගත් වෙනවා. මේ ව්‍යාපෘතියට අක්කර 19000ක කැලෑව විනාශ කිරීම බරපතල කාරණාවක්. මේ වනසා දමන්නේ අපේ ප්‍රාග්ධනයයි. පුද්ගලවාදීව හෝ ජාතිවාදීව මේ ප්‍රශ්න දෙස බැලිය යුතු නැහැ. ඊට එහා ගිය පුලුල් දැක්මකින් බැලිය යුතුයි. මීට කලින් විල්පත්තුව සම්බන්ධ ප්‍රශ්නයේ ජාතිවාදී මුහුණුවරක් තිබ්බා. ඒ ප්‍රශ්නය ගැන කතා කළ අය මේ ප්‍රශ්නය ගැන කතා කරන්නේ නෑ. මේ වනසා දමමින් තිබෙන්නේ අපේ උරුමයයි. ‘‘ යැයි ද රාහුල හිමියෝ කීහ.
පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ලේකම් ශානිකා පතිරණ මෙනවිය සහ නීතීඥ තුෂාර දස්කොන් මහතා ද එහිදී අදහස් දැක්වූහ.