උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල කොට එක් ඇසක් අන්ධ කර බරපතල තුවාල කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ආයුර්වේද වෛද්‍යවරයාට, හිටපු යුද හමුදා සෙබළාට සහ මාළු වෙළෙන්දාට ලබන නොවැම්බර් 11 වැනි දා වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියෝග කළේය.
මින්නේරිය ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයකු වන සුසිරි වික‍්‍රමසිංහ, හිටපු යුද හමුදා සෙබළෙකු වන නුවන් කුමාර සහ මාළු වෙළෙන්දෙකු වන කේෂිත හසාන් මේ නඩුවේ චෝදනා ලැබ සිටිති.
උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට අනුරාධපුරයේදී ඇසිඩ් ප‍්‍රාහාරයක් එල්ල වූයේ 2013 වසරේ පෙබරවාරි 22 වන දිනයි. අපරාධය සිදු කළ සැකකරුවන් සිද්ධියෙන් දින නවයක් ඇතුළත අත් අඩංගුවට ගැනිමට එවකට උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි දකුණු පළාත බාර වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාගේ මෙහෙයවීම මත ක‍්‍රියාත්මක වු අනුරාධපුර කොටිඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්.රත්නායක මහතා ඇතුලූ පොලිස් නිළධාරිහූ කණ්ඩායමට හැකි විය.
ඇසිඩ් ප‍්‍රාහාරයෙන් බරපතල තුවාල ලැබූ වෛද්‍ය කුමාර අල්විස් මහතාට ප‍්‍රතිකාර කළේ විශේෂඥ අක්ෂි වෛද්‍ය චරිත් ෆොන්සේකා මහතායි. පසුව අල්විස් මහතා ශල්‍ය කර්මයක් සදහා සිංගප්පුරුවේ පිහිටි රෝහලකටද රැගෙන ගියේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලාන් රත්නායක මහතා සමඟ රජයේ නීතිඥ කුසිකා කුමාරිසිරි මහත්මිය පෙනි සිටියාය. පළමු වන විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා පෙනි සිටි අතර දෙවන සහ තුන්වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ලෙවිකේ බාඩාර මහතා මහතා පෙනි සිටියේය.

