TNA මන්ත්‍රීවරු කළු ඇඳගෙන පාර්ලිමේන්තුවේදී ඉටිපන්දම් දල්වති


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අට දෙනෙක් යුද්ධයේදී මියගිය උතුරේ පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉටිපන්දම් දල්වා අද (18) පෙරවරුවේ සැමරූහ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට යුද්ධයේදී මියගිය පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මේ ආකාරයට සැමරූ පළමු අවස්ථාව මෙයයි.

එම මන්ත්‍රීවරුන්මෙම සැමරීම කර ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට වෙන් කෙරුණු ශාලාවේදීය .

ඉටිපන්දම් අටක් දල්වා පසුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පවත්වා මෙම සැමරීම කළ බව මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් මහතා පැවසීය.

මෙම සැමරුමට දෙමළ ජාතික සන්ධානයේපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්ඒ සුමන්දිරන්,චාණක්‍ය රාසමානික්කම් ,සෙල්වම් අඩෙයිකනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්ඇතුළු මන්ත්‍රීවරු 8 දෙනෙක් සහභාගි වූහ .

මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුමේදී ඉටිපන්දම් දල්වා සැමරුමක් කිරීමට මුලින්ම උත්සාහ දැරූ අවස්ථාවේදී තමා එය වැළැක්වූ බවයි.

පසු ඔවුන් ඔවුන්ගේ කාමරයට ගොස් මෙම සැමරුම හොර රහසේ කර ඇති බව තමන්ට දැනගන්නට ලැබුණේ යැයි වේත්‍රධාරි වරයා කීවේය .

මේ අතර යුද්ධයේදී මියගිය උතුරේ පිරිස සැමරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කළු පැහැති ඇඳුමෙන් සැරසී මැතිසබයට ඊයෙ පැමිණීමද විශේෂ සිද්ධියක් විය.