(බිඟුන් මේනක ගමගේ)
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වසර අවසාන විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ රාත්‍රී ආහාර වේල සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් වැය කර ඇත.
දෙහිවල සේනානායක මාවතේ ප්‍රනාන්දු ගාර්ඩ්න්ස්හි තානායමක මෙම රැස්වීම පවත්වා ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වැනිදාය.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ යොමුකළ අයැදුම්පතකට අනුව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ලබාදුන් තොරතුරු මගින් මෙම කරුණු අනාවරණය විය.
සභාපතිවරයා ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හත් දෙනෙකු සමන්විත වන අතර කාර්මික සංවර්ධන මණ්ඩලය ලබා දුන් තොරතුරුවලට අනුව මෙම හමුවට අධ්‍යක්ෂ මණ්ඩලය ද ඇතුලුව ආයතනයේ 49 දෙනෙකු සහභාගී වී ඇත.
තොරතුරු අයැදුමට අනුව ගිහාන්ස් බීච් තානායමෙන් නිකුත් කළ බිල්පතක් ලියුම්කරුට යොමු කර ඇති අතර එහි දැක්වෙන්නේ එක් ආහාර වේලක මිල රුපියල් 5000.00 ක් හැටියටය.
රුපියල් 22,500ක සේවා ගාස්තුවක් ද ඊට එකතු කර ඇති අතර ඒ අනුව හමුවට සහභාගී වූ 49 දෙනාගෙන් 45 දෙනකුට රාත්‍රී කෑම සඳහා රුපියල් 247,000ක මුදලක් වැය කර තිබේ.
කෙසේ වෙතත් ආහාර වේලේ මෙනු පත ඊට එකතු කර නැත.

