22 වැනිදා සිට යළිත් ජී.එස්.පී. බදු සහනය


( තිළිණි ද සිල්වා )
 
ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය ලබන 22 වැනිදා සිට මෙරටට ලබාදෙන බවට එරට රජය දැනුම්දී ඇතැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යා රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. 


මේ හරහා මෙරට අපනයනකරුවන්ට සිය නිෂ්පාදන තීරු බදු සහන සහිතව එරටට යැවීමේ අවස්ථාව යළි හිමිවන බවද කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යවරයා කියා සිටී.
 
පසුගියදා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. 
 
මේ වන විට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රතිලාභී රටවල් 120 ක් සඳහා ජී.එස්.පී  බදු සහනය ලබා දීමට අවසර ලබා දී තිබෙන අතර මෙම දියුණු වෙමින් පවතින රටවල් 120 ක නිෂ්පාදන 5000 ක පමණ ප්‍රමාණයකට, මෙම බදු සහනය අපනයනයේදී හිමිවන බවත් මෙම බදු සහනය යළිත් වරක් මේ අප්‍රෙල් 22 සිට ක්‍රියාත්මක කෙරෙන බවට දැනුවත් කොට ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
ශ්‍රී ලංකාවේ ඇඟලුම්වලින් සියයට 70 ත් 75 ත් අතර ප්‍රමාණයක් මේවනවිට  අපනයනය කරනු ලබන්නේ ඇමරිකාවට වන අතර, පසුගිය වසරේදී එරටට සිදුකළ මුළු අපනයන ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2.9 සිට ඇමෙරිකන් ඩොලර් බිලියන  3 දක්වා ඉහළ ගොස් ඇති බව ද කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
ඒ අනුව 22 වැනිදා සිට යළිත් වරක් අමෙරිකානු GSPබදු සහනය ශ්‍රී ලංකීය අපනයනකරුවන්ට විවෘත වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කීය.