සිරංගිකා ලොකුකරවිට
පසුගිය කාලයේ මහා පරිමාණයෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් 2018 වර්ෂයට නියමිත පොළිය ගෙවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමස්ථ වාර්ෂික ආදායමවත් ප්‍රමාණවත් නොවන බවත් මේ හේතුව නිසා බදු නිදහස් කිරීම් අවම කර නව බදු පනත ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවත් දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා අද (05) ගාල්ලේදී පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ "බදු වගකීමක් නොව සමාජ යුතුකමක්" යන මැයෙන් උණවටුන සැවෙන්රෝ ගාඩ්න් හෝටලයේ පැවති නව ආදායම් බදු පනත පිළිබඳව බදුගෙවන්නන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අමතමිනි.
එහිදී අයිවන් දිසානායක මහතා මෙසේ පැවසීය,
"අපේ රටේ ජාතික ආදායමට දායකත්වය ලබාදෙන ප්‍රධානම ආදායම් මාර්ග තුන වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුවයි.
2018 ඇස්තමේන්තුවට අනුව රටේ සමස්ථ ආදායම රුපියල් බිලියන 2200යි. සමස්ථ වියදම රුපියල් බිලියන 2152යි. 2200ක් හම්බකරලා 2152ක් අපේ කෑම බීම හා රජයේ නඩත්තු වෙනුවෙන් වියදම් කළොත් ඉතුරුවෙන්නේ කීයද? නමුත් මේකෙ තියෙන අනිසි ප්‍රථිඵලය තමයි පසුගිය කාලෙ ගත්ත ණය වෙනුවෙන් මේ 2018 අවුරුද්ද තුළ ණය වාරිකය ලෙස රුපියල් බිලියන 1150ක් සහ ණය පොළිය ලෙස රුපියල් බිලියන රුපියල් බිලියන 852ක් ගෙවීමට සිදුවීම.
දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ 2018 වර්ෂයේ බලාපොරොත්තු වන ඉලක්කගත සම්පූර්ණ ආදායම රුපියල් බිලියන 792යි. නමුත් අපිට ණය පොළිය ලෙස රුපියල් බිලියන 852ක් ගෙවන්න වෙනවා කියන්නේ සමස්ථ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායමම මදි අපි අරගෙන තියෙන ණය පොළිය ගෙවන්න. මේ නිසා අපි හැම කෙනෙක්ම ආදායමට සරිලන නිවැරදි බදු ගෙවලා අපේ යුතුකම ඉටු කලොත් මේ රට ණය වලින් ගැලවිලා සංවර්ධනය කරා ගමන් කරන ස්වාධීන රටක් වෙන්න පුළුවන්.
මෙහිදී අයිවන් දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ පාසැල් සිසුවකු වෙනුවෙන් රුපියල් 47000ක් ද වෛද්‍ය ශිෂ්‍යයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ පහමාරක් ද ඉංජිනේරු ශිෂ්‍යයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ හතරක් ද රජය වාර්ෂිකව වියදම් කරන බවයි.
ලක්ෂ පහකට වඩා වැඩි වාර්ෂික ආදායමක් ලබන පුද්ගලයින් දේශීය ආදායම් කාර්යාලයට ගොස් ලිපි ගොනුවක් විවෘත කර ගෞරවණීය බදු ගෙවන්නකු බවට පත්වී රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුකළයුතු බව ද දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවසීය.
මෙම වැඩසටහන සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් නදුන් ගුරුගේ මහතා ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන් විශාල පිරිසක් ද පැමිණ සිටියහ.