(ටී.කේ .ජී.කපිල )
පසුගිය 2017 වසරේ 1/01 සිට 11/30 දක්වා වූ කාළය තුළ ශ්‍රි ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදු කළ වැටලීම් වලදී රුපියල් 10,89,434,768 ක මුදලක් ශ්‍රි ලංකා රජයට අය කර දී තිබෙන බව රේගු මධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා නිකුත් කළ වාර්තාවකින් පැවසේ.
එහිදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ භාණ්ඩ මෙන්ම , මෙරටින් නීතිවිරෝධී ලෙස පිට කිරීමට තැත් කළ භාණ්ඩ රාජසන්තක කිරීමෙන් රුපියල් 10,38,675,103 ක මුදලක් මෙන්ම , ඒ පිළිබඳව පැවති රේගු පරීක්ෂණ වලින් අනතුරුව නියම කළ දඩ මුදල් වලින් රුපියල් 50,759,665 ක මුදලක් ද ශ්‍රි ලංකා රජයට උපයා දී ඇතැයි පැවසේ.
රත්තරන් , විදේශ මුදල් , මැණික් , දුම්වැටි , ශ්‍රි ලංකාවට ආවේනික ශාක සහ සත්ව කොටස් , විවිධ මත්ද්‍රව්‍ය මෙන්ම ඖෂධ වර්ග ද මේ ආකාරයට නීතිවිරෝධීව ශ්‍රි ලංකාවෙන් පිට කිරීමට සහ මෙරටට ගෙන ඒමේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම වැටලීම් විශේෂයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ තුළ මෙන්ම , කොළඹ, ගාල්ල ,ත්‍රිකුණාමලය ආදී වරාය වල රාජකාරියේ නියැලී සිටි රේගු නිලධාරීන් ක්රියාත්මක කරනු ලැබ තිබුණි .
මෙම අත්අඩංගුවට ගැනීම් අතුරින් මුල් තැන විදේශ මුදල් ජාවාරම් වලට එරෙහිව සිදු කරනු ලැබූ මෙහෙයුම් වලදී සිදු වී තිබෙන අතර , දෙවැන්න රත්තරන් අත්අඩංගුවට ගැනීම් වල දී සිදු වී තිබේ .
එහිදී රුපියල් 503,443,106 ක් වටිනා විදේශ මුදල් තොගයක් අත් අඩංගුවට ගෙන ඇති රේගුව , ඒ සඳහා රුපියල් 14,735,000 ක දඩ මුදලක් අය කරගෙන තිබේ .රුපියල් 257,596,449 රත්තරන් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති රේගු නිලධාරීන් , ඒ සදහා රුපියල් 14,168,465 ක දඩ මුදලක් ද නියම කර තිබේ .
විවිධ වර්ගයේ මැණික් රුපියල් 92,312,829 ක තොගයක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කර , ඒ සඳහා රුපියල් 10,95,000 ක මුදලක් ද රේගුව අය කරගෙන තිබේ .
ශ්‍රි ලංකාවට නීතිවිරෝධීව රැගෙන ආ රුපියල් 56,754,008 ක් වටිනා දුම්වැටි අත්අඩංගුවට ගත් ශ්‍රි ලංකා රේගුව , ඒ සදහා රුපියල් 63,85,000 ක දඩ මුදලක් ද ශ්‍රි ලංකා රජයට අය කර දී තිබේ .
ශ්‍රි ලංකාවට ආවේනික ශාක සහ සත්ව කොටස් මෙන්ම විදේශයන්ගෙන් එවැනි දෑ නීතිවිරෝධී ලෙස ගෙන්වීමේ දී රුපියල් 39,747,808 ක් වටිනා ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති රේගු නිලධාරීන් , ඒ සදහා රුපියල් 43,86,200 ක දඩ මුදල් නියම කර තිබේ .
මීට අමතරව රුපියල් 86,354,600 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ද නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමේදී අත් අඩංගුවට ගෙන ඇති අතර , නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් 2,466,303 ක් වටිනා ඖෂධ තොගයක් අත්අඩංගුවට ගෙන , ඒ සදහා රුපියල් 135,000 ක දඩ මුදලක් ද ශ්‍රි ලංකා රජයට අය කර දී තිබේ .

