2017 වසරේ පරිසරවේදීන් 200කට වැඩි පිරිසක් ඝාතනයට


පැරිස්හිදීය (ඒ.එෆ්.පී)

ඉකුත් වසරේදී පරිසරවේදීන් 200කට වැඩි පිරිසක් ඝාතනයට ලක්වී ඇතැයි ‘ග්ලෝබල් රයිට්ස්’ සංවිධානය පවසයි. එම ඝාතනවලින් සැලකිය යුතු ප්‍රමාණයකට ඒ ඒ රටවල රාජ්‍ය අනුග්‍රහාය ලැබී ඇතැයි ද එම සංවිධානය පෙන්වාදෙයි. 

පරිසරවේදීන් වැඩි සංඛ්‍යාවක් මරුමුවට පත්ව ඇත්තේ සංවර්ධනය සඳහා වැඩි පාරිසරික වටිනාකමක් සහිත ඉඩම් ආරක්ෂා කිරීමට යෑමේදී යැයි ද ග්ලෝබල් රයිට්ස් සංවිධානය සඳහන් කරයි. පරිසරවේදීන් 207 දෙනකු ඝාතනයට ලක්වූ සිදුවීම් විස්තර සහිතව ලේඛන ගත කර ඇතැයි ද එසේ තොරතුරු නොලැබුණු සිදුවීම් ද ඇතැයි ග්ලෝබල් රයිට්ස් සංවිධානය පවසයි. 

බහුජාතික සමාගම් විවිධ කටයුතු සඳහා මෙලෙස වැඩි පාරිසරික වටිනාකමකින් යුතු ඉඩම් යොදා ගැනීමට උත්සාහ කරන බවත් කෝපි, පාම් තෙල් යනාදිය නිෂ්පාදනය ඒ අතරින් මුල් තැනක් ගෙන ඇති බවත් පැවසේ. පසුගිය වසරේදී සිදු වූ ඝාතන සැලකීමේදී එම 2017 වසර පරිසරවේදීන්ගේ මාරාන්තිකම වසර බවට පත්ව තිබේ. 

“මේ වගේ නිෂ්පාදන සඳහා ගෝලීය ඉල්ලුම වැඩි වෙද්දි, මේ ව්‍යාපාරවලට තවදුරටත් නිෂ්පාදන වැඩි කිරීමට දැනටත් වඩා විශාල ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා” ග්ලෝබල් රයිට්ස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන බෙන් ලෙදර් කීය. 

“පරිසරය ආරක්ෂා කිරීමේ අයිතිය සහ පරිසරය ආරක්ෂා කරන්නැයි ඉල්ලමින් මිනිසුන් නැගී සිටි විටත් මේ ඉඩම් භාවිත කිරීම සඳහා ඉතා මිලේච්ඡ අයුරින් ඒ සඳහා බලපත්‍ර ලබා දෙනවා. ඒ වගේම පරිසරය වෙනුවෙන් හඬ නගන මිනිසුන්ගේ ජීවිත අවදානමේ දමනවා” යැයි ද හෙතෙම කීය. 

පරිසරවේදීන් 53 දෙනකුගේ මරණවලට රජය, හමුදාව හෝ පොලිසිය සම්බන්ධ බවට නිශ්චිත තොරතුරු ඇතැයි ද නිරීක්ෂණ සංවිධානයක් වන ග්ලෝබල් රයිට්ස් සංවිධානය පෙන්වාදෙයි. 

පසුගිය වසරේදී පරිසරවේදීන් වැඩිම සංඛ්‍යාවක් ඝාතනයට ලක්ව ඇත්තේ බ්‍රසීලයේදීය. වැඩි පාරිසරික වටිනාකමකින් යුතු ඉඩම් ආරක්ෂා කිරීමට යෑමේදී බ්‍රසීල පරිසරවේදීන් 57 දෙනකුට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව තිබේ. දෙවැනියට පරිසරවේදීන් වැඩිම සංඛ්‍යාවක් ඝාතනයට ලක්ව ඇත්තේ පිලිපීනයේ වන අතර එම සංඛ්‍යාව 48කි. 

055