2008 සිට බැඳුම්කර නිකුතු සිදුවූ අයුරු ගැන අගමැති කියයි


(ආරියරත්න රණබාහු)

2008 සිට 2014 වසර දක්වා කාලයේ රුපියල් බිලියන 5147ක බැඳුම්කර නිකුත් කර ඇතත් ඉන් රුපියල් බිලියන 4702ක බැඳුම්කර පෞද්ගලික ඍජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේ නිකුත් කර ඇති බවත් ඊට මුදල් මණ්ඩලයේ අනුමැතියක් ලැබී නැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

එම කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව භාරව සිටි මුදල් අමාත්‍යවරයා ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකළ යුතු බවත් අගමැති අවධාරණය කළේය. 

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය හා ක්‍රියාපටිපාටිය පිළිබඳවත් මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම එයින් අලාභයක් සිදුව ඇත්ද යන්න සොයාගැනීම පිළිබඳවත් ලිඛිතව ලෝක බැංකුවෙන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කරුණු විමසා සිටි බවත් ඔවුන් දන්වා සිටියේ පසුගිය බැඳුම්කර වෙන්දේසියක අලාභයක් තක්සේරු කිරීමේ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් පිළිබඳව ඔවුන් දැනුවත් නැති බවත් යැයි අගමැතිවරයා කීය.

2015 මාර්තු සිට මේ ගැටලුව පිළිබඳ රජය අඛණ්ඩව නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බව කී අගමැතිවරයා දැනට ඉතිරිව ඇත්තේ නීතිපතිවරයා විසින් කරුණු උසාවියට වාර්තාකොට නඩු කටයුතු මෙහෙයවා රජයට සිදුව ඇති පාඩුව නැවත අයකර ගැනීමට කටයුතු කිරීම බවද අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.