2008-2015 කාලයේ බැඳුම්කර නිසා බිලියන 10000ක් රජයට ගෙවන්න වෙලා - අගමැති කියයි


2008 සිට 2015 කාලය තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන 4 ක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිසා ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන දසදහසක මුදලක් ගෙවීමට රජයට සිදුවී ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය.

වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ අද (07) දින බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ විශේෂ සම්මේලනය අමතමින් වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

 ඒ පිළිබඳ විගණනය කළ යුතු බව බැඳුම්කර ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති බැවින්, කඩිනමින් ඒ පරීක්‍ෂණ ඇරඹිය යුතු බවද පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, බැඳුම්කර කොමිසම පිළිබඳ විවිධ අදහස් පළ කරන ජනමාධ්‍ය දැන් බිලියන දසදහස පිළිබඳව ද ප්‍රශ්න කිරීම ආරම්භ කරන්නේදැයි තමන් බලා සිටින බව ද පැවසීය.

මේ අයුරින් රට සහ රටේ අනාගතය විනාශයට පත් කළ රාජපක්‍ෂවරු දැන් ගම හදන්නට බලය ඉල්ලන බවත්, රටේ ආර්ථිකය පරිහාණියට පත් කළ අයට ගම නංවාලීමට කිසිඳු හැකියාවක් නැති බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඡායාරූප චතුර එස් කොඩිකාර