19 වගේම 13-16 ඇති භයානක කරුණුත් අවලංගු කරන්න


රට තුළ ව්‍යාකූලත්වයක් ඇති කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීම මෙන්ම 13වන හා 16 වැනි සංශෝධන මගින් හඳුන්වා දී ඇති භයානක ප්‍රතිපාදන ද වහා අවලංගු කිරීමට කටයුතු කරන්නැයි බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත.

ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නාහිමි, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ සභාපති දිවියාගහ යසස්සී නාහිමි, දොඩම්පහල චන්ද්‍රසිරි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උප සභාපති හා ශ්‍රී කල්‍යාණිවංස නිකායේ මහා නාහිමි, මාතලේ ධම්මකුසල අනු නාහිමි, බලංගොඩ සෝභිත නාහිමි, සමලේකම් තිරිකුණාමලේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහ නාහිමි, අකුරැටියේ නන්ද හිමි, කන්දෙගොඩ විමලධම්ම අනු නාහිමි, මැදගම නන්දවංස නාහිමි, මහාචාර්ය අගලකඩ සිරි සුමන හිමි, සිරි වජිරාරාමයේ ඤාණසීහ හිමි යන මහා සංඝරත්නයේත්,  සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, ධර්මවිජය පදනමේ සභාපති සුමේධ අමරසිංහ, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ උප සභාපති කුසුම්බන්දු සමරවික්‍රම, පරමවිඥානාර්ථ බෞද්ධ සමිතියේ සභාපති එස්.පී. වීරසේකර, සාසන සේවක සමිතියේ උප සභාපති ආචාර්ය ජයන්ත වත්තෙවිදානගේ, සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ සභාපතිනි ජීවනී සුගුණදාස, රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සභාපති එම්.කේ.බී. දිසානායක, බෞද්ධ සහයෝගිතා කේන්ද්‍රයේ සභාපතිනි ආචාර්ය හේමා ගුණතිලක, මහාබෝධි සංගමයේ උපසභාපති වසන්ත ද සිල්වා, ශාන්ති පදනමේ නියෝජිත පී.ජී. පුංචිහේවා, බෞද්ධ නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, දම්රිවි පදනමේ නියෝජිත ආචාර්ය ලුමිබිණි ප්‍රියන්ත දේවසිරි, ජයග්‍රහණය ශ්‍රී ලංකා කොළඹ සංවිධානයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සාමාජික අෂාන් ද සොයිසා, බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලයේ සම්මානිත සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, සුරේන් අභයගුණසේකර, ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස්, එම්.ඩී.ඩබ්ලිව්. ආරියවංශ සහ සම්බන්ධීකාරක පානි වෑවල යන මහත්ම මහත්මීන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ මෙසේද සඳහන්වේ.

අර්බුදකාරී හා ව්‍යාකූල තත්ත්වයෙන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට පසුගිය ජනාධිපතිවරණයෙහි දීත් පාර්ලිමේන්තු මහ මැතිවරණයෙහි දීත් ජනතාවට ප්‍රතිඥාවක් ලබාදීම පිළිබඳව පළමුව අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජයට අපගේ ප්‍රසාදය පිරිනමමු. ජනතාව විශිෂ්ට ජනවරමක් ඔබතුමාට ලබා දුන්නේ ඒ අරමුණ පෙරදැරිවය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කොට ඒ වෙනුවට 20 වැනි සංශෝධනයක් ගෙන ඒමට රජය අදහස් කරන බවක් රජයේ නිවේදන මගින් දැන් ප්‍රකාශයට පත් වී ඇත. වර්තමාන ව්‍යවස්ථාවෙන් රට තුළ නිර්මාණය වී ඇති ව්‍යාකූල තත්ත්වය නොපමාව නිවැරදි කළ යුතු බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම ව්‍යාකූල තත්ත්වයට හේතුව 19 වැනි ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පමණක් නොවේ. වර්තමාන ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති සමානුපාතික ඡන්ද ක්‍රමය මෙන්ම 13 හා 16 වැනි සංශෝධන ඇතුළු විටින් විට ගෙන එනු ලැබූ නානාවිධ සංශෝධනවලින් ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට, මහජන සාමයට, භෞමික අඛණ්‍ඩතාවයට හා ජාතික ආරක්ෂාවට සිදුව ඇත්තේ බලවත් තර්ජනයකි. එබැවින් මේ සියල්ල වහා නිවැරදි කළ යුතුව ඇත.

නොබෝ දිනකින් පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ අදහසක් ද ඇති බව වාර්තා වේ. දැනට අවුරුදු 03 ක් පුරා පළාත් සභා නොමැති ව රාජ්‍ය පාලනය සිදු විය. පළාත් සභා පවත්වා ගෙන යෑම ශ්‍රී ලංකාවට දැරිය නොහැකි වියදමක් පමණක් නොව, රාජ්‍යයේ පැවැත්මටද බලවත් තර්ජනයකි. පළාත් සභා ව්‍යුහයක් පවත්වාගෙන ගිය ද එය වහා ප්‍රතිව්‍යුහගත විය යුතුය. උතුරු පළාත බාර මහ ඇමැති පාලනය කරන පළාත් පොලිසියක් පිහිටුවීමට 13 වැනි සංශෝධනයේ 09 වන උපලේඛනයේ 01 වන පරිශිෂ්ටයෙන් විධිවිධාන සලසා ඇත. එහිම 02 වන පරිශිෂ්ටයට අනුව පළාතක් තුළ පිහිටි ඉඩම් කැබැල්ලක් පුරවැසියකුට හෝ පූජනීය ස්ථානයකට ලබාදීමට පළාත් සභාවේ එකඟතාව ලබා ගත යුතුව ඇත. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්මාරක හා වාර්තා පිළිබඳ විෂයය ද පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් වී ඇත. 16 වැනි සංශෝධනය මගින් උතුරු නැගෙනහිර දෙපළාත්වල පරිපාලන භාෂාව ලෙස සිංහල භාෂාව නොපිළිගැනේ. උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට අවශ්‍ය විධිවිධාන ද 13 වැනි සංශෝධනයෙන් හඳුන්වා දී ඇත.

පළාත් සභාවකට නීතිය හා සාමයට අදාළ පළාත් සභා ලැයිස්තුවේ විෂයයන් සම්බන්ධයෙන් නීති පැනවීමට හැකි අතර පාර්ලිමේන්තුව දැනට පනවා ඇති නීති අබිබවා මෙම පළාත් සභා නීති ක්‍රියාත්මක වනු ඇත.

පසුගිය දින පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී හිටපු මහඇමැති සී.වී. විග්නේෂ්වරන් හා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යන මන්ත්‍රීවරුන් දෙපළ කළ ජාතිවාදී ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ ඒකීය පැවැත්මට බලවත් තර්ජනයක් අත්‍යාසන්න බවයි. මෙම තත්ත්වය යටතේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම දුරුකරගත හැකි අනතුරක් යළි කැඳවාගැනීමකි.
මේ නිසා සියල්ල නිවැරදි කරන අලුත් ව්‍යවස්ථාවක් වහා ගෙන ආ යුතුව ඇත. ඊට අදාළ කාර්යයන් පසුවට කල් තබා ඊට පළමුව 19 වැනි සංශෝධනය පමණක් නිවැරදි කිරීම ප්‍රමාණවත් නොවන අතර අනෙකුත් සංශෝධන ද කඩිනමින් කළ යුතුය. එසේ නොකළහොත් එය රජයට ලැබී ඇති ජනවරමට එදිරිවීමකි. බහුතර ජනතාව තුනෙන් දෙකක විශිෂ්ට ජනවරමක් රජයට ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනතාවට හා ඒකීය භාවයට විරුද්ධ ව විවිධ විජාතික බලවේගවල මැදිහත් වීමෙන් ගෙන එනු ලැබ ඇති භයානක විධිවිධාන වහා නිවැරදි කිරීමටය. එය සිදු නොකොට පසුවට කල් දැමීම ජනතාවට කරන බලවත් අසාධාරණයකි. එබැවින් 19 වැනි සංශෝධනය පළමුව සිදු කොට ඊටත් වඩා වැදගත් සංශෝධනයන් පසුව සිදු කිරීම පිළිබඳව ඉදිරිපත් කර ඇති අදහස් රජය ක්‍රියාත්මක නොකළ යුතු බව අපගේ අදහසයි.

ව්‍යවස්ථාවට බලහත්කාරයෙන් ඇතුළත් කර ඇති මෙම විධිවිධාන අවලංගු කිරීමට වහා පියවර ගත යුතුය. එම නිවැරදි කිරීම් සිදු නොකොට පළාත් සභා මැතිවරණය පවත්වනු ලැබුවහොත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමේ ක්‍රියාවලිය නිසැකවම ව්‍යර්ථ වනු ඇත. මෙම පළාත් සභා ක්‍රමය හරහා ශ්‍රී ලංකාව පුරා අමාත්‍ය මණ්ඩල 10 ක් ක්‍රියාත්මක වීමත් ඔවුන්ට අවශ්‍ය  පහසුකම් හා වරප්‍රසාද සැලසීමත් පළාත් සභා ඡන්දයක් සඳහා අතිවිශාල මුදලක් වියදම් කිරීමත් නිසා සිදුවන ආර්ථික අවපාතය සබැවින්ම අපට දැරිය නොහැකි වනු ඇත.

ශ්‍රී ලංකාව තුළ දැනටත් හොඳින් ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන හරහා බලය විමධ්‍යගත කිරීමෙන් ඉහත සඳහන් කළ ප්‍රශ්න හා ගැටලු පහසුවෙන් විසඳාගත හැකි වනු ඇත. බහුතරයක් වූ මහජනතාව ශ්‍රී ලංකාවේ සංවර්ධනාත්මක අනාගතයක් පිළිබඳ මහත් බලාපොරොත්තු තබා ඇති අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා වෙත අප කරුණාවෙන් දන්වා සිටින්නේ නව ව්‍යවස්ථාවක් මගින් වියවුල්ව ගිය රාජ්‍ය ව්‍යුහය සුදුසු පරිදි ප්‍රතිව්‍යුහගත කරන තෙක් පළාත් සභා මැතිවරණ පවත්වා ඒවා පණගැන්වීමට කටයුතු නොකරන ලෙසත් 13 හා 16 වන සංශෝධනවල හඳුන්වා දී ඇති භයානක ප්‍රතිපාදන වහා අවලංගු කිරීමට නොපමාව අවශ්‍ය පියවර ගන්නා ලෙසත්ය. ජනතාව රජයට ලබා දුන් විශිෂ්ට ජනවරම අර්ථවත් කළ හැක්කේ එලෙසින් බව අපි උදක්ම විශ්වාසය කරමු.

(***)