19 ට සහය දුන් අය එය අහෝසි කරන්න උත්සහ කරන්නේ ඇයි


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දෙමින් සහය දුන් අයම අද එම සංශෝධනය අහෝසි කරන්නට උත්සාහ කරන්නේ ඇයිදැයි තමන් ප්‍රශ්න කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය.

මෙම සංශෝධනය අහෝසි කිරීමේදී ස්වාධීන කොමිසන් සභාත් අහෝසි කරන්නේ දැයි රජය පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බව කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපතිවරයා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමිනි.

පසුගිය යහපාලන රජයට ජනතාව දුන් ජනවරම අනුව ගෙන ආ 19 වැනි සංශෝධනය සම්මත කරගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ දී වගන්තියෙන් වගන්තිය කියවමින් බව කී සභානායකවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය ද එයට සංශෝධන එක්කළ බව කීවේය.

සුළුතර ආණ්ඩුවක් පැවති නිසා එය සම්මත කරගැනීමට වැඩි ඡන්ද ගණනක් ලබා දී සහය දුන්නේද එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු බව සභානායකවරයා පැවසීය.

මෙයට පිළිතුරු දෙමින් බව සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇතිකළ අද්භූත කොමිසන් සභා මගින් රටම අවුල් කළ බවයි.

එම අවුල් සහගත සංශෝධනය වෙනස් කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය ගැන සතුටු වන බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.