'සිහින සහන කරලා - සහන සිහින කරලා'


 

(බිඟුන් මේනක ගමගේ) 
 
සිහින සහන හැටියටත්, සහන සිහින හැටියටත් පෙන් වූ ඛේමාගේ කොලුවාගේ අයවැයක් බවට 2019 අයවැය පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ලංකාදීපයට පැවසීය.
 
ඒකාබද්ධ අරමුදල සෘණ මට්ටමකට වැටී තිබියදී ජනතාවගේ අතේ ඇති මුදල් සංසරණය කරවන්නට ආණ්ඩුව උත්සාහ ගන්නේ යැයි චෝදනා කළ හෙතෙම වසරේ ලොකුම බොරුව බවට අයවැය පත්ව ඇතැයි අවධාරණය කළේය.
 
2019 අයවැය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මතය ගැන කළ විමසීමේදී හඳුන්නෙත්ති මහතා මෙම අදහස පළ කළේය. 
 
එහිදී හඳුන්නෙත්ති මහතා මෙසේ ද කීය. 
 
"අද වෙනකොට ඒකාබද්ධ අරමුදල තියෙන්නේ සෘණ මට්ටමේ. කෝටි විසි අටදාස් පන්සීයක් සෘණ තියෙන්නෙ. 2017 මුදල් අමාත්‍යංශය ඉදිරිපත් කළ රටේ ශේෂපත්‍රයට අනුව රටේ වත්කම් තියෙන්නේ රුපියල් කෝටි එක්ලක්ෂ හැට දෙදාස් දෙසීයයි. හැබැයි වගකීම් එහෙම නැත්නම් ණය රුපියල් කෝටි නව ලක්ෂ අසූ අටදාහක් පෙන්වනවා. එහෙම වෙන්න පුළුවන් ද? 2017 දෙසැම්බර් 31ට අපේ රටේ ණය පෙන්වනවා රුපියල් බිලියන නවදාස් පන්සීයක්. කෝටි නව ලක්ෂ පනස්අටදාහක්. වත්කම් කෝටි එක්ලක්ෂය නම් මේ රට පවතින්නේ කොහොමද? ඒකාබද්ධ අරමුදල සෘණ මට්ටමේ තියෙද්දි ආණ්ඩුව ජනතාවගේ අතේ තිබෙන මුදල් සංසරණය කරවන්න පොළඹවන යෝජනා සංඛ්‍යාවක් ගෙනැල්ලා තියෙනවා.
 
උදාහරණයකට නිවාස හදන්න පොළඹවනවා. ණය දෙන්නේ ආණ්ඩුව පොලියෙන් කොටසක් ගෙවලා. කසාද බඳින්න පොළඹවනවා. කොටසක් ගෙවනවා. සමෘද්ධි බැංකුවල තියෙන මිනිස්සුන්ගෙ තැන්පතු මුදල් අප්‍රේල් මාසයේ නොවැම්බර් මාසයේ යොදන්න කටයුතු කරවනවා. මේ හදන්නෙ ආර්ථිකේ පුම්බන්න. රටේ සල්ලි නැති නිසා ජනතාවගේ සල්ලි ටික ඇදලා ආණ්ඩුව ලකුණු දාගන්න හදන්නේ. සහන කියන්නෙ මේකට. ඇත්තටම ගත්තොත් සහන සිහින හැටියට දවටපු අයවැයක්. එහෙම නැත්තන් සිහින සහන හැටියට පෙන්නලා තියෙනවා. එහෙම බැලුවාම සිහින සහන හැටියට පෙන්නපු ඛේමාගෙ කොලුවගෙ අයවැයක් කියලා තමයි අපට කියන්න වෙන්නේ"