මැතිවරණයක් යනු ප‍්‍රතිපත්ති අතර ගැටුමක් පමණක් බැවින් එය ජාති, ආගම් හෝ පුද්ගලයින් අතර ගැටුමක් බවට පත් කිරීමට උත්සාහ කරන්නට එපා යැයි සියලූ දේශපාලන පක්‍ෂවලින් හා අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල නිරත පිරිසකට බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ දී එල්ල වූ වෙඩි ප‍්‍රහාරය දැඩි සේ හෙළා දකින බව කී උන්වහන්සේ ඉදිරියේ දී මෙවැනි දේ සිදු නොවීමට රජය හා පොලීසිය වගබලා ගත යුතු යැයි ද සඳහන් කළහ.
පසුගිය කාලයේ ඉතා හො`දින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පැවති මැතිවරණ ව්‍යාපාරයට බ්ලූමැන්ඩල් සිද්ධියෙන් හානියක් වූ බව ද කී උන් වහන්සේ මැතිවරණ කටයුතුවලට පාතාල සාමාජිකයන් යොදා නොගන්නා ලෙසත්, තම පාක්‍ෂිකයින් පාලනය කරගන්නා ලෙසත් සියලූ අපෙක්‍ෂකයින්ගෙන් ඉල්ලීමක් ද කළහ.
කෝට්ටේ නාග විහාරයේ මාධ්‍ය හමුවක් දී ඒ හිමියෝ මෙසේ කියා සිටියහ.
‘‘අපි අවුරුදු 2500ක ඉතිහාසයක් ගැන කතා කරන ජාතියක්. ලෝකෙන් උතුම් රට ලංකාවයි..... මෙහෙම රටක් ලෝකේ නැහැ කියා කියන ජාතියක්. ඒත් වැඩක් කරන්න ගියාම අපේ මිලේච්ඡත්වය එළියට එනවා.
සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සියලූ පියවර ගන්නැයි අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිනවා. මෙවර මැතිවරණයේ දී ඉතාම හොඳ පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාවත් සූදානම් විය යුතුයි’’ යනුවෙන් ද උන්වහන්සේ කීහ.
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජේරත්න , සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ විධායක සභිකයින් වන සමන් රත්නප‍්‍රිය, ගැමුණු විජේසූරිය යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.




