සුදුළුෑනු සොයන්න සීඅයිඩිය මාධ්‍ය ආයතන ඇතුළට



දින 41ක් තිස්සේ වසා දමා තිබූ රට පෙරේදා (01) යළි විවෘත කරනු ලැබුවේ කොරෝනා රැල්ලේ යම් පාලනයක් සිදුව ඇති බැවිනි. එසේ වුවද රට නැවත වරක් විවෘත කර ඇත්තේ තවදුරටත් සීමා කිරීම් රැසක් මැද්දේය. එන්නත් කරන වැඩපිළිවෙළ ද සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ඒ සියල්ල මැද දේශපාලන කරළිය ද විවිධ මාතෘකා ඔස්සේ දිනෙන් දින උණුසුම් වන බවක් ගිය සතිය පුරා ද දැකගත හැකි විය.


ආණ්ඩුව හාල් ගැසට් හකුලා ගනියි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට ඇමරිකාවට ගොස් දිවයිනට නොපැමිණි නිසා ගිය සතියේ කැබිනට් රැස්වීම පැවැත්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර ද කැබිනට් රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන්නට සිදු විය. මෙවර කැබිනට් රැස්වීමේ වැඩි අවධානයක් යොමුවූයේ හාල් සහ වී මිල සම්බන්ධයෙනි. හාල් සහ වී මිල පාලනය සඳහා ආණ්ඩුව පසුගිය කාලය පුරා නොගත් උත්සාහයක් නැත. තවත් වරෙක හාල් මෝල් වැටලු‍වේය. වරෙක ගැසට් ගැහුවේය.


ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේ දී හාල් මිල සම්බන්ධයෙන් ඇමැතිවරු ගණනාවක් අදහස් දැක්වූහ. එහිදී බොහෝ ඇමතිවරුන් කීවේ හාල් පාලන මිල ඉවත්කර හාල් මිල වෙළෙඳපොළ අනුව තීරණය වන්නට ඉඩ දී ආණ්ඩුව පැත්තෙන් වෙනත් විකල්පයක් ගත යුතු බවය. වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන ද කීවේ සහල් ආනයනය කර හෝ මේ සඳහා පියවරක් ගත යුතු බවය. ආණ්ඩුව මීට පෙර ද සහල් ආනයනය කරන්නට තීරණය කළ නමුත් එය ක්‍රියාත්මක නොවීය. එසේ වුව ද ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ සහල් වෙළෙඳපොළ පාලනය සඳහා යම් මැදිහත්වීමක් කිරීමේ අරමුණෙන් සහල් මෙට්‍ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටත්, සහල් මිල පාලනය සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදන සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු කිරීමේ බලය වෙළඳ ඇමැතිවරයාට පැවරිණි.


සුදු ලූනු ප්‍රශ්නය


ලංකා සතොසේ සුදු ලු‍නු වංචා සිද්ධිය ගිය සතියේ දේශපාලන කරළිය ද ගිනියම් කළේය සුදු ලූනු වංචාව ගැන පුවත් පළ කළ පුවත්පත් කතුවරුන් සහ මාධ්‍යවේදීන් සීඅයිඩී යට කැඳවන තරමට වැඩේ දුර දිග ගියේය. මේ කරුණ ගිය සතියේ කැබිනට් රැස්වීමේ දී ද ආන්දෝලනයට ලක්විය. හාල් ප්‍රශ්නය යන අතරේ සරත් වීරසේකර මහතා කැබිනට් රැස්වීමේ දී කීවේ සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා රහස් පොලිසියට කර ඇති පැමිණිල්ලකට අනුව පුවත්පත් කතුවරුන් හා මාධ්‍යවේදීන් පිරිසක් රහස් පොලිසියට කැඳවා ඇති බව ය. පුවත්පත් කතුවරයෙක් ඒ සම්බන්ධයෙන් තමාට දුරකථනයෙන් දැනුම් දුන් බව ද ඔහු කීවේය. ඒ ගැන බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ද පැහැදිලි කළේය. පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා ඇමැතිවරුන් දෙදෙනාගේ බලපෑම මත, වැඩ කළ නොහැකි බැවින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට මාධ්‍යයට කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි තමා පොලිසියට පැමිණිලි කළ බවත්, එසේ නැතිව මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කරන ලෙස තමා පොලිසියෙන් ඉල්ලා නොසිටි බවත් බන්දුල කීවේය. සුදුලූනු ප්‍රශ්නයට තමා හෝ තමාගේ පවුලේ කිසිවකු සම්බන්ධ නැතැයි කී බන්දුල මෙම ගනුදෙනුවේ සත්‍යය හෙළිදරව් කර ගත යුතු බව ද කීවේය. තමා පැමිණිලි කළේ මාධ්‍යයට එරෙහිව නොව හිටපු විධායක අධ්‍යක්ෂවරයාට එරෙහිව බව ඔහු කීවේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වමින් කියා සිටියේ පොලිසිය මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවීම වැරදි බවය. එය වහාම නතර කරන්නැයි මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකරට උපදෙස් දුන් අගමැතිවරයා ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුමට කීවේ ඒ පිළිබඳව පුවත්පත් කතුවරුන් දැනුවත් කරන ලෙසය. එපමණක් ද නොව පසුදා කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ සිද්ධිය ගැන කනගාටුව පළ කරන ලෙසද අගමැතිවරයා ඩලස්ට දැනුම් දුන්නේය. පුවත්පත් කතුවරුන් හා මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවීමට විරුද්ධව ඇමැතිවරු සියලු‍ දෙනාම පාහේ අදහස් පළ කළහ. ඔවුන් සියලු‍ දෙනාම කියා සිටියේ එය නොකළ යුතුම දෙයක් බවය. ඒ අනුව පසුදා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගි වූ ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුවත්පත් කතුවරුන්ට සහ මාධ්‍ය ආයතනවලටත්, මාධ්‍යවේදීන්ටත් සිය කනගාටුව පළ කෙළේය. එහෙත් සිදුවූයේ එය නොවේ.
පුවත්පත් කතුවරුන්ගෙන් හා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස අගමැතිවරයාත් විෂය භාර ඇමති සරත් වීරසේකරත් උපදෙස් දී තිබිය දී රහස් පොලීසියේ දෙදෙනෙක් ලංකාදීප කාර්යාලයට ද පැමිණියහ. ඒ සිදුවීම ගැන සරත් වීරසේකරට පමණක් නොව පොලිස්පතිවරයාට ද පසුව කනගාටුව පළ කරන්නට සිදුවිය.


 

 

මාධ්‍යවේදීන් රහස් පොලිසියට  කැඳවීම වැරදියි

 

 

 


 

 


මෝල් හිමියන් අතට ගත් හාල් මිල


ආණ්ඩුවේ හාල් මිල පාලන ගැසට් අවලංගු කිරීමත් සමග මහා පරිමාණ සහල් මෝල් හිමියෝ ගිය සතියේ පොළොන්නරුවේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සහල් මිල ප්‍රකාශයට පත් කළහ. ඒ ආණ්ඩුව කළින් ප්‍රකාශයට පත්කර තිබූ පාලන මිලට වඩා බෙහෙවින් ඉහළ මිලකි. ඔවුන් එතැනින් නොනැවතී ගොවීන්ගේ වී වලට ද මිලක් නියම කළේ ආණ්ඩුවේ මිල ගණන්වලට වඩා ඉහළ මිලක් දෙන බවට ප්‍රකාශ කරමිනි.


යුගදනවි ගිවිසුමට එරෙහි හවුල් පක්ෂ


කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ගිය සතියේ ද දේශපාලන කරලියේ කතාබහ ඇති විය. ආණ්ඩුවේ එම ක්‍රියාමාර්ගයට එරෙහිව ආණ්ඩුවේම හවුල්කාර පක්ෂ කිහිපයක් විරෝධයක් ආරම්භ කර වෙනම රැස්වී සාකච්ඡා කර අනතුරුව අගමැතිවරයා ද හමුවිය. ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමය. ඇමෙරිකාවට ගිය ජනාධිපතිවරයා ගිය සතියේත් නොපැමිණි නිසා, ජනාධිපතිවරයාගේ සාකච්ඡාවක් ඉල්ලා යැවීමට සූදානම් කර තිබූ ලිපිය ද ජනාධිපතිවරයාට තවමත් යවා නැත. ඔවුන් ජනාධිපතිවරයාට යැවීමට කල්තියාම ලිපිය සකස් කර තිබූ නමුත් එම ලිපිය ද කරුණු කිහිපයක් ඇතුළත් කර සංශෝධනය කළ බව පක්ෂ නායකයෙක් සඳහන් කළේය.


ආණ්ඩුවේ හවුල් පක්ෂවල නායකයන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අනිද්දා (05) වෙනම රැස්වීමක් පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාව සහ යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කරන ආකාරය ගැන ඔවුන් එහි දී සාකච්ඡා කර තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිතය. 
මේ අතර ගිය සතියේ බණ්ඩාරනායක ගුණ සමරුව යෙදී තිබිණි. වෙනදා උත්සවාකාරයෙන් පවත්වන එම සමරුව මෙවර චාම් අන්දමින් පවත්වන්නට සිදු වූයේ කොවිඩ් වසංගතය හේතුවෙනි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනමත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් වෙනමත් ගුණ සමරු උත්සවයට සහභාගි වූහ. ශ්‍රීලනිප නායකයන් බණ්ඩාරනායක සමාධිය අසලට උදේ දහයට රැස්වන බව දැනගත් හිටපු ජනාධිපතිනිය සිය සහෝදරිය සමඟ කල් වේලා ඇතිව පැමිණ මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වූවාය. ඇය එතනින් පිටව ගියේ ශ්‍රීලනිපයේ වත්මන් නායකයන්ට ද දැඩි විවේචනයක් එල්ල කරමිනි. අනතුරුව අලු‍ත් පක්ෂයක් පිහිටුවා ගෙන සිටින කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ද තවත් පිරිසක් සමග පැමිණ පුෂ්පෝපහාර දැක්වීය.


චන්ද්‍රිකාත් වෙල්ගමත් පිටව ගිය පසු ශ්‍රී ලනිපයේ නායකයෝ එහි පැමිණියහ. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ශාන් විජයලාල් ද සිල්වා, සරත් ඒකනායක, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ, මෙම උත්සවයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලු‍ත් ජවයකින් ඉදිරියට පැමිණෙන බවය.


රටට ආදායම් ​උපයන හැටි කියන්න මන්ත්‍රී කණ්ඩායමක්


ඉදිරි වසරේ අයවැය සැකසීම මේ දිනවල සිදුවෙයි. එහෙත් වෙනදාට වඩා අයවැය යෝජනාවලියෙන් ආදායම් උපැයීම අර්බුදයක් වී ඇති බව නිසැකය. එයට හේතුව කොවිඩ් අර්බුදය හා රජයේ විවිධ ප්‍රතිපත්ති හේතුවෙන් ආදායම් මාර්ග වැසී තිබීමය. මේ හේතුවෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආදායම් ඉපැයීම සඳහා විවිධ මාර්ග සලකා බලමින් සිටියි.


විශාල ප්‍රමාණයේ වියදම් සිදුවන ආයතන පහළොවකින් වියදම් අඩුකර ආදායම් ඉහළ නැංවීමේ ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දෙනෙකු ගෙන් යුතු කමිටුවක් ඉකුත් සඳුදා පත් කරන ලද්දේ මේ සඳහාය.


දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලන්කන් එයාර්ලයින්, රේගුව, සමෘද්ධි දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඒ ආයතන අතර වෙයි.


ෂෙහාන් සේමසිංහ, ශාන්ත බණ්ඩාර, මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහාචාර්ය චරිත හේරත් ආචාර්ය ගුණපාල රත්නසේකර, මධුර විතානගේ, නිපුණ රණවක, ගාමිණී වගේබොඩ, සංජීව එදිරිමාන්න, ප්‍රමිත තෙන්නකෝන්, සහන් ප්‍රදීප් එම මන්ත්‍රීවරු වෙති. මෙම කමිටුව සිකුරාදා ද පාර්ලිමේන්තුවේ දී රැස්වී ආදායම් වැඩි කිරීම සඳහා ගතහැකි පියවර සලකා බැලුවේය. දුම්රියේ හිස් ඉඩම් වලින් ප්‍රයෝජනයක් ගැනීම සුරාබදු දෙපාර්තමේන්තුවේ වියදම් අඩුකර දැනට වඩා වැඩි ආදායමක් ලබා ගන්නා ආකාරය මෙහි දී විශේෂයෙන් සලකා බැලුණි.


සජිත් ගමට යයි


විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන් පසුගිය දිනවල දී ක්‍රියාත්මක කළේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීය. කොරෝනා ව්‍යාප්තියත් සමග කොළඹ සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණි. එහෙත් පසුගිය සතියේ දී නැවත වරක් ගමේ පිහිටි රෝහලටම යමින් විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබුණි.
ඒ අනුව පානම සහ පොතුවිල් රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ප‍්‍රදේශවලටම ගියේය. එහි ගිය ඔහුට ප‍්‍රදේශවාසීන් පැමිණ කීවේ ප‍්‍රදේශයේ සිදුවන ඉඩම් කොල්ලකෑම් පිළිබඳවය.


‘‘පානම රාගම්වෙල ගම්මානයේ ඉඩම් කොල්ලයක් වෙනවා’’ ජනතාව සජිත්ට තමන්ගේ ප‍්‍රදේශයේ ගැටලු‍ ගැන කියන්නට වූහ.


‘‘ඔය ඉඩම් කොල්ලය ගැන මම සොයා බලන්න එනවා’’ යැයි කී සජිත් පානම ශ්‍රී බෝධිරුක්කාරාමයට පැමිණියේය. පානම ශ‍්‍රී චන්ද්‍රරත්න නායක හිමියන් හමු වූ සජිත් ඉඩම් කොල්ලය ගැන වැඩිදුරටත් කරුණු සොයා බැලු‍වේය.


‘‘දේශපාලන බලය තිබූ පලියට මුදල් තිබුණ පලියට මේ ඉඩම් කොල්ලය කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්න බෑ. කැලෑ නීතිය අතටගෙන සිදුකරන මේ කොල්ල කෑමට එරෙහිව ගත යුතු සහ ගත හැකි සියලු ක්‍රියා මාර්ග අපි අරගන්නවා ’’සජිත් සහතිකයක් දුන්නේය.

 


 

 

 

ඉඩම් කොල්ලයට ඉඩ දෙන්නේ නෑ

 

 

 



සජිත්ගෙන් මාධ්‍යවේදීන්ට හයියක්


සුදුලූනු වංචාව සම්බන්ධයෙන් පුවත්පත්වල පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට පුවත්පත් කර්තෘවරුන් කිහිප දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම ගැන සජිත්ට කල් ඇතිවම තොරතුරු අනාවරණය වී තිබුණේය.


විපක්ෂ නායක මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ගෙන් මේ ගැන තොරතුරු විමසූ ඔහු පුවත්පත් කතුවරුන් වෙනුවෙන් ගත හැකි පියවර ගැන අවධානය යොමු කළේය.


‘‘රටේ සිදුවන දූෂණ වංචා ගැන කරුණු හෙළිදරව් කිරීම මාධ්‍යයේ වගකීමක්. එහෙම හොරකම් එළිදරව් කළාම ඒ අය ඉලක්ක කරගෙන ඔවුන්ට තර්ජනය කිරීමට කිසිම ඉඩක් දෙන්න බෑ. එහෙම තර්ජනය කරන්න කිසිම අයිතියක් නෑ’’ සජිත් දැඩි ස්ථාවරයක සිටියේය.


‘‘දැන් මේ විදියට බලපෑම් කරන්නේ තොරතුරු දැන ගැනීමේ පනතත් සක්‍රීය වෙලා තියෙන වෙලාවක. තොරතුරු හෙළිදරව් කිරීම වෙනුවට තොරතුරු යට ගැසීමට තමයි මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ’’ මාධ්‍යවේදීන් සමග දුරකතනයෙන් කතා කර ඒ ගැන තොරතුරු විමසා තිබූ ඉමිටියාස් බාකීර් මාකර් මන්ත‍්‍රීවරයා සජිත්ට කීවේය.


‘‘මේ මාධ්‍යවේදීන්ට නීතීඥ සහාය අවශ්‍ය නම් අපි ඒ සහාය ලබා දෙමු. අපි පක්ෂයේ නීතීඥ කණ්ඩායම ඒ සඳහා සූදානම් කරමු. ඕනෑ නීති සහායක් ලබා දෙන්න කියලා මම ඔවුන්ට උපදෙස් දෙන්නම්’’ සජිත් ඉමිටියාස්ට කීවේය.


ආණ්ඩුව කොරෝනා ප‍්‍රභේදවලට අත වනන හැටි


සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම මේ සතියේදීත් සූම් ක්‍රමය ඔස්සේ රටේ පවතින තත්ත්වය ගැන සාකච්ඡා කළේය. ජනාධිපතිවරයාගේ ඇමරිකානු සංචාරය ගැන කාගේත් අවධානය යොමුවුණේය.
‘‘ජනාධිපතිවරයාට ඇමරිකාවේ දී ආරක්ෂාව දෙන්නේ ඇමරිකානු ආරක්ෂක අංශයක්ලු‍’’ ජේ.සී. අලවතුවල මන්ත‍්‍රීවරයා තමන්ට ලැබුණ තොරතුරක් කීවේය.


‘‘ජනාධිපතිවරයා ගමේ ගිහින් කියලා තමයි දැන් අපේ ගම්වල අය නම් කියන්නේ. ජනාධිපතිවරයා ගමේ ගිහින් යුගදනවි බලාගාරයත් ඇමරිකාවටම දීලා’’මුජිබර් රහුමාන් මන්ත‍්‍රීවරයා කීවේය.


‘‘බලාගාරය විකුණන්න මහ රෑ දොළහට ගිවිසුම් අත්සන් කළා විතරක් නෙමෙයි. ලැජ්ජා නැතිව ඒක සාධාරණීකරණය කරන්න ඇමැතිවරුත් එළියට එනවානේ’’ ගයන්ත කරුණාතිලක පැවසුවේය.
මේ අතර ගුවන්තොටුපළේ පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු නතර කිරීම ගැනත් මන්ත‍්‍රීවරුන්ගේ අවධානය යොමුවිය.


‘‘ගුවන්තොටුපළ හරහා එන හැමෝගේම පී.සී.ආර්. පරීක්ෂණ කරලා පැය තුනෙන් ප‍්‍රතිඵල දෙන ක්‍රමවේදයක් ආරම්භ කළාට ඒක එකපාරම නතර කරලා. අලු‍ත් වෛරස් ප‍්‍රභේද රට ඇතුළට එන එක වළක්වන පියවර තමයි මේ අය නතර කරන්නේ’’ රාජිත සේනාරත්න තමන්ට ලැබුණ තොරතුරක් ගැන කීවේය.
‘‘කොරෝනා පටන් ගත්ත කාලේ ගුවන්තොටුපල හරහා වෛරස් එන එක වළක්වන මැෂින් හයි කරලා තියෙනවා කිව්වා. එහෙම මැෂින් එකක් තිබුණේ නෑ. දැන් පී.සී.ආර්. එකත් නතර කිරීම විහිළුවක්’’ රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේය.


‘‘විදේශ රටවල සිට අලු‍ත් වෛරස ප‍්‍රභේද රට ඇතුළට එන එක වළක්වන්න ගන්න පුලු‍වන් සියලු‍ම ක්‍රියාමාර්ග ගත යුතුයි’’ සජිත් අවධාරණය කළේය.


මේ අතර සහල් මිල පාලනය ගැනත් සියල්ලන්ගේම අවධානය යොමු වු​ණේය.


‘‘මේ ආණ්ඩුව ඉතිහාසයේ නොකරපු වැඩ කරපු ආණ්ඩුවක් විදියට ඉතිහාස ගත වෙනවා. ඉස්සරහට යනවා වෙනුවට රිවස් එකේ ගිහින් වාර්තා තියනවා. ඉතිහාසයේ පළමු වතාවට ව්‍යාපාරිකයන්ට රටේ සහල් මිල නිවේදනය කරන්නත් අවස්ථාව දීලා තියෙනවා’’ හර්ෂ ද සිල්වා කීවේ සහල් මිල පාලනය කිරීමට පසුගිය ආණ්ඩුව කාලයේ දී ගත් පියවර ගැනත් අවධානය යොමු කරමින්ය.


‘‘කෙලින් වැඩ කරනවා කියලා කරපු බොරුව දැන් හැමෝටම පේන්න අරගෙන තියෙනවා’’මන්ත‍්‍රීවරු කීහ.


මනුෂ සමග සජිත් සී.අයි.ඩී. යයි


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාම ගැන මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමෙන් පසුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණේය. ඒ ගැන කැඳවීම ලැබුණ පසුව ඔහු සජිත්ට දුරකතනයෙන් ඒ බව දැනුම් දුන්නේය.


‘‘වහාම පක්ෂයේ නීතීඥ කණ්ඩායම කැඳවලා මේ ගැන සාකච්ඡා කරමු’’ ඒ අනුව නීතිඥ කණ්ඩායම අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.


ඒ අතරම සජිත් මන්ත‍්‍රීවරුන්ට උපදෙස් දුන්නේ මනුෂ සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට පැමිණෙන ලෙසය. විපක්ෂ නායක කාර්යාලයට පැමිණි සජිත් ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායම මනුෂ සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියෝය.


‘‘දත්ත මැකීමේ සිදුවීම ගැන ඇත්ත කියපු මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙලෙස ප්‍රශ්න කරමින් ආණ්ඩුව සැබෑ ප්‍රශ්න යට ගසන ව්‍යාපෘතියක නියැලී සිටිනවා. ජනතාවට ඇත්ත හෙළි කරන මාධ්‍යවේදීන්ව, පුවත්පත් කර්තෘවරුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ආණ්ඩුවක් මෙවැනි මහජන නියෝජිතයන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට කටයුතු කිරීම පුදුමයක් නෙමෙයි. ජනතාවට එන්නත ලබාදීම රටට අවශ්‍ය ඖෂධ ගෙන්වීම වැනි විද්‍යාත්මක කරුණු කාරණා ඉදිරිපත් කරන විට මිථ්‍යාව පිටුපස දිවගිය ආණ්ඩුව අසත්‍ය සහ ප්‍රෝඩාව රට තුළ ප්‍රචලිත කළා. නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වන්නේත් දත්ත මැකීමේ ක්‍රියාවලිය පිටුපස ඖෂධ මාෆියාව තිබෙන බවයි. ඔවුන් හෙළිදරව් කරන කාරණා අතිශය බරපතළයි’’ සජිත් පැවසුවේය.


හරීන් වෙනුවෙන් සජිත් කරපු දේ


සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප‍්‍රධානී හරීන් ප‍්‍රනාන්දු පසුගිය සතියේ දී පරීක්ෂණයක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණියේය. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන් කීවේ හදවත් සැත්කමකට යොමු කළ යුතු බවය.


මේ බව සජිත්ට ආරංචි වූ වහාම ඔහු වෛද්‍යවරුන්ට කතා කරමින් වෛද්‍යවරුන් සම්බන්ධීකරණය කිරීමට වහාම පියවර ගත්තේය. එක් වෛද්‍යවරයෙක් ඒ වන විට කොළඹින් පිට සිටි අතර ඔහුට කතා කළ සජිත් ඉක්මනින් කොළඹ එන්නැයි ඉල්ලා සිටියේය. වහාම එම වෛද්‍යවරයා කොළඹ පැමිණ හරීන්ගේ තත්ත්වය ගැන සොයා බැලු‍වේය.


‘‘හරීන්ට බරපතළ තත්ත්වයක් නැහැ. දැන් සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කරලා පරීක්ෂණ කටයුතු කරනවා’’ වෛද්‍යවරු සජිත්ටත් හරීන්ගේ තත්වය ගැන පැහැදිළි කළහ.


‘‘හදවත් සැත්කමක් කරනවා කියන්නේ තවත් අවුරුදු දහයකින් විතර තරුණ වෙනවා කියන එකයි’’ සජිත් කීවේ සියලු‍ දෙනාගේම ආශිර්වාදය හරීන්ට ඇති බව සිහිපත් කරමිනි.


පළාත් සභා ඡන්දයට එජාපය සූදානම් වෙයි


මාසයක කාලයක් තුළ තම තමන්ගේ ප්‍රදේශවල පක්ෂයේ සංවර්ධනයට කර ඇති සේවාවන් ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ පක්ෂයේ ක්‍රියාකාරීන්ට උපදෙස් දුන්නේය.


ඉදිරි පළාත් සභා මැතිවරණය මූලික කරගනිමින් ප්‍රාදේශීය මට්ටමින් හා ඡන්දපොළ මට්ටමින් තම තමන්ගේ ප්‍රදේශ තුළ පක්ෂ සංවිධාන කටයුතු කඩිනමින් හා විධිමත්ව සිදු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.


මේ අවස්ථාවට පක්ෂයේ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, අකිල විරාජ් කාරියවසම්, සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු වූ පක්ෂයේ ප්‍රධානීහු කිහිප දෙනෙක්ම සහභාගි වූහ. මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ක්‍රියාකලාපය පිළිබඳව පක්ෂයේ ක්‍රියාකාරීන් දැනුවත් කර ඇති අතර ඒ පිළිබඳව හැකිතාක් දුරට පක්ෂ සාමාජිකයන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසට ද උපදෙස් දුන්නේය.


මීට අමතරව ‘සූම්’ තාක්ෂණය ඔස්සේ විවිධ පුද්ගලයන් සමග සාකච්ඡා කළ රනිල් වික්‍රමසිංහ මහතා පවතින තත්ත්වය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළේය.


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් සඳහා එක්සත් ජාතික පක්ෂය මගින් සංවිධානය කරන ලද නැණ සත්කාර පදනම නම් වැඩපිළිවෙළ යටතේ පළමුවැන්න ගිය සතියේ දී ආරම්භ විය. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ මෙහෙයවීම මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක විය.
ඔන්ලයින් ක්‍රමය යටතේ පැවැත්වෙන මෙම වැඩපිළිවෙළේ පළමු විෂය වූයේ ගණිතයයි. කිත්සිරි ලියනගේ මහතා විසින් එම විෂය උගන්වන ලදී. මෙම විෂය හැදෑරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්සියයකට ආසන්න පිරිසක් පළමු අවස්ථාවේම සහභාගි වීම නියෝජ්‍ය නායකවරයාගේ ප්‍රසාදයට හේතුවක් විය.


මෙම අධ්‍යාපන වැඩසටහන සතියට දවස් දෙකක් පැවැත්වීමට රුවන් විජයවර්ධන මහතා තීරණය කළේය. ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි සහ සිංහල යන විෂයයන් ඉගැන්වීම සඳහා දක්ෂ ගුරු පිරිසක් යෙදවීමට රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේ දී පියවර ගෙන තිබුණි.


විභාගය අවසන් වන තුරුම මෙම අධ්‍යාපන වැඩසටහන පවත්වන ලෙසට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රුවන් විජයවර්ධන මහතාට උපදෙස් දී ඇත.


මීට අමතරව ගිය සතියේ දී සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ ක්‍රියාකාරීන් කිහිප දෙනකු සමග ද සාකච්ඡා කළ රුවන් විජයවර්ධන මහතා රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙසින් ඔවුන්ගේ අවධානය යොමු කරනු ලැබීය.

 

 

-ගජබා-