සහල් සෙවූ ආණ්ඩුවේ මෙහෙයුම


සහල් සහ සීනි සම්බන්ධයෙන් ආණ්ඩුව පසුගිය කාලය පුරා ගැසට් නිවේදන ගණනාවක් නිකුත් කළේ, ඒවාට පාලන මිලක් නියම කරමිනි. ඇතැම් විට ඒවායේ මිල ගණන් ද වරින් වර වෙනස් කරනු ලැබීය. ඒ කොයි උත්සාහය දැරුව ද අවසානයේ සිදු වූයේ එම ගැසට් නිවේදන තවත් ලේඛන ගොඩක් බවට පත්වීම පමණි. සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යාම හමුවේ ආණ්ඩුවට ජනතාවගෙන් එල්ලවන පීඩනය ද සුළුපටු නොවීය. මේ තත්ත්වය හමුවේ සහල්, සීනි ආදිය සම්බන්ධයෙන් ගැසට් නිවේදන නිකුත් කිරීමට පමණක් සීමා නොවී හදිසි නීති ක්‍රියාමාර්ග ද අනුගමනය කරන්නට ආණ්ඩුව තීරණය කළේ ඉවසා බැරිම තැනය.


ඉකුත් සතියේ පැවැති කැබිනට් රැස්වීමේ දී ද වැඩි අවධානය යොමු වූයේ හාල් ප්‍රශ්නය සම්බන්ධයෙනි. කොරෝනා අවදානම හේතුවෙන් මෙවර ද කැබිනට් රැස්වීම සඳුදා හැන්දෑවේ පැවැත්වුණේ ‘සූම්’ තාක්ෂණය ඔස්සේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට ඊට සම්බන්ධ වූ අතර, සෙසු ඇමැතිවරු අමාත්‍යාංශ කාර්යාලවල හා සිය නිවෙස්වල සිට ඊට සම්බන්ධ වූහ. රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ පැවැති නිසා, කොවිඩ් වැළඳුණු ඇතැම් ඇමැතිවරු ද නිරෝධායනයේ සිටින ඇමැතිවරු ද සිය නිවෙස්වල සිටම කැබිනට් රැස්වීමට සම්බන්ධ වූහ. වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම, වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ ඒ අතරින් කිහිපදෙනෙකි. කොවිඩ් වැළඳී සිටි බන්දුල ගුණවර්ධන රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව වී ගිය සතියේ නිවෙසට පැමිණියේය. හාල් සහ සීනි ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩි වගකීමක් ඔහුට පැවැරී තිබුණේ ඔහු වෙළෙඳ ඇමැතිවරයා ද වන බැවිනි.


හාල් සහ සීනි ප්‍රශ්නය සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ද විමසීමක් කළේය. “සීනි ප්‍රශ්නෙ නම් විසඳිලා තියෙන්නේ. පාරිභෝගික අධිකාරිය වැටලීම් කරලා, හංගලා තිබුණු සීනි තොග හොයා ගත්තා. ඒවා දැන් රජයෙන් නියම කළ උපරිම සිල්ලර මිලට අලෙවි වෙනවා. එහෙත් හාල් සම්බන්ධයෙන් තවම ගැටලු‍වක් තියෙනවා”‍ යැයි බන්දුල කීවේය. කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලු‍ත්ගමගේ කිව්වේ, මහා පරිමාණ වී මෝල් හිමියන් පාලන මිලට සහල් දීමට කොළඹ පැවැති සාකච්ඡාවලදී එකඟ වුවත්, ඔවුන් එම මිල ගණන්වලට වෙළෙඳපොළට සහල් නිකුත් නොකරන බවය. එබැවින්, ආණ්ඩුව මේ සඳහා දැඩි ක්‍රියාමාර්ගයකට යොමු විය යුතු බව මහින්දානන්ද කීවේය. විමල් වීරවංශ, වාසුදේව නානයක්කාර, එස්.එම්. චන්ද්‍රසේන, මහින්ද අමරවීර, රෝහිත අබේගුණවර්ධන ඇතුළු ඇමැතිවරු කිහිපදෙනෙක් ද මේ ගැන අදහස් දක්වන්නට වූහ. මහා පරිමාණ වී මෝල් හිමියන් රජයේ මිලට සහල් අලෙවි නොකරන්නේ නම්, ඒවා වෙළෙඳපොළට ලබාගැනීමේ ක්‍රමවේදයකට යා යුතු බව ඔවුහු කියා සිටියහ. “සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා තබා ගැනීම, අධික මිල ගණන්වලට අලෙවි කිරීම තහනම් කරමින් අපි හදිසි නීති රෙගුලාසි පනවලා තියෙනවා. මෝල් හිමියන් වෙළෙඳපොළට සහල් නිකුත් කරන්නේ නැති නම් හදිසි නීති රෙගුලාසි යටතේ හරි ඒවා වෙළෙඳපොළට නිකුත් කරන්න පියවර ගන්න” ජනාධිපතිවරයා වෙළෙඳ ඇමැතිවරයාට උපදෙස් දුන්නේය.
සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය විසින් හදිසි නීති රෙගුලාසි යටතේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් ද පත් කරනු ලැබීය. ඒ, විශ්‍රාමික මේජර් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතාය. බන්දුල පහුවදා උදේම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා, පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා හා ආහාර කොමසාරිස්වරයා සම්බන්ධ කරගනිමින් සූම් තාක්ෂණය ඔස්සේ මේ ගැන වෙනම සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී තීරණය වූයේ, සතොස හා ආහාර දෙපාර්තමේන්තුව සතු ලොරි රථ පොළොන්නරුවට රැගෙන ගොස් මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් සහල් රැගෙන සතොසට ලබාදෙන්නටය. බදාදා දිනයේ පොළොන්නරුවට ගොස් මහා පරිමාණ සහල් මෝල් වැටලීම් සිදු වූයේ එහිදී ගත් තීරණයකට අනුවය. ආණ්ඩුව ගත් මේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහල් මෝල් හිමියන්ගේ කිසිදු ප්‍රසාදයක් ද නොවීය. සහල් මෝල් එකක දී පමණක් ඊට විරෝධය පළ වුවත් අනෙකුත් මෝල්වල දී ඊට බාධා එල්ල නොවූයේ ඔවුන් රජයේ නීතියට එකඟ වන බව ප්‍රකාශ කිරීම හේතුවෙනි.


 

 

ඉතාලි සංචාරයට අගමැති පිටව යයි

 

 

 



සහල් ප්‍රශ්නයට ආණ්ඩුව එසේ විසඳුම් සොයද්දී ආණ්ඩුව මුහුණ දී ඇති ඊළඟ ගැටලු‍ව වන්නේ ඩොලර් හිඟයයි. කොවිඩ් අර්බුදය හමුවේ රටේ ආර්ථිකය ද බරපතළ ගැටලු‍වකට මුහුණ දී තිබෙන අතර, විදෙස් සංචිත ප්‍රමාණය ද ශීඝ්‍රයෙන් අඩු වෙමින් තිබේ. ඊට බරපතළ ලෙස බලපා ඇත්තේ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම සහ මැදපෙරදිග රැකියාවල නිරතවූවන්ගෙන් ලැබෙන ඩොලර් ආදායම් අහිමි වීමය. මේ තත්ත්වය හමුවේ විදෙස් සංචිත අර්බුදයට විසඳුමක් ලෙස මහ බැංකුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623ක ආනයනය සීමා කරමින් ගිය බ්‍රහස්පතින්දා නව නියෝගයක් නිකුත් කළේය.


මේ අතර, ආණ්ඩුව මේ දිනවල ලබන වසර සඳහා වන අයවැය සකස් කිරීමේ කටයුතු ද ආරම්භ කර තිබේ. මෙවර අයවැය සකස් කිරීම බරපතළ ගැටලු‍වක් වී ඇත්තේ ආර්ථිකයේ සිදුව තිබෙන දරුණු කඩාවැටීම හේතුවෙනි. මුදල් ඇමැතිවරයා ලෙස අලු‍තින් පත්වූ බැසිල් රාජපක්ෂ මහතා ද දිවා රෑ වෙහෙසෙමින් මේ තත්ත්වය සමනය කරගැනීමට උත්සාහ දරමින් සිටී. ඔහු මෙවර අයවැය සඳහා විවිධ පාර්ශ්වවල අදහස් හා යෝජනා ද ගනිමින් සිටින්නේ සාධනීය පියවරකට ආර්ථිකය තල්ලු‍ කිරීමේ අපේක්ෂාවෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන්ගේ අදහස් හා යෝජනා ගැනීමේ සාකච්ඡාවක් ඉකුත් බ්‍රහස්පතින්දා උදේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, සරත් වීරසේකර, රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරු ද ඊට සහභාගි වූහ. ග්‍රාමීය මට්ටමේ සංවර්ධන කටයුතු ගැන ද සාකච්ඡා වූ මේ හමුවේ දී බැසිල් මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කළේ, සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පක්ෂයේ බලමණ්ඩල කැඳවා රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරන ලෙසය. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත දසදහසේ බඩු මල්ල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළහ. නිරෝධායනය වන පවුල් සඳහා ලබාදුන් දසදහසේ බඩු මල්ල අඩු ආදායම්ලාභීන්ට පමණක් සීමා කිරීම නිසා ඇඟලු‍ම් කම්හල්වල සේවය කරන සේවක සේවිකාවන් පවා ගැටලු‍වකට පත්ව ඇති බව ඔවුහු කියා සිටියහ. ඔවුන් නිරෝධායනය වීමේදී ඔවුන්ට ආදායම් මාර්ග අහිමි වීම නිසා ජීවත් වීමේ ගැටලු‍වක් පැන නැගී ඇති බව එම දෙදෙනා කියා සිටියහ. ඊට පිළිතුරු දුන් බැසිල් කිව්වේ, “අපි එහෙම නතර කරන්න කියලා නෑ. නමුත් මේක මෙහෙම නතර කරන්න සිද්ධ වුණේ සමහර තැන්වල නිරෝධායනය වන ඇමැතිවරුන්ගේ ගෙවල්වලටත් දසදහසේ බඩු මල්ල ගෙනැවිත් දී ඇති නිසා” බවය. එහෙත්, ඒ ඇමැතිවරුන් ඒවා බාර නොගෙන ආපසු හරවා යවා ඇති බව ද ඔහු කීවේය. “අපි අවශ්‍යම අයට ඒක ලබාදෙන්න පියවර ගන්නවා”‍ ඔහු කීවේය.


දිනේෂ් නිමල්ට පුටුව දෙයි


මැතිවරණ ක්‍රම සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව දේශපාලන පක්ෂවල යෝජනා හා අදහස් ලබාගැනීමට ගිය සතියේ ද අවස්ථා කිහිපයක දී රැස් විය. ඒ, එහි සභාපති දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. කාරක සභාවේ සාමාජිකයකු වන නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා ද ඊට සහභාගි වී සිටියේය. කාරක සභාවේ රැස්වීම ආරම්භ කළ දිනේෂ්, “මම සභාපති හැටියට මූලාසනය දැරුවාට අද මම වෙනත් කෙනකු මූලාසනයට කැඳවනවා”‍ යැයි කීවේය. එසේ කී දිනේෂ්, අසල සිටි නිමල් සිරිපාලට මූලාසනයට එන්නැයි ආරාධනා කළේය. නිමල් එහි ඉඳගන්නවාත් සමඟම දිනේෂ් කීවේ, “අද නිමල් ඇමැතිතුමාගේ උපන්දිනේනේ. අපි එතුමාට සුබ පතනවා”‍ යනුවෙනි. එසේ කියමින් දිනේෂ්, නිමල්ට මූලාසනය දී වෙනත් කටයුත්තකට පිටව ගියේය.


සංචාරකයන් හොයන්න ප්‍රසන්න රුසියාවට යයි


මෙරට ආර්ථිකයට ලොකුම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, කොරෝනා අර්බුදයත් සමඟ සංචාරක කර්මාන්තය බිඳවැටීමෙනි. එන්නත්කරණ වැඩපිළිවෙළත් සමග සංචාරකයන් ගෙන්වා ගැනීමට ආණ්ඩුව මේ වනවිට උත්සාහයක නිරත වී සිටී. එහි ප්‍රමුඛම කාර්යභාරය පැවැරී ඇත්තේ සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංගටය. ඔහු ගිය සතියේ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ද සමඟ රුසියාවට ගියේ, මෙරට සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් එරට කෙරෙන ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වීමේ අපේක්ෂාවෙනි. එහි ගිය ප්‍රසන්න එරට නිලධාරීන් රැසක් ද හමු වී මෙරට සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, රුසියානු මාධ්‍යවේදීන් ද කැඳවා ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් දැනුවත් කළේය. මෙරට ජනතාව එන්නත්කරණය කර සංචාරක ව්‍යාපාරය සඳහා රට විවෘත කැර ඇතැයි කී ප්‍රසන්න, මේ රටට එන්නැයි රුසියානුවන්ට ආරාධනා කළේය.


මේ අතර, ගිය සතියේ දේශපාලන කරළියේ පැතිර ගිය ආරංචියක් වූයේ, මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී මහ බැංකු අධිපති ධුරයට නැවත පත්වීමේ සූදානමක් පවතින බවය. මහ බැංකු අධිපති ධුරය හොබවන මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ඉන් ඉවත්ව, ලෝක බැංකුවේ තනතුරක් සඳහා පිටත්ව යාමට නියමිත බව ද වාර්තා විය. අජිත් කබ්රාල් ද හිටපු මහ බැංකු අධිපතිවරයෙකි. මේ ආරංචිය සම්බන්ධයෙන් ඔහුගෙන් කළ විමසීමේදී දී ඔහු දුන්නේ අපූරු පිළිතුරකි. “මම ඒක තහවුරු කරන්නෙත් නෑ, ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.” කබ්රාල්ගේ පිළිතුර විය.


නීලිකාගෙන් සමාව ගත් ඩලස්


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය නීලිකා මලවිගේ මෙරට කොරෝනා මර්දන වැඩපිළිවෙළට අසීමිත දායකත්වයක් දැක්වූ මහාචාර්යවරියකි. ඇය කළ ප්‍රකාශයක් විකෘති කර ඇතැම් මාධ්‍යවල පළ කිරීම සම්බන්ධයෙන් ඇය සිටියේ බලවත් කළකිරීමෙනි. ඇය ඒ බව සිය ෆේස්බුක් ගිණුමේ ද සඳහන් කර තිබිණි. එය දුටු ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා මාධ්‍ය සගයන්ගෙන් සිදු වූ වරදට සමාව අයැද සිටියේ ජනමාධ්‍ය ඇමැතිවරයා ද වශයෙනි.


අගමැති ඉතාලියට


අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා පෙරේදා අලු‍යම ඉතාලිය බලා පිටත්ව ගියේ, විදේශ ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද සමඟය. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් ඇතුළු තවත් කිහිපදෙනෙක් පමණක් ඊට සහභාගි වූහ. අගමැතිවරයාගේ සංචාරයේ අරමුණ ඉතාලියේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වීමය. අගමැතිවරයා මෙම සංචාරයේදී වතිකානයට ගොස් පාප් වහන්සේ බැහැදකින්නට යන බවට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ප්‍රකාශ කර තිබුණත්, අගමැති කාර්යාලයත්, විදේශ අමාත්‍යාංශයත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. අගමැතිවරයා ඉතාලි අගමැතිවරයා ද හමුවීමට නියමිතය. මේ සංචාරයෙන් පසු අගමැතිවරයා කොළඹ බලා ඒමට නියමිත අතර, ජී.එල්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට සහභාගි වීමට නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යනු ඇත.


හදිසි නීතියට විපක්ෂයෙන් චෝදනා


සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම මේ සතියේ ද පැවැත්වු​ණේ සූම් ක්‍රමයටය. රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, ගයන්ත කරුණාතිලක සහ අශෝක අබේසිංහ යන මන්ත‍්‍රීවරු කල් ඇතිවම රැස්වීමට එක්ව සිටියහ. අශෝක අබේසිංහ මන්ත‍්‍රීවරයා එයට එක්ව සිටියේ ලස්සන කමිසයක් ඇඳගෙනය.
“අශෝක අද මගුල් ගෙදරක යන්නද ලෑස්තිවෙලා ඉන්නේ?” අශෝක අබේසිංහ මන්ත‍්‍රීවරයාගේ කමිසය දුටු සරත් ෆොන්සේකා ඇසුවේය.


“නෑ... නෑ... මම මේ මීටිං එකට තමයි ආවේ.” අශෝක පිළිතුරු දුන්නේය.


“ඉතිං සූම් මීටිං එකක්නේ තියෙන්නේ.” ෆොන්සේකා සිහිපත් කළේය.


“අසෝක ඉතිං ගෙදරටත් ලස්සනට ඇඳලනේ ඉන්නේ.” ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයාත් කතාවට එක්විය.
“මම ඉතිං ලස්සනට කොල්ල වගේ ඇඳලා ඉන්නවනේ.” අශෝක කීවේය.


“ඒක නිසා තමයි අසෝකට නෝන වැඩිය ගෙදරින් එළියට යන්න දෙන්නේ නැත්තේ.” ෆොන්සේකා කීවේ සියල්ලන්ම සිනා ගන්වමිනි.


ඒ අතරම මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරත් සාකච්ඡාවට ආවේය.


“මේ ඉන්නේ අනිත් කෙනා.” ෆොන්සේකා කියන විට මහලේකම්වරයාත් මොකක්ද කියන්නේ කියා වටපිට බලන්නට විය.


“ඔබතුමාටත් වැඩිය එළියට යන්න දෙන්නේ නෑලු‍නේ. ලස්සනට ඉන්න නිසා නෝන යන්න දෙන්නේ නෑ කියන්නේ.” ෆොන්සේකා කියන විට සියල්ලෝම සිනාසෙන්නට වූහ.


මේ විහිළු කතාබහ අතරේ සියලු‍ දෙනාම ‘සූම්’ සාකච්ඡාවට ඇතුළුවූයේ සූම් සාකච්ඡාවලදී විඳින්නට සිදුවන අකරතැබ්බ ගැන ද සිහිපත් කරමිනි.


ඇතැම් විට සමහරුන්ට තමන්ගේ මයික්‍රෆෝන නිහඬ කරගැනීමට අමතක වන අතර එවිට ගෙදර සියලු‍ දෙනාම කතා කරන දේවල් අනෙක් අයටද ඇසෙන්නේය. බොහෝ විට මේ අකරතැබ්බයට මුහුණ දෙන්නේ තුෂාර ඉඳුනිල් මන්ත‍්‍රීවරයාය.


මේ සතියේ මන්ත‍්‍රී කණ්ඩායමේදී වැඩි අවධානයක් යොමුවූයේ සතියේ පාර්ලිමේන්තු කටයුතු කෙරෙහිය. ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු සතිය දින දෙකකට සීමා කළත් ඒ දින දෙකේදී විවාදයට ගන්නා යෝජනා බරපතළ බව සියල්ලන්ගේම අදහස විය.


ආරම්භයේදීම විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හදිසි නීතිය ගැනත්, බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ මූල්‍ය පනත් ගැනත් මන්ත‍්‍රීවරුන්ට අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදුන්නේය.


“ආහාර සම්න්ධයෙන් කටයුතු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පනත තියෙනවා. ආපදා කළමනාකරණ පනත තියෙනවා. මේවාට සියලු‍ම ප‍්‍රතිපාදන තිබියදී හදිසි නීතිය ගේන්න හදනවා. හදිසි නීතිය ගෙන ඒම පිටුපස තියෙන්නේ ඒකාධිපතිත්වයකට යාමයි.” සජිත් කීවේය.


“මේකට සැරට දැනෙන දෙයක් අපි කරන්න ඕනෑ.” හර්ෂණ රාජකරුණා යෝජනා කළේය.
“ඒ නිසා තමයි අපි මේ කණ්ඩායම් රැස්වීම දැනුවත් කිරීමට කටයුතු කරන්නේ.”
සජිත් කීවේ සූම් හමුවට එක්ව සිටි නීතිඥ පිරිස හඳුන්වා දෙමිනි.


ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන සහ සුරේන් ප‍්‍රනාන්දු මෙම පනත් දෙකේ ඇති නීතිමය ගැටලු‍ ගැන දීර්ඝ විග‍්‍රහයක් කළහ.


“වෙළෙඳුන් අත්‍යවශ්‍ය ආහාර හංගාගෙන ඉන්නවා නම් ඒවා ගැන අනාවරණය කරගැනීමට හදිසි නීතිය අවශ්‍ය වෙන්නේ නෑ. පාරිභෝගික කටයුතු අධිකාරි පනත අනුව තොග සඟවාගෙන ඉන්න අයට දඬුවම් කරන්න පුළුවන්. ඒ වගේම ආපදා කළමනාකරණ පනතේ බලතල අනුව කොවිඩ් මර්දනයට අවශ්‍ය පියවර ගන්න පුළුවන්.” සජිත් ව්‍යවස්ථාවේ තත්ත්වය ගැන ද පැහැදිලි කළේය.


“මේ ආණ්ඩුව ෆේල් වෙන එක වහගන්න එක එක දේවල් කරනවා. මෙච්චර කල් වැඩ කරන්න බැරි වුණේ හදිසි නීතිය නැති නිසා කියලා පෙන්වන්නද කොහෙද තමයි දැන් හදිසි නීතිය අරගෙන ඇවිත් තියෙන්නේ.” එස්.එම්. මරික්කාර් පැවසුවේය.


“මේ අය ෆේල් වෙන එක වහගන්න මොනවද නොකළේ. තුනෙන් දෙකක් නැතිව වැඩ කරන්න බෑ කිව්වා. විසි වැනි සංශෝධනය නැතිව බෑ කිව්වා. බැසිල් නැතිව බෑ කිව්වා. දැන් හදිසි නීතිය නැතිව බෑ කියනවා. ඔය මොනව කිව්වත් මේ අයට බෑ තමයි.” මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා ආණ්ඩුවේ ෆේල් වීම ගැන කතා කළේය.


“දැන් මේ ආණ්ඩුව ගේන මුදල් පනතත් හරිම භයානක එකක්. මේක මුදල් විශුද්ධිකරණයට අදාළ පනතක්. මේක ගේන්නේ වෙන කිසිම එකකට නෙමෙයි, කළු සල්ලි සුදු කරන්න.” ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා පනත ගැන පැහැදිලි කළේය.


“කවුරු හරි කෙනෙක් ඇවිල්ලා නීති විරෝධීව උපයා ගනිපු මුදල් පෙන්නලා, සියයට එකක බද්දක් ගෙවලා ඒ මුදල් නීත්‍යනුකූල මුදල් කරගන්න පුළුවන්. මෙහෙම ගියොත් අපේ රට මාෆියාකාරයින්ගේ තිප්පොලක් වේවි.” ඉරාන් වික්‍රමරත්න මන්ත‍්‍රීවරයා සැක පහළ කළේය.


හදිසි නීතිය පිළිබඳව මෙන්ම මුදල් පනත සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයන් කරමින් නැවත වරක් ඒ ගැන අවධානය යොමු කළේය.


සමගි ජන බලවේගයට සහාය දැක්වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රී ධුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සජිත් පසුගිය දිනවල විශාල මැදිහත්වීමක් කළේය. ඒ අතරම පක්ෂ මහලේකම්වරයා නීති කමිටුව සමග එක්ව ඔවුන්ගේ නීතිමය කටයුතු ගැන සොයා බැලීමට අමතක කළේ නැත. නිරන්තරයෙන් මේ පිළිබඳව සජිත් සිය අවධානය යොමු කළේය.


මේ අතර හබරාදුව ආසනයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකුගේ මන්ත‍්‍රී ධුර අහෝසි කර අලු‍ත් මන්ත‍්‍රීවරුන් පත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් අධිකරණයෙන් ලබාදුන්නේය. ඒ වෙනුවෙන් පෙනී සිටීමට ගොස් සිටියේ තාරක නානායක්කාර ය. එජාප නායකයන්ට එරෙහිව වාරණ නියෝගයක් ලබාගැනීමෙන් පසු ඔහු ඒ බව දැනුම්දීමට මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට දුරකතන ඇමතුමක් ගත්තේය.


“මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රී ධුර ආරක්ෂා කරන නියෝගයක් ගන්න පුළුවන් වුණා.” තාරක කීවේය.
“ඔය සමහර අය රාජපක්ෂලා එක්ක දාපු ඩීල් නිසා මොන යටිකූට්ටු වැඩක් කරාවිද දන්නේ නෑ. ඒ නිසා නීතිය ගැන විශ්වාස කරලා, අධිකරණය ගැන විශ්වාස කරලා අපි කටයුතු කරමු.” රංජිත් මද්දුමබණ්ඩාර තාරකට කීවේය.


 

 

හදිසි නීතියට එරෙහිව විපක්ෂය දැඩි මතයක

 

 

 



විපක්ෂයේ හුස්ම ලක්ෂ අටසීය සමීපයේ


සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහන දැන් වට 25 ඉක්මවා ගොස් තිබේ. ඒ හරහා කරන ලද පරිත්‍යාග වටිනාකම දැන් ලක්ෂ 800ට ආසන්න වී තිබේ.


‘විපක්ෂයෙන් හුස්මක්’ 25 වැනි අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට රුපියල් තිස්ලක්ෂ අනූදහසක (රු. 3,090,000.00) වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කළ අතර මේ වැඩසටහන් මාලාව පිළිබඳව විශාල පිරිසක් සජිත්ට ස්තූති කළහ.


“ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙනවා. ඉතිහාසයේ බිහි වෙච්ච වැඩිම බලතල තියෙන ජනාධිපතිවරයා ඉන්නවා. මේ ආණ්ඩුවට නැති දෙයක් නෑ. එහෙම වෙලා තියෙද්දිත් ධන බලය නැති ඔබතුමන්ලා පරිත්‍යාගශීලීන්ගේ හයියත් අරගෙන මේ කරන මහා මෙහෙවර ඉතිහාසගත වෙනවා.”‍ ප්‍රකට භික්ෂූන් වහන්සේ නමක් සජිත්ට කතාකොට සුභාශිංශනය කළේය.


“අපි මේ ආණ්ඩුව කරන වැරදි වැඩවලට කොන්දේසි විරහිතව එරෙහි වෙනවා. ආණ්ඩුව විවේචනය කරන්න අපි කිසිම බයක් නෑ. මොකද අපිට ආණ්ඩුව එක්ක අංශුමාත්‍රයක ඩීල් එකක් නෑ. ඒ එක්කම අපි සම්ප්‍රදායක විපක්ෂයක් වගේ බලය එනකම් අත් දෙක පොරවාගෙන ඉන්නෙ නෑ. නූතන විපක්ෂයක් විදිහට අපි වැඩ කරනවා.”‍ සජිත් උත්තර දුන්නේය.


ඒ අතර සජිත් ඉදිරි දින කිහිපයේ දී ‘විපක්ෂයෙන් හුස්මක්’ තවත් අදියර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.


එජාප 75ට සම්මන්ත්‍රණ 75ක්


එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සමුළුව ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සාර්ථකව පැවැත්වීම ගැන බලවත් සන්තෝෂයට පත්ව සිටින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුව ගැන පසු විපරමක් පක්ෂයේ නිලධාරීන් සමඟ ඉකුත්දා පැවැත්වීය.


එහිදී සාමාජිකයන්ගේ අදහස් විමසා බැලූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කරුණු කීපයක් යටතේ ඉදිරි දිනවලදී සම්මන්ත්‍රණ 75ක් පවත්වන ලෙසට උපදෙස් දුන්නේය.


සෞඛ්‍ය, කෘෂිකර්ම, ආර්ථික හා විදේශ විනිමය යන මාතෘකා යටතේ ජනතාව දැනුවත් කිරීමට මෙම සම්මන්ත්‍රණ මාලාව ඔස්සේ කටයුතු කරන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය. එහිදී සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කර පැවැත්වීම පිළිබඳව වගකීම නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට පැවරූ අතර රජයේ වැඩපිළිවෙළ කෙරෙහි ජනතාව තුළ ඇති අදහස් විමසා බලන ලෙස ද ඉල්ලා සිටියේය.


අධිකරණමය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් කාලයක් එක්සත් ජාතික පක්ෂයට වාරණය කර තිබූ ලංකා ජාතික වතු සේවක සංගමයට යළි එක්සත් ජාතික පක්ෂය සමග නීත්‍යනුකූලව කටයුතු කිරීමට අධිකරණයෙන් බලය ලබාදී තිබුණි.


ඒ අනුව පසුගිය සතියේ එම සංගම​ෙය් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එහිදී කිරිබත් සංග්‍රහයක් පැවති අතර පිරිස කිරිබත් කා සංගමයේ වැඩ කටයුතු ආරම්භ කළහ. පැය තුනක පමණ කාලයක් සංගම් මූලස්ථානයේ රැඳී සිටි නියෝජ්‍ය නායකවරයා අනතුරුව සිරිකොතට පැමිණ අධ්‍යාපන කටයුතු සඳහා ඔන්ලයින් සේවාවක් ආරම්භ කිරීමේ සාකච්ඡාවට සහභාගි විය.
එම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය, දඹදෙණිය සංවිධායක භාරත තෙන්නකෝන් සහ මහේෂ් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පෞද්ගලික පන්ති ගුරුවරු ගණනාවක් සහභාගි වූහ.


ඉංග්‍රීසි, සිංහල, ගණිතය, විද්‍යාව හා ඉතිහාසය යන විෂයයන්වලින් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා නොමිලේ ඔන්ලයින් පන්ති පවත්වාගෙන යාමට මෙහිදී තීරණය කරනු ලැබීය.
රුවන් විජයවර්ධන මහතා මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ රටේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටී ඇති අවස්ථාවක ඔවුන්ට නොමිලේ අධ්‍යාපන පහසුකම් සැපයීම ඉතාමත් වැදගත් කටයුත්තක් බවයි. මෙහිදී අදාළ දේශන කටයුතු නොමිලේ පැවැත්වීමට ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරු ගණනාවක් එකඟතාවය දැක්වූහ.

 

 

-ගජබා-