සමීප මිතුදමකට ඉන්දියාව ලංකාවට කළ ආරාධනය


 යුරෝපා සංගමය ජනපති හමුවෙයි


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරය ඇමතීමට ඇමරිකාවට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සති දෙකකට පමණ පසුව දිවයිනට පැමිණියේ පසුගිය සඳුදා උදේ පාන්දරය. දීර්ඝ ගුවන් ගමනකින් පසුව පැමිණි ගමන වෙහෙසකර වුවද ජනාධිපතිවරයාට එදින විශේෂ කටයුත්තක් සඳහා සහභාගි වීමට සිදුවිය. ඒ ශ්‍රී ලංකාවට පැමිණ සිටි යුරෝපා සංගමයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවය. මේ හමුව පැවැත්වුණේ ජනාධිපතිවරයා පදිංචිව සිටින මිරිහානේ පිහිටි නිවසේය. යුරෝපා කොමිසමේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ වෙළෙඳ හා තිරසාර සංවර්ධන, ජීඑස්පී වෙළඳ කටයුතු භාර අධ්‍යක්ෂ ජෙනරාල් නිකොලොස් යසිමිස් මහතා ඇතුළු පිරිසක් යුරෝපා සංගමය වෙනුවෙන් සහභාගි වූ අතර, ජනාධිපතිවරයා සමඟ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු සහභාගි වූහ. සාකච්ඡාවේ ප්‍රධාන අවධානයක් යොමු වූ මාතෘකාව වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයයි. ජනාධිපතිවරයා කීවේ ඒ සඳහා අවශ්‍ය සංශෝධන කිරීමට රජය බලාපොරොත්තු වන බවය. මානව අයිතිවාසිකම් පිළිබඳව තිබෙන පොදු එකඟතාවට අනුව කටයුතු කිරීමට රජය මූලිකත්වය දෙන බව ජනාධිපතිවරයා කීවේය. මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට ගෙන ඇති පියවර ගැන ද ජනාධිපතිවරයා දීර්ඝ විග්‍රහයක යෙදුණේය.


 

 

 

 

කැබිනට් රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන්

 

 



ජනපතිගෙන් අගමැති මෝදිට ආරාධනයක්


සිවුදින සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ලේකම් ශ්‍රී හර්ෂ්වර්ධන් මහතා මෙරට ඉහළ පෙළේ නායකයින් කිහිප දෙනෙකු ගිය සතියේදී හමුවිය. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමුවූ ඉන්දීය විදේශ ලේකම්වරයා අඟහරුවාදා උදේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හමු විය. ජනාධිපතිවරයා හමු වන්නට පෙර ඔහු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිහිටි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට ද සහභාගි විය.


ජනාධිපතිවරයා සමග පැවති හමුවේ දී ඉන්දීය විදේශ ලේකම්වරයා කියා සිටියේ දෙරට අතර හැට හැත්තෑ දශකවල තිබුණු ආකාරයේ සම්බන්ධතාවක් ගොඩනගා ගැනීම අවශ්‍ය බවය. ජනාධිපතිවරයා කීවේ ලෝකයේ වෙනත් කිසිම රටක් සනසන්න අපි කවදාවත් අසල්වැසි ඉන්දියාවේ හිත නරක් කරන්න උත්සාහ කරන්නෙ නෑ යනුවෙනි. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීය. මේ අතරේ ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ඉන්දීය ආයෝජකයන් යොමු කරවන්නැයි ද ජනාධිපතිවරයා ඉන්දීය විදේශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළේය. ඒ සමගම ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ආරාධනා කරන බව සඳහන් කළේය. එම ආරාධනය අගමැති මෝදිට දැනුම් දීමේ වගකීම ඉන්දීය විදේශ ලේකම්වරයා භාර ගත්තේ ඉතා සතුටිනි .


කාබනික පොහොර ගැන සාකච්ඡාවකට ගෝඨාගෙන් සජිත්ට ආරාධනයක්


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් බදාදා ජනාධිපති කාර්යාලයේ දී රජයේ නිලධාරීන් පිරිසක් සමඟ සාකච්ඡාවක් කරන අතරේ, හදිසියේම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකථන ඇමතුමක් ගත්තේය. ඔහු විමසා සිටියේ රජය ගෙනයන කාබනික පොහොර වැඩපිළිවෙළට විපක්ෂනායකවරයා විරුද්ධ වන්නේ ඇයිද කියාය. ඊට හේතුව කුමක්දැයි ජනාධිපතිවරයා විමසීය. නොසිතූ මොහොතක ජනාධිපතිවරයාගෙන් ලැබුණු ඇමතුමට පිළිතුරු දුන් විපක්ෂනායකවරයා කීවෙ කාබනික පොහොර වැඩපිළිවෙල සාර්ථක නැති බවට කෘෂිකර්ම අමාත්‍යංශය සහ එහි නිලධාරීන්ගෙන් ලොකු චෝදනා පත්‍රයක් තිබෙන බවය. සජිත්ගේ පිළිතුරෙන් පසුව දුරකථනය විසන්ධි කළ ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට ඇමතුමක් ගෙන විමසා සිටියේ කාබනික පොහොර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හදපු රිපෝට් එකක් තිබේදැයි යනුවෙනි. එවැන්නක් නොමැති බවට නිලධාරීන්ගෙන් ලැබුණු පිළිතුරෙන් පසුව විපක්ෂනායකවරයාට ඇමතුමක් ගත් ජනාධිපතිවරයා කියා සිටියේ ඔහු කියන ආකාරයේ වාර්තාවක් අමාත්‍යාංශයෙන් නිකුත් කර නොමැති බවය. රට වෙනුවෙන් ගෙන යන කාබනික පොහොර වැඩපිළිවෙළට සහාය දක්වන්න යැයි ජනාධිපතිවරයා සජිත්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ සමඟම ජනාධිපතිවරයා සජිත්ට ආරාධනයක් ද කළේ මේ සම්බන්ධයෙන් තමා සමඟ සාකච්ඡාවකට එන ලෙසය.


ඇමැතිවරුන් ඇන්ටිජන් කරගෙන ඔන්ලයින් කැබිනට්ටුවට


මාස කීපයක් තිස්සේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් රැස්වීම් වෙනුවට ගිය සඳුදා ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී කැබිනට් රැස්වීම පවත්වන්නට ජනාධිපතිවරයා තීරණය කර තිබිණි. එබැවින් ඇන්ටිජන් පරීක්ෂණයක්ද කරගෙන සඳුදා හැන්දෑවේ කැබිනට් රැස්වීමට එන්නැයි ජනාධිපති කාර්යාලය කැබිනට් ඇමැතිවරුන්ට දැනුම් දී තිබිණි. ඒ අනුව සියලු‍ම ඇමතිවරු ඉරිදා පස්වරුව වන විට ඇන්ටිජන් පරීක්ෂාවක් කරගෙන වාර්තාව ලබාගත්හ. සඳුදා හැන්දෑවේ ඇන්ටිජන් වාර්තාවත් රැගෙන කැබිනට් රැස්වීමට යාමට සූදානම් වෙමින් සිටියදී ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු දුරකතන ඇමතුමකින් කියැවුණේ එදින කැබිනට් රැස්වීමට ජනාධිපතිවරයා සහභාගී නොවන බවත්, කැබිනට් රැස්වීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන බවත් ය.


කැබිනට් රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හැන්දෑවෙ ආරම්භ විය  බොහෝ දෙනා සිතුවේ ගෑස්, කිරිපිටි සහ සිමෙන්ති මිල ගණන් ඉහළ දැමීමට ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව එදින අනුමත කරනු ඇතැයි කියාය. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් එදින නොවූ අතර, වැඩිම අවධානයක් යොමු වූයේ ඒ වන විටත් දේශපාලන කරළියේ ගිනියම් වෙමින් තිබූ පැන්ඩෝරා පේපර්ස් සිද්ධිය ගැනය. නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියාගේ නම පැන්ඩෝරා පේපර්ස් වලින් හෙළිදරව් කර තිබීම සම්බන්ධයෙන් ඇමතිවරු බොහෝ දෙනෙක් කතා කළහ. අගමැතිවරයා කීවේ ඒ සම්බන්ධයෙන් රජය වහා සොයා බලන බවය.


මේ අතර බන්දුල ගුණවර්ධන ඇමතිවරයා නෝක්කාඩුවක් කීවේය. ඒ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධනට එරෙහිව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර සතියකටත් වැඩි කාලයක් ගතවී ඇති නමුත් අඩුම තරමින් ඔහුගෙන් ප්‍රකාශයක් හෝ ලබාගෙන නොමැති බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක නොවීම ගැනද බන්දුල චෝදනාවක් එල්ල කළේය. එවේලේම පොලිස්පතිවරයාට දුරකතන ඇමතුමක් ගත් අගමැතිවරයා කීවේ මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ කඩිනම් කරන ලෙස ය.


බ්‍රහස්පතින්දා හැන්දෑවේ කැබිනට් ඇමතිවරුන්ගේ විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රටේ දේශපාලන තත්ත්වයත් ආර්ථික තත්ත්වයත් ගැන සාකච්ඡා වූ මේ හමුවේදී ජනාධිපතිවරයා කිව්වේ විපක්ෂය රට තුළ වැරදි මත ගෙන යන බවය. කාබනික පොහොර වැඩපිළිවෙළ රජය සාර්ථකව කරගෙන යන බව කී ජනාධිපතිවරයා විපක්ෂය එය අසාර්ථක බවට මතයක් ගෙන යාමට උත්සාහ කරන බව කීවේය. මේ අතර ඇමැතිවරුන් කිහිපදෙනකු කීවේ තේ වගාවට කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගැටලු‍වක් පවතින බවය. තේ අපනයන ආදායම අඩුවීමට ද ඉවහල් විය හැකි බැවින් තේ සඳහා රසායනික පොහොර භාවිතයට අවසර දෙන ලෙස ඔවුහු ඉල්ලීමක් කළහ. ඒ අනුව ජනාධිපතිවරයා දැනුම් දී තිබුණේ තේ වගාව කාබනික පොහොර භාවිතය සඳහා යොමු කරන අතර, රසායනික පොහොර යෙදීමට අවසර දෙන බවය.


ඊළඟට කතාබහට ලක් වුණේ සිමෙන්ති, කිරිපිටි, තිරිඟු‍ පිටි සහ ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන යෝජනාවය. ඒවා වැඩි කළ යුතු මිල ගණන් පිළිබඳ යෝජනාවක් පාරිභෝගික අධිකාරිය ඉදිරිපත් කර තිබූ අතර, ජනාධිපතිවරයා කීවේ වෙළඳපොළේ හිඟයක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවය. එම භාණ්ඩ සඳහා පවතින මිල පාලනය ඉවත් කිරීමට තීරණය කළ ඇමති මණ්ඩලය ඒවායේ පිරිවැය ආවරණය වන ආකාරයේ මිල වැඩි කිරීමකට අවසර දුන්නේය. මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නැයි පාරිභෝගික අධිකාරියට පැවරීමටද එහිදී තීරණය විය.


ආණ්ඩුවේ හවුල් පක්ෂ නායකයෝ ගම්මන්පිලගේ නිවසට


කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක විරෝධයක් එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හවුල් පක්ෂ කිහිපයක නායකයෝ ඉකුත් බදාදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිල නිවසට රැස්වූහ. වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, ජයන්ත සමරවීර, මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වූහ. යුගදනවි බලාගාරයේ කොටස් හදිසියේ මේ ආකාරයෙන් පැවරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල විය. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමටත් ජනාධිපතිවරයාට ලිපියක් යැවීමටත් එම පක්ෂ නායකයෝ තීන්දු කළහ. ලිපිය සකස් කර ඒ වන විටත් පක්ෂ නායකයින් කිහිප දෙනෙකු ඊට අත්සන් කර තිබූ අතර, තවත් ලබා ගැනීමට තිබුණේ කිහිප දෙනෙකුගේ අත්සන් පමණය.


සුදුළුෑනු වංචාව ගැන ප්‍රශ්නයක්


 සතොසේ සිදුව ඇති බව කියන දූෂණ, වංචා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු පසුගිය සතියේදී වැඩි අවධානයක් යොමු කළහ.


‘‘රේගුව මගින් රාජසන්තක කරන ආහාර ද්‍රව්‍ය සතොස හරහා ජනතාවට ලබාදීමට තමයි ආණ්ඩුවෙන් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරලා අනුමැතිය අරගෙන තියෙන්නේ. ඒත් සතොසේ ලොක්කෝ එකතුවෙලා මේවා ව්‍යාපාරිකයන්ට විකුණනවා’’ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා කීවේ තමන්ට සතොසේ ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණ ලේඛනත් ඉදිරිපත් කරමිනි.


‘‘මේ ගැන පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කරන්න ඕනෑ’’ සජිත් කීවේය.


‘‘ඔව් සර්. සුදුලූනු වගේම උඳුත් පෞද්ගලික සමාගමකට විකුණලා. ජනතාවට සහන මිලට බඩු දෙනවා කියලා කැබිනට් අනුමැතියක් අරගෙන දැන් පුද්ගලික අංශයට ලාභ ගන්න වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ’’ මනුෂ තවත් කරුණු පැහැදිලි කළේය.


ඉන් පසු පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රශ්නයක් යොමු කරමින් සජිත් ප්‍රේමදාස සුදුලූනු වංචාව ගැන ප‍්‍රශ්න කළේය.


‘‘වෙළඳපොළේ සුදුලූනු කිලෝ එකක් රුපියල් 350ට විකුණනවා. ඒත් ව්‍යාපාරිකයෙක්ට රුපියල් 135කට ලබාදෙන්නේ. එහෙම අඩු මිලට සුදුලූනු අලෙවි කළේ කොහොමද? කාගෙන්ද ඒකට අනුමැතිය ලබාගත්තේ? මෙවැනි සුදුලූනු ගනුදෙනුවක් වංචාසහගත ලෙස විෂයභාර අමාත්‍යවරයා හෝ සතොස ආයතනයේ ප්‍රධාන නිලධාරීන් නොදැනුවත්ව සිදු වූයේ කෙසේ ද? මහජන මුදලින් වැටුප් ලබන අධ්‍යක්ෂ මණ්ඩලයක් සහ සභාපතිවරුන් කිහිප දෙනෙකුගෙන් සහ අමාත්‍යවරයෙක් මෙවන් වංචාවක් එක් කෙටි පණිවුඩයක් මගින් අනාවරණය වන තෙක් නොදැන සිටියේ මෙම ආයතනයේ ඉහළ සිට පහළට මෙම වංචාවේ කොටස්කරුවන් සිටින නිසා ද’’සජිත් ප‍්‍රශ්න කළේය.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේ ආරම්භ කළේ අලු‍ත් වැඩසටහනක් සමගය. ඒ ‘‘ගොවි හදගැස්ම”‍ ය. ගොවි හදගැස්ම හරහා සජිත් කළේ රට පුරා විසිරී සිටින ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව ගොවි බිමට ගොස් සාකච්ඡා කිරීමටය. එහි දෙවැනි පියවර ලෙස සජිත් කළේ හම්බන්තොට, තිස්සමහාරාමයේ, බෙරලිහෙල අතිරේක බෝග වගා කරන ගොවීන් හමුවීමට යාමය. එදින උදෑසන ඉතා හොඳ කාලගුණ තත්ත්වයක් තිබූ අතර යොදාගෙන තිබූ පරිදිම ප්‍රදේශයේ මුං වගා කරන ගොවීන් හමුවීමට සජිත් පැමිණියේය.


ඒ වන විටත් විශාල කුඹුරු යාය මැද සෑහෙන ගොවීන් පිරිසක් රැස්ව සිටියහ. සජිත් ඔවුන් අතරට ගොස් ඔවුන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්නට විය.


පොහොර පිළිබඳ ප්‍රශ්න, අස්වැන්න අලෙවි කර ගැනීමට ඇති අපහසුතා පිළිබඳ ප්‍රශ්න, කල් තබා ගැනීමට හැකියාවක් නැතිකම පිළිබඳව ප්‍රශ්න ගොවි ජනතාව සජිත්ට ඉදිරිපත් කළහ.


අනපේක්ෂිත ලෙස වර්ෂාවක් කඩාගෙන වැටෙන්නට පටන් ගත්තේ ඔය අතරය. ආසන්නයෙන් නිවසක් නොතිබූ නමුත් වැස්සෙන් ආවරණය වීමට ආරක්ෂක නිලධාරියෙක් සජිත් වෙත කුඩයක් රැගෙන ආවේය. ‘‘එපා එපා ඕක පැත්තකින් තියන්න. මෙතන මේ අය සීයක් විතර වැස්සේ තෙමෙනවා.”‍ සජිත් කීවේය.
මුං වැපිරූ කුඹුරුවල සිටි ගොවීන් තෙමෙමින් සිටින අතරේ සජිත් ද මහ වැස්සේම පිරිස සමග රැඳුණේය.
කෙසේවෙතත් සමහරුන් මේ ගැන විවේචනය කරමින් සිටින බව සජිත්ට දැනගන්නට ලැබුණේය.
‘‘මම කරපු දේට හිනාවෙලා , ඒකට උපහාස කරලා කාට හරි හිත රවට්ට ගන්න පුළුවන්. හැබැයි මට හිනා වුණා කියලා මේ රටේ ප්‍රශ්නවලට උත්තර හම්බ වෙන්නේ නෑ. එක පැත්තකින් පැන්ඩෝරා එකෙන් ලංකාවේ නමට කළු පැල්ලමක් එකතු වෙලා. අනෙක් පැත්තෙන් මුළු රටම කඩාගෙන වැටිලා. මම ගොවි හදගැස්ම අරගෙන ගොවීන් ළඟට යන්නේ ඒ අයගේ ජීවිතය මොන තරම් දුෂ්කර ද කියලා දැනගෙන. එහෙම ගම්වල ගොවීන්ගෙන් දුක සැප බෙදා ගන්න කොට ඒකට කවුරු හරි හිනා වෙනවා නම් ඒක ඒ හිනාවෙන මනුස්සයගෙ අමානුෂික කම.” වර්ෂාවේ තෙමීම සම්බන්ධයෙන් තමන්ට කියන අයට සජිත් කිව්වේ එහෙමය.
‘‘ලෝකේ නායකයෝ ඕනතරම් ඔහොම තෙමීගෙන මිනිස්සු එක්ක ඉඳලා තියෙනවා. ඒ ස්ක්‍රිප්ට් වලට. මේක ස්ක්‍රිප්ට් එකක් නෙවෙයි. එහෙම වෙලත් මඩ ගහනවා.”‍එහෙම කීවේ නලින්ය.


‘‘මෙහේ සමහරු කරන්නෙම රඟපෑම. දේශප්‍රේමී කියලා පපුවට ගහගන්නවා. ටයි කෝට් ඇඳගෙන හොරකම් කරනවා. රට රකිනවා කියලා රට විකුණනවා. අන්න ඒවයි රඟපෑම්. එහෙම නැතිව මිනිස්සු එක්ක එකට මහපොලවේ වැඩ කරන එකට නෙවේ”‍ අශෝක් අබේසිංහ කීවේය.


 

 

 

 

කරු  සජිත්ට කී රහස

 

 



කරු සජිත්ට කී රහස


ගුරු වෘත්තීය සමිති අරගලයට විසඳුම් ලබාදීමට රජය කටයුතු කර නොතිබීම නිසා සියලු‍ම පක්ෂ එක් කරගනිමින් සර්ව පාක්ෂික හමුවක් පසුගිය සතියේදී අභයාරාමයේදී පැවැත්විණි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අභයාරාමයට පැමිණෙන විට හිටපු කතානායක කරු ජයසූරියද එහි පැමිණ සිටියේය.
සාකච්ඡාව පැවැත්වුණේ විහාරස්ථානයේ ඉහළ මාලයේය. ලී පඩිපෙළකින් නැග ඉහළ මාලයට යාමට සජිත් සහ කරු පැමිණියේ එකටය. සජිත් තරප්පු පෙලේ එක් පඩියක් තබන විට කරු සජිත්ගේ කරට අත දමාගත්තේ ඉහළ මාලයට යාමටය.


‘‘කතානායකතුමා එන්න. අපි දෙන්නම උඩට යමු’’ සජිත් කීවේය.
‘‘ඔබතුමා ඉස්සරවෙලා යන්න. මම පිටිපස්සෙන් එන්නම්” කරු පැවසුවේය.
‘‘නෑ.. නෑ.. ඔබතුමා මාත් එක්කම එන්න’’ සජිත් යළිත් කීවේය.


‘‘මම ඔබතුමා එක්කම එනවා. ඔබතුමා ඉස්සරවෙන්න. මම පිටිපස්සෙන් එන්නම්’’ කී කරු සජිත් සමගම ඉහළ මාලයට පැමිණියේය.


මේ අතර විපක්ෂනායක කාර්යාලයේදී සජිත් වෘත්තීය සමිති නියෝජිතයන් හමුවූහ.


‘‘සමගි ජන බලවේගයේ නායකයා ලෙස තමන්ද මහලේකම්තුමාද ඒ වගේම විපක්ෂයේ පක්ෂ නායකයන් ද වෘත්තීය සමිති නායකයින් ද සතිපතා එක්ව වැඩබිමේ සහ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ගැටලු‍ සාකච්ඡා කිරීමේ මධ්‍යස්ථානය බවට විපක්ෂනායක කාර්යාලය පත් කරමු යැයි විපක්ෂනායකවරයා එහිදී යෝජනා කළ අතර ඉදිරියේ දී බිහි වන සමගි ජන බලවේගයේ රජයක් යටතේ රටේ ජාතික හා ආර්ථික මර්මස්ථාන පිළිබඳ සියලු‍ තීන්දු තීරණ ගනු ලබන්නේ කම්කරු ප්‍රජාවත්, වෘත්තිය සමිති සියල්ලත් සමග සාකච්ඡා කොට ඔවුන්ගේ පූර්ණ එකඟතාවයන්ට අනුකූලව වන බවට ලිඛිත සහතිකයක් තමන් ලබා දෙන බවද විපක්ෂ නායකවරයා පැවසීය. දේශීය සහ ජාතික සම්පත් සුරක්ෂිත කිරීම තම ප්‍රමුඛතම ප්‍රතිපත්තියයි’’ සජිත් වෘත්තීය සමිති නායකයින්ට සහතිකයක් දුන්නේය.


පැන්ඩොරා පේපර්ස් ගැන කිසිවෙක් නොකී කතාවක් සජිත්ගෙන්


පැන්ඩෝරා වාර්තා මගින් නිරූපමා රාජපක්ෂ හිටපු ඇමැතිවරියට හා ඔහුගේ සැමියාට ඇති වත්කම් ගැන හෙළිදරව් කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ කලබලයක් ඇතිව තිබුණේය. ඒ අතරම විපක්ෂයේ මන්ත‍්‍රීවරුද මේ ගැන සොයා බලන්නට වූහ. පාර්ලිමේන්තුවට පැමිණි මන්ත‍්‍රීවරුන් වැඩි දෙනෙක් අවධානය යොමු කළේ මේ ගැනය.


‘‘මේ තවම එක්කෙනාගේ නමයි එළියට ඇවිත් තියෙන්නේ. තවත් නම් අනූවක් විතර එළියට එන්න තියෙනවා කියලා තමයි අපිට ආරංචි’’රාජිත සේනාරත්න මන්තී‍්‍රවරයා කතාව ආරම්භ කළේය.


‘‘මේ දූගේ වත්කම් විතරයි. බාප්පලාගේ, මහප්පලාගේ, ඒ අයගේ දරුවන්ගේ වත්කම් තවම එළියට ආවේ නෑ. ඒව නම් තව කොච්චර තියේද?’’ නලින් බණ්ඩාර ඇසුවේ සියලු‍ දෙනාම සිනා ගන්වමිනි.


‘‘පැන්ඩෝරා පේපර්ස් වලින් නම් හෙළි වුණාම ඉන්දියාවත්, පකිස්ථානයත් වහාම ක්‍රියාත්මක වෙලා පරීක්ෂණ කරන්න ගත්තා. මේක ගැන ස්වාධීන පරීක්ෂණයක් කරලා වත්කම් සොයාගත් ආකාරය අනාවරණය කරගත යුතුයි. ඒ විතරක් නෙවේ ස්කොට්ලන්‍ඩ්යාඩ් හරි ගෙනල්ලා මේ වැරදිකරුවන් ගැන විමර්ශනය කරන්න ඕන’’ සජිත් යෝජනා කළේ ඊට අමතරව විශේෂ බලතල සහිත විශේෂ විමර්ෂණ කමිටුවක්ද පත් කළ යුතු බව අවධාරණය කරමිනි.


‘‘කිසිම කෙනෙක් මෙහෙම ඉල්ලීමක් කරලා නෑ. නායකතුමාගේ අදහස ඉතාම වටිනවා”‍
කිරිඇල්ල කීවේ සජිත් ස්කොට්ලන්‍ඩ්යාඩ් පරීක්ෂණ ඉල්ලූවිටය.


‘‘මේවා ගැන සොයන්න කියලා ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට නියෝගයක් කරලා තියෙනවාලු‍’’ ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා කීවේ ඔහුට ලැබුණ කෙටි පණිවුඩයක් පෙන්වමිනි.


‘‘ජනාධිපතිවරයාට අල්ලස් කොමිසමට නියෝග දෙන්න බෑ. අල්ලස් කොමිසම ස්වාධීන කොමිසමක්. අර නීතිපති දෙපාර්තමේන්තුව ඇවිත් නඩු නිදහස් කරගත්තා වගේ අල්ලස් කොමිසමත් ලොන්ඩරියක් බවට පත් කරගන්න හදනවාද දන්නේ නෑ’’ එස්.එම්. මරික්කාර් මන්ත‍්‍රීවරයා පැවසුවේය.


‘‘මේ සල්ලි කාගේද, මේවා කොහෙන්ද ආවේ කියලා සොයලා බලන්න ඕනෑ. ඒ නිසා සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් විදියට අල්ලස් කොමිසමට ගිහින් පැමිණිල්ලක් කරන්න’’ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර උපදෙස් දුන්නේය.


හරින් සුව අතට


හදවත් සැත්කමකට ලක් කර සිටි හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා මේ වන විට සුවය ලබමින් සිටී. අමුත්තන් හමුවීම සීමා කර තිබේ. එහෙත් කෙටි පණිවුඩ මගින් හා වට්ස් ඇප් ඔස්සේ ඔහු පණිවුඩ යොමු කරමින් තමන් ගැන තොරතුරු හිත මිතුරන්ට දැනුම් දුන්නේය.


ඒ අතර ඔහුට සුවය පතා ගංගාරාම විහාරස්ථානයේදී ආශිර්වාද බෝධිපූජා පිංකමක් පැවැත්වූවේය. සජිත් ගංගාරාම විහාරස්ථානය තුළට පැමිණියේ ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා සමගය. ගංගාරාම විහාරවාසී කිරින්දේ අස්සජි හිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය හරීන්ට සෙත් පතා බෝධි පූජාව පැවැත්වූවේය.
‘‘ජීවිතයේ තීරණාත්මක කඩඉම්වලදී මේ වගේ ආශිර්වාදාත්මක කටයුතුවලින් ලැබෙන ශක්තිය අදහාගන්න බැරි තරම්. ඒකට ඇත්තටම අත්විඳින්න පුලු‍වන් වෙන්නේ එයට මුහුණ දුන් විටයි. මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී - බිතු සිතු රූ මෙන් පිටු නොපාවතී’’ යන්න මේ අත්දැකීමෙන් මම තහවුරු කරගත්තා’’ ආශිර්වාද බෝධි පූජාවෙන් පසුව රෝහලේ සිටම හරීන් පණිවුඩයක් එවමින් සඳහන් කර තිබුණේය.


රජය කඩාවැටිලා
එජාප නායක කියයි


එක් එක් ක්ෂේත්‍ර සඳහා එක්සත් ජාතික පක්ෂය මගින් පත් කරන ලද කමිටු සාමාජිකයෝ පසුගිය සතියේ සිරිකොතදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවූහ. රුවන් විජයවර්ධන, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, පාලිත රංගෙ බණ්ඩාර, කරුණාසේන කොඩිතුවක්කු, සමන් රත්නප්‍රිය විශාල ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.


මේ අයට විවිධ ක්ෂේත්‍ර බාරදී තිබූ අතර මෙහිදී ඒ ඒ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සිදුවිය.
රජය කඩා වැටී ඇති අතර භාණ්ඩ මිල ඉහළයාම ජනතාවට දරා ගැනීමට නොහැකි බව මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.


නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ රජයට වැඩි කලක් බලයේ සිටිය නොහැකි තත්ත්වයක් උදාවෙමින් පවතින බවයි. පක්ෂ අතර එකඟතාවයක් නොවීම මෙයට ප්‍රධාන හේතුවක් බවද රුවන් විජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.


මේ අතර අභයාරාම විහාරයේ පැවැත්වෙන සර්ව පාක්ෂික සාකච්ඡාවට සහභාගි වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අකිල විරාජ් කාරියවසම් මහතාට හා සමන් රත්නප්‍රිය මහතාට උපදෙස් දුන්නේය. එහිදී ගුරු ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමටත් පාසල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත් අවශ්‍ය කරුණු ප්‍රකාශ කරන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.


මහර ප්‍රාදේශීය සභාවට සභිකයෝ දෙදෙනෙක් හා පෑලියගොඩ නගර සභාවට සභිකයෙක් පසුගිය සතියේදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අතින් පත්වීම් ලිපි බාර ගත්හ.
මහර ප්‍රාදේශීය සභාවට එන්.පී.එච්. ප්‍රියන්ත හා එස්.ඩී. ඉන්දික රුවන් යන මහත්වරු ද පෑලියගොඩ නගර සභාවට නලින් චන්දිම මහතාද අලුතෙන් පත් කිරීම සිරිකොත දී සිදුවිය.


ඔවුන් තිදෙනාට සුබ පැතූ රුවන් විජයවර්ධන මහතා ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා උපදෙස් ලබා දුන්නේය.


රුවන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ණැන සත්කාර අධ්‍යාපන වැඩපිළිවෙළ යටතේ දෙවැනි පියවර ගිය සතියේදී පැවැත්වුණි. ඉතිහාසය හා විද්‍යාව යන විෂයන් පිළිබඳව ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා දේශන පැවැත්වීම සිදු කෙරුණි.


මේ අතර ජාත්‍යන්තර ගුරු දිනය වෙනුවෙන් රුවන් විජයවර්ධන මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඇඟේ හයියෙන් හා කටේ හයියෙන් ප්‍රශ්න විසඳීම වෙනුවට අනාගත පරපුර ගැන සිතා ගුරු ගැටලු විසඳීමට රජය අවධානය යොමු කළ යුතු බවයි.

 

 

-ගජබා-