වරාය පනතට අගමැති පක්ෂ නායකයන්ගේ සහාය ඉල්ලයි


 

  • යුද ජයග්‍රහණයට චාම් උත්සවයක්
  • පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලන්න දිගටම සටන් කරනවා - විපක්ෂ නායක සජිත්

 

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත ගෙවී ගිය සතියේ දේශපාලන කරළියේ උණුසුම් කතාබහට ලක් වූ මාතෘකාවකි. ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා විසින් ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කරනු ලැබීය. පනත් කෙටුම්පත බදාදා දිනයේ විවාදයට ගෙන බ්‍රහස්පතින්දා සම්මත කළ යුතුව තිබූ බැවින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවක් සඳුදා හැන්දෑවේ අරලියගහ මන්දිරයේ දී කැඳවනු ලැබීය.


මහාචාර්ය ජී.එල්. පීරිස්, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, දිනේෂ් ගුණවර්ධන, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග, ටිරාන් අලස්, සාගර කාරියවසම් ඇතුළු පක්ෂ නායකයෝ රැසක් ඊට සහභාගි වූහ.
වරාය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයන් දැනුවත් කිරීම මෙම හමුවේ අරමුණ විය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පනත් කෙටුම්පතේ නීතිමය තත්ත්වය හා ව්‍යවස්ථානුකූලභාවය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.”‍ මේ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකතුමා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙහි කරන සංශෝධන අපි ශ්‍රේෂ්ඨාධිකරණයට කල්තියාම දැනුම් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒ සංශෝධන පිළිගෙන තියෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන අපි සංශෝධන ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ කොමිෂන් සභාව ලංකාවේ කොමිෂන් සභාවක් නොවේ කියලා කවුරු හරි කියනවා නම් ඒක වැරදියි. මුදල් විශුද්ධිකරණ පනත මෙතනට අදාළ නෑ කියලා කවුරුහරි කියනවනම් ඒකත් වැරදියි. ඒ වගේම මේ කොමිෂන් සභාව විගණකාධිපතිගේ පාලනයටත් යටත් වෙනවා. පාර්ලිමේන්තුවටත් වගකියනවා”‍ යැයි පීරිස් ඇමතිවරයා කීවේ දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කරමිනි.


අනතුරුව කතා කළේ අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමැතිවරයා ය. වරාය නගරයේ ආර්ථික ප්‍රතිලාභ ගැන ඔහු කරුණු පැහැදිලි කළේ උදාහරණ කිහිපයක් ද ගෙන හැර දක්වමිනි.”‍ පළමු අවුරුද්දේ දී රැකියා 83000 මේකෙන් ඇති වෙනවා. ඊට පස්සේ අවුරුදු 20 ක දී රැකියා ලක්ෂ දෙකක් ඇති වෙනවා. මුල් අවුරුදු පහේ දී සෘජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 15 ක් බලාපොරොත්තු වෙනවා. වරාය නගරයේ හෙක්ටෙයාර 160 න් අනු එකක් පොදු පහසුකම්වලට වෙන් වෙන්නේ. මෙතන ගණුදෙනු කරන්නෙ විදේශ මුදල් වලින්”‍ යැයි කබ්රාල් කීවේය. ඒ සමගම ඔහු කීවේ චීනයට බදු දෙන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර විසිහයක් වැඩි කරන්න සිද්ධ වුණේ යහපාලන ආණ්ඩුව දෙදහස් පහළොවේ දී මේ ව්‍යාපෘතිය නතර කරපු නිසා යනුවෙනි.
ජී.එල්. ගේ සහ කබ්රාල්ගේ පැහැදිලි කිරීම්වලින් පසුව ප්‍රශ්න තිබේ නම් අහන්නැයි අගමැතිවරයා පක්ෂ නායකයන්ට කීවේය. වාසුදේව නානායක්කාර ඇමැතිවරයා නැගී සිටීමින්”‍ ඔය අනූනව අවුරුද්දට බදු දෙන ඒවා අතරමැද දී ගන්න බැරිද?”‍ යනුවෙන් විමසා සිටියේය. ”‍ආර්ථික හයියක් අපට තියෙනවා නම් ගන්න පුළුවන්”‍ කබ්රාල් පිළිතුරු දුන්නේය. දයාසිරි ජයසේකර විමසා සිටියේ චීනයට බදු දෙන කොටසෙන් අපට ආදායමක් ලැබෙන්නේ කෙසේද කියාය.”‍ ඒගොල්ලන්ට බදු දෙන ඒවයෙන්  සියයට එකක ආදායමක් අපට ලැබෙනවා. ඒ විතරක් නෙමේ අපි ලබාදෙන විවිධ සේවා වලටත් අපි අය කරනවා”‍ කබ්රාල් කීවේය. වීරසුමන වීරසිංහ ආණ්ඩුව උසාවියට ඉදිරිපත් කළ සංශෝධන මොනවාදැයි විමසා සිටියේය. ඒ සංශෝධන ගැන ජී.එල්. පැහැදිලි කළේය.


රාජ්‍ය නිලධාරීන් මේ කොමිසමට පත් කරන්නට බැරි දැයි ගෙවිඳු කුමාරතුංග විමසා සිටියේය. ජී.එල්. කීවේ එය ප්‍රායෝගික නොවන බවය. අනතුරුව කතා කළේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහය. ඔහු කිව්වේ”‍මේ කොමිෂන් සභාවේ සභාපතිවරයා ශ්‍රී ලාංකික අයකු විය යුතු බවය. එමෙන්ම වරාය නගරයේ සේවකයන්ගේ සේවා පැය ගණන සහ අවම වැටුප නිශ්චිත විය යුතු බව ඔහු කීවේය.”‍ වරාය නගරයේ ගනුදෙනු කරන්නේ විදේශ මුදල් වලින් නම් සේවකයන්ගේ වැටුප් විදේශ විනිමයෙන්ම ලැබෙන්න ඕන. ඔහුගේ අදහස විය. සභාපතිවරයා ශ්‍රී ලාංකික විය යුතු බව ගම්මන්පිල ද කීවේය. විමල් වීරවංශ ඇමතිවරයා ද ඒ ගැන පැහැදිලි කළේය.


හමුව අවසානයේ අගමැතිවරයා පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කළේ මේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සියලු‍ දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙසය.


මේ අතර සතියේ කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එදිනම හවස පහට පැවැත්විණි. කොරෝනා අර්බුදය හේතුවෙන් මෙවර ද කැබිනට් රැස්වීම පැවැත්වුණේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ය. ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාල​ෙය් සිට ද සෙසු ඇමැතිවරු අමාත්‍යාංශ හා නිවෙස් වල සිට ද ඊට සම්බන්ධ වූහ. වෙසක් සතිය එළඹෙන නිසා ඉකුත් විසි එක් වෙනිදා සිට 28 වැනිදා දක්වා රට පුරා සංචරණ සීමා පැනවීමට ඒ වන විටත් තීරණය කර තිබිණි. එහිදී යෝජනාවක් ඉදිරිපත් වුණේ 24 සහ 25 දෙදින ද රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට ය. ආර්ථිකයට ලොකු බලපෑමක් එල්ල වන නිසා එම දින දෙකේ රජයේ නිවාඩු දිනයක් කළද බැංකු සහ වෙළඳ නිවාඩුවක් ලෙස නම් නොකරන්නැයි ඇමැතිවරු ඉල්ලා සිටියහ. ඒ අනුව එම දින දෙක රජයේ නිවාඩු දින දෙකක් පමණක් කිරීමට තීරණය විය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීමට ජනාධිපතිවරයා විසින් ඇමැතිවරුන් කිහිප දෙනකුගෙන් යුත් අනුකමිටුවක් මීට ඉහතදී පත් කරනු ලැබීය. චමල් රාජපක්ෂ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනෙකුගෙන් ද සමන්විත විය. ඇමැති අනුකමිටුවේ නිර්දේශ ද ඉකුත් දා ජනාධිපතිවරයා වෙත බාරදී තිබිණි. එම අනු කමිටු නිර්දේශ ක්‍රියාවට නගන්නට ඉල්ලා කැබිනට් සංදේශයක් ද මෙවර කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව එය ක්‍රියාත්මක කිරීමට තීරණය විය.


වරාය නගර පනත් කෙටුම්පත බදාදා දිනයේ විවාදයට ගැනෙන නිසා ආණ්ඩුවේ සංශෝධන අනුමත කරගැනීමට අඟහරුවාදා හැන්දෑවේ විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීමට තීරණය විය.


කලින් තීරණය කර ගත් පරිදි අඟහරුවාදා හැන්දෑවේ විශේෂ කැබිනට් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එයද ඔන්ලයින් ඔස්සේය. කැබිනට් රැස්වීම ආරම්භයේ දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේ රජය වරාය නගර පනත සම්බන්ධයෙන් නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැලකිල්ලට ගෙන පනතට ඇතුළත් කරන ලෙසය. ඒවා කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කර සම්මත කර ගන්නැයි ජනාධිපතිවරයා ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.


අනතුරුව ඒ ගැන අදහස් දක්වන්නට ඇමැතිවරුන්ට අවස්ථාව ලැබිණි.”‍ රජය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් දීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන් සියලු‍ සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කරනවා කියලා”‍ ජී.එල්. පීරිස් කීවේය. අනතුරුව කතා කළේ ආචාර්ය බන්දුල ගුණවර්ධනය. ‘‘කොමිෂන් සභාවේ සංයුතිය ගැන විද්වතුන් කතා වෙනවා. ඒ නිසා කොමිෂන් සභාවේ සභාපතිවරයා ශ්‍රී ලාංකිකයකු විය යුතු බවටත් සාමාජිකයින් බහුතරය ලාංකික විය යුතු බවටත් සංශෝධනයක් ඇතුළත් කරන්න”‍ බන්දුල කීවේය. ‘‘එය හොඳ යෝජනාවක්”‍ යැයි කියමින් වාසුදේව ද බන්දුලගේ යෝජනාව අනුමත කළේය. ‘‘දැන් තියෙන බහුතරය ශ්‍රී ලාංකික විය යුතුයි කියන අදහස වෙනුවට සභාපතිවරයා හා බහුතරය ශ්‍රී ලාංකික විය යුතුයි කියල ඇතුළත් කළානම් හරි”‍ යැයි උදය ගම්මන්පිල කීවේය. ඒ සමඟම ගම්මන්පිල තව යෝජනාවක් කළේය. ‘‘පිළිගත් ජාත්‍යන්තර විගණනය කින් පසුව විගණකාධිපති අනුමැතියට යටත් කරන විදිහට නීති සකස් කරන්න ඕන”‍ ගම්මන්පිල යෝජනා කළේය. ‘‘විගණකාධිපති ගෙ තීරණය සම්පූර්ණයෙන්ම මේකට බලාත්මක යි”‍ යැයි කියමින් ජී.එල්. පනතේ විගණන බලතල ගැන පැහැදිලි කළේය. එය ඉතා හොඳ යැයි කී ගම්මන්පිල එහෙම කළාම පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයටත් ගැටලු‍වක් එන්නේ නැහැ යැයි කීවේය.


බන්දුල කිව්වේ පනත පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත කර ගත යුතු බවය. ‘‘අපි ජාත්‍යන්තරය තුළ මේ පිළිබඳව හොඳ මතයක් ඇති කරන්න ඕන. එවිට තමයි ආයෝජන එන්නෙ”‍ බන්දුල පැහැදිලි කළේය.


පාස්කු ප්‍රහාරයේ චූදිතයන් සම්බන්ධයෙන් නඩු පැවරීමට ඇති බාධාවන් ගැන නීතිපතිවරයා කර තිබූ ප්‍රකාශයක් ද කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය. නීතිපතිවරයා කියා තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරියට පරීක්ෂණ නොකළ නිසා නඩු පැවරීම් කටයුතු සිදු කිරීම ගැටලු‍වක් බව ය. මෙම ප්‍රකාශයෙන් රජය අපහසුතාවට පත්වන බව ඇමැතිවරු කිහිප දෙනෙක් කියා සිටියහ. පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර ඊට උත්තර දුන්නේය. ‘‘මම මේ ගැන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන්නත් අවසර ඉල්ලා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවලින් සියට 75ක් පමණ මේ වනවිට යවලා තියෙන්නේ”‍ සරත් වීරසේකර කීවේය. ‘‘පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කරන්න ගත්තෙත් අපේ රජය පත් වුණාට පස්සේ’’ ජනාධිපතිවරයා ද කීවේය.


මේ අතර මහින්දානන්ද ඇමැතිවරයා පොලිසියට ද චෝදනා එල්ල කළේය. ‘‘පොලිසිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අපටත් සෑහීමකට පත්වෙන්න බෑ. ඒ කාලේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන්ට විරුද්ධව සී.අයි.ඩී. එකටයි අල්ලස් කොමිසමටයි පැමිණිලි ඉදිරිපත් කරා. අපි ලිපි ලේඛනත් ඉදිරිපත් කළා. ඒත් ඒ ගැන පරීක්ෂණ කෙරුණේ නෑ”‍ මහින්දානන්ද කීවේය.


මේ කතාබහ යන අතරේ ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ⁣වෙනත් කරුණක් මතු කළේය. ‘‘පහුගිය දවස්වල ගංවතුර හා සුළං හේතුවෙන් එකවර විදුලිය බිඳ වැටීම් හතළිස් දාහක් සිදුවුණා. එකවර මෙතරම් විදුලි බිඳ වැටීම් ප්‍රමාණයක් සිදු වූ පළමු අවස්ථාව එයයි. හැබැයි මේ සේවකයන් ඉතා කෙටි කාලයක් තුළ ඉන් බොහොමයක් යථා තත්ත්වයට පත් කළා. මේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට කොවිඩ් එන්නත් ඉක්මනින් ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා”‍යැයි ඩලස් කීවේය. ඩලස් ගේ ඉල්ලීම පිළිගත් ජනාධිපතිවරයා ‘‘හැකි ඉක්මනින් ඒ අයට එන්නත් ලබාදෙන්න පියවර ගන්න ඕන. හැබැයි එතෙක් ඒ අයට ආරක්ෂක ඇඳුම් කට්ටල ලබා දෙන එක ඉතාම වැදගත්”‍ යැයි කීවේය.


මේ අතර පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළාය. ඒ සයිනොෆාම් එන්නත මෙරට දී නිෂ්පාදනය කිරීමට අදාළවූවකි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවත්, චීන සමාගමක් හා මෙරට පෞද්ගලික සමාගමක් එක්ව මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ඇය අනුමැතිය ඉල්ලා තිබිණි. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.


පොහොර ඉල්ලා පසුපෙළ සටනට


පාර්ලිමේන්තු සතිය නිසා ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම ගිය අඟහරුවාදා දහවල් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක දෙකේ දී රැස්විය. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කමිටු ශාලා එකේ කොරෝනා එන්නත් ලබාදීම සිදු වූ බැවින් මෙවර රැස්වීම පවත්වන්නට සිදු වූයේ කමිටු ශාලා අංක දෙකේය. පෝට් සිටි පනත ගැන මහාචාර්ය ජී.එල්. පීරිස් සහ අජිත් කබ්රාල් පැහැදිලි කළහ. ඒ අතර මන්ත්‍රීවරු විවිධ ප්‍රශ්න මතු කරන්නට වූහ. රාජ්‍ය ඇමැතිනී සීතා අරඹේපොල ඉල්ලීමක් කරේ වරාය නගරය රැකියා දෙනවිට ලංකාවේ අයට ප්‍රමුඛත්වය දී කටයුතු කරන ලෙසය. එහෙම නොවුණොත් අපි පුහුණු කරල හදන ළමයින්ට තැනක් නැති වෙනවා. අරඹේපොල කීවාය. ඒ අදහස අනුමත කරමින් ජෝන් සෙනෙවිරත්න ද කතා කළේය. නොරොච්චෝලේ හදන වෙලාවෙ අපේ අය සේවයට ගන්නවා කියලා කිව්වත් චීනයේ හිරකාරයෝ ගෙනල්ලත් වැඩ කළා. ජෝන් සෙනවිරත්න කීවේය. ඒ නිසා මේ ව්‍යාපෘතිය පටන් ගන්නකොට අපේ අය ගන්නවා කියලා ඒකට කොන්දේසියක් දමන්න. ඔහු ඉල්ලීමක් කළේය. නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ද ඒ අදහස් අනුමත කළේය.


මේ කතාබහ යන අතර මේ දිනවල පවතින පොහොර හිඟය ගැන ද කතාබහට ලක්විය. පසුපෙළ මන්ත්‍රීවරු ගණනාවක්ම මේ පොහොර ප්‍රශ්නය මතු කළහ. ඔවුන් කීවේ එළවළු වගාවට, තේ වගාවට අවශ්‍ය පොහොර දැඩි හිඟයක් පවතින බව ය. මේ තත්ත්වය නිසා තමන්ට ගම්වලට පවා යාමට නොහැකි බව ඔවුහු කියා සිටියහ. ඊට උත්තර දුන්නේ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලු‍ත්ගමගේ ය. රසායනික පොහොර තහනම ඉතා හොඳ බවත් මෙය අවුරුදු හැට පහකට පසුව ගත්ත වැදගත්ම තීන්දුවක් බවත් ඔහු කීවේය. මේක ජනාධිපතිතුමා ගත්ත තීන්දුවක්. අපට මේක ආපස්සට හරවන්නත් බෑ මහින්දානන්ද කීවේය. ඔහු කීවේ මේ කන්නයට අවශ්‍ය පොහොර ඕනෑතරම් තිබෙන බවය. චමල් රාජපක්ෂ කීවේ කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කිරීම තැන් 3000ක පමණ ගොවීන් විසින් ආරම්භ කර ඇති බව ය.


‘‘අපේ පැතිවල තේ වලට දාන්න පෝර නෑ. ඒ නිසා අපට ගම්වලට යන්න බෑ’’ සම්පත් අතුකෝරල කීවේය. රසායනික පොහොර තහනම හොඳ තීන්දුවක් වෙන්න පුළුවන්. හැබැයි පියවරෙන් පියවර යන්න ඕන. එහෙම නැති වුණොත් මේක ආණ්ඩුවට පාරාවළල්ලක් වෙන්නත් පුළුවන්යැයි කීවේ මහාචාර්ය චරිත හේරත් ය. බදුල්ලේ චාමර සම්පත් මන්ත්‍රීවරයා මේ ගැන කතා කළේය. පොහොර නැතිව එළවළු අස්වැන්න ගන්න බෑ. මෙහෙම ගියොත් ආණ්ඩුවට ජනතාව අතරට යන්නත් බැරි වෙනවා. වී වගාවට කෙසේ වෙතත් එළවළු වගාවට පොහොර අවශ්‍යයි. අපේ පැත්තේ එළවළු ගොවියෝ පොහොර නැතුව දුක් විඳිනවා යයි චාමර කීවේය. මන්ත්‍රීලා දිගටම පොහොර හිඟයක් ගැන කියද්දී මහින්දානන්ද කීවේ අවශ්‍ය තරම් පොහොර තිබෙන බවය. එහෙත් මහින්දානන්ද ගේ පිළිතුර කිසිවකුත් පිළිගත්තේ නැත. ඔවුන් කීවේ පොහොර හිඟයක් තිබෙන බවය.


ත්‍රස්තවාදය අවසන් කර රටට සාමය දිනා දී ගිය බදාදා ට වසර 12 ක් සම්පූර්ණ විය. එහෙත් මෙවර විජයග්‍රහණයේ සැමරුම නොපැවැත්විණි. ඒ වෙනුවට චාම් එහෙත් අභිමානවත් සැමරුම් උත්සවයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ව අසල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුද ඊට එක්ව සිටියහ.


විපක්ෂනායක සහ
තානාපතිවරුන් හමුව අඛණ්ඩ


විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස පසුගිය සති කිහිපය පුරාම විදෙස් රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සමග සාකච්ඡා පැවැත්වූයේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම් කිරීමටය. පසුගිය සතියේදීත් ඔහු තානාපතිවරුන් කිහිප දෙනෙක්ම හමුවිය.


දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් හමුවූයේ විපක්ෂ නායක කාර්යාලයේදීය. කොරෝනා වසංගතය සමග දකුණු කොරියාවේ රැකියා කරන තරුණ තරුණියන්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ඔහු අවධානය යොමු කළේය. ඒ අතරම කොරියාවේ නව රැකියා අවස්ථා ලබා දීම ගැනත් අවධානය යොමු කළේ විපක්ෂයේ කාර්යභාරය ඉක්මවා ගොස් කරන ජනතා සේවයක් ගැන විපක්ෂනායකවරයා සිතන නිසාය.
යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් පසුගිය සතියක දී හමුවීමෙන් පසුව මේ සතියේ දී යුරෝපා සංගමයේ තවත් නියෝජිතයන් පිරිසක් හමුවිය. කොරෝනා නිසා පීඩාවට පත් ජනතාවට සහන ලබා දීමට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ලබා දෙන්නැයි ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.


මේ අතර විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ රෝහල් සඳහා සෞඛ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන ද අඛණ්ඩව ඉදිරියට ගෙන ගියේය. මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස රෝහලට හා කරාපිටිය රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදුන්නේ විපක්ෂ නායක කාර්යාලයේදීය.


පෝර්ට් සිටි පනත අධිකරණයට


කොළඹ වරාය නගරය පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට වන ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවේ පිටපත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය අඟහරුවාදාය. මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ වහාම අලූත් අවුරුදු අතරේ අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට විපක්ෂනායකවරයා දැඩි වෙහෙසක් ගත්තේය.


ඒ පිටුපස සිටියේ සජිත් හා විපක්ෂ නායක ලේකම් රවි ජයවර්ධනය. පක්ෂයේ නීතීඥයන්ට අමතරව පිටස්තර නීතීඥයන්ගේ සහාය ලබා ගැනීමට සජිත් පෞද්ගලිකවම මැදිහත්විය. මහ ලේකම් රංජිත් මද්දුමණ්ඩාර හා හර්ෂණ රාජකරුණා හරහා පෙත්සම් දෙකක් ගොනු කළේ මේ අනුවය. ඇතැම් දවස්වල රාත‍්‍රී දහය දොළහ වන තෙක් මේ ගැන සාකච්ඡා කිරීමට සජිත් තමන්ගේ වෙලාව වෙන් කර තිබුණේ මේ ගැන ඔහුගේ උනන්දුව පෙන්නුම් කරමිනි.


වරාය නගර පනත ගැන විපක්ෂයේ මන්ත‍්‍ර‍්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පසුගිය දා විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණ.


‘‘සමහර පක්ෂ උසාවි ගියේ ඇඟ බේරගන්න වගේ. නඩු තීන්දුව ආවට පස්සේ කිසිම සද්දයක් නැහැ. කිසිම දෙයක් කරන්නේ නැතිව බලාගෙන හිටියා’’ නලීන් බණ්ඩාර කීවේය.


‘‘අපි මැදිහත්වුණ නිසා තමයි මේ පනත දේශද්‍රෝහී බව පෙන්නුම් කරන්න පුලුවන් වුණේ. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනතක් ආණ්ඩුව සම්මත කරගන්නවා. මේකෙන් පේනවා ආණ්ඩුවේ දේශද්‍රෝහී ස්වරූපය, සජිත් කීවේ මෙයට මැදිහත් වූ නීතීඥයන් ගැනත් සඳහන් කරමිනි.


‘‘මේ ආණ්ඩුව දේශප්‍රේමී සළු පොරවාගෙන සිටින්නේ රට විකුණන්න මිස වෙනත් කිසිම දෙයක් කරන්න නෙමෙයි. දේශප්‍රේමී ලේබලය අලවාගත්තට පස්සේ පහසුවෙන් මේවා කරන්න පුලූවන්නේ’’ජේ.සී. අලවතුවල මන්ත‍්‍රීවරයා කීය.


‘‘ආණ්ඩුව මේ පනත් කෙටුම්පත අලූත් අවුරුද්ද අතරේම ගෙනාවේ මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දැන දැනමයි. අපිට උසාවි යන්න බැරි වුණා නම් මේක සම්මත වෙනවා. තවම මේකේ භයානක දේවල් ඉවත් වෙලා නෑ. ඒවාටත් අපි සංශෝධන ඉදිරිපත් කරනවා’’එරාන් වික්‍රමරත්න කීය


මේ සතියේ පැවති විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ද මේ ගැන අවධානය යොමුවිය. පනතට විරෝධය දක්වමින් විරෝධතා පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින විට මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා කණ්ඩායම් රැස්වීමට පැමිණියේය.


‘‘මනුෂත් මේ කණ්ඩායමට දාගන්න’’සජිත් කියන විට මනුෂ වෙන්නේ මොකක්දැයි වට පිට බැලුවේය.
‘‘පෝර්ට් සිටියට දක්වන විරෝධය මනුෂයි, මරික්කාරුයි, නලින් බණ්ඩාරයි එකතුවෙලා සංවිධානය කරන්න’’සජිත් කීය


‘‘අපි ගිය ආණ්ඩුවෙන් ගෙනාපු හොඳ දේවල්වලට පොහොට්ටුවේ අය විරෝධය දැක්වූවා. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට විරුද්ධ පනත් මේ අය දැන් ගෙනත් මුකුත් නොදන්න අය වගේ ඉන්නවා. මේවා දේශද්‍රෝහී වැඩ’’ මනුෂ කීවේය


‘‘මනුෂ කියන කතාව හරි. මේ ආණ්ඩුව දේශද්‍රෝහී ආණ්ඩුවක් කියන එක මේ පනත ගෙන ඒමත් එක්ක ඔප්පු වුණා’’සජිත් කීය.


එදිනම හවස සජිත් තවත් තීරණාත්මක කටයුත්තක් කළේය. ඒ විපක්ෂ නායක කාර්යාලයේ දී පෝට් සිටි පනත පිළිබඳව විශේෂ වැඩමුළුවක් පවත්වා එහි අගතිය පිළිබඳව සාකච්ඡා කිරීමය.


ඉතාම දීර්ඝ ලෙස එහිදී සාකච්ඡාව සිදුවිය.


‘‘අපි මධ්‍යස්ථ විදෙස් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. රටට අගතියක් වෙන කිසිම දේකට අපි සහය දෙන්නේ නෑ. සජිත් කීවේය.


පාස්කු මහ මොළකරුවන් අල්ලන්න


පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් ඇල්ලීම ගැන මාධ්‍යයේ විවිධ අදහස් පළවී තිබුණේය. මේ ගැන විපක්ෂය කරන අනාවරණයන් වළක්වන ලෙස සජිත් බලපෑම් කර ඇතැයි ආරංචි පළවිය.


‘‘මේ අමූලික බොරු දාන්නේ පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරුවන් ආරක්ෂා කරන්න ඕනැ අය ද දන්නේ නෑ. අපි පක්ෂයක් විදියට මේකේ මහ මොළකරුවන් අල්ලන්න දිගටම බලපෑම් කරනවා. ඒ ගැන හෙළිදරව් කිරීම් කරනවා’’මෙය දුටු සජිත් කීය.


‘‘ඔබතුමානේ අපිට පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරන්න අවශ්‍ය ශක්තිය දුන්නේ. එතැනින් පස්සේ අපිට එල්ලවුණ අභියෝගවලට මුහුණදෙන්න ඔබතුමා අපිත් එක්ක හිටියා. ඒක අපිට ශක්තියක්. අපි මේවා හෙළි කිරීම නතර කරන්නේ නෑ’’හරින් දුරකතනයෙන් සජිත්ට කීවේය


‘‘වොයිස් කට් දේශපාලනය කරන අය එකතුවෙලා මේ වගේ බොරු ප‍්‍රචාර අරගෙන ගියාට අපි යන ගමන හරවන්න බෑ. පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරුවන් අල්ලනතුරු අපි සටන් කරනවා’’සජිත් කීය.
‘‘පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ කැබිනට් කමිටුව වාර්තාවක් ඉදිරිපත් කරලා ලූ’’ ගයන්ත කරුණාතිලක මේ ගැන කතා කරන විට අනෙක් මන්ත‍්‍රීවරුන්ට කීය.
‘‘මොකක්ද කැබිනට් එකේ වෙලා තියෙන්නේ’’ මන්ත‍්‍රීවරු ඇසූහ.


‘‘පාස්කු කොමිසමෙන් හේමසිරිටයි - පූජිතටයි විතරක් නඩු දාන එක වැරදියි කියලා තියෙනවා. අනික ඒ වාර්තාව සම්පූර්ණ වාර්තාවක් නොවන බවත් කියලා තියෙනවා’’ගයන්ත තමන්ට ලැබුණ තොරතුරු හෙළිදරව් කළේය.


‘‘නීතිපතිවරයාත් මේක කුමන්ත‍්‍රණයක් බව කියලා තියෙනවා. හැබැයි ආණ්ඩුව මහ මොළකරු හංගනවා. පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරු අල්ලන්න කියන බලපෑම දිගටම කරන්න’’සජිත් මන්ත‍්‍රීවරුන්ට උපදෙස් දුන්නේය.

 

 

-ගජබා-