බුලත් කොළයට පණදෙන ශ්‍රීලනිප වෑයම


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සති අන්තයේ වීරකැටියේ දී කළ ආන්දෝලනාත්මක කතාව ගිය සතියේ දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක් විය. එය එක් අතකින් දැඩි ස්වරයකින් කළ කතාවකි. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එක රටක් එක නීතියක් කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙස පත් කිරීම, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත් කිරීම මෙන්ම රසායනික පොහොර තහනම ද සාධාරණීකරණය කරමින් ජනාධිපතිවරයා දිගු කතාවක් කළේ දේශපාලනයේ වැදිය යුතු තැන්වලට ද වදින්නත් එක්කය.


වීරකැටියේ පැවති මේ උත්සවය සංවිධානය කර තිබුණේ මහාමාර්ග අමාත්‍යාංශය විසින් වැඩ නිම කරන ලද මාර්ග එක්දහස් පන්සීයක් එකවර ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙනි. එහි ප්‍රධාන උත්සවය පැවැත්වුණේ වීරකැටියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් එදින වීරකැටියට ගියේ කොළඹ සිට ය. ජනාධිපතිවරයා තංගල්ල නාවික කඳවුරට ගොස් එතනින් උත්සවයට සහභාගි වූ අතර අගමැතිවරයා වීරකැටිය වත්තට ගොස් උත්සවයට පැමිණියේ ය. ජනාධිපතිවරයාට අගමැතිවරයාට අමතරව, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද ඊට සහභාගි වූහ. උත්සවය රූපවාහිනී නාළිකා ඔස්සේ සජීවීව විකාශය කරන්නට කටයුතු යොදා තිබූ අතර, න්‍යාය පත්‍රයට අනුව ජනාධිපතිවරයාට කතාවක් සඳහා වෙලාව වෙන්කර තිබුණේ නැත. කතාවට වෙලාව වෙන් වී තිබුණේ අගමැතිවරයාට පමණි. එහෙත් අවසාන මොහොතේ න්‍යායපත්‍රය වෙනස් කරන්නට සිදුවූයේ ජනාධිපතිවරයාද කතා කරන බව ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සංවිධායකයන්ට දැනුම් දී තිබූ බැවිනි. අගමැතිවරයාගේ කතාව කලින් සැලසුම් කර තිබූ අතර, අගමැතිවරයාගේ කතාවට කලින් ජනාධිපතිවරයා කතා කරන බව ද දන්වා තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයාගේ කතාව කලින් සැලසුම් කළ එකක් නොවූ අතර අගමැතිවරයාගේ කතාව පමණක් කලින් සැලසුම් කර තිබිණි. ජනාධිපතිවරයා උත්සවය අමතමින් දීර්ඝ කතාවක් කළේ එල්ල වන චෝදනාවලට ද පිළිතුරු දෙමිනි. එය එක් අතකින් දැඩි ස්වරයකින් කළ කතාවක් ද විය. ඇතැම් හිටපු ජනාධිපතිවරුන්ගේ අගමැතිවරුන්ගේ ක්‍රියාකලාපයන් ද විවේචනය කළ ජනාධිපතිවරයා රට මිලිටරිකරණයට ලක් නොකරන බව ද කීවේය. ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු අගමැතිවරයාට කතාවට අවස්ථාව වෙන් වූ අතර, අගමැතිවරයා සැලසුම් කර තිබූ කතාව ඉතා කෙටිකර විනාඩි හතර හමාරකින් සිය කතාව කළේය.


 

 

 

 

අගමැති ගුරු වැටුප් ප්‍රශ්නය විසඳයි

 

 

 



රුහුණේ කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වූ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ ගුණසමරුව යෙදී තිබුණේද ඉකුත් සති අන්තයේය. ඒ වෙනුවෙන් මැදමුලන නිවසේ සෙනසුරාදා රාත්‍රියේ පිරිත් පිංකමක් පැවති අතර, පසුදා දහවල් දානයක් ද පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ඇමැතිවරුන් වන චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස ද ඊට සහභාගි වූහ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසත් මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ හා දන්දිනා සමරසිංහ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූයේ වැස්සේ තෙමීගෙන ය. එදින හැන්දෑවේ පිරිත් පිංකමට ද පිරිස සහභාගි වූහ. පහුවදා දානයට ද සිටි ජනාධිපතිවරයා කොළඹ බලා පිටත්ව ආ අතර අගමැතිවරයා කොළඹට ආවේ සඳුදා දිනයේ ය.


බැසිල්ගේ අයවැය


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ දෙවැනි අයවැය මෙන්ම බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා ලෙස ඉදිරිපත් කළ පළමු අයවැය ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. මෙවර අය වැය ඉදිරිපත් කරන්නට සිදු වූයේ අභියෝග රැසක් මැද ය. එකක් කොරෝනාවය. දෙවැන්න ආර්ථික අර්බුදයයි. මේ අතරේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය ද ඉදිරියට ආවේය. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ පැවැත්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේම ජයන්ත, අමරවීර, ඩලස් අලහප්පෙරුම, පසුපෙළ මන්ත්‍රීවරුන් වන චාමර සම්පත්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මිලාන් ජයතිලක, ජයන්ත කැටගොඩ, සාගර කාරියවසම්, ජගත් කුමාර ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වූහ. ගුරු සංගම් නියෝජනය කරමින් ජෝසෆ් ස්ටාලින්, මහින්ද ජයසිංහ, හඳපාන්ගොඩ ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වූහ. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරමින් එහි තුනෙන් එකක් එකවර ගෙවීමට බැසිල් රාජපක්ෂ මහතා එකඟතාව පළ කළේය.”‍ මේක ඉතා අමාරු කාලයක්. නමුත් අයවැයෙන් විසඳුමක් දෙනවා කියලා මම කලිනුත් කිව්වා.


ඒ අනුව ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් උපදෙස් මත මෙවර අයවැයෙන් එම මුදල් වෙන් කරනවා”‍ බැසිල් කියද්දී ගුරු සංගම් නියෝජිතයන් ද කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බව ය. බැසිල් කීවේ මෙවර අධ්‍යාපනයට අයවැයෙන් 7.5% ක් වෙන් කරන බවය. එය ලංකා ඉතිහාසයේ පළමු වතාවට සිදුවන දෙයක් බව ඔහු කීවේය. යහපාලන ආණ්ඩුව ගෙනෙන වෙලාවේ නිර්මාල් රංජිත්ලා ජාතික ආදායමෙන් 06 %ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස ඉල්ලා සිටිය ද පසුව ඔවුන්ට එය අමතක වූ බව බැසිල් කීවේය. නමුත් තමාට එය අමතක නොවූ බව කී බැසිල් මෙවර අයවැයෙන් අධ්‍යාපනයට සියයට 7.5 ක් වෙන් කරන බව කීවේය. එහිදී පිරිස අත්පුඩි ගසමින් ඊට සතුට පළ කළහ.


මේ සාකච්ඡාවට යන්නට පෙර මන්ත්‍රීවරු පිරිසක් බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ පාර්ලිමේන්තු කාර්යාලයේ දී ඔහු හමු වූහ. ඉදිරි අයවැය ආදිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතර පොහොර ප්‍රශ්නය ගැන ද කතාබහට ලක්විය. මෑතකදී ආණ්ඩුවට එක්වූ දෙමළ සන්ධාන මන්ත්‍රීවරයකු කියා සිටියේ පොහොර ප්‍රශ්නය ගැටලු‍වක් බවය. ඒ සඳහා කුමක් හෝ කරන්නැයි ඔහු ඉල්ලීමක් කළේය. ඊට බැසිල් දුන්නේ අපූරු පිළිතුරකි. “ඔයාලා ඕක ජනාධිපතිතුමා ඉන්න රැස්වීමකදී කියන්න. මොකද ඔයාලා ජනාධිපතිතුමා ඉන්න රැස්වී⁣මේදී කියනවා සර් එ්ක හොඳයි කියලා, නමුත් දැන් මං හමුවුණාම කියනවා ඒක හොඳ නෑ කියලා. එනිසා එතනදී කියන එක තමයි වැඩිය හොඳ”‍ බැසිල් කීවේය


මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ඉකුත් බදාදා පැවැත්වුණේ ඇමැති අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි. ඩයනා ගමගේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ගුණතිලක රාජපක්ෂ, ශාන්ත බණ්ඩාර, කිරිඳිගොඩ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ද, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීහු පිරිසක් ද ඊට සහභාගි වූහ. එහි දී කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකාවක් වූයේ මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ මැති ඇමැතිවරුන් ගණනාවකට මාස පහළොවක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබා දී තිබෙන බවය. මේ චෝදනාව මුලින්ම නැගුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ය. ඔහු කීවේ මන්ත්‍රීවරයෙකුට ආරක්ෂාව දීමේ නිශ්චිත ක්‍රමවේදයක් තිබෙන බවය. එහෙත් හිටපු මැති ඇමැතිවරුන්ට එසේ ආරක්ෂාව දෙන්නේ ඇයි ද යන්න ගැටලුවක් බව ඔහු කීවේය. හිටපු ආරක්ෂක ඇමැතිවරයෙකුට, හිටපු පොලීසිය භාර ඇමැතිවරයෙකුට ආරක්ෂාව දීම සම්බන්ධයෙන් ගැටලුවක් නැති බව කී හෙතෙම තමා මේ කියන්නේ වෛරයෙන් නොවන බවද කීවේය. එහෙත් සමහර හිටපු මන්ත්‍රීවරුන්ට උද්ඝෝෂණ කරන්න, ව්‍යාපාර කරන්න විතරක් නෙවෙයි කඩේ යන්නත් එම්.එස්.ඩී. එකෙන් යුනිෆෝම් එක්කම ආරක්ෂාව දී ඇති බව ඔහු කීවේය. ඊට පිළිතුරු දුන්නේ සරත් වීරසේකර ඇමැතිවරයාය. ඔහු කීවේ මේ ගැන පරීක්ෂණයක් කරන්න දැනුම් දී ඇති බව ය. ඊයේ පෙරේදා ද එවැනි කීපදෙනෙකුගේ ආරක්ෂාව ඉවත් කළ බව ඔහු කීවේය.


ශ්‍රීලනිපයත් බුලත් කොළය අතට ගනී


එක්සත් ජනතා නිදහස් සන්ධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල කටයුතු කරමින් සිටී. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සුළු පක්ෂ ගණනාවක් ඉකුත් බ්‍රහස්පතින්දා ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට කැඳවා තිබුණේ එහි පළමු පියවර ලෙස ය. එහි සම්බන්ධීකරණ කටයුතු කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයා විසිනි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ හමුවට මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ශාන් විජයලාල් ද සිල්වා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ගණනාවක්ම සහභාගි වූහ. එහිදී කතාබහට ලක් වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ඉදිරියට කටයුතු කරන ආකාරය ගැනය.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධාන වැඩපිළිවෙළක් ගිය සතියේ ගාල්ලේ දී පැවැත්විණි. බද්දේගම දොඩන්ගොඩ අනුස්මරණ ශාලාවේ පැවති වැඩමුළුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. එය සංවිධානය කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා විසින්ය. අධ්‍යාපන වැඩමුළුවක් ලෙස පැවති එම සාකච්ඡාවට පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක්ද එක්ව සිටියහ. මේ ආකාරයට සෑම දිස්ත්‍රික්කයකටම යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලසුම් කර ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.


හවුල් පක්ෂත් රට වටේ යයි


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් පසුගිය සතියේ බලශක්තිය ඇමැති උදය ගම්මන්පිල මහතාගේ නිල නිවසේ දී හමුවූයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුද, අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වූහ. ඉන්දුනීසියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වී සිටි නිසා විමල් වීරවංශ ඇමැතිවරයා මෙම රැස්වීමට සහභාගි වූයේ නැත. අයවැය ගැන මෙන්ම යුගදනවි ප්‍රශ්නය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර හවුල් පක්ෂ ඉකුත්දා පිටකෝට්ටේ පැවැත්වූ මහජන සභාව දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමටද එහිදී තීරණය විය. යුගදනවි බලාගාරයේ කොටස් ඇ​ෙමරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව මෙම පක්ෂ ඉකුත්දා රැස්වීමක් පවත්වා ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළේය. විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉකුත් සතිඅන්තයේ මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක රජයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුවත් කළේය. ඔහු මහ නාහිමිවරුන් පමණක් නොව අනු නා හිමිවරුන් හා කාරක සංඝ සභාවල ලේඛකාධිකාරි හිමිවරුන්ද බැහැදැක රජයේ ගමන් මග ගැන පැහැදිලි කළේ ඇතැම් පක්ෂ ආණ්ඩුවේ සිටිමින් කරන විවේචන පක්ෂ අතර සමගියට එතරම් නොගැළපෙන බව සඳහන් කරමිනි.
සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම මෙවර නොපැවතුණු අතර, ඒ වෙනුවට ගිය සිකුරාදා උදේ අයවැය අනුමත කර ගැනීමට කැබිනට් මණ්ඩලය රැස් විය. ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාද, විමල් වීරවංශ ඇමතිවරයා හැරුණුකොට අනිකුත් සියලු‍ ඇමැතිවරු ද සහභාගි වූහ. බැසිල් රාජපක්ෂ ඇමතිවරයා එදින පස්වරුවේ ඉදිරිපත් කරන අයවැය ගැන පැහැදිලි කළේය. අයවැයේ ඇති වැදගත් යෝජනා කිහිපයක්ද ඔහු කෙටියෙන් පැහැදිලි කළේය. ඒ සියල්ල අසා සිටි වාසුදේව නානායක්කාර ඇමතිවරයා කීවේ ජනතාව මුහුණ දෙන ජීවන වියදම් ප්‍රශ්නයට සහනයක් අයවැයෙන් යෝජනා වී නැති බවය. එය ගැටලු‍වක් බව කී ඔහු අඩුම තරමින් ජීවන වියදම ගැටලු‍ සම්බන්ධයෙන් රජය අවබෝධයෙන් සිටින බවවත් අයවැය කතාවේ සඳහන් කරන්නැයි ඉල්ලීමක් කළේය


 

 

 

විපක්ෂ නායකට ආ රහස් පණිවිඩය

 

 

 

 



විශ්‍රාම වැටුප් කොල්ලය ගැන විපක්ෂයට රහස් පණිවිඩයක්

 

පසුගිය දිනක විපක්ෂ නායක සජිත්ගේ දුරකථනයට විශේෂ පණිවිඩයක් ලැබුණේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගෙනි.


“සර්, මට විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. ආණ්ඩුව බොහොම අන්තනෝමතික තීන්දුවක් ගන්න යනවා”‍


ඒ නිලධාරියා සජිත්ට කීවේය. “මොකක්ද?’’ සජිත් විමසිල්ලෙන් ඇසුවේය.
“අග්‍රහාර රක්ෂණයට කියලා, ආණ්ඩුව විශ්‍රාමිකයන්ගෙන් ගානක් කපාගන්න යනවා”‍ නිලධාරියා සජිත්ට කීවේය.


ඔහුගෙන් කිසියම් තොරතුරු ප්‍රමාණයක් ලබාගත් සජිත් වහාම කළේ මුදල් අමාත්‍යාංශය හරහා මේ පිළිබඳව සොයා බැලීම ය.


“ඒ කතාව ඇත්ත විපක්ෂ නායකතුමා. හෙට මේ ගැන විශේෂ චක්‍රලේඛයක් දානවා”‍
සජිත්ට තොරතුර තහවුරු කරගන්නට හැකිවිය. ඒ අනුව, 2016/01/1ට පෙර විශ්‍රාම ගිය වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයන්ගෙන් රුපියල් හයසීයක් කපා ගන්නටත්, වයස අවුරුදු 70ට අඩු අයගෙන් රුපියල් හාරසියයක් කපා ගැනීමටත් ආණ්ඩුව විසින් අලු‍ත්ම චක්‍රලේඛය ඔක්තෝම්බර් 29 වෙනිදා නිකුත් කරනු ලැබුවේ ඔය අතරය.


විපක්ෂ නායකවරයා ආණ්ඩුවේ මේ අන්තනෝමතික තීන්දුවට එරෙහිව අරගලය ආරම්භ කළේ එතැනිනි.
“ මනුෂ්‍යයෙකුට රක්ෂණයක් දෙන එකේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ වෙලාවේ හැම පැත්තෙන්ම තැලිලා පොඩිවෙලා ඉන්න මිනිස්සුන්ගෙ සොච්චම් වැටුප අග්‍රාහාර රක්ෂණයට මුවා වෙලා කපන්න ඉඩ දෙන්න බැහැ.”‍ සජිත් මහ ලේකම් රංජිත් සමග කීවේය.


“මේක මොන අපරාධයක් ද ? සති දෙකක් තුළ අකමැත්ත ප්‍රකාශ නොකළොත් වැටුපෙන් කොටසක් කපා ගැනීම ඒකාන්තයි. විශ්‍රාම ගිහිල්ලා විවේක සුවයෙන් ඉන්න ඒ මිනිස්සු චක්‍රලේඛ බල බලා ඉන්නවා ද?”‍ මහලේකම් රංජිත් කීවේය.


“අනිත් එක පහුගිය කාලේ, ධන කුවේරයන්ට බදු සහන දුන් ආණ්ඩුව විශ්‍රාමිකයන්ගේ වැටුප් කොල්ලකනවා.මේකට අපි හැමෝම විරුද්ධ වෙන්න ඕන”‍ එහෙම කිව්වේ හර්ෂ ය.
“ආණ්ඩුව පැමිණි ගමන් ධන කුවේරයන්ට කෝටි ප්‍රකෝටි ගණන් බදු සහන ලබා දුන්නා. රාජ්‍ය ආදායම නැත්තටම නැති කරගත්තා. ආණ්ඩුව ඒ සිදුවුණු පාඩුව පියවා ගන්න හදන්නේ මේ රට වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ තමන්ගේ දහඩිය මහන්සිය සහ බුද්ධිය කැප කරමින් රාජ්‍ය සේවය කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෙන්, මේ මෘග්ධ ක්‍රියාවලියට එරෙහිව කොන්දේසි විරහිතව කටයුතු කරනවා”‍ සජිත් කීවේය.
ඒ සමගම විශ්‍රාම වැටුප කොල්ලකෑමේ කූට උපක්‍රමය සජිත් රටට හෙළිදරව් කළේ පසුගිය සෙනසුරාදා නැදිගම්විල දීය.


“මොළ හතේ මුදල් ඇමැතිවරයෙකු පත්කර ගත්තේ මේ අන්දමට රටේ අහිංසක ජනතාවගේ මුදල් කොල්ලකෑමට ද?”‍කියා සජිත් එහිදී විමසීය.


සජිත් කළ මේ හෙළිදරව්ව කෙටි කාලයක් තුළ ලැව් ගින්නක් සේ රට පුරා පැතිර ගියේ ය. තමන්ගේ සොච්චම් විශ්‍රාම වැටුප ආණ්ඩුව විසින් කොල්ල කන්නට යන උත්සාහය පිළිබඳව රට පුරා සිටි විශ්‍රාමිකයන් දැනගත්තේ සජිත් ගේ හෙළිදරව්ව නිසාය.


ඉන් අනතුරුව සජිත් තමන්ගේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සිදුවීම පිළිබඳව පැහැදිලි කළේය.
“මේ ගැන අපි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න ඕනෑ යහපතක් කරන ඕනෑ දේකට අපි කොන්දේසි විරහිතව සහාය දෙනවා. මේ ආණ්ඩුව හොඳ දේත් නරක විදිහට කරන ආණ්ඩුවක්. තුනෙන් දෙකක් අරගෙන කරන්නේ මේ වගේ අපරාධනම් ඒවට ඉඩ දෙන්න අපි සූදානම් නෑ”‍ සජිත් කීවේය .


එහෙම කී සජිත් ආණ්ඩුවේ මේ විශ්‍රාම වැටුප් කොල්ලය සම්බන්ධයෙන් පසුගිය 9 වෙනිදා 27/2 යටතේ විශේෂ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට යොමු කළේය. ඒ දහවල් 12.00ටය. ඔහුට අවශ්‍ය වූයේ ඊට පසු දින පාර්ලිමේන්තුවේ දී මේ ප්‍රශ්නය විමසන්නට ය. සජිත්ගේ මේ උත්සාහය ආණ්ඩුවට සැල වුණේය.
කෙසේ වෙතත් ඉන් පැය කිහිපයකට පසු ආණ්ඩුව අදාළ චක්‍රලේඛය වහාම අවලංගු කරනු ලැබීය.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ විශේෂ කාරණා කිහිපයක් මුල් කරගෙන ය. එකක් ආණ්ඩුව ගෙන ඒමට නියමිත අයවැය පිළිබඳව සාකච්ඡා කිරීම ය. අනෙක සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන “ශාපයට එරෙහි ජනතා විරෝධතාවය”‍ පිළිබඳව සාකච්ඡා කිරීමටය.
මුලින්ම අයවැය පිළිබඳව සාකච්ඡාවට ගැනුණු අතර එහි දී ඉරාන් වික්‍රමරත්න කියා සිටියේ ආණ්ඩුව හිස් අයවැයක් ගෙන ඒමට සූදානමින් සිටින බවයි.


“අපේ මන්ත්‍රී කණ්ඩායම ඒ ඒ විෂයන් වලට කමිටු විදිහට වෙන් කරලා, ඒ ඒ ක්ෂේත්‍ර ගැන අවබෝධයක් තියෙන ප්‍රොෆෙෂනල්ස්ලා එක්ක සාකච්ඡා තියලා අයවැය විවාදයට මුහුණ දෙමු”‍. සජිත් ඒ යෝජනාව ගෙනා අතර සියලු‍ දෙනාම ඊට එකඟ වූහ.


“ගිය වතාවේ අයවැයේ දී අපි ආණ්ඩුවට හොඳටම ඇටෑක් කළා. අපි කියපු හැමදේටම පදනමක් තිබ්බා. මේ වතාවෙත් ඒවගේ තර්කානුකූලව අයවැයට මුහුණ දෙමු”‍ එහෙම කීවේ මනුෂ ය.
ඉන් අනතුරුව සාකච්ඡාවට ගැනුණේ 16 වෙනිදා සිදුකරන්නට යන විරෝධතාව පිළිබඳවය.
“අනිවාර්යයෙන්ම ආණ්ඩුව මේ ගැන ගැස්සිලා ඉන්නේ. අපි මේ වෙලාවේ කල්පනා කරන්න ඕන ආණ්ඩුව මොන වගේ දේවල්වලට යයි ද කියලා.”‍ සරත් ෆොන්සේකා එහෙම කීවේය.
“මෙයට උසාවි නියෝගයක් ගන්නත් පුළුවන්”‍ චම්පික කීවේය.


“ඔව් අනිවාර්යෙන්ම. ඉස්සරහට කොරෝනා වැඩි වුණා කියලා කැම්පේන් කරයි. මරණ ගණන වැඩි වුණා කියලා නිවුස්වලට කියයි. අලු‍ත් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරයි. අනවශ්‍ය ඒකරාශිවීම් බෑ කියයි. උසාවි නියෝගත් ගනියි. ඒ හැම දේකින්ම බලාපොරොත්තු වෙන්නේ වෙන මොකක්වත් නෙවේ තුනෙන් දෙකේ ආණ්ඩුව අපේ විපක්ෂයට මොන තරම් බයද කියන එක”‍ සජිත් කීවේය.


සාකච්ඡා කර ගත් පරිදි විරෝධතාවයට සියලු‍ කටයුතු සංවිධානය වෙමින් තිබුණේ ඔය අතරය.
සජිත් කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රකාශ කළ පරිදිම ආණ්ඩුව වහාම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති මාලාවක් රැගෙන ආවේය. කොහොම වෙතත් සමගි ජන බලවේගය මොන බාධක හමුවේ හෝ විරෝධතාව පවත්වන්නට තීරණය කොට තිබේ.


උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටින වන අලියෙකු නීතිවිරෝධී ලෙස අල්ලාගෙන ප්‍රවාහනය කිරීමට ගත් උත්සාහයක් පිළිබඳව සජිත්ට තොරතුරක් ලැබුණේ හිත මිතුරකු මාර්ගයෙනි.
ඊට අදාළ තොරතුරු සියල්ල ලබාගත් සජිත් කළේ ඊට පසුදිනම පාර්ලිමේන්තුවේ දී මේ ගැන විමසීම ය.
වනඅලියා සොරකම් කිරීමට ගත් උත්සාහය වැළැක්වීම සම්බන්ධයෙන් වනෝද්‍යානයේ නිර්භීත උද්‍යාන පාලකතුමන්ට, වනජීවී නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන්ට ස්තූතිය පළකළ විපක්ෂ නායකවරයා අලි සොරකම් කිරීමේ රැල්ලක් ආරම්භ වී ඇති බව ද පැවැසීය.


එජාපයෙනුත් විරෝධතා


රජයේ ආර්ථික වැඩපිළිවෙළට එරෙහි දැඩිව ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී තීරණය කළේය.


කළයුතු වැඩ කල්දැමීම සම්බන්ධයෙන් පක්ෂ සාමාජිකයන් බහුතරයකින් එල්ල වූ ​චෝදනාව පිළිබඳව ක්‍රියාත්මක වූ රනිල් වික්‍රමසිංහ මහතා දැන් ක්‍රියාත්මක වීමට සුදුසු බැවින් අවශ්‍ය කටයුතු සංවිධානය කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.


එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවේදී ද පක්ෂයේ ඇතැම් කටයුතු ප්‍රමාදවීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබුණි.


ඒ අනුව පසුවදාම තීරණයකට එළඹ සිටි රනිල් වික්‍රමසිංහ මහතා රටපුරා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කරන ලෙසට උපදෙස් දුන්නේය.


විශේෂයෙන් බඩු මිල ඉහළයාම, පොහොර ප්‍රශ්නය, චීනය සමග ඇතිකරගත් ආරවුල ආදිය මාතෘකා කර ගන්නා ලෙසට ඒ මහතා උපදෙස් දුන්නේය.


ඒ අනුව සිකුරාදා ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට පියවර ගත්තේය
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා වශයෙන් කටයුතු කිරීමේදී තමන්ට යම් යම් බාධක පවතින බව රුවන් විජයවර්ධන මහතා පසුගියදා පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ප්‍රකාශ කළේය.
වැඩ කටයුතු කිරීමට බලතල නොමැතිවීම නිසා නියෝජ්‍ය නායක තනතුරක් අවශ්‍ය ​නොවන තත්ත්වයක් පවතින බවද ඔහු කියා සිටියේය.


මීට අමතරව පක්ෂ මූලස්ථානයේදී වෘත්තීයවේදීන්ගේ හමුවකට සහභාගි වෙමින් රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ හැමදාම ඍණ ආර්ථිකයක් තිබූ මේ රට ධන ආර්ථිකයක් බවට පත් කළේ රනිල් වික්‍රමසිංහ එජාප නායකයා බවය.


රාජ්‍ය සේවක කප්පාදුවකට හා වැටුප් කප්පාදුවකට ආණ්ඩුව සූදානම් වන බව මෙහිදී ප්‍රකාශ කළ රුවන් විජයවර්ධන මහතා රටේ ජනතාවට කන්න බොන්න විධිමත් ක්‍රමවේදයක් සකස් නොකර මාර්ග 1500ක් ඉදිකිරීම පියවර ගෙන තිබෙන බවද කීය.


ආර්ථික කළමනාකරණයේ දුර්වලතා නිසා ආණ්ඩුවට මුදල් නෑ. මේ නිසා වියදම් අඩුකර ගැනීමට කොහෙන්ද මුදල් කපා ගන්නෙ කියන එකයි ආණ්ඩුවෙ ආර්ථික ඔස්තාර්ලගෙ වැඩ පිළිවෙල යැයිද රුවන් විජයවර්ධන මහතා වෘත්තීයවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියේය.


සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති පළාත් පාලන කමිටු රැස්වීමට සහභාගි වූ රුවන් විජයවර්ධන මහතා එහිදී හාලිඇල කණ්ඩායම් නායක හා කණ්ඩායම් සංවිධායකට පත්වීම් ලිපි බාර දුන්නේය. මේ අවස්ථාවට පක්ෂයේ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සාගල රත්නායක, සමන් රත්නප්‍රිය ඇතුළු කීපදෙනෙක්ම සහභාගි වී සිටියහ.


බියගම ප්‍රදේශයේ පාක්ෂිකයකුගේ දියණියගේ විවාහ මංගල උත්සවය ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති අතර විවාහයේ සාක්ෂිකරුවකු ලෙස රුවන් විජයවර්ධන මහතා අත්සන් තැබීය. කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය ඇතුළු සභිකයන් පිරිසක් හමුවී කොළඹ දිස්ත්‍රික්කයේ පක්ෂ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කළේය.
.

 

 

-ගජබා-