බැසිල්ට ඉන්දියාවෙන් ඩොලර් ලැ​බේද?


  • ආණ්ඩුවේ කලකිරුණු මන්ත්‍රීන්ට මද්දුම බණ්ඩාර දැළ එළයි
  • අගමැති ඉස්ලාමීය රටවල තානාපතිවරුන් හමුවෙයි
  • විපක්ෂ නායක සජිත් ඇමැති  පියල්ගේ ෆේස්බුක් පිටුවට

 

ආන්දෝලනයට තුඩුදුන් පොහොර ප්‍රශ්නය යටගොස් ගිය සතිය ​ෙවනවිට අලු‍ත් මාතෘකාවක් කරළියට පැමිණියේය. ඒ ගෑස් ප්‍රශ්නයයි. ගෑස් පිපිරීම සම්බන්ධ ප්‍රශ්නය දේශපාලන කරළියේ පමණක් නොව මුළු රටම ගිනියම් කරන මාතෘකාවක් බවට මේ ​ෙවන විට පත්ව තිබේ. ජනමාධ්‍යවලත්, දේශපාලන කරළියේත්, පාර්ලිමේන්තුවේත් රටේ සාමාන්‍ය ජනතාවගේත් ගිය සතිය පුරාම කතාබහට ලක් වූයේ මේ ගෑස් ප්‍රශ්නයයි.

 

ගෑස් පිපිරීම් සම්බන්ධ ප්‍රශ්නයේදී ආණ්ඩුවට වගේම චෝදනා එල්ල වන්නේ අදාළ ගෑස් සමාගමට ය. සංයුතියේ පසුගිය කාලයේ වෙනසක් කළ බව ගෑස් සමාගම ගිය සතියේ පිළිගත්තේය. ගෑස් සමාගමේ ප්‍රබලයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ ගැන මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට උත්තර දීගත නොහැකි වූ නිලධාරීන් ඇඹරෙමින් දුර්මුඛ වූයේ ඔවුන්ගේ පාර්ශ්වයෙන් ද කුමක් හෝ වරදක් සිදුවී ඇති බැවිනි.


ඒ අතර ඩොලර් අර්බුදය සම්බන්ධ ප්‍රශ්නය ද තවමත් විසඳී ඇති බවක් පෙනෙන්නට නැත. ඉකුත් සඳුදා පැවති කැබිනට් රැස්වීමේ දී ද කැබිනට් පත්‍රිකාවලට අමතරව වැඩි අවධානය යොමු වූයේ මෙම ඩොලර් ප්‍රශ්නය සම්බන්ධයෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ඇමැතිවරු සියලු‍ දෙනා ද සහාභාගි වූහ. පුරුදු පරිදි කැබිනට් පත්‍රිකා සාකච්ඡා කිරීමෙන් අනතුරුව සාකච්ඡාවට ලක් වූයේ ඩොලර් ප්‍රශ්නයයි. වාසුදේව නානායක්කාර, නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, බැසිල් රාජපක්ෂ අැතුළු ඇමැතිවරු ගණනාවක්ම ඩොලර් ප්‍රශ්නය සම්බන්ධව සාකච්ඡා කළහ. බන්දුල පෙන්වා දුන්නේ ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග ඇතුළත් කන්ටේනර් දහස් ගණනක් වරායේ සිර වී ඇති බවය. ඊට පිළිතුරු දෙමින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කීවේ අත්‍යවශ්‍ය ආහාර වර්ගවල හිඟයක් වෙළදපොළේ ඇති වීමට කිසිසේත් ඉඩ නොදෙන බවය. ඒ සඳහා ඩොලර් අවශ්‍යතාව මත නිදහස් කරන බවද ඔහු කීවේය. මේ අතර ඇමැතිවරුන් කිහිප දෙනකුම කීවේ ඩොලර් ප්‍රශ්නය විසඳන ආකාරය කුමක්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවය. ඒ සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල කැබිනට් මණ්ඩලයට කැඳවා ඇමතිවරුන්ට පැහැදිලි කිරීමක් ලබා දෙන්නැයි ඔවුහු ඉල්ලීමක් කළහ. මේ අතර බන්දුල ගුණවර්ධන කීවේ පිටරට සිට එවන ඩොලර් සඳහා ඩොලරයකට රුපියල් දහයක විශේෂ දීමනාවක් ගෙවීමට මහ බැංකු අධිපතිවරයා කර ඇති යෝජනාව එතරම් ප්‍රායෝගික නොවන බවය. එයින් කළු කඩේ ඩොලර් මිල තවත් ඉහළ යන බව කී ඔහු වී වලට සිදු වූ දේ ම ඩොලර්වලට ද මේ අනුව සිදුවනු ඇතැයි කීවේය. ආණ්ඩුව වී වල සහතික මිල වැඩි කළා. ඊට පස්සේ පෞද්ගලික අංශය වී මිල තවත් වැඩි කළා. අන්තිමට වුණේ හාල් මිල වැඩි කරලා පාරිභෝගිකයා අපහසුතාවට පත් වීම විතරයි. ඒ වගේ ඩොලර්වලට ගෙවන අමතර මුදල වැඩි කිරීම නිසා ඩොලර්වලටත් වී වලට වුණු දේ ම වෙන්න පුළුවන්. එ් නිසා මම නම් කියන්නේ මේක නෙමේ ප්‍රායෝගික විසඳුම. ලංකාවට ඩොලර් සීය බැගින් අඛණ්ඩව අවුරුද්දක් එවන අයට සහන පදනම මත ලක්ෂ 25 දක්වා ණය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යැයි බන්දුල කීවේය.


ඩොලර් ප්‍රශ්නය කතාබහට ලක්වන අතරවාරයේ රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයා අදහස් දක්වමින් කීවේ මේ විදේශ ආයෝජන එන ඒවට පවා විරුද්ධ වීමෙන් ඩොලර් ප්‍රශ්නය උග්‍ර වූ බවය. යුගදනවි බලාගාරයේ ප්‍රශ්නය ද ඔහු එහිදී සඳහන් කළේය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමැතිවරුන් එහිදී සඳහන් කළේ විරුද්ධ වූයේ ව්‍යාපෘතියට නොව එය කළ ආකාරයට සහ එල්.එන්.ජී. ඒකාධිකාරය ඇමරිකාවට දීමට විරුද්ධව බවය.


බැසිල් ඉන්දියාවේ


මේ අතර, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් සතියේ දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඔහුගේ සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් ක්ෂණික විසඳුමක් ලබාගැනීම මෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් උපායමාර්ගික ක්‍රියාදාම කිහිපයක් ගැනීම ය. ඔහු ඉන්දීය මුදල් ඇමතිවරියත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිත් හමු වී ය. මුහුණ දී තිබෙන බරපතළ ඩොලර් හිඟය විසඳාගැනීම සඳහා ක්ෂණික ණයක් වශයෙන් ඩොලර් මිලියන 500 ක පමණ මුදලක් ඉන්දියාවෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂිතය.


ඉස්ලාමීය රාජ්‍යයන්වල තානාපතිවරුන් සඳහා විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් ඉකුත් සතියේ කොළඹ දී පැවැත්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ආරාධනය පරිදි පැවති මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට ඉස්ලාමීය රාජ්‍යයන්වල තානාපතිවරු රැසක් සහභාගි වූහ.


එක රටක් එක නීතියක් යන්න සම්බන්ධයෙන් එහිදී කතාබහට ලක්විය. විදේශ ඇමැතිවරයා කියා සිටියේ එක රටක් එක නීතියක් රජයේ වැඩපිළිවෙළ යටතේ මුස්ලිම් ජනතාවට අසාධාරණයක් නොවන බවය. සියලු‍ පාර්ශ්වවල අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් කිසිවකුටත් අසාධාරණයක් නොවන ආකාරයෙන් එම නීති සංශෝධනය කෙරෙන බව ඔහු කීවේය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරේදා අබුඩාබි බලා පිටත්ව ගියේය. ඒ ආසියානු කලාපීය රටවල සහයෝගිතා සමුළුවකට සහභාගිවීම වෙනුවෙනි. ජනාධිපතිවරයා පෙරේදා රාත්‍රියේ අබුඩාබි බලා පිටත්ව ගිය අතර, සඳුදා උදේ යළි දිවයිනට පැමිණීමට නියමිත ය. ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද එක්ව සිටී.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සිටින්නේ එතරම් පැහැදීමකින් නොවේ. ඒ බව පසුගිය දවස්වල සිදු වූ කතාබහවලින් ද බොහෝ හොඳින් පැහැදිලි විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද ගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී රැස්වූයේ මේ අතරවාරයේ ය. එහි මුලසුන ගත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. සාකච්ඡාවට සහභාගි වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා සාකච්ඡාව අතරවාරයේ පිටව ගියේ වෙනත් අත්‍යවශ්‍ය කටයුත්තක් යොදාගෙන තිබූ බැවිනි. ඔහු එළියට එද්දී මාධ්‍යවේදීන් පිරිසක් මඟ රැක සිටි අතර ඔහුගෙන් ප්‍රශ්න කීපයක් ද විමසූහ. ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් යන්නයි ආණ්ඩුවේ සමහර අය කියන කතා ගැනද එහිදී විමසනු ලැබීය. අමරවීර කීවේ යනවා නම් ශ්‍රීලනිපය පමණක් නොව හවුල්කාර පක්ෂවල සෙසු අයත් ආණ්ඩුව සම්බන්ධයෙන් කලකිරීම් ඇති පොහොට්ටුවේ අයත් ඉවත්ව යනු ඇති බව ය. එවිට ආණ්ඩුවට තුනෙන් දෙක නොව බහුතරයත් නැතිවන බව ඔහු කීවේය.


මෙම කාරක සභා රැස්වීමේ දී අය-වැය සම්බන්ධයෙන් සහ මැතිවරණ ක්‍රම සංශෝධනය සම්බන්ධයෙන් දේශන දෙකක් ද පැවැත්විණි. මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් පැහැදිලි කළේ ආචාර්ය පණ්ඩිතරත්නය. මනාප හා කේවල ඡන්ද ක්‍රමය ගැන අදහස් දක්වමින් ඡන්ද ක්‍රමයේ සිදුකළ යුතුව ඇති වෙනස්කම් ගැන මධ්‍යම කාරක සභිකයින් දැනුවත් කළේය. ආචාර්ය සමීර ලියනගේ අයවැය ගැන පැහැදිලි කළේය. ආණ්ඩුවේ අයවැය තනිකරම බොරුවක් බව කී ඔහු ජනතාවගේ බලාපොරොත්තු එමගින් සුන් කර ඇති බව කීවේය. කතාබහ යන අතරේ ලසන්ත අලගියවන්න ඇමැතිවරයා ප්‍රශ්නයක් මතු කළේය. තනතුරු දරන අය ආණ්ඩුවෙන් අයින් වෙන්න එතරම් කැමැත්තක් නොදක්වන බව සමහරු කියන බවත් එහෙත් එය වැරදි බවත් ඔහු කීවේය. තමා කියන දෙය පක්ෂ වාර්තාවට ඇතුළත් විය යුතු යැයි අලගියවන්න කීවේය. ඊට පිළිතුරු දුන්නේ පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරය. ඔහු කීවේ වාර්තාවේ කෙළින්ම නැති වුණත් එම අර්ථය හැඟවෙන පරිදි එය සඳහන් වී ඇති බවය. ඒත් අලගියවන්න කිව්වේ හැඟවෙන්නේ කීවට එය ප්‍රමාණවත් නැති බවත් කෙළින්ම එහේ සඳහන් යුතු බවත් ය. අනතුරුව කතා කළේ මහින්ද අමරවීර ය. ඔහු කීවේ අපි කිසි කෙනෙක් මේ තනතුරුවල බලෙන් ඉන්නෙ නෑ. පක්ෂය තීන්දුවක් ගත්තොත් අපි යන්න ඕනැ කියලා අපි යනවා”‍ අමරවීර කීවේය. මේ කතාබහ අතරේ පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අදහස් දැක්වීය. මම ගැනත් සඳහන් කරන්න ඕනැ මොකද පාස්කු ප්‍රහාරය නිසා මම ආණ්ඩුව එක්ක හැප්පෙන්න යන්නෙ නෑ කියලා සමහර අය කියනවා. මේක වාර්තාවට නොදැම්මට කමක් නෑ. ඔයාලට දැනගන්න කියන්නේ. හැබැයි එහෙම එකක් නම් මෙතන නෑ. මෛත්‍රී කීවේය.


නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා ආණ්ඩුවේ මැතිවරණ ප්‍රතිසංස්කරණ කමිටුවේ ද සාමාජිකයෙකි. කමිටුවේ ඡන්ද ක්‍රමයේ සිදුවන සංශෝධන සම්බන්ධයෙන් ඔහු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව දැනුවත් කළේය. ඔහු කීවේ ඡන්ද පැවැත්වීම කල් නොදැමිය යුතු බවය. පළාත් සභා ඡන්දය කලින් පැවැත්විය යුතු බවත්, එය පැරණි ඡන්ද ක්‍රමයට හෝ පැවැත්වීම සුදුසු බවත් ඔහු කීවේය. පළාත් පාලන ආයතනවල සභික ධුර සම්බන්ධයෙන් ගැටලු‍වක් තියෙනවා. ඒක වෙනස් විය යුතුය. හැබැයි දැනට එ්ක කරන්න අපහසු නම් මේ තියෙන ක්‍රමයට හරි පළාත් පාලන ඡන්දය තියන්න ඕන”‍ නිමල් කීවේය.


මෛත්‍රී කීවේ පක්ෂයේ වෘත්තීයවේදීන්ගේ සංවිධානය ඉක්මනින් සකස් කළ යුතු බවය. රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුළු වෘත්තීයවේදීහු පිරිසක් පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් කැඳවා ආණ්ඩුවට චෝදනා කිහිපයක් ද ඉදිරිපත් කළහ.


ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන ලෙස්ලි දේවේන්ද්‍ර පසුගිය කාලය පුරා සිටියේ පොහොට්ටුවත් සමග ය. පොහොට්ටුව සමඟ සම්බන්ධවී සිට ගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යළිත් පැමිණියේය. මෙදින පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරයට ද ඔහු පත් කරනු ලැබීය. මේ අතර එහිදී සාකච්ඡා වූයේ අය-වැය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනය. අය-වැය සම්බන්ධයෙන් විවේචන තිබෙන නමුත් තුන් වැනි වර කියවීම සඳහා සහාය ලබා දීමට කාරක සභාව තීරණය කළේය.


තැඹිලි පැහැයෙන් ලොව බබලවන්න සජබෙත් එක්වෙයි

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේ දී වැඩි අවධානයක් යොමු කළේ කාන්තාවන්ට එල්ලවන හිංසනයට එරෙහිව කටයුතු කිරීම ගැනය.


‘‘තැඹීලි පැහැයෙන් ලොව බබලමු’’ යන තේමාවෙන් යුතුව දින දොළහක වැඩසටහනක් සූදානම් කර තිබුණේ ජාත්‍යන්තර කාන්තා හිංසනය පිටු දැකීමේ දිනය මුල් කරගනිමිනි. එහි එක් වැඩසටහනක් සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. සමගි වනිතා බලවේගය විසින් සංවිධානය කර තිබූ එම වැඩසටහනට සජිත් පැමිණියේ තැඹිලි පැහැයෙන් යුත් කමීසයක් ඇදගෙනය. එතැනට පැමිණි කාන්තාවෝ ද තැඹිලි පැහැයෙන් යුත් ඇඳුම් ඇඳගෙන පැමිණ සිටියහ.


කාන්තා හිංසනයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් වෙන් කර තිබුණේ තැඹිලි පැහැය නිසා සියල්ලෝම තැඹිලි පැහැයෙන් සැරසී පැමිණ සිටියහ.


‘‘සමගි ජන බලවේගයේ පාට වෙන්නේ කහ පාටයි, කොළ පාටයි. ඒ දෙකට තැඹිලි පැහැයත් අපි එකතු කරන්න යෝජනා කරනවා. සමගි ජන බලවේගය කාන්තාවන්ට සිදුවන හිංසනයට විරුද්ධ බව පෙන්වීමට අපි තැඹිලි පැහැය එකතු කරනවා’’සජිත් කීවේය.


රෝහිණි කවිරත්න මන්ත‍්‍රීවරිය එහි පැමිණ සිටියේ කාන්තා හිංසනයේ වින්දිතයෙක් ලෙසය. සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලය දින දොළහක් පුරාම තම කාර්යාලය තැඹිලි පැහැයෙන් සරසන්නේ සියලු‍ම කාන්තා හිංසනයන්ට එරෙහිවීමට පක්ෂයේ ඇති කැපවීම පෙන්නුම් කරමිනි.


අය වැය කතා


අය වැය විවාදයට සජිත් පසුගිය සතියේ දී සහභාගී වූයේ කතා කිහිපයක්ම පවත්වමිනි. කාන්තාවන්ගේ හා පාසල් ළමුන්ගේ ගැටලු‍ ගැන ඔහු අවධානය යොමු කළේය. සියලු‍ම ක්ෂේත‍්‍ර ආවරණය වන ආකාරයට ඔහු කළ කතාව කාගේත් අවධානය යොමු කර තිබුණි.


‘‘මේ කතාව ජනතාව අතරට අරගෙන යන්න ඕනැ. අපි මේ කතාව ජනතාව අතරට අරගෙන යමු’’මන්ත‍්‍රී කණ්ඩායම කළ යෝජනාව කාගේත් අවධානයට යොමු වූවේය.


විපක්ෂ නායක කාර්යාලයේ දී මන්ත‍්‍රීවරුන් කතා බහ කරමින් සිටිය දී මරික්කාර් මන්ත‍්‍රීවරයා තමන්ගේ ජංගම දුරකථනයෙන් පෙන්වූයේ පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ කතාවට ෆෙස් බුක් පිටුවක දක්වා තිබූ ප‍්‍රතිචාරයි.


‘‘ළමයින්ට සනීපාරක්ෂක තුවා නොමිලේ දෙනවා කියලා නායකතුමා ජනධිපතිවරණයේ දී කිව්වම හිනා වුණා අය දැන් ඒ යෝජනා ක්‍රියාත්මක කරනවා’’තලතා අතුකෝරළ මන්ත‍්‍රීවරිය කීවාය.


‘‘ආණ්ඩුව කරන වැඩ දිහා බැලු‍වම ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පැත්තකට දාලා කියලා නම් පේනවා. අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් හරි දේවල් අරගෙන කරනවා නම් හොඳයි’’මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේය.


ඒ අවස්ථාවේදීම සජිත් ජංගම දුරකථනය ගෙන පියල් නිශාන්ත මන්ත‍්‍රීවරයා කළ කතාවට ප‍්‍රතිචාරයක් දැක්වූවේය.


‘‘අප කිහිප විටක්ම අවධාරණය කළ කාරණවක් පිළිබඳ අවධානය යොමුවීම ගැන සතුටු වන අතර ස්තුතිය පුද කරමු. මේ යෝජනා කෙරෙහි පළමුව උපහාසය ද, ගැරහුම් ද අප වෙත එල්ල වූ නමුත් ඒවා උපේක්ෂාවෙන් දරා ගැනීමට අපට හැකි වූයේ අප කළ යෝජනාව හෘද සාක්ෂියට එකඟව අවංකව කළ එකක් නිසාය. මේ යෝජනාව වචනයට සීමා නොවී කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි විශ්වාස කරමු’’සජිත් ෆෙස් බුක් පිටුවට ගොස් තමන්ගේ ප‍්‍රතිචාරය සටහන් කළේය.


අර්ජුන ගැන කතා


අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමත් සමග රංජිත් මද්දුම බණ්ඩාරට දුරකතන ඇමතුම් දුන් බොහෝ දෙනෙක් විමසා සිටියේ ඔහු සමගි ජන බලවේගය සමග එක්වන්නේ ද යන්නයි.


‘‘සති කිහිපයකට කලින් නායකතුමා එක්ක කතා කරලා තිබුණා. අපි ඉදිරියට මොකද වෙන්නේ කියලා බලමු. අපි හැමෝම එකට එකතුකරගෙන මේ ගමන ඉදිරියට යන්න ඕනැ’’ රංජිත් මද්දුම බණ්ඩාර ඒ සියලු‍ දෙනාටම දුන්නේ එකම උත්තරයකි.


මේ අතර ඔහු තවත් රහසිගත මෙහෙයුමකට පසුගිය සතියේ දී අත තබා තිබුණි. ඒ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය කෙරෙහි කළකිරී සිටින මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් සමග සාකච්ඡා කිරීමය. අය වැය විවාදය පැවැත්වෙන අතරවාරයේ දී පාර්ලිමේන්තුවේදීම ඇතැම් මැති ඇමැතිවරු හමු වූයේ ඉදිරි මැතිවරණයක දී ඔවුන්ගේ සහාය ලබා ගැනීම ගැන අවධානය යොමු කරමින්ය.


‘‘වංචා දූෂණවලට සම්බන්ධ අය හැර අනෙක් ඕනෑම කෙනෙක්ට අපේ පක්ෂයේ දොර ඇරලා තියෙන්නේ. හැබැයි මේක සැලු‍න් දොරක් නෙමෙයි. එන්න තමයි අපි දොර ඇරලා තියන්නේ’’ සජිත් කීවේ මන්ත‍්‍රීවරයාට හිමි ගරුත්වය ලබා දීමට කටයුතු කරන ආකාරය ගැනත් සඳහන් කරමිනි.

 

  • ඇමැතිවරුන් කිහිප දෙනකුම කීවේ ඩොලර් ප්‍රශ්නය විසඳන ආකාරය කුමක්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවය. ඒ සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල කැබිනට් මණ්ඩලයට කැඳවා ඇමතිවරුන්ට පැහැදිලි කිරීමක් ලබා දෙන්නැයි ඔවුහු ඉල්ලීමක් කළහ.


මහජන ව්‍යාපාරයක් ඇරැඹීමට එජාපයේ තීන්දුවක්


ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීම සඳහා මහජන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය ඉකුත් සතියේදී තීරණය කළේය. පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම යෝජනාව ඉදිරියට ගෙනයාමේ කටයුතු නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා වෙත පවරනු ලැබීය.


මෙම ව්‍යාපාරය පිහිටුවීමේ අවශ්‍යතාව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා පෝලන්තයේ වෘත්තීය සමිති නායකයෙක් වූ ලෙක් වැලේසා රටේ නායකත්වයට පත්වීම ගැන ප්‍රකාශ කර සිටියේය. ජනතාවගේ පොදු ප්‍රශ්න හමුවේ පෙනී සිටීම ඔවුන්ට ශක්තියක් ධෛර්යයක් වන බව මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.


අද වනවිට රටේ ජනතාව බඩු මිල වැඩිවීමෙන් පීඩා විඳිනවාට අමතරව ගෑස් ටැංකි පුපුරායාමෙන් ජීවිත තර්ජනයට ලක්වී සිටින බවද පෙන්වා දුන්නේය.


මෙම සාකච්ඡාවෙන් පසු රැස්වූ පිරිස සමග නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහජන ව්‍යාපාරයක් සංවිධානය කිරීම පිළිබඳව සාකච්ඡා කළේය. සමන් රත්නප්‍රිය, අනුරාධනායක, සන්දිත් සමරසිංහ යන මහත්වරු ඇතුළු ආසන සංවිධායකවරු කීප දෙනෙක්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.


පක්ෂයෙන් ඔබ්බට ගිය සංවිධානය ලෙස මෙහිදී ක්‍රියා කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා කෙරිණි.


මීට අමතරව සතියකට වරක් රැස්වෙන පක්ෂයේ කළමනාකරණ කමිටුවද පක්ෂයේ කටයුතු සමාලෝචනයට භාජනය කළේය.

 

 

-ගජබා-