පොළේ ගිය සුසිල් ගෙදර ගිය හැටි


 

සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ ගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් විය. සුසිල් පමණක් නොව, ආණ්ඩුවේම මැති ඇමතිවරු ගණනාවක් පසුගිය කාලයේ ආණ්ඩුව දැඩිව විවේචනය කළහ. චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන මැති ඇමැතිවරු ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු ද ඒ අතර වූහ. ප්‍රේමජයන්ත ඇමතිවරයා ඒ අතරින් ඉදිරියෙන්ම සිටියේය. ඔහු ඉවත් කිරීමට ආසන්නතම හේතුව වූයේ ඉවත් කළ දිනට කලින් දින ඔහු දෙල්කඳ පොළේ දී කළ ප්‍රකාශයකි. 


නිවස ආසන්නයේ පිහිටි දෙල්කඳ පොළේ බඩු ගන්නට යෑම සුසිල්ගේ පුරුද්දකි. සෑම සති අන්තයකම පාහේ දෙල්කඳ පොළට ගොස් බඩු මිලදී ගන්නවාට අමතරව ලොතරැයියක් මිලදී ගැනීම පුරුද්දක් කර ගත්තේය. ඔහු ඉරිදා පොළට ගොස් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ද දුන්නේ බඩු මිල විශාල වශයෙන් වැඩිවී ඇති බව සඳහන් කරමිනි. ආණ්ඩුව දැඩිව විවේචනය කළ ඔහු කෘෂිකර්ම ඇමැතිවරයාත් වෙළෙඳ ඇමතිවරයාත් ෆෙල් බව ද කීවේය එහෙත් මේ ප්‍රකාශය පදනම් කර ගනිමින්, ඔහුට රාජ්‍ය අමාත්‍යධූරයෙන් යන්නට සිදුවනු ඇතැයි ඔහු සිතන්නට නොමැත. මක්නිසාදයත්, ඔහු මීට පෙර ද ආණ්ඩුව දැඩිව විවේචනය කළේය. ඉවත් කරන තෙක් ඔහු ඉවත් කරන බවක් ආණ්ඩුවේ බොහෝ දෙනෙකු ද දැන සිටියේ නැත. ඒ ජනාධිපතිවරයා විසින් හදිසියේ ගනු ලැබූ තීන්දුවක් බව පැහැදිලි වන්නේ අගමැතිවරයා ද ඒ ගැන නොදැන සිටීමෙනි. රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව අගමැතිවරයා ද සුසිල් ප්‍රේමජයන්තට දුරකථනයෙන් අමතා සදහන් කර තිබු​ණේ ඔහු ඉවත් කරන බවක් තමා නොදැන සිටි බව ය.

 

ආණ්ඩුව විවේචනය කරන මැති ඇමැතින්ට ජනපතිගෙන් රතු එළියක්


වසරේ පළමු කැබිනට් රැස්වීම සඳුදා හැන්දෑවෙ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එදින කැබිනට් රැස්වීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල ද කැඳවන්නට කලින් පැවති කැබිනට් රැස්වීමේ දී තීරණය කර තිබූ නමුත්, ඔවුන් දෙදෙනා එදින සහභාගි නොවූයේ එම තීරණය වෙනස් වී තිබූ බැවිනි. ජනාධිපතිවරයා කැබිනට් රැස්වීම ආරම්භ කරමින් මැති ඇමතිවරුන්ට නව වසර සඳහා සුබ පැතුවේය. ඒ සමඟම ජනාධිපතිවරයා නව වසරේ දී ඇමැතිවරුන්ට අවවාදයක් ද දුන්නේය. ‘‘කොරෝනා ප්‍රශ්නය අපට විතරක් තියන ප්‍රශ්නයක් නෙමේ. අනෙක් රටවලටත් මේ ප්‍රශ්නය තියෙනවා. ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් වී ඇති බවත් මම දන්නවා. හැබැයි අපි අතර සමගිය තියෙන්න ඕනෑ, ඒවට මුහුණ දෙන්න. සමගිය නැති වුණොත් අපිට මුකුත් කරන්න බෑ’’ ජනාධිපතිවරයා කීවේය.


අනතුරුව කතා කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුය.”‍ විපක්ෂය කියන්න ඕන දේවල් ආණ්ඩුවේ අයම කියනවා .ඒක බරපතළ ගැටලු‍වක්. විපක්ෂයේ අයට අපිට උත්තර දෙන්න පුළුවන්. ඒත් අපේම අය කියන එකට අපි උත්තර දෙන්නෙ කොහොම ද? අපේම අය ආණ්ඩුව විවේචනය කරන්න ගියාම ජනතාවත් එය පිළිගන්නවා. ඒක නිසා මේක බරපතළ ප්‍රශ්නයක්. ජොන්ස්ටන් කීවේය. ඒ සමගම ඔහු සඳහන් කළේ සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා දෙල්කඳ පොළට ගොස් කලින් දිනයේ කරපු ප්‍රකාශයකි.”‍ සුසිල් දෙල්කඳ පොළට ගිහින් ආණ්ඩුව දැඩිව විවේචනය කළා. කෘෂිකර්ම ඇමති ෆෙල් කිව්වා. ආණ්ඩුව ෆෙල් කිව්වා. මේ වගේ දේවල් ආණ්ඩුවට බරපතළ ප්‍රශ්නයක්. ජොන්ස්ටන් කීවේය. අනතුරුව නැගී සිටියේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ය. ඇයි කෘෂිකර්ම ඇමැති විතරක්. වෙ​ෙළඳ ඇමැතිත් ෆේල් කියලා කිව්වනේ. මගේ නෑකමට මස්සිනා. අපේ ගෙදර ගාව පොළට ඇවිල්ලා තමයි මෙහෙම කිව්වේ. බන්දුල ගුණවර්ධන කීවේය. මහින්දානන්ද ද සුසිල්ට එරෙහිව අදහස් දක්වන්නට විය. ඔහු කීවේ ද මෙවැනි ප්‍රකාශ කරන ආණ්ඩුවේ මැති ඇමතින් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා වහා තීරණයක් ගත යුතු බවය.”‍ මේ සම්බන්ධයෙන් මට තීන්දුවක් ගන්න බලය තියෙනවා යයි ජනාධිපතිවරයා කී නමුත්

සුසිල් ඉවත් කරන බවක් එහිදී සඳහන් නොකළේ ය


ඒ අතර මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ජනතාවට ලබාදෙන සහන පැකේජයක් සම්බන්ධයෙන් වන සංදේශයක් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළේය. රජයේ සේවකයන්ට 5,000ක දීමනාවක් ලබාදීම, ආබාධිත රණවිරුවන්ට හා විශ්‍රාමිකයන්ට පන්දහසක දීමනාවක් ලබාදීම සමෘද්ධිලාභීන්ට රුපියල් 1000ක දීමනාවක් ලබාදීම, වතුකරයේ ජනතාවට පිටි සඳහා සහනයක් ලබාදීම ඇතුළු සහන පැකේජයක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා රුපියල් බිලියන 229 ක් වෙන් කළ යුතු බවද සඳහන් කළේය. බැසිල්ගේ සහන පැකේජය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු අතර, බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කීවේ වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර නිදහස් කර ගැනීම සඳහා ඩොලර් නිදහස් කරගත යුතුව ඇති බවය. එය සඳහා සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා කැබිනට් මණ්ඩලයට කැඳවන්නයි ඉල්ලා සිටි අතර, බැසිල් කීවේ ඔවුන් ගෙන්වීමේ අවශ්‍යතාවක් නැති බව ය. ඇමතිවරයාට එම ගැටලු‍ව ජනාධිපතිවරයා සමඟත් අගමැතිවරයා හා තමා සමඟත් සාකච්ඡා කළ හැකි බව ඔහු කීවේය. ගම්මන්පිල ද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සමාගමක් යටතේ සංවර්ධනය කිරීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙනි. ඔහු කීවේ මෙම ගිවිසුම අගෝස්තු මාසයේ ඉදිරිපත් කළ ගිවිසුමට සමාන බවය.”‍ ඒකට ඉන්දියාවෙන් කොන්දේසි දෙකක් දාල තිබුණා. ඒවත් සාකච්ඡා කරලා තමයි මේ නව කැබිනට් සංදේශ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉන්දියාවට හිමිවෙලා තිබුණු තෙල් ටැංකි විශාල ප්‍රමාණයක් අපට මේ අනුව ලබාගන්න පුළුවන් වුණා යැයි ගම්මන්පිල කීවේය. අදාළ ගිවිසුම් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.


කැබිනට් රැස්වීම හමාර වීමත් සමඟ බැසිල් මුදල් අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් කැඳවා සහන පැකේජය ගැන ජනතාව දැනුවත් කළේ ය.


ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ජනාධිපතිවරයා විසින් ඉවත් කරනු ලැබුවේ පසුදා උදේ පාන්දර ය. එය ලැව් ගින්න සේ පැතිර ගිය අතර දේශපාලන කරළිය ද ගිනියම් කළේය. එය මාධ්‍ය මගින් දැන ගැනීමත් සමග සුසිල් සිය අමාත්‍යාංශයට ගොස් සියලු‍ බඩු බාහිරාදිය හා රජයේ වාහන භාර දී පිටව ගීයේ මාධ්‍යයට ද ප්‍රකාශයක් කරමිනි. ඔහු කීවේ තමා ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැටලු‍වක් මතු නොවන බවය. අලු‍ත් දේශපාලන සංස්කෘතියක් ගොඩ නැඟෙන බව කී සුසිල් ඉඟියක් දුන්නේ නව දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීමට එකතු වන බව පෙන්වීමටය. රජයේ වාහන භාරදුන් සුසිල් තමා රැගෙන යන්නට හිතවතකුට වාහනයක් රැගෙන එන්නැයි දැනුම් දී තිබූ නමුත් ඔහු එනවිට ප්‍රමාද විය.


ඒ හේතුවෙන් ඔහු පාරේ යන ත්‍රී වීල් එකක් ගෙන්වාගෙන නිවෙස බලා ගියේය. සුසිල් ඉවත් කළ බව දැන ගැනීමත් සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතාද සුසිල් ප්‍රේම ජයන්තට කතා කරමින් කීවේ සුසිල් ඉවත් කිරීම ගැන ඔහු නොදැන සිටි බවය. 2005 දී තමාට ජනාධිපති ධුරය ජයග්‍රහණය කිරීමට සුසිල් දැක්වූ සහයෝගය ගැන ද අගමැතිවරයා එහිදී සඳහන් කර තිබිණි


සුසිල්ට මෛත්‍රී ගෙනුත් ඇමතුමක්


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද වෙනම ගමනක් සඳහා මේ වන විට මූලික අඩිතාලම දමමින් සිටින බව පෙනේ. දිස්ත්‍රික් මට්ටමේ සම්මේලන මාලාවක් පවත්වමින් සහ වැඩමුළු පවත්වමින් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇත්තේ ද ඒ අරමුණ ඇතිවය. සඳුදා මාතලේ දිස්ත්‍රික් සම්මේලනයට ගොස් සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ දයාසිරි ජයසේකර ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඇතුළු පිරිසක් කතාබහ කරමින් සිටින අතරේ සුසිල් ඉවත් කිරීමේ පුවත දැනගන්නට ලැබුණි. එවේලේම සුසිල්ගේ දුරකතනයට ඇමතුමක් ගත් හිටපු ජනාධිපතිවරයා අවුරුද්දේ වීරයා සුසිල් බව කීවේය. එපමණක් නොව එදින පැවති සම්මේලනයේ දී මෛත්‍රී, ආණ්ඩුවත් ආණ්ඩුවේ ක්‍රියා කලාපයත් දැඩි ලෙස විවේචනය කළේය. සුසිල් ඉවත් කළත් ආණ්ඩුව විවේචනය කළ නිමල් ලන්සා ඉවත් නොකරන බව ඔහු කිව්වේ කරුණු කාරණා ද සඳහන් කරමිනි. ඔහු කීවේ සුද්දාගේ කාලේවත් සිදු නොවූ තරමට මේ රටේ කෘෂිකර්මාන්තය අද විනාශ වී ඇති බවය. හිටපු ජනාධිපතිවරයා එතනින් අනුරාධපුරයටත්, අනුරාධපුරයෙන් කුරුණෑගලටත්, කුරුණෑගලින් පුත්තලමටත් ගියේ පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට සමගාමීව පැවැත්වෙන සම්මන්ත්‍රණ සහ වැඩමුළු වෙනුවෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සංවිධායකයන් පිරිසකට පත්වීම් ලබා දීම ද මේ සති අන්තයේ දී සිදුකිරීමට නියමිතය. ඒ සමගම ඔවුන් අලු‍ත් වැඩ කටයුත්තකට අත ගසා තිබේ. පක්ෂය වෙනුවෙන් මාධ්‍ය මධ්‍යස්ථානයක් අලු‍තින් ආරම්භ කිරීමය. එය හෙට දිනයේ දී කොළඹ දී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඊට සමගාමීව පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම ද ආරම්භ කර ඇත. මෙම වැඩසටහන ඉකුත් සති අන්තයේදී අම්බලන්ගොඩදී ආරම්භ වූයේ පක්ෂයේ උප සභාපතිවරයකු වන ශාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙනි.


බන්දුල වොයිස්කට් දීමත් නවත්වයි


ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු පිරිසක් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා උත්සවයක දී හමුවී ප්‍රශ්න කළහ. කරපු වැඩ හැරෙන්න මේ වසරේ තමා වොයිස් කට් නොදෙන බව බන්දුල කීවේය.


ප්‍රසන්න ඩුබායි පී සී ආර් පෝලිමේ


ඩුබායිහි පැවති එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින උත්සවය පසුගිය සතියේ පැවැතුණේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.


උත්සවයට සහභාගිවීමට කලින් දවසේ ඩුබායිවලට ගිය ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාට පී සී ආර් කර ගැනීම සඳහා ඩුබායි ගුවන්තොටුපොළේ දී පෝලිමේ සිටීමට සිදුවිය. පෝලිමේ නොසිට පි සී ආර් කිරීමට ඩුබායි තානාපති කාර්යාලයේ නිලධාරීන් ඔහු කැඳවාගෙන යාමට උත්සාහ කළ ද ප්‍රසන්න ඊට විරුද්ධ විය. ඔහු සමඟ මාධ්‍යවේදීන් පිරිසක් ද සිටි අතර, ඔහු කීවේ ඔවුන් පෝලිමේ සිටිද්දී පෝලිම කඩා තමා ඉදිරියට ගොස් පී.සී.ආර්. කිරීම සුදුසු නැති බවය. ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයට ඩුබායිහි ස්වදේශ කටයුතු ඇමැතිවරයා ද සහභාගී විය.


රන්ජන් නිදහස් කරන්න අලුත් සටනක්

 


සජිත් පසුගියදා හම්බන්තොට දේශපාලන කටයුතු අවසන් කර ගියේ උතුරු නැගෙනහිර පළාත්වලටය. සක්වල වැඩසටහන පාසල්වලට ගෙන යාමත්, සමගි ජන බලවේගයෙන් හුස්මක් වැඩසටහන රෝහල්වලට ගෙන යාමටත්, ගම් මට්ටමින් සමගි ජන බලවේගය ශක්තිමත් කිරීමේ වැඩසටහනටත්ය.


ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පාසලකට පරිගණක උපකරණ ලබාදෙමින් සජිත් උතුරු නැගෙනහිර තමන්ගේ වැඩසටහන ආරම්භ කළේය.
‘‘මේ දශකය ඩිජිටල් තාක්ෂණය සමග යන දශකයක්. ඔබතුමා මේ වගේ වැඩසටහනක් තෝරා ගැනීම ගැන ස්තුතිවන්ත වෙනවා’’ පාසල්වල විදුහල්පතිවරු සජිත්ට ස්තුති කළහ.
ඉන් පසුව පක්ෂ කාර්යාල විවෘත කිරීමටත්, ගොවි උද්ඝෝෂණවලටත් සජිත් සහභාගී විය.


‘‘කූඹියෝ වුණත් අවදානම් වෙලාවට ගන්න කෑම රැස් කරනවා. මේ වෙලාවේ රටට බත දෙන්න ඉන්න ගොවියා නැති කරලා. තවත් මාසයක් විතර යනවිට ගොවියාට ගහපු ගැහිල්ල තේරේවි සර්’’ ගොවියෝ පැවසූහ.

 

‘‘ඔබතුමා මුල ඉඳලම ආණ්ඩුව ගත්ත කඩිනම් තීරණය ගැන විරෝධය දැක්වුවා. ඒත් ඔබතුමා කියපු දේවල් ආණ්ඩුව ඇහුවේ නෑ’’ තවත් ගොවියෙක් කීවේය.

‘‘ඕනෑම තීරණයක් ගත යුතු වෙලාවේදී ගන්න ඕනෑ. ඒ වගේම හරි තීරණය ගන්න ඕනෑ. එහෙම නැතිව අත්තනෝමතික තීරණ ගැනීම නිසා තමයි මේ වගේ දේවල් වෙලා තියෙන්නේ. මේ තීන්දු ගත්ත මිනිස්සුන්ට අලාභයක් වෙලා නෑ. ඒත් රටට විශාල අලාභයක්, හානියක් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව බලය ගන්නකොට නම් ජාතික ආරක්ෂාව අංක එක, කාටවත් බය නැති නිර්භීත රටක් හදනවා කියලා කිව්වා. හැබැයි අන්තිමට අසූචි නැවක් ඉස්සරහ දණ ගහන්න සිදුවුණා’’ සජිත් කීවේය.
ත‍්‍රිකුණාමලයේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමට සජිත් ගිය අවස්ථාවේදී පොදුජන පෙරමුණු ක්‍රියාකාරීන් පිරිසක් පැමිණියේ සමගි ජන බලවේගයට එක්වීමටය.
‘‘අපිට පොහොට්ටුවට ඡන්දය දුන්න අත කපාගන්න වෙලා තියෙන්නේ. පොහොට්ටුවට ඡන්දේ දීලා අපි මහා විනාශයක් කරගත්තේ’’ සමගි ජන බලවේගයට සහාය ලබාදීමට සූදානම් බව එම පිරිස පැවසූහ.


‘‘මැෂින් තියෙනකම් සල්ලි අච්චු ගහලා ඕන කෙනෙක්ට සහන දෙන්න පුළුවන්නේ. මේවා සහන නෙමෙයි, මේවා සහගහන වැඩ’’ තවත් අයෙක් පැවසූහ.
‘‘මේ අය සහන පැකේජයක් නෙමෙයි අසහන පැකේජයක් දීලා තියෙන්නේ’’ සජිත් කීය.


කින්නියාවේ පාලම්පාරුවෙන් ජීවිත අහිමිවූ පවුල්වල අයට සහන ලබාදීම සඳහා සජිත් ගියේ ත‍්‍රිකුණාමලයේ සිටියදීය. ඉම්රාන් මහරුෆ් මන්ත‍්‍රීවරයා මෙය සංවිධානය කර තිබුණේය.
‘‘පාලම හදනවා කියලා ආණ්ඩුවේ අය කිව්වට මේක හදනවාද කියලා ඇවිත් බලන්න කියලා මම ආණ්ඩුවේ අයට කියනවා. මේක විසි වැනි සංශෝධනයේ පාලමක්’’ සජිත් කීය.
‘‘ලබන 18 වැනිදා වනවිට අවසන් ඩොලර් ටිකත් දාලා ණය ගෙවන්න වෙනවා. සහන පැකේජ් සියල්ලම බොරු බවට පත්වෙනවා. සමගි ජන බලවේගය මේ රට ගොඩ නැගීමට යන්නේ අල්ලස දූෂණය නැති කරලා. දූෂණයක් නැති රටක් ගොඩ නැගීම තමයි අපේ ප‍්‍රමුඛ වගකීම වෙන්නේ. ලංකාව ගොඩ නගන්න බැරි දූෂණය, වංචාව නිසා. පවුලේ කණ්ඩායම එකතුවෙලා ලංකාව මිනී පෙට්ටියකට දාලා ඇණ ගහලා. මොළ හතානෝ පිටරටට ගිහින් මල් ශාලාවක් හොයනවා. කබ්රාල් මිනී පෙට්ටිය කනත්තට ගෙනියන්න පාර සුද්ද කරනවා. ඇමැතිවරු එකතුවෙලා අවමංගල උත්සවයේ කතාවලට සූදානම් වෙනවා. මේක තමයි දැන් ආණ්ඩුව එකතුවෙලා කරන දේ. මම ඔබෙන් අහන්නේ මේ විදියට කට්ටිය එකතුවෙලා මේ රට මිනී පෙට්ටියට දාලා ආදාහනය කරනකම් බලාගෙන ඉන්න පුළුවන්ද කියන එකයි’’ සජිත් කීවේ රාජපක්ෂ පවුලට ටොක්කක් අනිමිනි.


සජිත් රංජන් බලන්න යයි


වැලිකඩ බන්ධනාගාරයේ සිටින හිටපු මන්ත‍්‍රී රංජන් රාමනායකගේ සුව දුක් විමසීමට සජිත් පසුගියදා බන්ධනාගාරයට ගියේය. රංජන් හමුවූ සජිත් නැවත පැමිණියේ ඔහු නිදහස් කරගැනීම සඳහා නව අරගලයක් ආරම්භ කරන බවට සහතික වෙමිනි.


‘‘රංජන් නිදහස් කරගන්න අපි කැපවෙනවා. මම ජනාධිපතිවරයාට අවස්ථා කිහිපයකදීම නිදහස දෙන්න කියලා ඉල්ලු‍වා. ලිඛිතව දුන්නා. කතා කරන වෙලාවට සුබවාදී ප‍්‍රතිචාරයක් දැක්වූවාට තවම ඒවා ක්‍රියාත්මක කරලා නෑ. ඒ නිසා අපි පක්ෂයේ තරුණ මන්ත‍්‍රීවරු එකතු කරගෙන අලු‍ත් අරගලයක් ආරම්භ කරනවා’’ සජිත් සහතිකයක් දුන්නේය
අලු‍ත් අවුරුද්දේදී සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීම පැවැත්වූයේ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමටය. රටේ ඇතිවී තිබෙන අර්බුද සඳහා සමගි ජන බලවේගයේ විසඳුම් ඇතුළත් මූලික ප‍්‍රතිපත්ති රාමුවක් ලෙස පක්ෂයේ දැක්ම සකස් කිරීමේ වැඩකටයුතු අවසන් අදියරට පැමිණ තිබෙන බව ඉරාන් වික්‍රමරත්න මන්ත‍්‍රීවරයා පැහැදිළි කළේය. කබීර්, ඉරාන්, හර්ෂ ද සිල්වා, මනුෂ නානායක්කාර යන මන්ත‍්‍රීවරු ඒ සඳහා නායකත්වය දෙති.


ආර්ථික අර්බුදයට විසඳුම් සජබෙන්


සමගි ජන බලවේගයේ මාධ්‍ය කමිටුව මීට සති කිහිපයකට පෙර තීරණය කර තිබුණේ රටේ ආර්ථික අර්බුදයට සමගි ජනබලවේගයේ විසඳුම් ජනතාව හමුවේ ඉදිරිපත් කිරීමටය. ඒ අනුව ආර්ථික ප‍්‍රතිපත්ති කේන්ද්‍රය හරහා සෑම සතියකදීම අදාළ ආර්ථික විසඳුම් ජනතාවට ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙලක් මාධ්‍ය කමිටුව මගින් සකස් කළේය.


ආර්ථිකය ගැන කරුණු දැක්වීමේ වගකීම පැවරුණේ හර්ෂ, කබීර්ට සහ ඉරාන්ටය. ඒ අනුව පසුගිය බදාදා සිට සෑම බදාදාවකම ආර්ථික විසඳුම් ගෙන එන ප‍්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය. එම සාකච්ඡාව පැවැත්වෙන අතරවාරයේදී විපක්ෂ නායක කාර්යාලයේ ඉහළ මාලයේ මාධ්‍ය කමිටුව රැස්විය. ප‍්‍රවෘත්ති සාකච්ඡාව අවසන් කළ මන්ත‍්‍රීවරු තිදෙනා මාධ්‍ය කමිටුව පැවැත්වෙන තැනට ගියේ සාකච්ඡාවේ ප‍්‍රගතිය දැනුම් දීමටය.


‘‘ප‍්‍රවෘත්ති සාකච්ඡාව කරනවා වගේම මාසයකට දවසක් දිස්ත‍්‍රික්ක මට්ටමින් ආර්ථික විසඳුම් ගැන ජනතාව දැනුවත් කරන සම්මන්ත‍්‍රණ මාලාවක් පවත්වමු’’ නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා කළ යෝජනාවට කාගේත් අනුමැතිය හිමිවිය.


විද්වත් වෘත්තිකයන් සමග එජාප නායකයෝ සාකච්ඡා


එක්සත් ජාතික පක්ෂ නායකයන් නව වසර සමරා කිරි බත් කා හිතමිත්‍රාදීන්ට සුබ පතනු ලැබුවේ ඉකුත් 3 වැනිදාය. 1 වැනිදා හා 2 වැනිදා නිවාඩු දින වූ නිසා සිරිකොත පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලය නව වසරේ කාර්යාලයට පැමිණි​යේ 3 වැනිදාය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා උදෙන්ම සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ සියලු දෙනා සමග එක්වී කිරිබත් කා සුභ පැතුම් හුවමාරු කර ගත්හ.


රුවන් විජයවර්ධන නියෝජ්‍ය නායක ජනවාරි 1 වැනිදා එෆ්.ආර්. සේනානායක ගුණ සමරුවට සහභාගි වූයේ සේනානායක පවුලේ හා විජයවර්ධන පවුලේ ඥාතීන් සමගය. එහිදී පවුලේ අය වෙනුවෙන් සේනානායක පිළිරුවට මල්මාලය පැළඳවූයේ රුවන් විජයවර්ධන මහතා විසිනි.


ඉකුත් 2 වැනිදා මහා විහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගෞරව නාමය පිරි නැමීමේ උත්සව අවස්ථාවට රුවන් විජයවර්ධන මහතා ද සහභාගි විය. එම විහාරයේ ප්‍රධාන දායකයකු ලෙස කළ ආරාධනාවට අනුව ඔහු ඒ අවස්ථාවට සහභාගී වූයේය.
පුත්තලම නාත්තන්ඩිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක චමින්ද පෙරේරා මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවය මාරවිල ශාන්ත මේරී දේවස්ථානයේ පැවැති අතර එහිදී මනාලයාගේ සාක්ෂිකරු ලෙස රුවන් විජයවර්ධන මහතා අත්සන් තැබීය. මනාලිය වෙනුවෙන් සමගි ජනබලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්සන් තැබුවේය. හරීන් හා රුවන් දිගු කාලයකට පසු හමුවීම නිසා දෙදෙනා ඉතා සුහදව කතා බහේ යෙ දී සිටියහ. මෙහිදී ඇන්තනි කුවින්ටස් ප්‍රනාන්දු පියතුමා රුවන් විජයවර්ධන මහතා හා හරීන් ප්‍රනාන්දු මහතා වෙනමම කැඳවා ගෙන ගොස් ආශිර්වාද කළේය.


මංගල උත්සවයෙන් පසු රුවන් විජයවර්ධන මහතා තමන්ගේ ගුරුවරයකු හමුවීමට මාරවිල පිහිටි ඔහුගේ නිවසට ගියේය. ශාන්ත තෝමස් විද්‍යාලයේ සේවය කළ පීටර් පෙරේරා ගුරුතුමා රුවන් විජයවර්ධන මහතා හමුවීමට කාලයක සිට බලාපොරොත්තුව සිටි නිසා ද ඔහු හමුවීමට ගොස් පාසල් කාලයේ තොරතුරු කතාබස් කළේය. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගිය සතියේ විද්වත් කථිකාවක් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හමු වූයේය.


පිරිසිදු දේශපාලනඥයන් වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට හා රුවන් විජයවර්ධන මහතාට අවශ්‍ය පූර්ණ සහාය දැක්වීමට මෙම විද්වත් පිරිස මෙහි දී එකඟතාව දැක් වූහ.
ජනාධිපතිවරයාට කරු පොරොන්දු දෙකක් සිහිපත් කරයි


සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට ලබාදුන් කරුණු දෙකක් ගැන සිහිපත් කළේය. ඉන් පළමුවැන්න ජනාධිපතිවරයා රටට දුන් පොරොන්දුවක් ගැනය. දෙවැන්න ආණ්ඩුවේ තම සගයන්ට මෙන්ම, මහා සංඝරත්නයට ජනාධිපතිවරයා ලබා දී ඇතැයි කියන පොරොන්දුවක් ගැනය.


ජනාධිපතිවරයා තම ධුරය බාරගන්නවාත් සමග රටට දුන් එක් පොරොන්දුවක් වූවේ, තම ධුර කාලයෙන් වසර දෙකක් ගතවන්නට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන බවය. කරු මුලින්ම සිහිපත් කර ඇත්තේ ඒ ගැනය.


දෙවැනි ප්‍රශ්නය ර​ටේ පාලනයට සම්බන්ධ වීම සඳහා ද්විත්ව පුරවැසියන්ට ඉඩ ලබා දී තිබීමට අදාළවය. ඒ ගැන ජනාධිපතිවරයා ලබා දුන්නේ යැයි කියන පොරොන්දුවක් ගැනය. වෙනත් රටක පුරවැසිභාවයක් ඇති අයෙකුට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමට නිදහස් රටක් ලෙස මෑතක් වන තුරුම අප රටේ ඉඩක් තිබුණේ නැත. ලංකාවට එම අයිතිය පළමුවරට ලබා දුන්නේ 20 වැනි සංශෝධනය මගිනි. එය රටේ දැනුවත් සමාජයට මෙන්ම ආණ්ඩුවේම ඇතැම් පාර්ශවයන්ට ද මුල සිටම ප්‍රශ්නයක් වී තිබුණි. ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්ව ජනාධිපතිවරයාගෙන් ඒ දිනවලදීම ප්‍රශ්නකර සිටියේ ඒ නිසාය. එහි දී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ එම අයිතිය ඉතාමත් කෙටි කාලයකට පමණක් වලංගු වන්නක් බවය. මහා සංඝරත්නයට ද ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළ බවට වාර්තා විය. කරු දැන් කියන්නේ ජනාධිපතිවරයාට එම පොරොන්දුව ද ඉටු කිරීමට කාලය එළඹ ඇති බවය.


ගෙවුණු සතිය තුළ කරුගෙන් ඇමතුමක් ලද තවත් එක් සුවිශේෂී පුද්ගලයෙකු වූයේ හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තය. සුසිල් ඇමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු කරු ද ඔහුට ඇමතුමක් දී තොරතුරු කතා බහ කරන අතර තුර ප්‍රකාශ කර ඇත්තේ රටේ පවතින සැබෑ යථාර්ථය හමුවේ තමන්ගේ පැහැදිලි අදහස කියන්නට තරම් සුසිල් ඉදිරිපත්වීම අතිශයින් අගය කරන බවය.

 

 

-ගජබා-