පොහොට්ටු-ශ්‍රීලනිප ගැටුම කරළියට


ගෙවුණු සතියේ දේශපාලන කරළිය අතිශයෙන් ගිනියම් විය. පොහොර ප්‍රශ්නය, ඩොලර් ප්‍රශ්නය දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වීම ඊට බෙහෙවින් බලපෑවේය. පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් රට පුරා එල්ලවූ විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගත්තේ රසායනික පොහොර සහ පළිබෝධ නාශක ආනයනය තහනම් කරමින් නිකුත්කර තිබූ ගැසට් නිවේදනය ද  අ​ෙහා්සි කරමිනි.

රජය රසායනික පොහොර ආනයනය නොකළ ද පෞද්ගලික සමාගම් හරහා ඒවා ආනයනය කර බෙදාහැරීමට එමගින් අවසර ලැබුණි. මෙම තීරණය ගැනීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය සතියේ කෘෂිකර්මයට අදාළ ඇමතිවරුන් සහ රජයේ පොහොර සමාගම්වල නියෝජිතයන් හමුවිය. ජනාධිපතිවරයා කීවේ රජය හරිත කෘෂි ප්‍රතිපත්තියෙන් ඉවත් නොවන බවය. ගොවීන්ට අවශ්‍ය නම්, පෞද්ගලික අංශය හරහා ඒවා ගෙනැවිත් බෙදා හැරිය හැකි බවද ඔහු කීවේය. කෙසේ වුව ද රජයේ සහනාධාර හිමිවන්නේ කාබනික පොහොරවලට පමණක් බව ද ජනාධිපතිවරයා කීවේය. රසායනික පොහොර සහ පළිබෝධනාශක ආනයනය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු වූයේ එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව ආණ්ඩුව ගිය සතියේ තවත් ගැසට් නිවේදනයක් ඉල්ලා අස්කර ගත්තේ ගැසට් ඉවත්කර ගැනීමේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය තවදුරටත් ඉදිරියට ගෙන යමිනි.

 

 

  • නව ව්‍යවස්ථා කෙටුම්පත ලබන වසරේ
  • ශ්‍රීලනිපය පළාත්පාලන අායතන අයවැයේදී  වෙනත් තීන්දුවක

 

 


 

 

 

කටුනායක නව ගුවන්යානා අංගනය අගමැති අතින් විවෘත වෙයි

 

 

 


 

 

 

 

ආණ්ඩුව උත්සාහ කරන්නේ සලාක ක්‍රමයක් ඇති කරන්න

 

 

 

 


 

කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. කැබිනට් පත්‍රිකා හතළිස් හතරක් පමණ සාකච්ඡාවට ඉදිරිපත් වී තිබූ අතර ඒවා සාකච්ඡාවට ගැනීමෙන් අනතුරුව කතාබහට ලක් වූයේ ආණ්ඩුව මුහුණ දී ඇති ඩොලර් අර්බුදය සම්බන්ධයෙන්ය. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කීවේ ඩොලර් හිඟය හේතුවෙන් අල, පරිප්පු, සීනි, ලූනු හා හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දහසකට වැඩි ප්‍රමාණයක් වරායේ ගොඩගැසී ඇති බවය. ඒවා ඉතා ඉක්මනින් නරක් විය හැකි බැවින් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා විසඳුමක් ලබා දෙන්නැයි ඔහු ඉල්ලීමක් කළේය. වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ඇමතිවරු ගණනාවක් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූහ. අනතුරුව අදහස් දැක්වූ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ අයවැයෙන් පසුව ඒ සම්බන්ධයෙන් විකල්ප වැඩපිළිවෙලකට යාමට තමා බලාපොරොත්තු වන බවය. තමා ලබන සතියේ දී ඉන්දියාවට යන බවද ඔහු කීවේය.


ජනපතිගෙන් සැර කතාවක්


අගනුවර අලංකාරවත් කරමින් ඉදිවූ කැලණි පාලම ගිය බදාදා රාත්‍රියේ විවෘත වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, ජපාන තානාපතිවරයා ද, විෂයභාර ඇමති  ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද සහභාගි වූ කැලණි පාලම විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපතිවරයා ආන්දෝලනාත්මක කතාවක් ද කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ ගැන ඇතැම් පාර්ශ්ව වලින් නැගෙන චෝදනාවලට ද  ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය. ඒ සම්බන්ධයෙන් කෙරෙන නීතිමය කටයුතුවලට බලපෑමක් කළ නොහැකි නමුත් ජනාධිපති කොමිෂන් සභාවෙන් චෝදනා එල්ල වී ඇති අයගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පනතක් ගෙනැවිත් තුනෙන් දෙකෙන් සම්මත කර ගත හැකි බව ජනාධිපතිවරයා කීවේය. එය එක්තරා ආකාරයක දේශපාලන කරළිය කැළඹීමට තුඩුදුන්  කතාබහක් විය. මේ අතර ජනාධිපතිවරයා කීවේ එම ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා, ඇමති මණ්ඩලය ප්‍රමුඛ හිටපු ආණ්ඩුව වගකිවයුතු බව ​ෙකාමිෂන් සභා වාර්තාවේ ද සඳහන් වන බවය. ජනපතිවරයා එම කතාව කළේ කවුරුන් ඉලක්ක කරගෙන දැයි යන්න පැහැදිලි නැත.


මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඉදිවූ ගුවන් යානා නැවැත්වීමේ නව අංගනය ද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය සතියේ විවෘත වූයේ ගුවන්තොටුපළ සංවර්ධනයේ නව පිටුවක් පෙරලමිනි. විෂය භාර ඇමැති ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද ඊට සහභාගි වූහ.


මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන වසරේ මුල් කාර්තුවේ දී පාර්ලිමේන්තුවට ගෙන ඒමට රජය සැලසුම් කර ඇත. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ව්‍යවස්ථා සම්පාදන කමිටුව  එම කෙටුම්පත වසර අවසන් වීමට පෙර සකස්කර පෙබරවාරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජයේ අපේක්ෂාවය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සර්ව පාක්ෂික පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට යොමු කර පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව සම්මත කර ගැනීම රජයේ බලාපොරොත්තුව වේ.


ශ්‍රීලනිප පොහොට්ටු ගැටුම


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ප්‍රධාන පක්ෂය වන පොහොට්ටුව අතර මත ගැටුම මේ වන විට වඩාත් තීව්‍ර වෙමින් තිබේ. පක්ෂ දෙකේ එකිනෙකා අතර බැණ අඬගසා ගැනීම්වලද අඩුවක් නැත. එය හොඳින්ම පෙනුණේ ගිය සතියෙ පාර්ලිමේන්තුවේ දී  ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇති වූ වාග් සංග්‍රහයට පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමතිවරයා ද සම්බන්ධ විය. ඔහු කීවේ පක්ෂයේ සභාපතිවරයාට මඩ ගැසීමට ආවොත් ඒ සඳහා සූදානම් බවය.


හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවේ තුනෙන් දෙක ගැනද ආන්දෝලනාත්මක කතාවක් කීවේ දේශපාලන දෙබරයකට ගල් ගසමිනි. 


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුතින් සංවිධායකවරුන් පත් කිරීමේ වැඩපිළිවෙළකට ද අත ගසා තිබේ. ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පක්ෂ මූලස්ථානයේ දී මේ දිනවල පැවැත්වේ. ඒ පක්ෂයේ  මහ ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ශාන් විජේලාල් ද සිල්වා සහ දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි. ශ්‍රීලනිපයේ මේ හදිසි සූදානම ළඟදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට බව දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අයගේ අදහසයි. ගිය සතියේ අනුරාධපුරයේ පැවැති පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ උත්සවයකට සහභාගි වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර කියා සිටියේ පළාත් පාලන ආයතනවල අයවැය සම්බන්ධයෙන් තමන්ට කැමති තීන්දුවක් ගන්නා ලෙසය. එවැනි අය සම්බන්ධයෙන් පක්ෂය විනය ක්‍රියාමාර්ග නොගන්නා බව ද ඔහු කීවේය. තමන්ගේ කර මතින් පැමිණ කිසිවකුටත් පිස්සු කෙළින්නට ඉඩ නොදෙන බව ද ඔහු කීවේය. මීට සතියකට පමණ පෙර අනුරාධපුරයේ පැවති පක්ෂයේ දිස්ත්‍රික් බල මණ්ඩලයේදී යෝජනාවක් ඒකමතිකව සම්මත වූයේ ද ඉදිරි මැතිවරණයට ශ්‍රීලනිපය තනිව තරග කළ යුතු බවට සඳහන් කරමිණි. එම රැස්වීම පැවැත්වූයේ පක්ෂයේ භාණ්ඩාගාරික දුමින්ද දිසානායක රාජ්‍ය ඇමතිවරයා ගේ ප්‍රධානත්වයෙනි.


ගිය සතියේ පාර්ලිමේන්තුවේ අයවැය - විවාදය අතරවාරයේ දී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මන්ත්‍රී භෝජනාගාරයට පැමිණ දවල් කෑම ගත්තේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ පැත්තේ අසුන් ගනිමිනි. ඔහු එතනට එන්නට පෙර සභාවේ දී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සමග ද වාදයක පැටළුණේ ය. වෙල්ගම ​භෝජනාගාරයට පැමිණ කෑම බෙදාගෙන ආවේ ආණ්ඩුවේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් අතරටය. මා මෙතන ඉඳගත්තම ඔයාලට ප්‍රශ්නයක් වෙයි ද දන්නෙ නෑ’’ යැයි වෙල්ගම කීවේ හිනාවෙමිනි. ‘‘නෑ නෑ අපිට නම් ප්‍රශ්නයක් නෑ. ඔබතුමාට ප්‍රශ්නයක් වෙයි ද දන්නෙ නෑ’’ තරුණ මන්ත්‍රීවරු කියා සිටියහ.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ. ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා අවධානයට කැබිනට් මණ්ඩලය විසින් ඇමැති අනුකමිටුවක් ද මීට ඉහත දී පත්කරනු ලැබීය. එහි සභාපතිවරයා විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සහ ඩග්ලස් දේවානන්ද එහි සෙසු සාමාජිකයෝය. කමිටුව මේ වන විටත් සිය කටයුතු ආරම්භ කර හමාරය. සියලුම රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් ද සති අන්තයේ දී කොළඹට කැඳවා ඇත්තේ මේ සම්බන්ධයෙන් ඔවුන් ද දැනුවත් කිරීමේ අපේක්ෂාවෙනි.


සජිත්ගෙන් අලු‍ත් වැඩක්


ජනතා ගැටලු‍ විමසීම සඳහා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ආරම්භ කළ ‘‘ගමින් ගමට - දොරින් දොරට’’ ‘‘නගරයෙන් නගරයට’’ වැඩසටහන පසුගිය සතියේ පැවැත්වුණේ දෙමටමල්ගම ප‍්‍රදේශයේදීය.


‘‘විපක්ෂනායකතුමනි, මේ ප‍්‍රදේශයේ කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන බොහෝ දෙනා සිටිනවා. කුඹුරුවලට කිසිම පොහොරක් ලැබෙන්නේ නෑ. අඩුම තරමේ මේ අය කාබනික පොහොර දෙනවා කියලා කිව්වට කාබනික පොහොරවත් ලැබෙන්නේ නෑ’’ගොවියෙක් කීවේ වගාවට කිසිම පොහොරක් නැති නිසා ඇතිවන ගැටලු‍ ගැනය


‘‘මම ගිය හැම තැනකින්ම මේ චෝදනාව ආවා. තියෙන සොච්චම් පොහොරෙත් මිල ඉහළ ගිහින්’’ සජිත් කීවේ ගොවි ජනතාවගේ පොහොර ගැටලු‍ව විසඳීම සඳහා වන අරගලය කිසිම අයුරකින් නතර නොකරන බව අවධාරණය කරමිනි.


‘‘අපි දුප්පත් මිනිස්සු. බඩු මිල අපිට දරාගන්න බෑ’’කාන්තාවක් තමන්ගේ දුක කීවාය.


‘‘සතොසෙන් බඩු දෙන්නේ සීමිතව තමයි. සලාක යුගයක් නැවත ඇති කරන්න තමයි මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ. ජනතාවගේ අතේ සල්ලි නෑ. තියෙන සොච්චමට බඩු ගන්න බැරි තරමට මිල ඉහළ ගිහින්.

ආණ්ඩුවට මේ ගැන කිසිම තැකීමක් නෑ’’සජිත් ජනතාවගේ ගැටලු‍ ගැන වැඩිදුර තොරතුරු එක් කරගත්තේය.


සජිත්ට තනතුරක්


දෙමටමල්ගම සිට සජිත් ගියේ තන්තිරිමලේ රජමහා විහාරස්ථානයටය. ඒ විහාරස්ථානයේ පැවැත්වෙන වාර්ෂික කඨින පිංකමට සහභාගී වීමටය. සෑම වසරකම ජලනි ප්‍රේමදාස මහත්මියගේ දායකත්වයෙන් මෙම පිංකම පැවැත්වෙන අතර සජිත්ද එයට වාර්ෂිකව නොවරදවාම සහභාගී වෙයි.


පසුගිය සතියේදී කොළඹදී පැවැති දැවැන්ත විරෝධතාව අවසන් කළ සජිත් ඇතුළු පිරිස ගියේ මෙම පිංකමටය.


උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප‍්‍රධාන සංඝ නායක තන්තිරිමලේ චන්දරතන නා හිමියන් විසින් පිංකම සංවිධානය කර තිබූ අතර පිංකම අවසානයේදී උන්වහන්සේ දායක සභාව විසින් ගත් තීරණයක් ප‍්‍රකාශයට පත් කළේය.


‘‘සජිත් ප්‍රේමදාස මැතිතුමා අපි විහාරස්ථාන වර්ධන සමිතියේ ප‍්‍රධාන නිත්‍ය ගිහි උපදේශක සහ ප‍්‍රධාන දායකයා ලෙස පත් කරනවා’’නායක හිමියෝ සජිත්ට තනතුරක් ප‍්‍රදානය කළහ.


සෑම පොහෝ දිනකම පැවැත්වෙන සිරි සදහම් සෙත ධර්මදේශනා මාලාවේ දොළොස්වැන්නද එහිදී පැවැත්වූ අතර පාසල් තුනකට පරිගණක ප‍්‍රදානයක්ද කළේය

.
සමගි විහිදුම් බළකායක්


ආණ්ඩුවේ සිදුවන දූෂණ වංචා හෙළිදරව් කිරීම සඳහා වන වැඩසටහනක් සකස් කිරීම පිළිබඳ සමගි ජන බලවේගය තුළ පසුගිය සති කිහිපයේ සාකච්ඡාවට ලක්විය. එහි වැඩි බරක් පැටවුණේ හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්ත‍්‍රීවරුන්ටය.


සමගි විහිදුම් බලගණය පිහිටුවීමේ වැඩසටහනට එක්වූ සජිත් කීවේ ‘‘උනුත් එකයි - මුනුත් එකයි’’ අපිට අදාළ නොවන බවය.


‘‘අද තරුණ ප‍්‍රජාවගේ අපේක්ෂා භංගවෙලා තියෙන්නේ. පාස්පෝට් පෝලිම දිහා බැලු‍වම ඒක පේනවා. තරුණ අසහනය පිළිබඳ කොමිසමේ නිර්දේශ බොහෝමයක් අද උල්ලංඝනය වෙමින් තියෙනවා’’සජිත් තරුණයන්ගේ ප‍්‍රශ්නය ගැනත් අවධානය යොමු කළේය.


මේ අතර අය වැය විවාදයට සහභාගීවීමටද සජිත් වේලාව වෙන් කරගැනීමට අමතක කළේ නැත. ජීවිත රක්ෂණ නියෝජිතයන් පිරිසක් පසුගිය සතියේදී සජිත් හමුවී තමන්ගේ ගැටලු‍ ගැන පවසා තිබූ අතර පාර්ලිමේන්තුවේදී ඔහු ඒ ගැන කතා කළේ විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.


ග‍්‍රාම නිලධාරීන් හමුවේ


එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ ග‍්‍රාම නිලධාරීන් පත් කර තිබුණත් පසුගිය කාලයේදී ග‍්‍රාම නිලධාරීන් ඔවුන්ගෙන් බරපතළ ලෙස දුරස් වෙමින් තිබුණි. සමගි ජන බලවේගය සමග මෙම ග‍්‍රාම නිලධාරීන් එක් කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස සජිත් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට උපදෙස් දී තිබුණේය. ඒ අනුව ඔහු ග‍්‍රාම නිලධාරීන් එක් කිරීමේ වැඩසටහන රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා සමග සැලසුම් කර තිබුණි.


පසුගිය සතියේදී ග‍්‍රාම නිලධාරීන් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ මෙතෙක් නොවිසඳී ඇති ගැටලු‍ විසඳා ගැනීම ගැන සාකච්ඡා කිරීමටය.


‘‘අපිට ගැටලු‍ බොහොමයක් තිබෙනවා. සේවා ව්‍යවස්ථාවේ ප‍්‍රශ්න තියෙනවා. වැටුප් ප‍්‍රශ්න විසඳලා නැහැ’’ග‍්‍රාම නිලධාරීහු පැවසූහ


‘‘ග‍්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව, වැටුප් ප‍්‍රශ්නය, ඇතුළු සියලු‍ම ගැටලු‍වලට සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ විසඳුම් ලබාදෙනවා’’සජිත් සහතිකයක් දුන්නේය.


මේ අතර පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරියන්ට වාචිකව ලිංගික අඩන්තේට්ටම් කළ මන්ත‍්‍රීවරයා ගැනත් සජිත් දැඩි අවධානය යොමු කර තිබුණේය. පාර්ලිමේන්තුව තුළදී ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ඒ සඳහා සටන් කරන ලෙසට මන්ත‍්‍රීවරුන්ට උපදෙස් දුන් සජිත් අඛණ්ඩව මෙම සටන ඉදිරියට ගෙන යන ලෙසද උපදෙස් දුන්නේය.
‘‘කාන්තා හිංසනයට එරෙහි දිනය දවසේත් පාර්ලිමේන්තුවේදී කාන්තාවන්ට සිදුවන හිංසනය ගැන කතා කිරීමට අපිට සිදුවෙලා. ඒක කනගාටුදායක තත්ත්වයක්’’සජිත් කීවේය.


මේ අතර මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සජිත්ට කීවේ කාන්තා හිංසනයට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් කරන බවය..


ඒ අනුව කාන්තා හිංසනයට එරෙහිව අදහස් දැක්වෙන ස්ටිකර් මුද්‍රණය කර පාර්ලිමේන්තු සභා ගැබට හොර රහසේම ගෙන ආවේය. ඒවා මන්ත‍්‍රීවරුන්ගේ කෝට් සහ කමීසවල ඇලවූයේ දවස පුරාම එය තබාගැනීමට හැකි ආකාරයටය.


මේ අතර මන්ත‍්‍රීවරියන් සියලු‍ දෙනාම කතා කරගෙන තිබුණේ රෝස පැහැති සාරිවලින් සැරසී පැමිණීමටය. මන්ත‍්‍රීවරුන්ට රෝස පැහැති රිබන් ගැට ගැසීමටත් සැලසුම් කළ අතර රිබන් පාර්ලිමේන්තුවට ගෙන ආවේ හර්ෂණ රාජකරුණා මන්ත‍්‍රීවරයාය.


හර්ෂණ රෝස පැහැති රිබන් රැගෙන එන විට පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙක් ඒවා දුටුවේය.


‘‘සර් මොනවාද මේ අරගෙන යන්නේ’ පොලිස් නිලධාරියා අසන විට‘නෑ... නෑ... මේ රිබන් එකක්’’යැයි කියමින් හර්ෂණ එතැනින් සභා ගැබට දිව ගොස් විනාඩි කිහිපයක් තුළ සියලු‍ම මන්ත‍්‍රීවරුන්ට ඒවා බෙදා දුන්නේය.


එජාපයෙන් රටපුරාම
උද්ඝෝෂණ ව්‍යාපාර


සිරිකොත පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට කොවිඩ් වැළඳී තිබූ නිසා දින හතරකට පක්ෂ මූලස්ථානය වසා තැබීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී තීරණය කළේය.
මුළු කාර්යාලයම විෂබීජහරණය කිරීමට උපදෙස් දුන් රනිල් වික්‍රමසිංහ මහතා එම වැඩ කටයුතු නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට බාර දුන්නේය.


ඉන්පසු පක්ෂයේ කළමනාකරණ කමිටුව රැස්වූ අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා රටපුරා උද්ඝෝෂණ ව්‍යාපාර විධිමත්ව පැවැත්වීම සම්බන්ධයෙන් උපදෙස් දුන්නේය. සැම දිස්ත්‍රික්කයකම උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කරන ලෙසට උපදෙස් දුන් ඔහු එම උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්විය යුතු ආකාරය පිළිබඳවද්‍ උපදෙස් දුන්නේය.


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඉකුත් සතියේ ප්‍රදේශ පහක සංචාරය කරමින් පක්ෂයේ කටයුතු සොයා බැලුවේය. මොනරාගල, වැල්ලවාය, අම්පාර, කල්මුණේ සහ අක්කරපත්තුව යන ප්‍රදේශවල සංචාරය කළ ඔහු ඒ ඒ ප්‍රදේශවල කාන්තා සංවිධාන, තරුණ සංවිධාන හා පක්ෂ සංවිධායකවරුන් හමුවී පවතින තත්ත්වය සාකච්ඡා කළේය. රජයේ නිලධාරීන් හමුවී අයවැයෙන් සහනයක් නොදීම පිළිබඳව ඔවුන්ගේ දුක් අඳෝනාවලට සවන් දෙමින් එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ලබා දෙන සහන ගැන සාකච්ඡා කළේය.


මෙම අවස්ථාවලදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මෙම රජය හදාගත් ප්‍රශ්නවලට ඔවුන්ට පිළිතුරු නොමැති බවය. ආර්ථික කළමනාකරණයක් නොමැති කමින් ප්‍රපාතයට වැටී ඇති රට ගොඩනැංවීමට නම් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකයා බලයට පැමිණිය යුතු බවය. රුවන් විජයවර්ධන සමග සමන් රත්නප්‍රිය, සන්දිත් සමරසිංහ ඇතුළු ඒ ඒ ප්‍රදේශවල පක්ෂ සංවිධායකවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.


මුස්ලිම් ජනතාව මෙම සංචාරයේදී එජාප නියෝජ්‍ය නායකයා හමුවූහ.


ඉන්පසු වරකාපොළ නගරයේ පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයටද රුවන් විජයවර්ධන මහතා සහභාගි වූයේය. ඉකුත් 22 වැනිදා රත්නපුරයේ පැවැති උද්ඝෝෂණයට රුවන්ට සහභාගි වීමට නොහැකි වූ නිසා එහි පැවැති තත්ත්වය පිළිබඳව අසිත මුහන්දිරම් සමග කතාකර තොරතුරු විමසා බැලීය.


පසුගිය 18 වැනිදා ජාඇලදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයට වාරණයක් පනවා තිබූ නිසා එම උද්ඝෝෂණය පැවැත්වීමට නොහැකි විය.

 

 

-ගජබා-