දේශපාලනයේ ‘‘රිවස්’’ තීන්දු


  • අධ්‍යාපනයේ වෙනස්කම් ගැන සාකච්ඡාවට තේරීම් කාරක සභාවක්
  • රන්ජන් හමුවෙන්න  විපක්ෂ නායක  රහසේම කරාපිටියට

 

කොවිඩ් වසංගතය ජන ජීවිතය දිනෙන් දින අසරණ කරමින් තිබේ. තරමක පාලනයක් සිදුව තිබූ කොවිඩ් අර්බුදය ගිය සතිය වනවිට උග්‍ර අතට හැරුණේ රෝහල් පද්ධතිය ද රෝගීන්ගෙන් පුරවමිනි. මේ තත්ත්වය සමග රට ඉතා දරුණු තැනකට තල්ලු‍ වෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. තත්ත්වය පාලනයට ආණ්ඩුව ද දැඩි වෙහෙසක් දරමින් සිටිනු පෙනේ. ඉන් ප්‍රධාන තැනක් හිමිව ඇත්තේ එන්නත්කරණයටයි. සෞඛ්‍ය අංශ පමණක් නොව ආරක්ෂක හමුදා ද එන්නත් කරන වැඩපිළිවෙළට සම්බන්ධ වෙමින් එය සාර්ථක විදිහට ගෙන යමින් තිබෙන බව පැහැදිලිය.


කොතලාවල පනත අතරමග හිරවෙයි


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පසු ගිය සඳුදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී රැස්වුණේ සතියෙ පාර්ලිමේන්තුවේ කටයුතු ගැන සාකච්ඡා කිරීම වෙනුවෙනි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහි මුලසුන ගත්තේය. රැස්වීම රාත්‍රී හතයි තිහට ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, කැබිනට් රැස්වීම ප්‍රමාද වී අවසන් වීම නිසා ආණ්ඩු පක්ෂ රැස්වීම ආරම්භ වනවිට රාත්‍රී අටයි තිහ පමණ විය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා සියලු‍ දෙනා පිළිගනිමින් සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු ගැන පැහැදිලි කළේය. ඔහු කීවේ න්‍යායපත්‍රයට අනුව සිකුරාදා දිනයේ දී කොතලාවල පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිත බව ය. පනත සිකුරාදා ඉදිරිපත් කරන බව චමල් රාජපක්ෂ ඇමැතිවරයා ද කීවේය. කොතලාවල පනත් කෙටුම්පත ගැන පැහැදිලි කරන්නට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාද පැමිණ සිටියේ චමල්ගේ ආරාධනයෙනි.


ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ඒ සමගම නැගී සිටියේය. ‘‘කොතලාවල පනතට සමාජයේ ලොකු විරෝධයක් තිබෙනවා. එහෙම තියෙද්දි මේක සම්මත කළොත් ආණ්ඩුව විදිහට අපිට ජනතාවගේ ලොකු විරෝධයකට ලක් වෙන්න වෙනවා”‍ ගෙවිඳු කීවේය . ගෙවිඳු පැහැදිලි කරද්දී සුසිල් ප්‍රේමජයන්ත නැගී සිටියේය. ඔහු පනත ගැනත් පනතේ අඩුපාඩු සහ හොඳ දේවල් ගැනත් විවේචනාත්මක විග්‍රහයක් කළේය.”‍ මේකේ තාක්ෂණික ගැටලු‍ ගණනාවක් තියෙනවා. අපි ඒවා විසඳගන්න ඕනෑ”‍ සුසිල් කීවේය. සුසිල් ගේ විග්‍රහය සාධනීය විවේචනයක් විය. අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමැතිවරයා ද මේ කතාබහට මැදිහත් විය. ඔහු කීවේ ඔහුගේ ළමයෙකු ද කොතලාවල විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා බවය. මේ පනත ගෙනාව කියලා අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙන්නේ නෑ. මුදල් ගසා කෑමක් වෙන්නෙත් නෑ. අපේ ගොඩක් අය කෝටි ගණන් වියදම් කරලා ළමයි රට යවනවා උගන්වන්න. මේකෙන් වෙන්නෙ ඒ මුදල මේ රටේ රඳවා ගන්න පුලු‍වන් වෙන එකයි”‍ අරුන්දික පැහැදිලි කළේය. අගමැතිවරයා ද කීවේ කොතලාවල විශ්වවිද්‍යාලය දිගටම පැවැත්වුණු එකක් බවය.
කොමියුනිස්ට් පක්ෂයේ වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා ද මේ කතාබහට මැදිහත් විය. ‘‘මේකෙ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ ආයතනය විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පත් නොවීම. මේක ප්‍රතිපාදන කොමිසම යටතට ගන්න. මේ පනතට එරෙහිව සමාජයෙන් එන විරෝධය නොසලකා හරින්න හොඳ නෑ”‍ යැයි වීරසුමන කීවේය. අනතුරුව කතාබහට එක්වුණේ ප්‍රේමනාත් දොළවත්ත මන්ත්‍රීවරයාය. ‘‘මේ විශ්වවිද්‍යාලය දිගටම තිබුණ නම් අලු‍තින් මේ වගේ පනතක් ගෙනාවේ ඇයි කියලා මට නම් පැහැදිලි නැහැ.’’ දොලවත්ත ගේ අදහස විය. කොතලාවල පනත ගැන හා විශ්වවිද්‍යාලය ගැන පැහැදිලි කරන්නට ආරක්ෂක ලේකම්වරයාත් උපකුලපතිවරයාත් උත්සාහ කළ නමුත් චමල් රාජපක්ෂ කීවේ මන්ත්‍රීවරුන්ට තවත් අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දිය යුතුය කියාය. මේ කතාබහ නිමා කරමින් අගමැතිවරයා කීවේ ‘‘හරි හරි අපි මේක කමිටුවක් දාලා සාකච්ඡා කරමු”‍ යනුවෙනි. අධ්‍යාපනයේ වෙනස්කම් ගැන සාකච්ඡා කරන්න අපි තේරීම් කාරක සභාව පත් කරමු. අගමැතිවරයා යෝජනා කළේය. මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්ද අරලියගහ මන්දිරයේ සූදානම් කර තිබූ බැවින් අගමැතිවරයා මන්ත්‍රීවරුන් සියලු‍ දෙනාට ඊට ආරාධනා කරමින් රැස්වීම අවසන් කළේය. සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට තිබූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත මේ හේතුවෙන් එදින විවාදයට නොගෙන කල් දමන්නට ආණ්ඩුව තීරණය කළේය. ඒ බව චමල් රාජපක්ෂ ඇමැතිවරයා ද පසුදින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.


කැබිනට් රැස්වීම


කැබිනට් මණ්ඩලය ඉකුත් සඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කලින් සතියේ සූම් තාක්ෂණය ඔස්සේ කැබිනට රැස්වීම පැවැත්වූ නමුත්, මෙවර ඇමැතිවරු සියලු‍ දෙනා ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියහ. ගුරු වැටුප් ප්‍රශ්නය, කොතලාවල පනත සහ විවිධ පක්ෂ සහ සංවිධාන ගෙන යන උද්ඝෝෂණ විරෝධතා මෙවර කැබිනට් රැස්වීමේ ප්‍රධාන මාතෘකා බවට පත්විය. ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා අගමැතිවරයා ප්‍රමුඛ කමිටුව ගුරු සංගම් සමග පැවැති සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් වී තිබිණි. එය ඉදිරිපත් කරනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිනි. එම කැබිනට් සංදේශයෙන් දැනුම් දී තිබුණේ සුබෝධනී වැටුප් කමිටුවෙ නිර්දේශ වලින් පිට මේ ප්‍රශ්නය විසඳීමට ගුරු සංගම් අකමැති බව ය. අයවැයෙන් මේ ප්‍රශ්න විසඳීමට යෝජනා කළ ද ඔවුන් ඒ සඳහා එකඟ නැති බව අගමැතිවරයා දැනුම් දුන්නේය. ‘‘මේක මේ වෙලාවේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ලබන අයවැයෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න උත්සාහ කරනවා”‍ ජනාධිපතිවරයා කීවේය. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ද කීවේ ජනාධිපතිවරයා කී අදහසමය. ‘‘මේක මේ වැටුප් වැඩි කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි”‍ බැසිල් කීවේය. බැසිල් ඒ ගැන දිගු පැහැදිලි කිරීමක් ද කළේය. මේ ප්‍රශ්නය විසඳීමට අගමැතිවරයාත් අනෙකුත් ඇමැතිවරුත් සෑහෙන උත්සාහයක් ගත් නමුත් එම විසඳුම් පිළිගැනීමට ගුරු සංගම් එකඟ නැති බව ජී.එල්. කීවේය.


කොතලාවල පනත හා රටපුරා පවත්වන විවිධ උද්ඝෝෂණ විරෝධතා ගැන ද අනතුරුව කතාබහට ලක්විය. ‘‘මේක මේ පිකටින්, විරෝධතා, උද්ඝෝෂණ කරන වෙලාවක් නෙමේ. මේක පිටුපස ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණ වැඩපිළිවෙළක් තියෙනවා. අපි මේකට දේශපාලන වශයෙන් මුහුණ දෙන්න ඕන”‍ ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කීවේය. 


ජනපති මහ රෑ විහාර මහා දේවී උද්‍යානයේ


ඇස්ට්රා සෙනිකා පළමු මාත්‍රාව ගත් බොහෝ දෙනෙකුට එහි දෙවැනි මාත්‍රාව ගැනීමට නොහැකි වූයේ එන්නත් ලැබීමේ ප්‍රමාදයක් හේතුවෙනි. ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත ජපානයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඇස්ට්රා සෙනිකා තොගයක් ඉකුත් සති අන්තයේ මෙරටට ගෙන්වනු ලැබීය. එය ලැබුණු විගස දෙවැනි මාත්‍රාව ලබා දීමට සෞඛ්‍ය අංශත් ආරක්ෂක හමුදාත් යුහුසුලු‍ විය. යුද හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහනක් සති අන්තයේ විහාර මහා දේවී උද්‍යානයේ දී ආරම්භ කළේ එන්නත කඩනමින් හා පිළිවෙලට ලබාදීමේ පියවරක් ලෙසිනි. එය ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මකවිය. ඒ ගැන බලන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ විහාරමහාදේවි උද්‍යානයේ එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන ස්ථානයට පැමිණියේය. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද පැමිණ සිටියහ. ජනාධිපතිවරයා එතැනින් පිටව ගියේ එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම ගැන හමුදා සාමාජිකයන්ට සිය සතුට පළ කරමිනි.


මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් බහස්පතින්දා දහවල් පාර්ලිමේන්තු ලොබියට වී පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සමග කතාබහ කරමින් සිටියේ ය. සාගර කාරියවසම්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න යන පසුපෙළ මන්ත්‍රීවරුන්ට අමතරව දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා ද එහි විය. මේ කතාබහ අතරේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එතනට ආවේ ය.”‍ ආ, ජනාධිපති තුමා, එන්න වාඩිවෙන්න යැයි කියමින් බැසිල් හිටපු ජනාධිපතිවරයා කතාබහට කැඳවා ගත්තේය.”‍ ඔබතුමාලගේ පැත්තේ සතුන්ගෙන් වන වගා හානි ගැන අපි ඊයේ සාකච්ඡා කළා. පුදුම විදියට මොණරුත් බෝ වෙලා නේද බැසිල් කීවේය”‍ මොණරු ඉතිං කතරගම දෙවියන්ගේ වාහනය නිසා මිනිස්සුත් මුකුත් කරදරයක් කරන්නේ නෑනේ හැබැයි රිලව් ප්‍රශ්නයත් ලොකු කරදරයක්”‍ මෛත්‍රී කියද්දී බැසිල් කිව්වේ”‍ ඔව් ඔව් ඔබතුමා කෘෂිකර්ම ඇමැති කාලේත් ඔය ගැන දිගින් දිගටම කතා කළානේ”‍ කියාය .


කැටගොඩට ඩයනාගෙන් සාදයක්


ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් වූ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා වෙනුවෙන් සාදයක් සූදානම් කර තිබුණේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ තලවතුගොඩ පිහිටි නිවසේය .ලොහාන් රත්වත්තේ, නිමල් ලංසා, සාගර කාරියවසම්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, චාමර සම්පත් දසනායක, ජගත් කුමාර, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වී සිටියහ. සමහර මන්ත්‍රීවරුන් සින්දු කී අතර, සමහරු රංගනයේ යෙදුනහ. ඒ අතරින් කාගේත් සිත් ගත්තේ බදුල්ලේ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාගේ නැටුමයි. මන්ත්‍රීවරුන් එය නම් කළේ ‘‘බදුලු‍ නැටුම”‍ ලෙසිනි. චාමර ගේ බදුලු‍ නැටුම කාගෙත් සිත්ගත් නැටුමක් බවට පත්වූයේ හැමෝගෙම අත්පොළසන් මැද ය 


සජබෙ ස්ථාවරය


මේ සතියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් පැවති වැඩමුළුවෙන් පසුවය. එහිදී ද වැඩි වශයෙන් සාකච්ඡා වූයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳවය.


‘‘කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ඒ ආකාරයෙන්ම තියෙන්න හරින්න. ඒක ආරක්ෂක නිලධාරීන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කරන්න කියන එක තමයි අප ගතයුතු ස්ථාවරය වෙන්නේ’’ එම විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් අලු‍ත් පනත් කෙටුම්පතක් ගෙනැවිත් අධ්‍යාපනය මිලටරීකරණය නොකළ යුතු බව සමගි ජන බලවේගයේ ස්ථාවරය විය.


‘‘කොතලාවල විශ්ව විද්‍යාල පනත ගෙනාවේ යහපාලන ආණ්ඩුව කාලේ කියලා ආණ්ඩුවෙන් අපිට චෝදනා කරනවා’’මන්ත‍්‍රීවරයෙක් පැවසුවේය.


‘‘ඒ වුණාට ඒකට කැබිනට් එකේ දී නායකතුමා විරුද්ධ වුණා. අධ්‍යාපනය මිලටරීකරණය කළ යුතු නැති බව තමයි එදා අපි කණ්ඩායමේ ස්ථාවරය වුණෙත්’’ රංජත් මද්දුම බණ්ඩාර ඉතිහාසයේ වූ දේ සිහිපත් කළේය.
‘‘මහ ලේකම්තුමා කියන කතාව හරි. එදා මම කැබිනට් මණ්ඩලයේ දී මේකට විරුද්ධව හඬ නැගුවා’’ සජිත් පැවසුවේය.


‘‘මේක ගෙනාවේ රනිල් වික්‍රමසිංහලා. අද ඒ අයට පනතට විරුද්ධව කතා කරන්න අයිතියක් නැහැ. අපි තමයි එදත්, අදත් එකම ස්ථාවරයේ හිටියේ’’ ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා කීවේය.


සජිත් රහසේ ගිය ගමන


පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන්වූ වහාම සජිත් අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ලට ගියේය. සජිත් කණ්ඩායම් රැස්වීමෙන් පිටත් වූයේ මනුෂට ද තමන් සමග පැමිණෙන ලෙස දැනුම් දෙමින්ය.


පින්නදුව අධිවේගී මාර්ග පිවිසුමෙන් පිටතට පැමිණි ඔවුහු කරාපිටිය රෝහලට ගියහ. ඒ අඟුණුකොළපැල්ල බන්ධනාගාරයේ සිට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ගෙනවිත් සිටි රංජන් රාමනායකගේ සුව දුක් විමසීමටය.


සජිත් හා මනුෂ, රංජන්ගේ සුව දුක් විමසා ඔහු වෙනුවෙන් ගන්නා ඉදිරි පියවර ගැන ද සාකච්ඡා කළේය.
‘‘මනුෂ මන්ත‍්‍රීතුමා, එතුමාගේ ගෙදර මට දීලා තියෙනවා. ඒක ලොකු දෙයක්. මම ඒකට ස්තුතිවන්ත වෙනවා’’රංජන් කීවේය.


එතැන් සිට සජිත් ගියේ හම්බන්තොට බලාය. නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී නිවාස ලබාදුන් පුද්ගලයන්ගේ නිවාස ආණ්ඩුව බලහත්කාරයෙන් ගන්නා බවට සජිත්ට තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව එහි ගිය ඔහු ජනතාවගේ ගැටලු‍වලට කන් දුන්නේය.


‘‘මේ ගෙවල් නීත්‍යානුකූල නැහැ කියලා කියනවා නම් ගෙවල්වලට විදුලිය, ජලය දුන්නේ කොහොම ද? නිවාස ණය දුන්නේ කොහොම ද? මේ සරල කාරණාවත් දන්නේ තැනි ආණ්ඩුවක් තමයි දැන් තියෙන්නේ’’සජිත් කීවේය.


එතැන් සිට ලු‍ණුගම්වෙහෙර බලා පිටත්ව ගිය ඔහු පසුදා කොළඹ පැමිණියේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය දැක්වීම සඳහා සංවිධානය කර තිබූ විරෝධතාවයකට සහභාගීවීමටය.


විපක්ෂය ආණ්ඩුව ගැන කියන දේ


සජිත් මේ සතියේ පාර්ලිමේන්තුවට ගියේ කොතලාවල පනතට අඛණ්ඩව විරෝධය දැක්වීමේ අරමුණින්ය. එහෙත් පනත් කෙටුම්පත හකුලා ගන්නා බව චමල් රාජපක්ෂ කීවේය. චමල් එම කතාව කර ටික වේලාවකින් විපක්ෂ නායක කාර්යාලයට සජිත් පැමිණියේ තවත් මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් සමගය.


‘‘විපක්ෂය කරන දේවල් නිසා ආණ්ඩුවට ගොඩක් දේවල් රිවස් කරන්න වෙලා තියෙනවා’’ එස්.එම්. මරික්කාර් මන්ත‍්‍රීවරයා කීවේ ආණ්ඩුවේ රිවස් කිරීම් ගැන සිහිපත් කරමින්ය.


‘‘පාර්ලිමේන්තු ඡන්දය තියලා අවුරුද්දකුත් වෙනවා’’ නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා කීවේ සජිත් දෙස බලමින්ය.
‘‘මේක ඉතිං රිවස් ආණ්ඩුවක් නේ. රිවස් ආණ්ඩුවට අවුරුද්දක් පිරුණ එක තමයි වෙලා තියෙන්නේ’’ සජිත් පැවසුවේය.


ගුරු ගැටලු‍වට මැදිහත් වේ


ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන විරෝධතාවයට සජිත් අඛණ්ඩව සහාය ලබා දුන්නේය. නිරන්තරයෙන් විරෝධතාවයන්ගේ ප‍්‍රගතිය ගැන සොයා බැලූ ඔහු අවශ්‍ය සහාය දීමට ද පියවර ගත්තේය.


පාර්ලිමේන්තුවේදී ද විශේෂ ප‍්‍රකාශයක් කළ ඔහු ගුරුවරුන්ගේ ගැටලු‍ව කඩිනමින් විසඳිය යුතු බව ආණ්ඩුවට අවධාරණය කළේය.


මේ අතර විරෝධතාවයේ යෙදුණ ගුරුවරුන් අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි වූ වහාම සජිත් ඒ ගැන සොයා බැලු‍වේය.


නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයාට දුරකතනයෙන් ඇමතූ සජිත් බ‍්‍රහස්පතින්දා උදෑසන ඔවුන් රඳවා සිටි වරාය පොලීසියට ගොස් සොයා බැලිය යුතු බව දැනුම් දුන්නේය.


‘‘එතැන කිරි දෙන මවක් පවා ඉන්නවා. ඒ අයට හරිහැටි ඇඳුමක්වත් නෑ’’නලින් බණ්ඩාර තමන්ට ලැබුණු තොරතුරු සජිත්ට දැනුම් දුන්නේය.


පසුදා උදෑසනම නලින් බණ්ඩාර වරාය පොලීසිය වෙත ගියේ එතැන සිටි ගුරුවරුන්ට අවශ්‍ය ඇඳුම් බෑගයක් ද රැගෙනය. නීතීඥවරුන් කිහිපදෙනෙක් සමග එහි ගිය ඔහුට වරාය තුළට ඇතුළුවීමට අවසර ලැබුණේ නැත.
‘‘අපි මහජන නියෝජිතයන්. තව ටික වෙලාවකින් විපක්ෂනායතුමත් එනවා. අපිට රැඳවියන් තියාගෙන ඉන්න බන්ධනාගාරයට ඕනැම වෙලාවටක ගිහින් පරීක්ෂා කරන්න පුළුවන්. එනිසා අපිට මෙතැනට යන්න ඕනෑ’’නලින් කීවේය.


එහෙත් පොලීසියෙන් ඔහුට ඉඩක් ලැබුණේ නැත. ඉන් පසුව සජිත් පැමිණියත්, පොලීසිය ඔහුටත් බාධා කළේය.


‘‘මේක මගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය. ඒක කාටවත් වළක්වන්න බැහැ’’සජිත් කරුණු දැක්වුවත් පොලීසිය දිගින් දිගටම බාධා කළේය.


එතැන් සිට පාර්ලිමේන්තුවට පැමිණි සජිත් මේ ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේය. එවිට රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයා පැවසුවේ තමන්ට කලින් දැනුම් දී ගියේ නම් වරාය තුළට ඇතුළුවීමට අවසර දෙන බවය.


‘‘සර්ට තිබුණේ මහින්ද රාජපක්ෂ අර ගාල්ලේ දී කළා වගේ එස්.එස්.පී. ගේ කනට ගහලා ඇතුළට යන්න’’ මන්ත‍්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ දී කීවේය.


‘‘ඒ එයාගේ විදිය. මේ මගේ විදිය. ඒ විපක්ෂනායක කරපු හැම දේම කරන්න ගියොත් ජුලම්පිටියේ අමරේ වගේ අය බලන්නත් මට යන්න වෙනවා. මම එහෙම නෑ. සාධාරණ අරගලයක් කරන ගුරුවරුන් වෙනුවෙන් තමයි මම පෙනී සිටියේ. සාධාරණ දේවල් වෙනුවෙන් කටයුතු කරන අයට විතරයි මම සහාය දෙන්නේ’’සජිත් පැහැදිළි කළේය.


සජිත් මේ ගැන පාර්ලිමේන්තුවේ දී කතා කර ටික වේලාවකින් හරීන් ප‍්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරුන් ආපනශාලාව දෙසට පැමිණියෝය. ඔවුන්ගේ මුහුණට රෝහිත අබේගුණවර්ධන සහ නිමල් ලංසා හමුවිය.


‘‘හලෝ කොහොම ද’’ කියමින් රෝහිත , හරීන් ළඟට ආවේය.


‘‘ආ..ඊළඟ සැරේ අපි වරායට එනකොට කෝල් එකක් දීලා එන්නම්’’ හරීන් කීවේ උපහාසාත්මක සිනහවක් මුවට නංවාගනිමිනි.


‘‘හා.. හා.. එහෙම එන්න. අපි වරායට එන්න අලු‍ත් පාරක් හදනවා. එතකොට වරායට එන්න ලේසියි’’රෝහිත කීවේය.


‘‘හරි හරි හැබැයි ඕක විවෘත කරන්නේ අපි.”‍


හරීන් එහෙම කියන විට රෝහිත පුදුමයෙන් හරීන් දෙස බැලු‍වේය.


”‍එතකොට තියෙන්නේ අපේ ආණ්ඩුවනේ. විපක්ෂ නායකතුමාට ඔයාලා දොර වැහුවාට අපි ඔයාලට දොර වහන්නේ නෑ.’හරීන් සිනාසෙමින් කීවේය.


රාජපක්ෂලා ගහපු එන්නත මොකක් ද?


ජනතාවට එන්නත් ලබාදී අවසන් වන තුරු තමා එන්නත් ලබා නොගන්නා බව සජිත් පැවසුවත් කොරෝනා ආසාදනය වීම නිසා වෛද්‍යවරුන් ඔහුට දිගින් දිගටම පවසා තිබුණේ එන්නතක් ලබාගත යුතු බවය. වෛද්‍යවරුන්ගේ දැඩි බලපෑම මත ඔහු එන්නත ලබා ගත්තේය.


”‍ඔබතුමා එන්නත ගත්ත එක හොදයි. මොකද , ඔබතුමා ඉන්නෙම ජනතාව එක්කමනෙ”‍
මන්ත්‍රීවරු එහෙම කීහ.


එහෙත් මේ ගැන මහින්ද අමරවීර ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කතා කර තිබුණේය. විපක්ෂ නායකයා ගහපු එන්නත මොකක්ද කියා ඔහු ඇසුවේය. ආණ්ඩුවේ හෝ විපක්ෂයේ කිසිවකු එවැන්නක් සජිත්ගෙන් ඇසුවේ නැත. නමුත් අමරවීරට තිබූ ප්‍රශ්නය සජිත් ගැසූ එන්නත ය. නමුත් මේකට මනූෂ නියම උත්තරයක් දුන්නේය.


‘‘මේ අය විපක්ෂනායකතුමාට ගහපු එන්නත ගැන කතා කරනවා. හැබැයි එයාට ගහපු එන්නත ගැන කතා කරන්නේ නෑ’’ මනූෂ කීවේය.


‘‘හැම රටකම රාජ්‍ය නායකයෝ එන්නත් ගහලා ෆොටෝ දාලා තිබුණානේ. රාජපක්ෂලා එහෙම එන්නත් ගහනවා කවුරුවත් දැක්කේ නෑනේ. කෝ මේ එන්නත්. කවදද ගැහුවේ කියලා පුලු‍වන් නම් දැන් කියන්න ඕනෑ’’මනුෂ තවදුරටත් කීවේ ය.


අධ්‍යාපනය මිලිටරිකරණයට එජාපයේ විරෝධය


වයස අවුරුදු දොළහට වැඩි සියලුම දෙනාට කෝවිඩ් එන්නත ලබාදීම පිණිස රජය පෙළඹවීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගිය සතියේ දී තීරණය කළේය.
පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සමන් රත්නප්‍රිය යන මහත්වරුන් මූලිකව පත් කරන ලද මෙම කමිටුවේ කටයුතු වහාම ක්‍රියාත්මක කරන ලෙසට ද එජාප නායකවරයා උපදෙස් දුන්නේය.
මීට අමතරව සෑම විෂයයක් සම්බන්ධයෙන්ම ප්‍රමුඛ ස්ථානය ගෙන කටයුතු කිරීම සඳහා විෂයය කමිටු පත්කිරීම ද රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ලැබීය. සෞඛ්‍ය, පළාත් පාලන, අධ්‍යාපනය, ආදී සියලු අංශ සඳහාත් මෙම කමිටු පත් කළ අතර අද මෙම සියලු කණ්ඩායම් සිරිකොතට කැඳවා ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් හමුවිය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ආරක්ෂක අංශවලට උපාධි පිරිනැමීම සඳහා ආයතනයක් තිබිය යුතු වුවත් එය සිවිල් ජනතාවට බලපෑමක් නොවිය යුතු බවය. උසස් අධ්‍යාපනය මිලිටරිකරණය නොවිය යුතු බව සඳහන් කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පනත සංශෝධනය විය යුතු බව ද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතිය ගත කළේ බදුල්ලේය. පසුගිය 30 වැනිදා සවස බදුල්ල බලා ගිය රුවන් විජයවර්ධන මහතා යළි කොළඹට පැමිණියේ පසුගිය 2 වැනිදාය. බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම ආසන සංවිධායකයන් හා පක්ෂ ක්‍රියාකාරීන් හමුවීම, පක්ෂ සංවිධායක කටයුතු ශක්තිමත් කිරීම හා ජනතාව හමුවීම බදුල්ල සංචාරය තුළ දී සිදුවිය.


ඔහු මේ වැඩ ආරම්භ කරනු ලැබුවේ පස්සර ආසනයෙනි. පස්සර ප්‍රාදේශීය සභාවේ සභාපති ඊ.එම්. ගුණතිලක මහතා හා සංවිධායක දීපා වේලාසුදන් මහතා මෙදින වැඩ පිළිවෙළ සංවිධානය කර තිබුණි. එයින් පසුව අම්පිටිය පුරාණ විහාරස්ථානයට ගිය රුවන් විජයවර්ධන මහතා දේවතුරේ නන්දසාර හිමියන් හමුවී ආශිර්වාද ලබා ගත්තේය. අම්පිටිය පුරාණ රජමහා විහාරයේ දී රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසට දිවා ආහාරය සූදානම් කර තිබුණි.


ඉන්පසු හපුතලේ හා බණ්ඩාරවෙල ආසනවල සංචාරය කළ රුවන් විජයවර්ධන මහතාට උදක රත්නායක මහතා හමුවිය. මෙම හමුවේ විශේෂත්වය වූයේ උදක රත්නායක මහතා, හිටපු දිසා ඇමැති ආර්.එම්. අප්පුහාමි මහතාගේ මුණුබුරා වීමයි. ඔහු ඌව පළාත් සභාවේ හිටපු ඇමැති ආරියදාස රත්නායක මහතාගේ පුත්‍රයාය. ​දේශපාලන කටයුතුවලින් ඉවත් වී සිටි උදක රත්නායක එක්සත් ජාතික පක්ෂය ගොඩ ගැනීම සඳහා සහාය දැක්වීමට එකඟතාව දක්වා තිබුණි.


හපුතලේ තානායමේ දී දෙදෙනා අතර සාකච්ඡාව පැවැති අතර සංදිත් සමරසිංහ මහතා ද ඒ අවස්ථාවට එක්වී සිටියේය.


හිටපු ඇමති උපාලී සමරවීර මහතා ඌව පරණගම දී සංවිධානය කර තිබූ ජනහමුවකට ද නියෝජ්‍ය නායකවරයා සහභාගි විය. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පෝර ප්‍රශ්නය මුල්කර ගනිමින් පැවැති මෙම ජනහමුවට විශාල පිරිසක් සහභාගි වී සිටියහ.


‘‘අපේ ජනබල පක්ෂයේ’ සංවිධායක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා ඇතුළු තරුණ පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීම ද නියෝජ්‍ය නායකවරයාගේ බදුල්ල සංචාරයේ දී සිදු විය.


සියලුම ආසන සංවිධාන සඳරුවන් වික්‍රමරත්න සංවිධානය කර තිබූ උද්ඝෝෂණයකට නියෝජ්‍ය නායකවරයා ද සහභාගි විය. මුතියංගන රජමහා විහාරයේ නියෝජ්‍ය භාරකාර මළගල චන්දිම හිමියන් බැහැ දැකීමට ද නියෝජ්‍ය නායකවරයා ගියේය.


මේ අතර රුවන් විජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ‘මහජන සහාය’ ග්‍රාමීය මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර එහි පළමු වැන්න 8 වැනිදා දිවුලපිටියෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

 

 

-ගජබා-