ඩොලර් සොයන්න කැබ්නට්ටුවේ වාද විවාද


ආණ්ඩුවට ගිය සතිය කාරණා කිහිපයක් නිසා අතිශය වැදගත් විය. පළමුවැන්න ලබන වසර සඳහා වූ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. එය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනය වන අතර, බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස ඉදිරිපත් කළ පළමු අයවැය ද විය. දෙවැන්න ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව ඉකුත් බ්‍රහස්පතින්දාට වසර දෙකක් සම්පූර්ණ වීමයි. තුන්වැන්න අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය ද එදිනට යෙදී තිබීමයි. හතරවැන්න අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑය සසුනට පූජා කිරීමයි. මේ සියලු‍ කාරණා ගත්විට ගෙවී ගිය සතිය ආණ්ඩුවට අතිශයින් වැදගත් වූ බව අමුතුවෙන් කිව යුතු නැත.

තිස් වසරක යුද්ධය නිමා කරමින්, රටට නිදහස දිනා දීමේ සටනේදී දිවි පිදූ රණවිරුවන් සිහි කරමින් මෙන්ම, ආබාධිත වූ හා ඊට දායක වූ රණ විරුවන් කෘතවේදීව සිහිපත් කරමින් අනුරාධපුර පූජා නගරයේ ඉදිකරන ලද සඳහිරු සෑය ද ඉකුත් පොහෝ දින විවෘත විය. ඒ යුද්ධය ජයග්‍රහණය කිරීමේ සටනට නායකත්වය දුන්, එවක ජනාධිපතිවරයා වූ සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් අතිනි. ඒ ඓතිහාසික කාර්යය සිදු වූ දිනයේ ජනාධිපතිවරයාගේ පදවිප්‍රාප්තියේ දෙවෙනි වර්ෂ පූර්ණයත්, අගමැතිවරයාගේ ජන්ම දිනයත් යෙදී තිබීම සුවිශේෂී කාරණාවකි.


 

 

  • යුද ජය වෙනුවෙන් හැදූ සඳහිරු සෑය විවෘත කරයි

 

 



ජනපතිගෙන් මැති ඇමැතින්ට එළවළු කෑම වේලක්


සඳහිරු සෑය විවෘත කිරීම නිමිත්තෙන් අනුරාධපුරේ පැවැති උත්සවයට සහභාගි වූ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සඳහා එදින රාත්‍රියේ විශේෂ භෝජන සංග්‍රහයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිරිනමනු ලැබීය. එය පැවැත්වුණේ අනුරාධපුරයේ පිහිටි ජනාධිපති මන්දිරයේ ය. ජනාධිපතිවරයාගේ පදවිප්‍රාප්තියට වසර දෙකක් සම්පූර්ණ වීමත්, අගමැතිවරයාගේ ජන්ම දිනය යෙදී තිබීමත් සැලකිල්ලට ගෙන එම භෝජන සංග්‍රහය පිරිනැමිණි. එහි විශේෂත්වය වූයේ රාත්‍රී භෝජන සංග්‍රහය මස් මාංශවලින් තොරව එළවළු කෑම වේලක් වීමය. අනෙක් විශේෂත්වය මත්පැන් සාද ආදිය නොමැතිවීමය.


ඩොලර් අර්බුදය කැබිනට්ටුවේ කතාබහට


සතියේ කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.


කැබිනට් රැස්වීමේ වැඩි අවධානයක් යොමුවූයේ ඉන්ධන හිඟය හා ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙනි. ඩොලර් හිඟය හේතුවෙන් ගිය සතිය වන විට සපුගස්කන්ද පිරිපහදුව ද නවත්වන්නට සිදුවිය. එය මාසයකට ද දෙකකට ද යන්න තවමත් පැහැදිලි නැත. කෙසේ වුවද ප්‍රධාන හේතුව වී ඇත්තේ බොරතෙල් ආනයනය සඳහා ඩොලර් නොමැතිවීමය. ඉන්ධන සඳහා ඩොලර් සොයන්නට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගිය කාලය පුරා නොගත් උත්සාහයක් ද නැත. ඔහු ඕමානය ඇතුළු රටවල් ගණනාවකට ද ගොස් ඒ ගැන සාකච්ඡා කළ නමුත් ඉන්ධන ණයට ලබා දීම සම්බන්ධයෙන් එම රටවලින් යහපත් ප්‍රතිචාරයක් ද ලැබී නැත. මේ ගැන ගම්මන්පිල ගිය සතියේ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළේ දීර්ඝ විස්තරයක් කරමිනි. ඛනිජ තෙල් සංස්ථාව බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බවත් ආනයනය සඳහා ඩොලර් හිඟය දැඩි ලෙස බලපා ඇති බවත් ඔහු කීවේය. ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 350ක් පමණ වැයවන බව කී ගම්මන්පිල වසරකට එම ප්‍රමාණය ඩොලර් බිලියන 4ක් පමණ වන බවද සඳහන් කළේය. එය සංස්ථාව මුහුණ දී ඇති බරපතළ අර්බුදයක් බව සඳහන් කළ ඔහු ඉන්ධන ණයට ලබා ගැනීමේ හැකියාවක් ද නොමැති බව කීවේය. ඉන්ධන ණයට ලබා ගැනීම සඳහා ගත් උත්සාහ සියල්ල අසාර්ථක වී ඇති බැවින්, වෙනත් විකල්ප ක්‍රමවේදයකට යා යුතුව ඇති බව ද ඔහු කීවේය. ඩොලර් අර්බුදය විසඳා ගැනීමට දැනට ඉතිරිව ඇති එකම විකල්පය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම බව ද ඔහු සඳහන් කළේ ඊට මෙහා පෙනෙන විසඳුමක් නැති බව සඳහන් කරමිනි.”‍ දැන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් යන්න වෙන්නේ දණගාගෙන. හැබැයි තවත් ප්‍රමාද වුණොත් අපිට යන්න වෙන්නේ බඩ ගාගෙන”‍ යැයි ගම්මන්පිල කීවේය. ඒ සමගම ඔහු සඳහන් කළේ උපරිම ධෛර්යය දමා ලබන පෙබරවාරි වන තෙක් ඉන්ධන ආනයනයට තමන් පියවර ගන්නා නමුත් ඉන් පසුව තමන්ට කළ හැක්කක් නොමැති බවය.


පසුව කතා කළේ ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ය. ඔහු කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සුදුසු නොවන බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි කොන්දේසි පනවනු ඇති බවත්, එය රටට නොගැළපෙන බවත් කී බන්දුල සඳහන් කළේ එම කොන්දේසි ඉටුකර ජනතාව අතරට යා නො හැකි බව ය. වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ද කතා කළේ ගම්මන්පිලගේ යෝජනාවට දැඩි ලෙස විරෝධය පළ කරමිනි. ඔහු කීවේ කිසිසේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සුදුසු නොවන බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ඔවුන් දමන කොන්දේසිවලට එකඟ වන්නට සිදුවී ජනතාව අතර ද ආණ්ඩුව අප්‍රසාදයට පත්වන බව වාසු කීවේය. වාසු එය ගිය සතියේ පාර්ලිමේන්තුවේදී ද සඳහන් කළේය. අනතුරුව කතා කළේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ය. ඔහු කීවේ ඉන්ධන ආනයනයට පමණක් නොව, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට ද ඩොලර් හිඟය බලපා ඇති බවය. ලබන වසරේ අස්වැන්න අඩු වුවහොත් ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්නටද සිදුවන බව බැසිල් කීවේය. මේ අතර ජනාධිපතිවරයා ද මෙම කතාබහට එක්විය. ඉන්ධන ආනයනය සඳහා විකල්ප වැඩපිළිවෙළකට යොමුවිය යුතු බව ජනාධිපතිවරයා කීවේය.


මේ අතර ගිය සතියේ ආණ්ඩුව ඩොලර් මිලියන 500 ක හදිසි ණයක් ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා ඉන්දීය රජය සමඟ සාකච්ඡාවක් ආරම්භ කළේ ඇතිව තිබෙන අර්බුදයෙන් ගොඩ ඒම වෙනුවෙනි.
ජනමාධ්‍යවේදීන් සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ලබන වසරේ පැවැත්වීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසිනි. එම සම්මාන උළෙල ඉකුත් රජය සමයේ 2009 වසරේ දී එක්වරක් පමණක් පවත්වා ඇති අතර එය වඩාත් විධිමත් ලෙස පැවැත්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.


හවුල් පක්ෂ උසාවි යයි


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ හමුවක් ගිය බදාදා හැන්දෑවේ පැවැත්වුණේ උදය ගම්මන්පිල ඇමැතිවරයාගේ නිල නිවසේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් ඊට සහභාගි වූහ. හදිස්සි කටයුත්තක් හේතුවෙන් විමල් වීරවංශ ඇමතිවරයා ඊට සහභාගී නොවූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයෙන්ද කිසිවකුත් ඊට සහභාගි වූයේ නැත. එහිදී සාකච්ඡාවට ලක්වූ ප්‍රධාන මාතෘකාව වූයේ යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වී ඇති පෙත්සම් සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් පහක් ඉදිරිපත් වී ඇති අතර, එය ලබන 26 වැනි දා සලකා බැලීමට නියමිතය. ඊට හවුල් පක්ෂවල නියෝජනය කෙසේ සිදුවිය යුතු යන්න මෙහිදී සාකච්ඡා වූ අතර, ඇමති මණ්ඩල සාමාජිකයන් ලෙස උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ වීරවංශ යන අමාත්‍යවරුන් වෙනම නීතිඥ මණ්ඩලයක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වීමට ද තීරණය කර ඇත. එහිදී පක්ෂ නායකයින් සාකච්ඡා කළේ කැබිනට් මණ්ඩලය වෙනුවෙන් නීතිපතිවරයා ඉදිරිපත් වන බැවින් උදය, වාසු, විමල් වෙනුවෙන් වෙන වෙනම නීතිඥයින් පිරිසක් සහභාගි විය යුතු බවය. කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡා ඒ නීතිඥවරුන් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමට ද එහිදී තීරණය විය.


ශ්‍රීලනිපයේ වෙනම ගමන


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැසිරෙන, කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් දේශපාලන කරළියේ සමහරු ප්‍රශ්නාර්ථයක් මතු කරමින් සිටිති. ඒ ඔවුන්ගේ ක්‍රියාකලාපය හා කරන කියන කතා හේතුවෙනි. පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය සතියේ අනුරාධපුරයේ ඔහුගේ නිවසේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රීලනිප බල මණ්ඩල රැස්වීමේදී යෝජනාවක් සම්මත කර ගනුණේ ඉදිරි මැතිවරණයට ශ්‍රීලනිපය තනිව තරග කළ යුතු බව කියමිනි. මේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ද දිස්ත්‍රික් බල මණ්ඩලයට අලු‍තින් පත්වූ ලේකම්වරයා විසිනි. එහි විශේෂත්වය වූයේ එම යෝජනාව ඒකමතිකව සම්මත වීම ය. මේ අතර මහින්ද අමරවීර ඇමතිවරයා ද ඉකුත් සතියේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේ ශ්‍රීලනිපය රූකඩ ලෙස කටයුතු කිරීමට සූදානම් නොමැති බවය. කැබිනට් මණ්ඩලය තුළ සාමූහික වගකීමෙන් කටයුතු කරන නමුත් ශ්‍රීලනිපය රූකඩයක් නොවන බව ඔහු කීවේය.


 

 

  • බාධක මැද විපක්ෂය  උද්ඝෝෂණය පවත්වයි

 

 

 



රට හෙල්ලූ විපක්ෂයේ විරෝධය


රටේ දැවෙන ප‍්‍රශ්න ගැන ආණ්ඩුවේ අවධානය යොමු කරමින් සමගි ජන බලවේගයේ මැදිහත්වීමෙන් විරෝධතා ක්‍රියාමාර්ගයක් ගැනීම ගැන අදහසක් මතුවූයේ දැනට සති කිහිපයකට පෙරදීය. විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග මන්ත‍්‍රී කණ්ඩායමක් සාකච්ඡා කරමින් කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කළේය.


හරීන් ප‍්‍රනාන්දු, මනුෂ නානායක්කාර සහ එස්.එම්. මරික්කාර්ට සංවිධාන වැඩ කටයුතුවල වගකීම පැවරිණි. ‘සාපයට එරෙහි ජනතා විරෝධය’’ නමින් එම විරෝධතාව පැවැත්වීමට සියලු‍ දෙනාම එකඟවූහ.


පසුගිය සතියේදී ගම්පහ දිස්ත‍්‍රික්කයේ ‘දිනමු’ කමිටු පැවැත්වෙන අතරවාරයේදීත් මන්ත‍්‍රීවරුන් සාකච්ඡා කළේ විරෝධතාව සාර්ථක කරගැනීම කෙරෙහිය. ‘දිනමු’ කමිටු පැවැත්වෙන අතරවාරයේදී අය වැය විවාදය සම්බන්ධයෙන් වැඩමුළුවක්ද පැවති අතර එහිදී සූම් ක්‍රමය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වූයේ සජිත් ඒ වන විට හම්බන්තොට සිටි නිසාය.


‘‘මේ වෙලාවේ අපි ලොකු විරෝධතාවයක් කරන්න ගියොත් ලොකු ප‍්‍රශ්න ඇතිවෙන්න පුලු‍වන්. අපි විරෝධතාවයක් සංවිධානය කරනවා කියලා කතාව පිටට යාමත් එක්ක බුද්ධි අංශ එහෙම කලබල වෙලා කියලා අපිට තොරතුරු ලැබෙනවා’’සරත් ෆොන්සේකා පැවසුවේ ආරක්ෂාව ගැනත් අවධානය යොමු කරමින්ය.


‘‘කොරෝනා ප‍්‍රශ්න එහෙම දාන්නත් ආණ්ඩුවට පුලු‍වන්’’ තවත් මන්ත‍්‍රීවරයෙක් කීවේය.
මේ අතර සෞඛ්‍ය රෙගුලාසි යාවත්කාලීන කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ගැන තොරතුරු සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන්ට ලැබී තිබුණි.


‘‘සෞඛ්‍ය රෙගුලාසි දාන්න ආණ්ඩුව හදනවා. එහෙම රෙගුලාසි දාලා විරෝධතාව නවත්වන්න ආණ්ඩුව හදනවා’’ රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා කීවේ ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ඔහුට ලැබුණ තොරතුරකි.
‘‘මේ විරෝධය නවත්වන’ ආණ්ඩුව ගන්නා උත්සාහය අපි පරාජය කරන්න ඕනෑ. අද ආණ්ඩුවට අපි බය වුණොත් හෙටත් අපිට ඔලු‍ව උස්සන්න දෙන්නේ නෑ. මේ වෙලාවේ බය නැතිව අපේ වැඩේ අරගෙන යන්න ඕනෑ’’ හරීන්, මනුෂ සහ මරික්කාර් එක හඬින්ම කීහ.


පක්ෂ විපක්ෂ මතවාදය අවසානයේදී තීරණය වූයේ කෙසේ හෝ විරෝධතාව පැවැත්වීමටය.


සූම් සාකච්ඡා


රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයාට ලැබුණ තොරතුරු නිවැරදි බව සනාථ කරමින් විරෝධතාවයට දින කිහිපයකට පෙර සෞඛ්‍ය රෙගුලාසි නිකුත් කළේය. එම ප‍්‍රවෘත්තිය ලැබුණු වහාම හරීන්, මරික්කාර් සහ මනුෂ සූම් සාකච්ඡාවක් සංවිධානය කළේ ඒ වන විට ඇතැම් මන්ත‍්‍රීවරුන් කොළඹින් පිට සිටි නිසාය.
‘‘ආණ්ඩුව අපි විරෝධතා කරන්න හදනවිට සෞඛ්‍ය මාර්ගෝපදේශ හදනවා. පොහොට්ටුවේ සම්මේලන තියනකොට, ගම සමග පිළිසඳර කියලා ජෝගි නටනකොට මේ කිසිම එකක් නෑ’’ නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා කීවේ තරමක ආවේගයෙන් යුතුවය.


‘‘එක රටක් එක නීතියක් කියලා කිව්වට, ඒ අයට එක නීතියක්. අපිට තව නීතියක්. මේවා ආණ්ඩුවේ රෙදි ගැලවෙන වැඩ’’ මුජිබර් රහුමාන් මන්ත‍්‍රීවරයා පැවැසුවේය.


‘‘අපි කිසිම හේතුවක් නිසා විරෝධතාව ආපසු හරවන්න හොඳ නෑ’’මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරත් තද ස්ථාවරයක සිටියේය.


සූම් සාකච්ඡාව යන අතරවාරයේදී මුජිබර් රහුමාන් මන්ත‍්‍රීවරයාට දුරකතන ඇමතුමක් ලැබුණේය. එයින් කියැවුණේ කොළඹ මහ නගර සභාව හා සෞඛ්‍ය නිලධාරීන් විසින් විරෝධතාව පැවැත්වෙන හයිඩ් පිටියට ලබාදීමට ගෙන තිබූ තීරණය අවලංගු කර ඇති බවය.


‘‘අපිට හයිඩ් පිටිය තහනම් වෙලා. දැන් මට ඒ කෝල් එක ආවා’’ මුජිබර් අනෙක් මන්ත‍්‍රීවරුන්ට දැනුම් දුන්නේය.
‘‘ආණ්ඩුවේ බය එයින්ම පේනවා. මේක මර්දනය. මර්දනය හමුවේ අපි නැමෙන්න නරකයි’’ මරික්කාර්ද විරෝධතාව ආපසු හැරවීමට කිසිදු බුරුලක් දුන්නේ නැත.


විරෝධතාව පැවැත්වෙන දිනට පෙර දිනයේදී සරත් ෆොන්සේකාට තොරතුරක් ලැබී තිබුණේ රටේ බොහෝ පොලිස් ස්ථානවලින් අධිකරණය හමුවට ගොස් විරෝධතාව පැවැත්වීමට වාරණ නියෝග ලබාගැනීමට සූදානම් වන බවය. මෙම තොරතුර සජිතට ලැබුණ වහාම ඔහු පක්ෂයේ නීති ප‍්‍රධානීන් කැඳවූවේය.
‘‘දැන් විරෝධතාවයට වාරණ ගන්නා හදන සෑම අධිකරණයකමට අපේ නීතිඥයෙක් යොමු කරන්න. අවශ්‍ය සියලු‍ම නීතිමය පියවර සඳහා අපේ නීතිඥ කණ්ඩායම් සූදානම් කරන්න’’සජිත්, ජනාධිපති නීතිඥ තිසත් විජයගුණවර්ධනට උපදෙස් දුන්නේය.


ඒ අතර පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨයින් සමග සජිත් සූම් සාකච්ඡාවක් පැවැත්වූවේය. දහවල් එම සාකච්ඡාව පැවැත්වූ අතර සවස පහට නැවත විපක්ෂ නායක කාර්යාලයේදී පිරිස එක්වූහ.


‘‘දැන් අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටු අසල පොලීසිය දාන්න හදනවා. තැන තැන පොලිස් මුර පොළවල් දාලා කොළඹට එන ජනතාව නවත්වන්න හදනවා’’මනුෂ කීවේය.


‘‘එහෙම වුණොත් අපි රට පුරාම විරෝධතා පවත්වමු. බාධා පමුණුවන තැනදී ඒ අයට විරෝධතා පවත්වන්න කියමු. අපි රටම විරෝධතා පිටියක් බවට පත් කරමු’’ සජිත් කළ යෝජනාවට සියල්ලෝම කැමැත්ත දැක්වූහ.
මේ අතර විරෝධතා වළක්වන ලෙස ඉල්ලා සිටිමින් පොලීසි රැසක් අධිකරණ නියෝග ඉල්ලා සිටි අතර බොහෝමයක් අධිකරණ එම නියෝග ප‍්‍රතික්ෂේප කළේය.


මේ තත්ත්වය හමුවේ රට පුරාම පැවැත්වෙන විරෝධතා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ක්ෂණික තොරතුරු මධ්‍යස්ථානයක් නිර්මාණය කළේය. වට්ස් ඇප් ඔස්සේ රට පුරාම පැවැත්වෙන විරෝධතාවය පිළිබඳ තොරතුරු සමගි ජන බලවේගයේ ප‍්‍රධාන කාර්යාලයට එක් රැස් කළ අතර ඒවා මාධ්‍ය ආයතන වෙත බෙදා හැරීම සඳහා ද ක්ෂණික ක්‍රමවේදයක් සකස් කළේය.


විරෝධතා පැවැත්වන දිනයේදී උදෑසනම රංජිත් මද්දුමබණ්ඩාර, නලින් බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, එස්.එම්. මරික්කාර්, මනුෂ නානායක්කාර ඇතුළු මන්ත‍්‍රීවරු විපක්ෂ නායක කාර්යාලයට පැමිණියහ. රංජිත් මද්දුමබණ්ඩාරගේ කාර්යාලය මෙහෙයුම් මධ්‍යස්ථායක් බවට පත් කර ගනිමින් විරෝධතාවයට එල්ලවන බාධාවන්ට ක්ෂණික විසඳුම් ලබාදුන්නේය. ඒ අතරම සියලු‍ම සංවිධායකයින්ට දැනුම් දුන්නේ කුමන හෝ ක්‍රමයකින් කොළඹට පැමිණෙන ලෙසය.


ඒ අනුව විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන ලෙසට සියලු‍ දෙනාටම දැනුම් දුන්හ. සවස තුනට විරෝධතාව පැවැත්වීමට නියමිත වූ අතර සවස දෙක වන විටත් විපක්ෂ නායක කාර්යාලය අසලට විශාල පිරිසක් පැමිණ සිටියේ නැත.


මුල් සැලසුම වූයේ සජිත් විපක්ෂ නායක කාර්යාල ඉදිරිපිටට පැමිණ විරෝධතාව පැවැත්වීමටය. සවස දෙක වන විටත් විශාල පිරිසක් නොපැමිණීම නිසා විරෝධතාවය අසාර්ථක වනු ඇතැයි ඇතැම් මන්ත‍්‍රීවරු සැක පළ කළහ.


‘‘අපේ ත‍්‍රීවීල් බලකායෙන් අපිට තොරතුරු ලැබෙනවා. හැම තැනම පොලිස් බැරියර් දාලා. බස් හරවලා යවනවා’’ නලින් බණ්ඩාර කීවේ කොළඹ නගරයේ ත‍්‍රිරෝද රථ රියදුරන්ගෙන් තොරතුරු එක් කිරීම සඳහා වූ මෙහෙයුම ගැනත් පැහැදිළි කරමිනි.


‘‘ආණ්ඩුව මොන මර්දනය කළත් අපිව මර්දනය කරන්න බෑ. බය වෙන්න එපා. විරෝධතාව සාර්ථක වෙනවා’’ හරීන් කීවේ අභ්‍යන්තර රහස් සැලසුමේ තවත් තොරතුරු කිහිපයක් කියමිනි.


ඒ වන විට මැද කොළඹ සහ කොළඹ නගර සභා බල ප‍්‍රදේශයෙන් විශාල පිරිසක් පැමිණෙමින් සිටියේ පයිනි. එකිනෙකා බැගින් පැමිණි ඔවුන් විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන විට ඒ අවට මාර්ගය එකම හිස් ගොඩක් බවට පත්ව තිබුණි.


‘‘දැන් මෙතැන නිකම් විරෝධතාවයක් කරන්න බෑ. විරෝධතාව පෙළපාලියක් විදියට ඉදිරියට අරගෙන යන්න ඕනෑ’’ රාජිත පැවසුවේය.


ඒ අනුව සජිත් විරෝධතාව පැවැත්වෙන විපක්ෂ නායක කාර්යාලය දෙසට පැමිණි අතර ඔහුට විපක්ෂ නායක කාර්යාලයට පැමිණීමට නොහැකි වූයේ ඒ පෙදෙසම එකම හිස් ගොඩක් වී තිබූ නිසාය. ඒ නිසා විපක්ෂ නායක කාර්යාලය තුළට යන අදහස අතහැරගත් සජිත් විරෝධතාවයට එක්විය. සජිත්ගේ එක් පසෙකින් පාඨලී චම්පික රණවක මන්ත‍්‍රීවරයා සිටි අතර අනෙක් පසින් රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා විය. ඇතැම් විටක විරෝධතාකරුවන් වේගයෙන් ඉදිරියට යන්නට වූ අතර සජිත්, චම්පික, රාජිත, දිගම්බරන්, මද්‍දුමබණ්ඩාර ඇතුළු මන්ත‍්‍රීවරුන්ගේ අත් දැඩිව අල්ලා ගනිමින් ඉදිරියටම ගමන් කළහ.


ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, හරීන්, මනුෂ, මරික්කාර්, නලින් බණ්ඩාර ඇතුළු කිහිප දෙනෙක් විරෝධතාව සංවිධානය කරමින් ක්‍රමයෙන් ඉදිරියට යන ආකාරය ගැන ක්ෂණික තීරණ ගත්තේය.


‘‘අපි දැන් මේක ලිබර්ටි රටරවුම පැත්තට අරගෙන යමු. එතැනදී නායකතුමාට කතාවක් කරන්න කියමු’’ ඔවුහු විරෝධතාව ලිබර්ටි වටරවුම දෙසට හැරවූහ.


එතැනදී සජිත් මාධ්‍යයට ප‍්‍රකාශයක් ලබාදෙන විට නැවත වරක් මෙහෙයුමේ ප‍්‍රධානීහු වට රවුමට වී තවත් සාකච්ඡාවක් කළහ. ඒ රහස් සාකච්ඡාවේදී යළිත් තීරණය වූයේ විරෝධතාව අරලියගහ මන්දිරය දෙසට රැගෙන යාමටය.


කොල්ලු‍පිටිය මංසන්ධියේ සිට අරලියගහ මන්දිරය දෙසට විරෝධතා පෙළපාලිය ගමන් කරන විට වැස්සක් ඇද හැලු‍ණේය. වැස්ස නොතකා පිරිස ඉදිරියට ගමන් කළ අතර ටික වේලාවකින් ආරක්ෂක නිලධාරියෙක් පැමිණ සජිත්ට කුඩයක් දුන්නේය. සජිත් කුඩය රැගෙන උසින් වැඩි චම්පිකට ඉසුලු‍වේය. චම්පිකද තරමක් පහතට වී සජිත්ගේ කුඩය යටට වූ අතර වැස්ස අවසන් වන තුරු සජිත් කුඩය අතහැරියේ නැත්තේ සිය සටන් සගයින් ආරක්ෂා කරමිනි.


මේ අතර නලින් තවත් මෙහෙයුමක යෙදී සිටියේය. ඒ සජිත්ට කතා කිරීමට වාහනයක සවි කළ ශබ්ද විකාශන යන්ත‍්‍ර කාටත් හොරා විරෝධාතාවයට ගෙන ඒමටය. කොටුව දෙස සිට වාහනයක සැඟවූ ශබ්ද විකාශන යන්ත‍්‍රය කොල්ලු‍පිටිය දෙසට පැමිණ විරෝධතාවයට එක්වූ අතර හරීන්, මනුෂ දෙදෙනා වාහනයේ බොනට්ටුව මතට නැගී මයික්‍්‍රපෝනයෙන් විරෝධතා සටන් පාඨ කියමින් ඉදිරියටම ගමන් කළහ. ඔවුන් ගමන් කළ රථය තරමක් වේගයෙන් ගමන් කළ නිසා විරෝධතාවයට තරමක් ඉදිරියෙන් එය ගමන් කළේය.
සජිත් කීවේ විරෝධාතාව අරලියගහ මන්දිරයත් පසුකරගෙන ගෝල් ෆෝස් වට රවුමට පැමිණ විරෝධතා රැළියක් පැවැත්විය යුතු බවය. ඒ අනුව තරමක් ඉදිරියෙන් ගිය ශබ්ද විකාශන යන්ත‍්‍රය රැගත් වාහනය නැවත හරවාගෙන ගෝල්ෆේස් වටරවුමට පැමිණියේය. එහි කිසිදු වේදිකාවක් නොවූ අතර ශබ්දවිකාශන යන්ත‍්‍රය රැගෙන පැමිණි වාහනය සජිත්ගේ වේදිකාව බවට පත්විය.


‘‘රට දිනවන පොදු ජන අරගලය අපි ආරම්භ කරලා තියෙනවා. දහසක් අභියෝග අප‍්‍රමාණ බාධක මැද පැමිණි මේ ජන ගංගාව ඔප්පුකර ඇත්තේ මේ අත්තනෝමතික ආණ්ඩුවට එරෙහි අරගලයේ ආරම්භයයි’’ සජිත් දැඩි කතාවක් කළේය.


ආර්ථික අහේනියෙන් ගොඩ එන්න රනිල් දුන් උපදෙස්


රට පත්වී සිටින ආර්ථික අහේනියෙන් ගොඩ ඒමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට දැඩි විවාදාත්මක තත්ත්වයක් ඇති විය.


රටේ විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් වන අතර එයින් මිලියන 300ක් රත්‍රං බව ප්‍රකාශ කළ එක්සත් ජාතික පක්ෂ නායකයා මෙයින් රටක් ගෙන යාමට නොහැකි බව කීවේය.


ඉදිරි අවුරුදුවල වසරකට ඩොලර් බිලියන පහක හයක පමණ ණය ගෙවීමට සිදුව ඇති බවද පාර්ලිමේන්තුවේදී ඔහු ප්‍රකාශ කර සිටියේය.


පාර්ලිමේන්තුවේ ප්‍රොටෝකෝල් අංශයේ හිටපු ප්‍රධානී උපාලි කුමාරසිංහ මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පෞද්ගලික මල් ශාලාවකට ගියේය. ඒ අවස්ථාවට වජිර අබේවර්ධන මහතාද සහභාගි විය.


එක්සත් ජාතික පක්ෂය මගින් සංවිධානය කරනු ලබන විරෝධතා ව්‍යාපාර පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක් ගිය අඟහරුවාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි. රුවන් විජයවර්ධන, වජිර අබේවර්ධන, පාලිත රංගෙ බණ්ඩාර, සාගල රත්නායක, සමන් රත්නප්‍රිය ඇතුළු පක්ෂයේ ප්‍රබලයෝ ගණනාවක්ම මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.


උද්ඝෝෂණ ව්‍යාපාරවලට පොලිසිය මැදිහත් කරනු ලබන බාධා පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ලැබූ අතර විරෝධතා තහනම් කිරීමේ වැඩ පිළිවෙළට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹිය යුතු බව මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.


රජයේ වැඩ පිළිවෙළට විරෝධය දක්වා රටපුරා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කිරීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේදී පියවර ගත්තේය.


ඒ අනුව හෙට (22) මීගමුවේද, ඉරිදා ගල්කිස්සේද, 27 වැනිදා කෑගල්ලේද විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට වැඩ කටයුතු සංවිධානය කළ රුවන් විජයවර්ධන මහතා ඒවාට හැකි පමණින් තමන්ද සහභාගි වන බව ආසන සංවිධායකවරුනට දැනුම් දුන්නේය.


මීට අමතරව ගිය සතියේ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් සිරිකොතට කැඳවූ රුවන් විජයවර්ධන මහතා නගර සභාව ඉදිරිපිටදී පසුගිය සතියේ පැවැති විරෝධතා ව්‍යාපාරයේ අඩුපාඩු සාකච්ඡා කළේය. දිස්ත්‍රික්ක ගණනාවක ආසන සංවිධායකවරුන් සමග සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ ඔහු රජයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීම ගැන සාකච්ඡා කළේය. වැල්ලවාය, මොණරාගල, අම්පාර, දෙහිඅත්තකණ්ඩිය, අක්කරෙයිපත්තු ප්‍රදේශවල ලබන සතියේ සංචාරය කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව සංවිධායකවරු දැනුවත් කිරීමද සිදුවිය.


මීට අමතරව කොළඹ හයිඩ්පාර්ක් කෝනර්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වීය.
බැසිල් රාජපක්ෂ මහතාගේ අයවැය පුස්සක් බව රටට හෙළි වී තිබෙන බව ප්‍රකාශ කළ ඒ මහතා ඩොලර් හිඟයට විසඳුමක් යෝජනා කර නැති බව එහිදී ප්‍රකාශ කළේය. සුද්දාගෙ කාලෙ වගේ බදු ක්‍රමයකට යාමට රජය සූදානම් වෙමින් සාමාන්‍ය ජනතාවට පීඩාවක් වන ආකාරයට වාහන අනතුරු බද්දක් පනවා ඇති බවද කීය.


ඉල් පොහොය වෙනුවෙන් සිරිකොත පක්ෂ කාර්යාලයේ පැවැති ධර්ම දේශනා පිංකමටද රුවන් විජයවර්ධන නියෝජ්‍ය නායකයා සහභාගි විය.

 

 

-ගජබා-