ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවයි


  • ගුරු වැටුප් අර්බුදයට අගමැති මැදිහත්වෙයි
  • හරීන්ගේ උදව්වට සජිත් යයි

 


කොරෝනා රෝගීන්ගේ යම් වර්ධනයක් පෙනෙන්නට තිබෙන නිසා ඉකුත් සඳුදා හැන්දෑවේ කැබිනට් රැස්වීම පැවැත්වුණේ ද ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට ඊට සම්බන්ධ වූ අතර, අනෙකුත් ඇමැතිවරු නිවෙස්වල සිට සහ අමාත්‍යාංශවල සිට ‘සූම්’ තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වූහ. කැබිනට් රැස්වීම ආරම්භයේදීම මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විශේෂ දැනුම් දීමක් කළේ ය. ඒ පිටරටට ගෙවීමට ඇති ඩොලර් බිලියනයක ණය වාරිකය එදින ගෙවූ බවය. අපි අද ඩොලර් බිලියනයක ණය වාරික ගෙවුවා. රට දැඩි ආර්ථික අර්බුදයක තිබුණත් අපට තව තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකයි ගෙවන්න. ණය වාරිකය නියමිත දිනට ම ගෙවා නිම කළා යැයි මුදල් ඇමැතිවරයා කීවේය.


ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් සන්දේශය ඉදිරිපත් කරනු ලැබුවේ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිනි . මෙවර කැබිනට් රැස්වීමේ වැඩි වේලාවක් සාකච්ඡාවට ලක් වුණේ ද ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නයයි. ජී.එල්. ඒ ප්‍රශ්නය ගැන පැහැදිලි කරමින් කීවේ ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය වසර ගණනාවක් තිස්සේ ඇදී එන ප්‍රශ්නයක් බවය. ‘‘මේ ඉල්ලීම් අසාධාරණ නැහැ. ඒ ගැන අවධානය යොමු කරල අපි තීරණයක් ගන්න ඕනෑ’’ යැයි ඔහු යෝජනා කළේය. ජී.එල්. ගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව ඒ ගැන පැහැදිලි කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. වැටුප් වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිපත්තියක් විදියට පඩි වැඩි කරන්න අපි එකඟයි. ඒත් ප්‍රශ්නය මේ වෙලාවේ ඒක කරන්න පුළුවන්ද කියන එකයි. ගුරුවරුන් විදුහල්පතිවරුන් ඉල්ලන වැටුප් වැඩිවීම දෙන්න මේ වෙලාවේ රුපියල් කෝටි 6600 ක් විතර වැය වෙනවා. රටේ පවතින තත්ත්වය එක්ක මේ වෙලාවෙ ඒක කරන්න අමාරුයි යැයි ජනාධිපතිවරයා කීවේය. හැබැයි ඊළඟ අයවැයේදී ඒක කෙරෙන්න ඕනෑ. ගාමිණී ලොකුගේ කතා කළේ ගුරුවරුන්ගේ ඉල්ලීම සාධාරණ බව කියමිනි. ගුරුවරුන්ගේ වැටුප් අවුරුදු 24 කින් වැඩි වෙලා නෑ. මේක ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ කරන ඉල්ලීමක් යැයි ලොකුගේ කීවේය. ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයාද ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ගැන කතා කළේය. ඔහු කීවේ ගුරුවරුන්ගේ ඉල්ලීම සාධාරණ බවය. රිචඩ් පතිරණ මහතා අධ්‍යාපන ඇමැති කාලේ ගුරු සේවය ස්ථාපිත කර, ගුරු සේවයේ පවතින වැටුප් විෂමතා ඉවත් කරන්න යෝජනාව ඉදිරිපත් කළා. ඒක හරියට ක්‍රියාත්මක වුණේ නෑ. විෂමතා තිබුණා. දැන් දිගටම ඇදෙනවා. පහුගිය ජනවාරි 8 වැනිදා මං මේ ගැන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා . නමුත් අද රට තියෙන තත්ත්වය ගැනත් හිතන්න වෙනවා ඩලස් කීවේය.
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කිව්වේ ‘‘මෙම කැබිනට් පත්‍රිකාව හදිසියේ ඉදිරිපත් කරපු එකක් නිසා ඒ ගැන අධ්‍යයනය කිරීමට සති දෙකක් අවශ්‍ය බවය. ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවයේම වැටුප් වැඩි කිරීමක් සිද්ධ වෙන්න අවශ්‍යයි. මේ හැකියාව ගැන අපි සාකච්ඡා වෙනවා. ඒ ගැන සොයා බැලීම මේ දිනවල කෙරෙනවා’’ බැසිල් කීවේය. විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලු‍ත්ගමගේ ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම අදහස් දැක් වූ අතර ඔවුන් සියලු‍ දෙනාම කියා සිටියේ ගුරුවරුන්ගේ ප්‍රශ්නය සාධාරණ නමුත් වත්මන් තත්වය හමුවේ එය කළ හැකිද යන්න ගැටළුවක් බව ය. ඒ අතරම ඔවුන් කියා සිටියේ වත්මන් තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ගුරු ප්‍රශ්නය කරළියට පැමිණ තිබෙන බව ය. ඔන්ලයින් වර්ජනය දේශපාලන කාරණයක් බවට පත්කරගෙන ඇති බව පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය කීවාය.


විමල් යෝජනා කළේ පුළුවන් තරම් ඉක්මනට අධ්‍යාපනය වෙනුවෙන් ටීවී චැනල් එකක් ආරම්භ කළ යුතු බව ය. ඒකට අපි ලෑස්තියි. අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් ඒකට ක්‍රමවේදයක් සහිත සැලැස්මක් අපිට අවශ්‍යයි. කෙහෙළිය රඹුක්වැල්ල කීවේය. සැලැස්ම හදාගෙන යන බව ජී.එල්. සඳහන් කළේය.
සියලු‍ දෙනාගේම අදහස වූයේ ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳිය යුතු බව ය. එසේ වුවද මේ වෙලාවේ ඒ සඳහා හැකියාවක් නොමැති බව ඔවුන්ගේ අදහස විය.


ජනාධිපතිවරයා කීවේ මේ සම්බන්ධයෙන් අගමැතිවරයාත් ඇමැතිවරුන් කිහිප දෙනෙකුත් ගුරු සංගම් සමග සාකච්ඡා කළ යුතු බවය. රටේ පවතින තත්ත්වය ගැන ගුරු සංගම් දැනුවත් කිරීමට අගමැතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කරනු ලැබීය. මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්ය බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අලු‍ත්ගමගේ, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, වෛද්‍ය රමේෂ් පතිරණ එම කමිටුවට ඇතුළත් වූහ. ජනාධිපතිවරයා ඔවුන්ට කීවේ ගුරු සංගම් සමග මේ ගැන සාකච්ඡා කරන ලෙසය.


අනතුරුව කතාබහට ලක්වුණේ එන්නත් කරන වැඩපිළිවෙළ ගැන ය. අඟහරුවාදා දිනයේ දී සයිනොෆාම් එන්නත් ලක්ෂ දාසයක් ලැබෙන බව කී ජනාධිපතිවරයා අගෝස්තු මාසයේදී එන්නත් ලක්ෂ අනූවක් ලැබෙන බව කීවේය. එන්නත් කරන වැඩපිළිවෙළින් කලාපයේ සෙසු රටවලට වඩා ඉදිරියෙන් සිටින බව කී ජනාධිපතිවරයා සැප්තැම්බර් මාසයේ සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි සඳහන් කළේය. රට වසා තැබීමෙන් ආර්ථිකය ලොකු අර්බුදයකට ගිය බව ජනාධිපතිවරයා කීවේය. මේ අතර ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කීවේ මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 30 ට වැඩි ජනතාවගෙන් සියයට අනූවකට එන්නත් කර අවසන් බවය.


අගමැති ගුරු සංගම් සාකච්ඡාව


කැබිනට් රැස්වීමේ දී ගත් තීරණයකට අනුව අගමැතිවරයා ප්‍රමුඛ ඇමැති කමිටුව හා ගුරු සංගම් අතර සාකච්ඡාව පහුවදා උදේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ ඇතුළු ගුරු සංගම් නියෝජිතයෝ 45ක් පමණ ඊට සහභාගි වූහ. ගුරු සංගම් නියෝජිතයන් සිය වැටුප් ප්‍රශ්නය දිගින් දිගටම ඉදිරිපත් කළ අතර අගමැතිවරයා කීවේ වැටුප් ප්‍රශ්නයක් තිබෙන බව පිළිගන්නා නමුත් ආර්ථිකය අද පත්ව ඇති තත්ත්වය අනුව මේ වෙලාවේ ඒ සඳහා විසඳුමක්දීම ගැටළු සහගත බව ය. ලබන සතියේ කැබිනට් රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බැවින් ඉගැන්වීම් කටයුතු යළි ආරම්භ කරන්නැයි අගමැතිවරයා ඔවුන් ගෙන් ඉල්ලීමක් කළේය. එහෙත් ගුරු සංගම් පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ඔවුන් දිගින් දිගටම කීවේ තම ගැටලු‍ව විසඳන තෙක් වර්ජනය අත්නොහරින බව ය.


ශ්‍රී ල.නි.ප.ය ජනපති හමුවෙයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඉකුත් සඳුදා දහවල් ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වුණේ ශ්‍රී ල.නි.ප.ය විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි. නිදහස් පක්ෂය පාර්ශ්වයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, නියෝජ්‍ය කතානායක සියඹලාපිටිය යන පිරිස ඊට සහභාගි වූහ. මේ පිරිස ජනාධිපති කාර්යාලයට යන්නට පෙර මහගමසේකර මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ රැස්වී සාකච්ඡාවක් පැවැත්වූයේ ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡාව ගැනය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාව පෙරවරු 11ට පමණ ආරම්භ විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙන ප්‍රශ්න ගැටලු‍ සම්බන්ධයෙන් පමණක් නොව, ගුරු ප්‍රශ්නය, පොහොර ප්‍රශ්න, කොතලාවල පනත ආදිය සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. ශ්‍රී ල.නි.ප.ය ට තිබූ ප්‍රධානම ප්‍රශ්නයක් වූයේ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් ශ්‍රී ල.නි.ප.යේ පළාත් පාලන නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් නොසලකා හරිමින් කටයුතු කිරීමය. දයාසිරි ජයසේකරත්, මහින්ද අමරවීරත් ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළහ.


ඒ සියල්ල අසා සිටි ජනාධිපතිවරයා කීවේ තමා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් සහ මැති ඇමැතින් සමගද සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බව ය.


ශ්‍රී ල.නි.ප.ය ආණ්ඩුකරණයට සම්බන්ධ කර නොගන්නා බවට ද දයාසිරිගෙන් දුක්ගැනවිල්ලක් ඉදිරිපත් විය. අපි එකතු වෙලා වැඩ කරන්නේ, එහෙම වෙන්න විදිහක් නෑ. ජනපති කීය. සාකච්ඡාව ඉතා සුහදව සිදුවිය.
මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් බ්‍රහස්පතින්දා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන්, ජනාධිපති කාර්යාලයට කැඳවීය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද කැඳවනු ලැබ සිටි එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දැනුම් දුන්නේ ලබන සතියේ සිට රාජ්‍ය සේවකයන් ආයතනවලට ගෙන්වාගත යුතු බවය. රජයේ ආයතනවල නිලධාරීන් ගෙන්වාගැනීම සීමා කරමින් නිකුත් කළ චක්‍රලේඛ අවලංගු කර, රාජ්‍ය සේවකයන් කැඳවීමේ නව චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි ජනාධිපතිවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය .


ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක්


රජයේ සංවර්ධන කටයුතු ගැන කියන්නට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කළා සේම ජනාධිපති කාර්යාලය ද ගිය සතියේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කළේය. එහි අරමුණ ජනාධිපති කාර්යාලය ගන්නා තීන්දු තීරණ මෙන්ම ජනාධිපති කාර්යාලයේ තොරතුරු මාධ්‍ය හරහා ජනතාවට දැනුම් දීමය. එය ගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ විවෘත වූයේ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා අතිනි.


ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායකත්, ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චිත් ඊට සහභාගි වූහ.

රාජා මහේන්ද්‍රන්ට විපක්ෂ නායකගේ ආචාරය


පසුගිය සතිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගතකළේ අවිවේකී මෙන්ම අනපේක්ෂිත සිදුවීම් කිහිපයකටම මුහුණ දෙමිනි.


කැපිටල් මහාරාජා ආයතනයේ ප‍්‍රධානී රාජා රාජමහේන්ද්‍රන්ගේ අභාවය ගැන පුවත සජිත්ට උදේ පාන්දරම ආරංචි විය. එම ආරංචිය සමගින් දැඩි කම්පනයට පත්වූයේ එය පවුලේ සාමාජිකයකුගේ වියෝවක් ලෙස ඔහුට දැනුන නිසාය.


රාජමහේන්ද්‍රන් සහ පවුල් අතර වූයේ දශක ගණනාවක් පැරණි සම්බන්ධතාවයකි. සජිත් කුඩා කල සිටම රාජමහේන්ද්‍රන් පවුල පිළිබඳව හැඳින සිටියේ සිය පියා නිසාය.


ඔහුගේ මරණය සැලවූ වහාම සජිත් රාජමහේන්ද්‍රන්ගේ නිවසට ගොස් බොහෝ වේලාවක් එහි රැඳි සිටියේය. අවමඟුල් කටයුතු සිදුකළ බොරැල්ල කනත්තට ගිය ඔහු දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන තෙක් එහි සිටියේය. ඒ අතරම සංවේදී ලෙසින් විශේෂ ප‍්‍රකාශයක් ද කළේය. ඊට අමතරව ඉතා සංවේදී ශෝක ප‍්‍රකාශයක් ද සිදු කළේය.


‘‘ප්‍රේමදාස ජනාධිපතිතුමාට මෙතුමා බොහෝ උදව් කළා. ඒ දෙන්නා අතර සමීප සම්බන්ධයක් තිබුණා. මම දේශපාලනයට ආපු දවසේ ඉඳලා උදව් කළා. මම පොඩි කාලයේදී මෙතුමා මාව වඩාගෙන ඉදලා තියෙනවා’’ අවමඟුල් උත්සවයට පැමිණ සිටි හිතවතුන් සමග සජිත් කීවේය.


පසුදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා බුද්ධි මණ්ඩපය හමුවූයේ කොතලාවල විශ්වවිද්‍යාල පනත හා ත‍්‍රිපිටක සංරක්ෂණ පනත ගැන සාකච්ඡා කිරීමටය. දඹර අමිල හිමි ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්යවරු එහිදී විවිධ අදහස් දැක්වූහ.


‘‘මේ ආණ්ඩුව මිටියක්. මිටියක් විශ්වාස කරන්නේ හැම ප‍්‍රශ්නයක්ම ඇණයක් විදියට. මිටියකින් කරන්න තියෙන්නේ ඇණේට ගහන එකයි. ඒ වගේම ආණ්ඩුවත් හැම ප‍්‍රශ්නයටම එකම උත්තරය දිදී ඉන්නවා. ඒ නිසා තමයි ගොඩක් දේවල් රිවස් කරගන්න වෙලා තියෙන්නේ’’දඹර අමිල හිමියෝ කීහ.


කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් සමගි බලවේගයේ ස්ථාවරය සජිත් පැහැදිලි කළේය.


‘‘නිදහස් අධ්‍යාපනයට මරු පහරක් එල්ලවෙන කිසිම වැඩපිළිවෙලකට අපේ සහාය හිමිවෙන්නේ නෑ. එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවිට අපි එයට විරුද්ධව වැඩ කරනවා’’සජිත් කොතලාවල පනතට විරුද්ධවීමේ ස්ථාවරය පැහැදිලි කරමින් ජනතාව දැනුවත් කිරීමට ගත හැකි සියලු‍ම පියවර ගන්නා බව පැවසුවේය.


සමගි බලවේගයට සජිත්ගෙන් නව පණක්


අඟහරුවාදා සවස සමගි වනිතා බලවේගයේ නිලධාරී මණ්ඩලය හමුවී ගත යුතු ඉදිරි පියවර ගැන සජිත් සාකච්ඡා කළේය. එහිදී සමගි වනිතා බලවේගයේ සභාපතිධූරය තලතා අතුකෝරළ මන්ත්‍රීවරියට ලබා දුන්නේය. ආණ්ඩුව දරු පරපුර මෙන්ම කාන්තා පරපුර ද දැඩි අපහසුතාවකට පත් කොට ඔවුන්ගේ ජීවිත අගාධයට ලක් කොට ඇති බව එහිදී සජිත් කීවේය. ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීමේ සටනට සමගි වනිතා බලවේගය පෙරමුණ ගත යුතු බවද බවද ඔහු පැවසීය.


සජිත් හරීන්ගේ හයියට


මේ අතර හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දීමක් කර තිබුණි. අසනීපව සැත්කමකට ලක්ව සිටි හරීන්ට මෙම කැඳවීම ලැබුණ වහාම ඒ බව සජිත්ට දැනුම් දුන්නේය.


එම පණිවුඩය ලැබුණ වහාම හරීන්ට සජිත් දුරකතන ඇමතුමක් දී මේ ගැන විමසුවේය
‘‘මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳෙව්වට අධිකරණයෙන් මේ ගැන නියෝගයක් ලබා දී තියෙනවා’’හරීන් කීවේය.


‘‘තනියම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න එපා. මමත් ඔයා එක්ක යන්න එන්නම්’’සජිත් කීය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට පෙර හරීන් විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේය. එතැන් සිටි සජිත් සමග එකම වාහනයකට නැගී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය. ඒ සමග රංජිත් මද්දුම බණ්ඩාර, මනුෂ නානායක්කාර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය.
‘‘අපි හරීන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඔහු රැකගන්නවා. ආණ්ඩුව පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ අය කාමරවල තියාගෙන ඉන්නවා. පැත්තක ඉන්න අයගෙන් දේශපාලන පලිගැනීම් කරනවා’’සජිත් කීය.
‘‘රිෂාඩ් බදියුදීන්ගේ ප‍්‍රශ්නය ගැන මොකද කියන්නේ’’මාධ්‍යවේදීහු විමසූහ.


‘‘රිෂාඩ්ගේ මන්ත‍්‍රීවරු හතර දෙනෙක් ආණ්ඩුවත් එක්ක ඉන්නේ. දේශපාලනය ගාව ගන්නේ නැතිව මේ ගැන පරීක්ෂණ කරලා නිවරැදි දේ එළියට ගන්න එක ආණ්ඩුවේ වගකීමක්’’ සජිත් කීය.


සජිත් හමුවට ආ මන්ත‍්‍රීවරු


බ‍්‍රහස්පතින්දා සවස විපක්ෂ නායක කාර්යාලයට සජිත් හමුවීමට පක්ෂයේ මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක් පැමිණ සිටියහ.


‘‘කෝටි ගණනක් වටින මැණිකක් දැන් එකපාරම හමුවෙලා තියෙනවානේ‘’ ජේ.සී. අලවතුවල මන්ත‍්‍රීවරයා කීවේය.


‘‘මේ කතාව ආරංචි වුණ ගමන් අපේ ගම්වල අයනම් ආච්චිගේ මැණික් මල්ල හමුවුන කතාව තමයි මතක් කරන්නේ’’හේෂා විතානගේ මන්ත‍්‍රීවරයා කීවේය.


‘‘අපි ගුරුවරුන්ගේ ප‍්‍රශ්නයට දිගටම මැදිහත් වෙන්න ඕනෑ . මේ අරගලයේ දී ගුරුවරුන්ට සහාය නොදක්වන්නේ කවුද?. හැමෝම සහාය දෙනවා’’සජිත් කීවේය.


‘‘අපි උද්ඝෝෂණ සංවිධානය කරමින් යනවා. අපි මේ සටනට දිය හැකි උපරිම සහාය ලබාදෙනවා’’ ගුරු වෘත්තීය සමිති භාරව කටයුතු කරන තුෂාර ඉඳුනිල් සහ රෝහිණී කවිරත්න ගුරු සටන් ගැන කරුණු දැක්වූවේය.


‘‘මහබැංකුවේ ණය ට්‍රිලියනය ඉක්මවා තියෙනවා. මේක ලංකා ඉතිහාසයේ බරපතළම තත්ත්වයක් ‘‘හර්ෂ ද සිල්වා ආර්ථිකය ගැන කරුණු දක්වන්නට විය.


‘‘මේ අවුරුද්දේ ජනවාරි සිට මේ දක්වා ඇ​ෙමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල හයයි දශම හතකින් අවප‍්‍රමාණ වෙලා’’මරික්කාර් මන්ත‍්‍රීවරයා පැවසුවේය


‘‘මෙහෙම ගියොත් බැංකු පද්ධතියත් බරපතළ අර්බුදයකට යන්න පුලු‍වන්’’ ඉරාන් වික්‍රමරත්න මන්ත‍්‍රීවරයා කීය.


‘‘ඔලිම්පික් ගිය ක්‍රීඩකයන්ට හරි හමන් ඇඳුමක් අරගෙන දෙන්න ආණ්ඩුවට බැරිවෙලා. ඒත් ඇමැතිවරු බුරුතු පිටින් ඔලිම්පික් ගිහින් තියෙනවා’’ ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා පැවසුවේය.


”‍ඒ වුණාට ඇමැතිවරුන් අපූරුවට ට්‍රිප් එක ගිහින් හිටියා”‍


නලීන් බණ්ඩාර කීවේය.


‘‘මේ ආණ්ඩුව හදිසියේම මුදල් පනතක් අරගෙන ඇවිත් සම්මත කරගන්න හදනවා. මේවා ගෙනත්, කළු සල්ලි සුදු කරන්න හදනවාද කියන ප‍්‍රශ්නය හැමෝටම තියෙනවා. ඒ නිසා අපි මේ පනතට උසාවියට ගියා’’ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර අධිකරණ ක්‍රියාමාර්ගවල තත්ත්ත්වය පැහැදිළි කළේය.
‘‘ආණ්ඩුව යන්නේ මොන වගේ ගමනක් ද කියන එක දැන් මුළු රටම දන්නවා. දවස ගානේ එක එක කතා මවලා මේ රටේ තියෙන ප්‍රශ්න වහන්න ආණ්ඩුව මොන තරම් උත්සාහ කළත් ආණ්ඩුව ෆේ‍ල්.”‍ එරාන් කීවේය.
”‍විපක්ෂයත් ෆේ‍ල් කියලා සමහරු කියනවා.”‍ චමින්ද කීවේය.


”‍ඔව් ඉස්සර සමහරු වගේ ආණ්ඩුව එක්ක ඩීල් දාන එකෙන් විපක්ෂය ෆේ‍ල්. හැබැයි ජනතාවගේ පැත්තේ හිටගෙන ජනතා අරගලය කරන එකෙන් විපක්ෂය පාස්.”‍සජිත් කීවේය.


දැන්ම සන්ධාන ගතවීමට එජාපය අකමැතියි


දැන්ම සන්ධානයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් නැතැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය. මෙම සාකච්ඡාව පැවැත්වුණේ උතුරේ මාධ්‍යවේදීන් පිරිසක් සමගය. මෙම සාකච්ඡාවට එහි දේශපාලන පක්ෂ කීපයකට සම්බන්ධ නියෝජිතයෝද සහභාගී වී සිටියහ.


රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ සිට මෙම සාකච්ඡාව පැවැත්වුණි.


එහිදී මාධ්‍යවේදීන් හා පක්ෂ සාමාජිකයන් ඇසූ ප්‍රශ්නවලට ද රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නේය.
එක්සත් ජාතික පක්ෂය සන්ධානයක් ගොඩ නගන්නේද? යනුවෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ මේ මොහොතේ දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමට කටයුතු කරනවාට වඩා ප්‍රධාන වන්නේ රටේ ප්‍රශ්න බවයි. එබැවින් දැන්ම සන්ධානයක් ගොඩනැගීමට ප්‍රමුඛස්ථානය නොදෙන බවද ඒ මහතා කීවේය.


‘‘රට ආර්ථික වශයෙන් කඩා වැටෙන අවස්ථාවකට එන්නේ. පරිපාලන ක්‍රම ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. දේශපාලන තීන්දු ගන්න බැරි වෙලා. පාර්ලිමේන්තුව පැත්තකට දාලා තියෙන්නේ. ජාත්‍යන්තර වශයෙන් අපේ විදේශ සම්බන්ධතා දුර්වල වෙලා. සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැනක් දෙන්න ඕනෑ. අනෙක් රටවල් කරනව වගේ වෛද්‍ය උපදෙස් කමිටුවක් පත් කරල එයට ප්‍රමුඛ ස්ථානය දිය යුතුයි. ඒවා ක්‍රියාත්මක කරන පරිපාලන කමිටුවක් ද අවශ්‍යයි. ඇමැති මණ්ඩලය පැත්තකට දාලා තීරණ ගන්න බැහැ’’ එජාප නායකයා කීවේය.
ඉකුත් බදාදා සමගි ජන බලවේගය මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. එදින උදේ රනිල් වික්‍රමසිංහ මහතා හරීන් ප්‍රනාන්දු මහතාට දුරකතනයෙන් කතා කළේය. ‘හරීන් ඔයා කියන්න මාවත් දුරකථනයෙන් දැනුවත් කළා කියලා. මාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන්න කියන්න. පොලිසිය දැනගෙන සිටි ඒවා මම කියන්නම්’ එජාප නායකයා හරීන්ට කීවේය.
ඉකුත් සතියේ පාර්ලිමේන්තු රැස්වීම නොවූ නිසා එක්සත් ජාතික පක්ෂ නායකවරයා වැඩි කාලයක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැඳී සිටියේය. විවිධ පුද්ගලයන් සමග කතා බහ කරමින් හා පක්ෂයේ ඉදිරි කටයුතු මෙහෙයවීම ඒ අවස්ථාවලදී සිදු කළේය.


එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී පසුව වෙනත් පක්ෂයකට සහාය දැක්වීමට ඉදිරිපත් වී සිටි පිරිස සම්බන්ධයෙන් පැවැති අර්බුදකාරී තත්ත්වය පසුගිය සතියේ දී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් විසඳා ගැනිණි. මහනුවර, රත්නපුර, ත්‍රිකුණාමලය, කෑගල්ල ඇතුළුව දිස්ත්‍රික්ක ගණනාවක පළාත් පාලන නියෝජිතයන් 1000කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත් වෙමින් තිබුණි. මේ වන විට පළාත් පාලන ආයතන ගණනාවක පක්ෂයට සම්බන්ධ නියෝජිතයන් පක්ෂයෙන් සමාව අරගෙන යළි එක්සත් ජාතික පක්ෂයට එක්ව සිටිති. ඉතිරිව තිබූ ගැටලු ද ගිය සතියේ විසඳා අවසන් කිරීමට රුවන් මැදිහත් වී සිටි​යේය.


පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාද මෙම විනය කමිටුවට සහභාගි විය. එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වූ ‘සියරට’ පුවත්පතේ අගෝස්තු කලාපය නිකුත් කිරීම සම්බන්ධයෙන් එහි අන්තර්ගත විය යුතු කරුණු පිළිබඳව රුවන් විජයවර්ධන මහතා හා සමන් රත්නප්‍රිය මහතා අතර සාකච්ඡාවක්ද පැවැත් වුණි.


කකුලක් ආබාධිත වීම නිසා සමන් රත්නප්‍රිය මහතා මෙම අවස්ථාවට සහභාගි වූයේ අසීරුවෙනි. එහිදී සමන් රත්නප්‍රියගේ සුවදුක් විමසා බැලූ රුවන් විජයවර්ධන මහතා ‘සියරට’ පුවත්පතට ප්‍රවෘත්ති වැඩි ප්‍රමාණයක් ඇතුළත් කරන ලෙස උපදෙස් දුන්නේය.


අනතුරුව බියගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති පක්ෂ ක්‍රියාකාරී හමුවකට ද ඒ මහතා සහභාගි විය. එහිදී පක්ෂ ක්‍රියාකාරීන් සමග ගෑස් ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කෙරිණි. ලාෆ් ගෑස් සමාගම මේ වන විට ඔවුන්ගේ හම්බන්තොට ගබඩාවත්, සපුගස්කන්ද මාබිම බෙදාහැරීම් මධ්‍යස්ථානයත් වසා තිබෙන බව ප්‍රකාශ කළ විජයවර්ධන මහතා මෙම කර්මාන්තශාලා වසා දැමීමෙන් දහස් ගණනකට රැකියා අහිමිවීම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයිද කීය. ජීවන වියදමෙන් බැටකන ජනතාවගේ හිසට ගෑස් හිඟයක් ද පටවා ඇති බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.


ඉකුත් සති අන්තය රුවන් ගතකළේ බදුල්ල දිස්ත්‍රික්කයේය. බ්‍රහස්පතින්දා හවස්වරුවේ බදුල්ලට ගිය රුවන් විජයවර්ධන මහතා දින දෙකක් එහි ගත කළේය. දිස්ත්‍රික්කයේ ප්‍රශ්න නිරාකරණය කිරීමට මැදිහත් වූ නියෝජ්‍ය නායකයා දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට ද පියවර ගත්තේය.