ජනපතිගේ තේ නොබී විපක්ෂය පිටව යයි


 

  • ‘‘අපි පාර්ලිමේන්තුව වර්ජනය කරන්න ඕනෑ නෑ. මේ වෙලාවේ ජනතාවගේ ප‍්‍රශ්න ගැන කතාකරන්න පාර්ලිමේන්තුව පැවැත්වීම වැදගත්’’ සජිත් කීවේය.
  • නව සැසිවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයට සමගි ජන බලවේගයේ, ජවිපෙ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සහභාගී නොවූහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊට සහභාගී නොවූ අතර, සමගි ජන බලවේගයේ කළුතර මන්ත්‍රී කුමාර වෙල්ගම එයට සහභාගී විය.

 

 

ඉකුත් සතිය ආණ්ඩුවට ඉතා වැදගත් සතියක් විය. පළමුවැන්න මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කිරීමය. දෙවැන්න පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබීමය. මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් සිටි අවදියේ ය. ඉදිකිරීම් කටයුතු ආරම්භ වූ නමුත් ආණ්ඩු පෙරළියත් සමඟ ඔහුගේ පාලන කාලය තුළ එය අවසන් කිරීමට නොහැකි විය. 


යහපාලන ආණ්ඩුව පැමිණ එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරගෙන ගියත් ඔවුන්ට ද එය අවසන් කිරීමට නොහැකි විය. මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු නිමකිරීමෙන් අනතුරුව ගිය සති අන්තයේ එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතින් විවෘත විය. විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණේ මීරිගම පිවිසුමේය. ජන හමුව පැවැත්වුණේ කුරුණෑගල ය. මීරිගම ගම්පහ දිස්ත්‍රික්කයට අයත් බැවින්, ගම්පහ දිස්ත්‍රික් නායකයා වන ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාට උත්සවයේ කටයුතුවල වැඩි බරක් දරන්නට සිදුවිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු ඇමැතිවරුත් මාර්ගය විවෘත කරන්නට මීරිගම පිවිසුමට පැමිණියහ. පීත්තපටිය කපා මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව පිරිස අධිවේගී මාර්ගය ඔස්සේ කුරුණෑගලට පිටත්ව ගියහ. ජනාධිපතිවරයා ගමන්ගත් වාහනයේ රියැදුරු වූයේ නාමල් රාජපක්ෂ ඇමැතිවරයාය. අගමැතිවරයා ගමන ගත් වාහනයේ රියැදුරු වූයේ මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ය. ජනාධිපතිවරයාගෙන් ලැබුණු ආරාධනය අනුව ප්‍රසන්න රණතුංග ද ජනාධිපතිවරයාගේ වාහනයෙන් කුරුණෑගල බලා පිටත්ව ගියේය.


ඒ අතර පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය අඟහරුවාදා පෙරවරුවේ විවෘත විය. රථ පෙළපාලි ආචාර වෙඩි මුර ආදිය කිසිවක් නොමැතිව පැවැත්වුණු උත්සවය ඉතා චාම් විය. සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා පැයක් කතා කළේය. ජනාධිපතිවරයා කීවේ තමා භාරගත් වගකීම නිසි ලෙස ඉටු කරන බවය. ඒ ගැන සැකයක් තබා ගන්නට එපා යැයි ද ඔහු ඉල්ලීමක් කළේය.


නව සැසිවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයට සමගි ජන බලවේගයේ, ජවිපෙ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සහභාගී නොවූහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊට සහභාගී නොවූ අතර, සමගි ජන බලවේගයේ කළුතර මන්ත්‍රී කුමාර වෙල්ගම එයට සහභාගී විය.
ජනාධිපතිවරයා පිටත්ව ගිය පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක එකේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටියේ අගමැතිවරයාත් දිනේෂ් ගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන ඇමතිවරුන් දෙදෙනාත් පමණි. අගමැතිවරයා කථාකොට නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ මහාචාර්ය ජී එල් පීරිස්, බැසිල් රාජපක්ෂ ඇමැතිවරුන් ද ඉදිරිපසින් වාඩි කරවා ගත්තේය. ඉකුත්දා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා ද ආණ්ඩු පක්ෂ රැස්වීමට පැමිණ සිටියේය. එහිදී කතාබහට ලක්වුණේ සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැනය. ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පිළිබඳ විවාදයට දින දෙකක් වෙන් කර තිබූ අතර ඉතිරි දිනය වෙන්කර තිබුණේ අධිකරණ අමාත්‍යාංශයට අදාළ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් විවාදයක් වෙනුවෙනි. බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා කීවේ අධිකරණ ඇමැති අලි සබ්රි ඇමරිකාවේ ගොස් සිටිය දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බැවින්, මේ සතියේ එම විවාදය පවත්වන්නට නොහැකි වන බව ය. ඒ වෙනුවට පක්ෂ නායක රැස්වීමක් කැඳවා වෙනත් කටයුත්තක් යොදාගමු යැයි යෝජනා කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ය. අගමැතිවරයා කීවේ නෑ නෑ අපි ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කතාව වෙනුවෙන් කෙරෙන විවාදය දවස් තුනක් කරමු කියාය.


කැබිනට් රැස්වීම.


ඒ කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අඟහරුවාදා පැවැත්විණි. කැබිනට් පත්‍රිකා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කතාබහට ලක්වුණේ රටේ ඇතිව තිබෙන සහල් මිල ඉහළ යාම සහ හිඟය සම්බන්ධයෙනි. වෙළෙඳ පොළේ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීමට සහ සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පැහැදිලි කළේය. ඒ අතර වී මිලදී ගැනීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මහින්දානන්ද අලු‍ත්ගමගේ ඇමැතිවරයා පැහැදිලි කළේය. මේ අතර බැසිල් රාජපක්ෂ ඇමතිවරයා කීවේ ශ්‍රී ලංකාව සහ චීනය අතර රබර් සහල් වෙළෙඳ ගිවිසුමට වසර හැත්තෑවක් පිරීම නිමිත්තෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදීමට චීනය එකගවී ඇති බවය. චීන ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පසුගියදා හමුවිය. එම සාකච්ඡාවේදී බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ඉල්ලීමක් කර තිබුණේ ශ්‍රී ලංකාවට මේ මොහොතේ සහල් තොගයක් ලබාදෙන ලෙසය.


ඔවුන්ගේ ප්‍රතිචාරය වී තිබුණේ එම ඉල්ලීම මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා නිල වශයෙන් ඉදිරිපත් කරන ලෙසය. ඒ අනුව බන්දුල මේ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව, මුදල් අමාත්‍යාංශය අදාළ ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා දෙන බව චීන තානාපතිවරයා මුදල් ඇමැතිවරයාට දැනුම් දී තිබිණි.


මෙම සහල් තොගය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අඩු ආදායම්ලාභීන්ට බෙදා හැරීමට හැකි බව බැසිල් යෝජනා කළේය. එහෙත් බන්දුලගේ අදහස් වූයේ ඊට වෙනස් එකකි. ඔහු කීවේ මෙම තොගය සමුපකාර හා සතොස හරහා බෙදා හැරීම මගින් වෙ​ෙළදපොළේ සහල් මිල පාලනය කිරීමට හැකිවන බවය. සතොස සහ සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා ආනයනය කරන සහල් මෙන්ම, පෞද්ගලික අංශයෙන් ආනයනය කරන සහල් තොග ද වෙළෙඳ පොළට නිකුත් කළ පසු සහල් මාෆියාව බිඳ වැටෙන බව බන්දුල කීවේය.
මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී ඇති බැවින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමු විය. ගොවීන්ගේ වී සඳහා රජයෙන් සහනාධාරයක් ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද එහිදී කතාබහට ලක් විය


විදේශ තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ රැසක් ද පසුගිය සතියේ දිවයිනට පැමිණියහ. එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරිත් අහමඩ් සාමිවරයා, කොරියානු ජාතික සභාවේ කතානායක පාර්ක් බියොන්ග් සියොන් මහතාත් ඒ අතර ප්‍රධාන තැනක් ගත්හ. අහමඩ් සාමිවරයා මුලින්ම විදේශ ඇමැති මහාචාර්ය පිරිස් මහතා ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිවෙලින් හමු වූහ. ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව සතුටු වන බව ඔහු කීවේය. ඔහු වෙනුවෙන් විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් ද මහාචාර්ය පීරිස් මහතා විසින් හිල්ටන් හෝටලයේදී පවත්වනු ලැබූ අතර ඊට අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාත් සහභාගී වූහ. කොරියානු ජාතික සභාවේ කතානායක වරයා දිවයිනට පැමිණියේ විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා මීට සති දෙකකට පමණ ඉහත දී කොරියාවේ සංචාරයකදී කළ ඉල්ලීමක් පිළිගනිමිනි. ඔහුගේ පැමිණීම ශ්‍රී ලංකාවට කරුණු තුනක් නිසා වැදගත් විය. පළමුවැන්න ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් වැඩි පිරිසක් එරට රැකියා වලට යවා ගැනීමට අවස්ථාව ලැබීමය. දෙවැන්න එරට ආයෝජන ශ්‍රී ලංකාවට රැගෙන ඒමය. තුන්වැන්න ශ්‍රී ලංකාවේ වෘත්තිය පුහුණු කටයුතු සඳහා කොරියාවේ උදව් ලබා දීමය. ඔහුද විදේශ ඇමැතිවරයා අගමැතිවරයා හා ජනාධිපතිවරයා හමුවී සිකුරාදා පාර්ලිමේන්තුවට ද පැමිණියේය.


ජපානය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට මේ වසරේදී වසර හැත්තෑවක් සම්පූර්ණ විය. මාලඹේ කොළඹ සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීම සම්බන්ධයෙන් ජපානය පසුගිය කාලයේ තරමක සිත් තැවුලකට ද පත්ව සිටියේය. ශ්‍රී ලංකාවට විශාල වශයෙන් උදව් කර ඇති ජපානය ශ්‍රී ජයවර්ධනපුර රෝහල, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල සහ මහරගම ජාතික යොවුන් මධ්‍යස්ථානය මෙරටට පරිත්‍යාග කර ඇත. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 70 ක් පිරීම නිමිත්තෙන් පසුගිය සතියේ දී විදේශ ඇමතිවරයා සහ ජපන් තානාපතිවරයා සහභාගි වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් සසකාවා ශාලාවේදී පැවැත්විණි. සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් විදේශ ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඔහු කීවේ සමහර තීන්දු තීරණ වෙනස් විදිහට ගැනීමට හැකියාව තිබූ බවය.


පී. බී. යයි සෙනරත් එයි


ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය පී. බී. ජයසුන්දර පසුගිය සතියේ ඉල්ලා අස්විය. ඉන් ඇතිවූ පුරප්පාඩුවට පත්වූ අගමැති ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා ගිය සතියේ බදාදා ජනාධිපති කාර්යාලයේ දී නව ධුරයේ වැඩ භාර ගත්තේය. ඔහු යාමෙන් ඇතිවූ අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේ පුරප්පාඩුවට පත් වූයේ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතාය. ඔහු ද ඊට පසුවදාම අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් නව ධුරයේ වැඩ භාර ගත්තේය.


සජබ ජනපතිගේ තේපැන් සංග්‍රහය මගහරියි


නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම් දෙකක් පැවැත් වුණේය. පාර්ලිමේන්තු සතියේදී කටයුතු කළ යුතු ආකාරය ගැන එක් සාකච්ඡාවක් පැවැත්විණි.


‘‘ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරන අවස්ථාවේ දී අපි මොකද කරන්නේ’’ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසුවේය.


‘‘ජනාධිපතිවරයා හිතුවක්කාරී ලෙස පාර්ලිමේන්තුව වහලා දැම්මා. එහෙම වහලා අලු‍තින් විවෘත කරන්න තියෙන්නේ මොකක්ද ? මේක උත්සවාකාරයෙන් විවෘත කරන්න තියෙන දෙයක්ද’’ඉරාන් වික්‍රමරත්න මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්න කළේය.


‘‘ඉරාන් මන්ත‍්‍රීතුමා කියන කතාව ඇත්ත. අපි කණ්ඩායමක් විදියට පාර්ලිමේන්තුව රැස්වන දවසේ උදේ හමුවෙලා තීරණයක් ගනිමු’’ සජිත් තීරණය ගැනීමේ වගකීම පාර්ලිමේන්තු කණ්ඩායමට පැවරුවේය.
ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වූ දිනයේ උදෑසන කණ්ඩායම් රැස්වීම පැවැත්විණි.
‘‘අපි පාර්ලිමේන්තුව වර්ජනය කරන්න ඕනෑ නෑ. මේ වෙලාවේ ජනතාවගේ ප‍්‍රශ්න ගැන කතාකරන්න පාර්ලිමේන්තුව පැවැත්වීම වැදගත්’’ සජිත් කීවේය.


එහෙත් ජනාධිපතිවරයා විසින් ලබාදෙන තේ පැන් සංග‍්‍රහය වර්ජනය කිරීමට මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කළේය.


හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ක්‍රියාත්මක සමගි විහිදුම් බළකායේ ප‍්‍රධාන කාර්යාලය සජිත් අතින් විවෘත වුණේ පසුගිය සතියේදීය. ඒ අතර රට වටා පැවැවෙන සම්මන්ත‍්‍රණ මාලාවක ආරම්භක සම්මන්ත‍්‍රණය පැවැත්වුණේ රත්නපුරයේය.
‘‘මේ ආණ්ඩුව ගෙනයන ආර්ථික ගමන වැරදියි. ඒ බව ලෝකයේම ආර්ථික විශේෂඥයන් කියන විට ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකර සුපුරුදු වැරදි ගමනේම ආණ්ඩුව යන විට ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට ඇද වැටිලා. අද ලෝකයේ කිසිදු රටකින් හරිහමන් ණයක් ගැනීමටවත් බැරි තැනට රට පත්ව වෙලා.
අද වෙනකොට තවදුරටත් ශ්‍රේණිගත කිරීම්වල පහළ අඩියටම වැටෙමින් සිටින තත්ත්වයක් තුළ මේ රටට ආයෝජකයන් කිසිවකු පැමිණෙන්නේ නෑ. අඩු පොලියට ණයක් හෝ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා. එපමණක් නොව අත්‍යවශ්‍ය ඖෂධ ටික අත්‍යවශ්‍ය ආහාර හෝ කර්මාන්තවලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය තෙල් ටික හෝ ගෙන්වා ගැනීමටත් බැහැ’’ සජිත් කීවේය.


හැටන් නගරයේ පැවති තෛපොංගල් උත්සවයකට සහභාගීවීමට සජිත් පසුගියදා හැටන් බලා පිටත්ව ගියේය. දිගම්බරන් මන්ත‍්‍රීවරයා විසින් සංවිධානය කර තිබූ එම උත්සවයට ඉන්දීය මහ කොමසාරිස්වරයා ද සහභාගී වී සිටියේය.


‘‘සෑම වතු කම්කරුවෙක්ටම ශ‍්‍රී ලාංකික පුරවැසිකම ලැබුණ ආකාරය මට මතකයි. ඒ සදහා වන සටන දිනවූයේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ඒ වගේම වතු කම්කරු ජනතාව ඉහළට ගෙන ඒමට මමත් හැකි සෑම පියවරක්ම ගන්නවා ’’සජිත් සහතිකයක් දුන්නේය.


ගෑස් පිපිරීම් නිසා පීඩාවට පත් වූ පුද්ගලයන්ට වන්දි ගෙවීම සඳහා විපක්ෂනායකවරයා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණේය. සිය බිරිඳ සහ දරුවන් තිදෙනාම ගෑස් පිපිරීමකින් මිය යාමෙන් පීඩාවට පත් වූ අයෙක් එතැනට පැමිණ සිටියේය.
‘‘අපි කුලී ගෙදරක හිටියේ සර්. ගෑස් ටැංකිය පිපිරිලා මගේ නෝනයි, දරුවෝ තුන්දෙනයි මැරුණා. ඒ අය නැතිවුනා විතරක් නෙමෙයි ගේත් කැඩුනා. දැන් අපිට ගේත් හදලා දෙන්න වෙලා’’එම පුද්ගලයා කීවේ හැඩූ කඳුළිනි.


‘‘ගෑස් පිපිරෙන එක කුමන්ත‍්‍රණයක් කියලා ඇමැතිවරු කියනවා. මේ වගේ අසරණ මිනිස්සු තවත් අසරණ වෙන එකට ද ඇමැතිවරු කුමන්ත‍්‍රණ කියලා කියන්නේ ’’සජිත් කීවේ තරමක ආවේගයකින් යුතුවය.


සජිත්ගෙන් ජනාධිපතිට තවත් ලිපියක්


සිරගත කර සිටින රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාගේ සුව දුක් විමසීමට සජිත් පසුගිය සතියේ දී බන්ධනාගාරයට ගියේය. රංජන්ගේ සුව දුක් විමසූ ඔහු රංජන්ට පොරොන්දුවක් දුන්නේය.
‘‘අපි ඔයාව නිදහස් කරගන්න කොහොම හරි කටයුතු කරනවා. ඔයා නිදහස් කරගන්න සටන හරීන් ප‍්‍රමුඛ තරුණ මන්ත‍්‍රීවරුන්ට භාර කරනවා’’ සජිත් කීවේ රට පුරාම රංජන් නිදහස් කරන ලෙසට වන සටනට ශක්තියක් දෙමිනි.


මේ අතර විපක්ෂ නායකවරයා සිකුරාදා දිනයේ දී ජනාධිපතිවරයාට තවත් ලිපියක් යැව්වේය. ඒ රංජන්ට සමාව ලබාදෙන ලෙසට ඉල්ලමිනි. මේ රංජන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් ඔහු ජනාධිපතිවරයාට යැවූ තෙවැනි ලිපියයි.


මන්ත්‍රී හැසිරීම ගැන එජාප නායකගෙන් යෝජනාවක්


දින හතරක නිවාඩුවකින් පසු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඉකුත් අඟහරුවාදා සිරිකොත පක්ෂ කාර්යාලයට ගියේය. ටික වෙලාවකින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද සිරිකොතට පැමිණියේය. පක්ෂ නායකයාගේ කාර්යාලයේදී රනිල් හා රුවන් පක්ෂයේ කටයුතු හා ගැටලු පිළිබඳව සාකච්ඡා කළහ. ඉන් අනතුරුව සතිපතා පැවැත්වෙන පරිපාලන කමිටු සාකච්ඡාවටද දෙදෙනාම සහභාගි වූහ.


පසුවදා රුවන් විජයවර්ධන මහතා කොළඹ නගර සභාවේ නියෝජිතයන් වෙන වෙනම හමුවී අදහස් විමසා බැලුවේය. කොළඹ නගර සභාවේ ප්‍රධාන තනතුරක සිටින පාක්ෂිකයෙක් සම්බන්ධයෙන් පක්ෂයේ අනෙකුත් සභිකයන් ඉදිරිපත් කළ චෝදනා සම්බන්ධයෙන් මෙම අදහස් විමසා බැලීම සිදුවිය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් සමග පවත්වන සමීප සම්බන්ධතා නිසා පක්ෂයේ කටයුතුවලට බාධා සිදුවන බවට පැමිණිලි ලැබී තිබුණි. එම පැමිණිලි සම්බන්ධයෙන් සභිකයන් වෙන වෙනම කැඳවා විමසීමක් කළේය.


හිටපු ඇමැති සාගල රත්නායක මහතා වෙනුවෙන් සිරි​කොත ගොඩනැගිල්ලේ කාර්යාලයක් විවෘත කරනු ලැබූ අතර ඒ අවස්ථාවට රුවන් විජයවර්ධන මහතා ද සහභාගි වූයේය.


මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් බදාදා පාර්ලිමේන්තු සභා වාරයට සහභාගි වූයේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සැසිවාරය විවෘත කරමින් පැවැත් වූ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ විවාදයේ පළමු දිනයට සහභාගි වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හදන්න නීති මාලාවක් අවශ්‍ය බවයි.
පසුගිය දශක කීපය තුළම පාර්ලිමේන්තුවේ ගරුත්වය විශාල වශයෙන් අර්බුදයකට ලක් වූ බවද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.


කරුත් පාර්ලිමේන්තුවට


හිටපු කතානායක කරු ජයසූරිය මහතා කලකට පසු ගිය සතියේ පාර්ලිමේන්තුවට ගියේ නව පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ උත්සවයේ ආරාධිතයෙකු ලෙසය. ප්‍රතිපත්ති ප්‍රකාශන කතාවෙන් පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් හා ආරාධිතයන් අතරට ගමන් කරද්දී හිටපු කතානායකවරයා ද ඒ අතර සිටිනු දුටුවේය. කරු අසලට ආ ජනාධිපතිවරයා විනාඩි කිහිපයක්ම ඔහු සමග සුහද කතාබහක නිරත වනු දක්නට ලැබිණ. කරුගේ සුවදුක් විමසීමෙන් පසු ජනාධිපතිවරයා ඔහුගෙන් විමසා ඇත්තේ ඊට පසුවදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා උත්සවය ගැනය. කරු රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපතිවරයා ය. මෙවර එම නිකායේ උපසම්පදා උත්සවයේ ප්‍රධාන ගිහි ආරාධිතයා වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය.
රාමඤ්ඤ නිකායේ උපසම්පදා උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ජනාධිපතිවරයාට අසුන් පනවා තිබුණේ නිකායාරක්ෂක සභාවේ සභාපතිවරයාගේ අසුන අසලය. ඒ නිසාම දෙදෙනාටම කලින් දවසේ දී මෙන්ම නැවත සුහද කතා බහක නිරතවන්නට ද එය අවස්ථාවක් විය.

 

 

- ගජබා -