ජනපතිගෙන් තවත් ප්‍රහාරයක්


ජනපති මෛත්‍රී ගිය සඳුදා හම්බන්තොටට ගියේ හම්බන්තොට නව රෝහල විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට සහභාගිවීමටය. එය සංවිධානය කර තිබුණේ රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසිනි. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියෙ සමාප්ති උත්සවයට ද ජනාධිපතිවරයා සමග රාජිත සේනාරත්න ද සහභාගි විය.

එහිදී ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණයට එජාපය දක්වන විරෝධයට උත්තර දෙන්නට ද අමතක නොකළේය. මරණ දඬුවම ක්‍රියාත්මක කරනවට ඒ ගොල්ලන්ගේ පක්ෂය ප්‍රතිපත්තියක් විදිහට විරුද්ධයි කියල ආණ්ඩුවේ ලොකු මහත්තයෙක් කියල තිබුණ. ඒ ගොල්ලත් පක්ෂයෙ ප්‍රතිපත්තිය පසුගිය අවුරුදු හතර හමාරෙ ක්‍රියාත්මක කළා නම් මේ රට මෙහෙම නෙවෙයි යැයි ජනාධිපතිවරයා කීවේ ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කරමිනි. රාජිත ද සිය කතාවේදී මුදල් අමාත්‍යංශයට චෝදනා කළේ චීන සිගරට් ගෙන්වන්නට යන බව කියමිනි. චීන සිගරට් ගෙන්වුවහොත් මේ ආණ්ඩුවෙන් යන බව රාජිත කීවේය. උත්සවය හමාර වී ජනාධිපතිවරයා රාජිත ද සමඟ හොළිකොප්ටරයෙන් හම්බන්තොට බලා පිටත්ව ගියේ හම්බන්තොට නව ​රෝහල එදින හවස විවෘත කිරීමට තිබූ බැවිනි. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට ද උත්සවයට එන්නැයි රාජිත ආරාධනා කර තිබූ නමුත් මහින්ද ඊට සහභාගි නොවූයේ ඔහු ඒ වනවිට මාලදිවයිනේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබූ බැවිනි.   


මේ අතර ජනාධිපතිවරයා ගිය සතියෙ වැඩි කාලයක් ගත කළේ පොළොන්නරුවේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙ අලුතින් ඉදිකරන ලද ගොඩනැගිලි ඇතුළු විවෘත කිරීම් රැසක් යොදාගෙන තිබූ අතර ජනාධිපතිවරයා ඒ සියල්ලටම පාහේ සහභාගි විය. අඟහරුවාදා උදේ කැබිනට් රැස්වීම හමාර වී කෙළින්ම දෙහිඅත්තකණ්ඩිය බලා පිටත්ව ගියේ එදින සවස සිරිපුර මහා විද්‍යාලයේ පැවැති ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයට සහභාගිවීම වෙනුවෙනි. ජනාධිපතිවරයා ඇතුළු පිරිසට දිවා ආහාරය සූදානම් කර තිබුණේ දෙහිඅත්තකණ්ඩිය නිවාඩු නිකේතනයේය. ජනාධිපතිවරයා යනවිටත් නියෝජ්‍ය ඇමැති අනෝමා ගමගේ හිටපු ඇමැති පී. දයාරත්න, මහවැලි අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක ඇතුළු පිරිසක් නිවාස නිකේතනයට පැමිණ සිටියහ. ජනාධිපතිවරයා ඔවුන් සමඟ දිවා ආහාරය ගත්තේ ආගිය තොරතුරු ද කතාබහ කරමිනි. උතුරුමැද ආණ්ඩුකාර සරත් ඒකනායක ද ඒ අතර වාරයේ පැමිණියේය. ඔහුට ද කෑම කන්නයි ජනාධිපතිවරයා කීවේය. අනතුරුව පිරිස සිරිපුර විද්‍යාලයේ ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවයට සහභාගි වූහ. නැගෙනහිර ආණ්ඩුකාර ෂාන් විජයලාල්, බස්නාහිර ආණ්ඩුකාර මුසම්මිල් ඌව මහ ඇමැති චාමර සම්පත්, හිටපු මහ ඇමැති ඉසුර දේවප්‍රිය ඇතුළු පිරිසක් ද උත්සව භූමියට පැමිණ සිටියහ. උත්සවය අමතමින් ජනාධිපතිවරයා කීවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නිසා දැන් තමාට ද ජීවිත තර්ජන එල්ල වී තිබෙන බවය. ඒ බව බුද්ධි අංශ ද වාර්තා කර ඇති බව ජනාධිපතිවරයා කීවේය.   


උත්සවය හමාර වී හැමෝටම තේ බොන්නට පොළොන්නරුවේ නිවෙසට එන්නැයි ජනාධිපතිවරයා ආරාධනා කළේය. ඒ අනුව සරත් ඒකනායක, මුසම්මිල්, ඉසුර ඇතුළු පිරිසක් මෙන්ම ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ ද නිවෙසට පැමිණ සිටියෝය. ‘මෙහෙ තමයි මම කැමැතිම තැන’ කියමින් ජනාධිපතිවරයා සිය නිවෙස ඉදිරිපස තණ බිස්සේ පුටුවක් තබාගෙන ඉඳගත්තේ අනෙක් අයට ද එතනට එන ලෙස දන්වමිනි. තේ බොමින් පිරිස සමඟ සැහැල්ලුවෙන් ගත කළ ජනාධිපතිවරයා පසුවදා උදේ 8.00ට උදේ කෑමට නිවසට එන්නැයි ද පිරිසට ආරාධනා කළේය. 

 
පොළොන්නරුවේ ඉදි වූ පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ද ඉකුත් බදාදා උදේ ජනාධිපතිවරයා අතින් විවෘත විය. එය ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ අලුත් වැඩපිළිවෙළකි. ඒ සඳහා ද ආණ්ඩුකාරවරුන්, මහ ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේ එය සියලු දෙනාටම අලුත් අත්දැකීමක් ද වූ බැවිනි.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් අතර පිහිටුවන්නට යන නව දේශපාලන සන්ධානයෙ ව්‍යූහය පිළිබඳ දෙපාර්ශ්වයෙ යෝජනා හුවමාරු කර ගත්තේ මීට සතියකට කලිනි. දෙපාර්ශ්වයේ මීළඟ සාකච්ඡා සඳහා දිනයක් තවමත් තීරණය කර නැති නමුත් දෙපාර්ශ්වයෙ යෝජනාවලිය වෙන වෙනම සලකා බලමින් සිටී.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර ඇතුළු පිරිසකගෙන් යුත් කමිටුවක් ද යෝජනා ගැන අධ්‍යනය කිරීමට පත්කර ඇති අතර එම කමිටුව ගිය සතියෙ ද දිනපතා රැස්වී මේ ගැන සාකච්ඡා කළේය. දැනට කෙරී ඇති සාකච්ඡා අනුව අලුතින් පිහිටුවන දේශපාලන සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යන නම යොදන්නට දෙපාර්ශ්වයම එකඟය. එහෙත් සන්ධානයෙ ලකුණ සම්බන්ධයෙන් තවමත් එකඟතාවක් ඇතිවී නොමැත. පොදුජන පෙරමුණෙ වැඩි කැමැත්ත ඇත්තේ නෙළුම් පොහොට්ටුවටය. එහෙත් ශ්‍රීලනිපයෙන් ඒ සඳහා එකඟතාවක් පළවී නැති බව වාර්තා විය.   


කලින් එන්නේ ජනාධිපතිවරණය ද පළාත් සභා මැතිවරණය ද යන්න තවමත් පැහැදිලි නැත. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා තිබුණේ ජනාධිපතිවරණයට දවසකට කලින් හෝ පළාත් සභා මැතිවරණය නොපවත්වන්නේ නම් තමා තනතුරින් ඉවත්ව යන බවය. මේ අතර තහවුරු නොකළ ආරංචියකින් කියැවුණේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙ මතය විමසීමේ සූදානමක් පවතින බවය. ජනාධිපතිවරයාට වසර 6කට ලැබුණු බලය අවුරුදු 5කට අඩු කළද එය ආරම්භ වන්නේ 19 වන සංශෝධනය සම්මත වූ 2015 මැයි 15 වැනිදා සිට ද යන්න ගැනද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ සමහරු තර්ක කරති. මේ තත්ත්වය තුළ 19 වන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිීමේ සූදානමක් ඇති බවට ගිය සතියේ දේශපාලන කරළියේ ආරංචි පැතිර ගියේය.   


දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් සහ මධ්‍යම අණ්ඩුකාර මෛත්‍රී ජයරත්න යන මහත්වරුන්ට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී එල්ල වූ විරෝධය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇතැයි පැවැසේ. ඒ අනුව ඔවුන් දෙදෙනා වෙනත් පළාත් දෙකකට මාරුකරන්නට යන බවටද ගිය සතියේ ආරංචි පැතිර ගියේය.