ජනතාව දේශපාලකයන්ට ගහලා පන්නන දිනය ගැන ඇමැති කී කතාව


 

  • නත්තල් නිවාඩුවත් වසර අවසානයත් නිසා මැති ඇමැතිවරුන් වැඩිදෙනා සිටින්නේ කොළඹින් බැහැරව ය. සමහරුන් පිටරට ගොස් ය. තවත් සමහරුන් සිටින්නේ කොළඹින් බැහැරව නිවාඩුව ගත කරමිනි.
  • මීට පෙර වට 34 ක් තුළ ලක්ෂ 1000ට අධික වටිනාකමකින් යුක්ත රෝහල් උපකරණ, සමගි ජන බලවේගයේ හුස්ම වැඩසටහන හරහා රටේ රෝහල් පද්ධතියට පරිත්‍යාග කිරීමට සජිත්ලාට හැකිවිය.

 

 

ආණ්ඩුවටද ගැටලු‍වලින්, අභියෝගවලින් අඩුවක් නැත. පොහොර අර්බුදය, ගෑස් අර්බුදය, ඩොලර් අර්බුදය අතරේ ගිය සතියේ තවත් අර්බුදයක් කරළියට පැමිණියේය. ඒ තෙල් අර්බුදයයි. ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව මුහුණ දී සිටින්නේ බරපතළ අර්බුදයකට ය. ලබන මාසයේ ඉන්ධන ගෙන ඒමට අවශ්‍ය ඩොලර් මිලියන 420ක් සොයා ගැනීමට නොහැකිවීමේ අර්බුදයට ද සංස්ථාව මුහුණදී සිටී. තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි නොකිරීම හේතුවෙන් ලබන පාඩුව ද දවසින් දවස වැඩි වී ඇති බව විෂය භාර ඇමති උදය ගම්මන්පිල ද පසුගියදා ප්‍රකාශ කළේය. ඒ අතරේ ආණ්ඩුව ගිය සතියේ ඉන්ධන මිල යළිත් ඉහළ දැමුවේය. ඒ පොඩි ගණනකින් නොව රුපියල් විස්සකට වැඩි ගණනකිනි. කොරේ පිටට මරේ කියා, තෙල් මිල වැඩි කිරීමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ද විශාල ලෙස ඉහළ ගියේ ආණ්ඩුවද අපහසුතාවයට පත්කරමිනි.


ගිය පාර තෙල් මිල වැඩිකිරීම ගැන කියන්නට ගොස් බලශක්ති ඇමැති ගම්මන්පිල මහතා දැඩි අර්බුදයකට මුහුණ දුන්නේය' ඒත් මේ පාර තෙල් මිල වැඩිකිරීම ගැන කියන්නට ඔහු මාධ්‍යයට ආවේ නැත. මුදල් අමාත්‍යාංශය මාධ්‍ය හමුවට ආවේද නැත. ඒ වෙනුවට කළේ තෙල් මිල වැඩි කිරීමේ නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මධ්‍යම රාත්‍රියේ දී නිකුත් කිරීමය. තෙල් මිල වැඩිකිරීම ගැන ආණ්ඩුව හැර වෙන කිසිවකුත් දැන සිටියේ නැත.


මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ජනාධිපතිවරයා විසින් තනතුරින් ඉවත් කරනු ලැබීම ද දේශපාලන කරළියේ මහත් ආන්දෝලනයට ලක්ව තිබේ. ආහාර අර්බුදයක් ගැන මහනුවරදී කළ ප්‍රකාශයක් ඔහුට ලේකම් පුටුවෙන් යන්නට හේතු වූ බව ද කියැවේ. මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් පත්වීමෙන් පසුව කෘෂිකර්මයට මේ වනවිට පත්ව ඇති ලේකම්වරුන් ගණන හතරකි . ඒ හතර දෙනාගෙන් තුන් දෙනකු ම මේ වන විට ඉවත්ව ගිහින් හමාරය. උදිත් ජයසිංහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව ඔහු මාධ්‍ය හමුවට ගොස් කරන කියන කතාවලින් සිදුවන්නේ ආණ්ඩුවට වාසියක් නොව හානියක් බව පැහැදිලිය. ඔහු ආණ්ඩුවේ කාබනික පොහොර වැඩ සටහන ද විවේචනයට ලක්කළේ ලබන වසරේ ආහාර හිඟයක් ඇති වන බවට අනතුරු ඇඟවීමක් කරමිනි. ඔහු කීවේ කාබනික පොහොර වැඩසටහනට උපදෙස් දුන් කේවට්ටයින් සොයා ගැනීමටත් නොහැකි බවය. තමා පසුගිය කාලේ කළේ අතින් කාලා හරක් බැලීමක් බව ඔහු කීවේය.


පසුගිය සතියේ සඳුදා හැන්දෑවේ කැබිනට් මණ්ඩලය රැස්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි . සුපුරුදු පරිදි කැබිනට් පත්‍රිකා සාකච්ඡා කිරීමෙන් අනතුරුව කතාබහට ලක් වූයේ ආර්ථික අර්බුදය සහ ඩොලර් ගැටලු‍වයි. ඉකුත් සති කිහිපයේ මෙන්ම ඩොලර් අර්බුදය විසඳා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇමැතිවරුන් විවිධ යෝජනා අදහස් ඉදිරිපත් කළ නමුත් කරන්නේ කුමක්දැයි අවසන් තීන්දුවකට නොපැමිණියේය. පිරිසක් කීවේ තිබෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණය මුදලක් ලබා ගැනීම බවය. එහෙත් තවත් කිහිප දෙනෙකුගේ අදහස වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සුදුසු ක්‍රියාවක් නොවන බව ය. එමගින් සුබසාධන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි ඔවුන්ගේ තර්කය විය. අවසානයේ තීරණය වූයේ මීළඟ කැබිනට් රැස්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන්වා රටේ ආර්ථික තත්ත්වය සහ ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් ඇමතිවරුන් දැනුවත් කිරීමටය. එම සාකච්ඡාවලින් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද රජයේ ආරංචි මාර්ගවලින් කියැවේ.


නත්තල් නිවාඩුවත් වසර අවසානයත් නිසා මැති ඇමැතිවරුන් වැඩිදෙනා සිටින්නේ කොළඹින් බැහැරව ය. සමහරුන් පිටරට ගොස් ය. තවත් සමහරුන් සිටින්නේ කොළඹින් බැහැරව නිවාඩුව ගත කරමිනි. ඒ නිසා මේ සතියේ කැබිනට් රැස්වීම නැත. මීළඟ කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ ලබන ජනවාරි 3 වැනිදාය’’ ඩොලර් අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන්ද එහිදී අවසාන තීරණයක් ගනු ඇතැයි ආරංචිමාර්ගවලින් කියවේ .


හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනෙකුගේම නිල ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පි සුදත් සිල්වා මහතාගේ දෙවෙනි දියණියගේ විවාහ මංගල උත්සවය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැත්වුණේ කොළඹ ගාලු‍ මුවදොර හෝටලයේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊට සහභාගි වූ අතර, ඔහු මනාලියගේ පාර්ශවය වෙනුවෙන් සාක්ෂියට අත්සන් තැබීය. ජනාධිපතිවරයා පැයකට ආසන්න කාලයක් එහි රැඳී සිටි අතර, ඔහු ගිය පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණියේය , හිටපු ජනාධිපතිවරුන් සියලු‍ දෙනාටම පාහේ උත්සවයට ආරාධනා කරනු ලැබ තිබුණ ද පැමිණ සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පමණි. හිටපු ජනාධිපති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටි නිසා ඊට සහභාගී නොවූ අතර, ඔහු ඒ බව කලින්ම දැනුම් දී තිබිණි .


මේ අතර ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්දා තිරුපති බලා පිටත්ව ගියේය. ඔහු සමඟ එම ගමනට අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ සමීපතමයින් කිහිප දෙනෙකු පමණක් සහභාගි වූ බව වාර්තා විය . ඉන්දියාවට ගිය අගමැතිවරයා සිකුරාදා දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය. මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන මස මුලදී ඩුබායි බලා යාමට නියමිතය. එහි පැවැත්වෙන ඩුබායි එක්ස්පෝ අපනයන ප්‍රදර්ශන​ෙය් ජනවාරි 3 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා දින ප්‍රදර්ශනය විවෘත කිරීමට අගමැතිවරයා සහභාගීවන සංචාරයට විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මෙන්ම සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වනු ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුවට විපක්ෂයෙන් පමණක් නොව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් ද විවේචන චෝදනා එල්ලවෙමින් තිබේ. ආණ්ඩුවේම මන්ත්‍රීවරයකු වන ගාල්ලේ චන්දිම වීරක්කොඩි පසුගිය සතියේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කීවේ මේ යන විදියට දේශපාලනඥයින්ට ජනතාව ගහලා පන්නන දිනය වැඩි ඈතක නොවන බව ය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා දේශපාලන රැස්වීමකදී කළ ප්‍රකාශයක් ද අගය කරමින් ඔහු කතා කළේය. විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමැතිවරයාද ගිය සතියේ උත්සවයකට සහභාගිවෙමින් කීවේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයක් නැතිකමින් ජනතාව පීඩාවට පත්ව සිටින බව ය.


බන්දුල ඩොලර් ඉල්ලා මහ බැංකුවට


වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් එක්දහස් දෙසීයක් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් ලබාගැනීමට බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ගිය සතියේ මහ බැංකුවට ගියේය. එම කන්ටේනර නිදහස් කර ගැනීම සඳහා ආනයනකරුවන්ට ඇමරිකානු ඩොලර් කෝටි දෙකහමාරක් නිදහස් කරන්නැයි ඔහු මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ නමුත් අධිපතිවරයා දැනුම් දී තිබුණේ මේ මොහොතේ ඩොලර් නිදහස් කිරීමට හැකියාවක් නොමැති බවය. අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබන මස මැද පමණ වන විට නිදහස් කළ හැකි බව මහ බැංකු අධිපතිවරයා දන්වා තිබිණි.


ශ්‍රීලනිපයත් රට පුරා යයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික් සම්මේලන මාලාවක් පැවැත්වීමට සූදානමින් සිටී. එහි පළමුවැන්න ලබන 4 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. එම සම්මේලනයට පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් වන මහින්ද අමරවීර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය. මාතලෙන් ආරම්භ වන සම්මේලන මාලාව ආනමඩුව අනුරාධපුරය පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක පැවැත්වීමට කටයුතු යොදා ඇත.


මේ අතර ලබන මස 8 වැනිදාට යෙදෙන බණ්ඩාරනායක ජන්ම දින උත්සවය ද පැවැත්වීමට ශ්‍රීලනිපය සූදානම් වේ. කොළඹ ගාලු‍ මුවදොර පිටිය අබියස පිහිටි බණ්ඩාරනායක පිළිරුව ඉදිරිපිට උත්සවය පැවැත්වීමට සංවිධාන කටයුතු සැලසුම් කර තිබුණද උදේ පාන්දර උත්සවයක් පැවැත්වීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු යොදා ඇත. ඒ හේතුවෙන් ශ්‍රීලනිපයේ උත්සවය එදින පෙරවරු 10.30 ට පැවැත්වීමට සූදානම් කර තිබේ. හිටපු ජනාධිපතිනිය වෙනදා එහි පැමිණ මල් කලඹක් තබා පිටව ගියද මෙවර ආගමික වැඩසටහනක් ඇතුළු උත්සවයක් ද සංවිධානය කර ඇත. මෙම කටයුතුවලට පැය දෙකක පමණ කාලයක් ලබා දී අනතුරුව ශ්‍රීලනිපය උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ .


චීනයත් පුදුම වූ සජිත්ගේ “හුස්ම”‍


කොරෝනා ව්‍යසනය සමග මතුවූ තවත් විශාල අවශ්‍යතාවක් වූයේ මෙරට සෞඛ්‍ය පද්ධතිය සහ රෝහල් පද්ධතිය වැඩිදියුණු කිරීමය.


විපක්ෂයේ සිටියද සජිත් මේ පිළිබඳව සිය අවධානය යොමු කළේය. මෙරට රෝහල්වල සෞඛ්‍ය නගාසිටුවීම අරමුණු කොට ගනිමින් සජිත් ‘‘සමගි ජනබලවේගයේ හුස්මක්”‍ වැඩසටහන ආරම්භ කළේ ඒ අනුවය.
මීට පෙර වට 34 ක් තුළ ලක්ෂ 1000ට අධික වටිනාකමකින් යුක්ත රෝහල් උපකරණ, සමගි ජන බලවේගයේ හුස්ම වැඩසටහන හරහා රටේ රෝහල් පද්ධතියට පරිත්‍යාග කිරීමට සජිත්ලාට හැකිවිය.


මෙයට අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම උදෙසා සජිත් නිරන්තරයෙන්ම දෙස්-විදෙස් හිතවතුන් සමග සම්බන්ධතා තබා ගත්තේය. කොරෝනා තත්ත්වය හමුවේ මූල්‍ය ප්‍රතිපාදන සොයාගැනීම බලවත් අසීරු කටයුත්තක් වුවත් සජිත් සිය අධිෂ්ඨානය අතහැරියේ නැත.


එ් නිසා ලක්ෂ දාහක් ඉක්ම වන වැඩ කොටසක් කරන්නට සජිත්ට හැකියාව ලැබුණි.


විපක්ෂනායකයා කරන මේ වැඩේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ පිරිසක් සිටියේය. ඒ චීන රජයයි.
විපක්ෂයේ සිටියත් සජිත්ලා කරන මේ කටයුත්ත පිළිබඳව එක අතකින් චීනය උනන්දුවට මෙන්ම කිසියම් පුදුමයකටත් පත්ව සිටියේය.


මේ පිළිබඳව රාජ තාන්ත්‍රික මට්ටමින් සම්බන්ධ වෙමින් සජිත් සමඟ චීන නිලධාරීන් සාකච්ඡා කළේය. ඔවුන් කියා සිටියේ සජිත්ගේ වැඩේට තමන්ට ද දායක වීමම අවශ්‍ය යැයි කියාය.
‘‘ඔබතුමාලා ඇත්තටම රෝහල් උපකරණ බෙදලා දෙන්න කල්පනා කළේ ඇයි?”‍
චීන නියෝජිත පිරිස සජිත්ගෙන් විමසා සිටියේය .


“ඇත්තටම මේ විශාල සෞඛ්‍ය ගැටලු‍වක් තියෙන වෙලාවක්. ඉතින් අපි හැමෝම අපිට පුළුවන් හැටියට රටේ සෞඛ්‍ය නංවන්න වැඩ කරන්න අවශ්‍යයි කියලා අපි කල්පනා කළා”‍ සජිත් උත්තර දුන්නේය.
‘‘ඔබලා විපක්ෂයේ ඉඳිද්දි මේ වගේ විශාල වැඩ කොටසක් කරනවා කියලා කියන්නේ එක අතකට විශාල පුදුමයක්. සාමාන්‍යයෙන් ලෝකෙ කොහෙවත් විපක්ෂයක් ඒ වගේ කටයුතුවලට සම්බන්ධ වෙනවා දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්”‍ චීන නියෝජිත පිරිස පැවැසී ය.
තමා කරන කටයුතු පිළිබඳව ඉතාම පුළුල් ව සහ නිරවුල් ව චීන නියෝජිත පිරිස දැනුවත් කිරීමට ද කිරීමටද සජිත් අමතක නොකළේය.


සාකච්ඡාවෙන් පසු ස්වකීය ප්‍රසාදය සහ සතුට පළ කරමින් චීන රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් එම වැඩසටහනට සුවිශේෂී පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.


ඒ අනුව වකුගඩු ආශ්‍රිත රෝග පිළිබඳව පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍යව පවතින උපකරණ සඳහා රුපියල් ලක්ෂ 196ක මූල්‍ය ආධාරයක් ලබා දීමට චීන රජය (22) කටයුතු කළේය.


ඊට අදාළ පරිත්‍යාගය 22 වැනිදා පෙරවරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී කොළඹ චීන තානාපති කී සෙන්හොංග් මහතා ඇතුලු‍ චීන නියෝජිත පිරිසත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ලබා දුන්නේය.


චීන රජය ලබාදුන් පරිත්‍යාගයට හේතුව වූයේ ද අදාළ වැඩසටහනේ පවත්නා ක්‍රමානුකූල බවයි.
ඉතා විනිවිද ලෙසත්, ක්‍රමානුකූලව සහ ප්‍රශස්ත ලෙසත් එම කටයුත්ත සිදුකරන බවට තමන්ට නිරීක්ෂණය වී ඇති අතර, එබැවින් මෙවැනි පරිත්‍යාග ඉදිරියේදීද සිදුකිරීමට අපේක්ෂා කරන බව කොළඹ චීන තානාපති කී සෙන්හොංග් මහතා පැවසීය.


මේ සිදුවීමෙන් පසු සජිත්ට දිගට හරහට දුරකථන ඇමතුම් එන්නට පටන් ගත්තේය.
‘‘රාජතාන්ත්‍රිකයි කියන සමහර මහා ලොකු චරිතවලට සද්ද නැතුව ඔබතුමා හොඳ පාඩමක් කියල දීලා.”‍ නලින් බණ්ඩාර කීවේය.


‘‘රට ව්‍යසනයකට පත්වෙලා තියෙන වෙලාවක රටට උදව්වක් ගන්න බැරිනම් මොන තරම් රාජතාන්ත්‍රික වුණත් වැඩක් නැහැ. සැබෑ රාජතාන්ත්‍රික කම කියලා කියන්නේ රටේ මිනිස්සු වෙනුවෙන් ලෝකයෙන් උදව් අරගන්න එකට.”‍


මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


‘‘රට බංකොලොත් වෙමින් සුන් බුන් වෙලා තියෙන වෙලාවක, ආණ්ඩුවේ සමහරු කරන්නේ කයිවාරු ගගහ තමන්ගේ මඩිය තර කරගන්න එක. මේ වෙද්දිත් රට ණය බරින් හෙම්බත් වෙලා. ණය ශ්‍රේණිගත කිරීම්වල අපේ රට පහළටම වැටිලා. එහෙම වෙලාවක ලෝකයේම සහයෝගය අවශ්‍යයි. අනික් අතට අපි පුළුවන් විදියට ඒ සහයෝගය රටට ලබා ගන්නවා”‍ සජිත් උත්තර දුන්නේය.


“ලංකාවේ තියා ලෝක ඉතිහාසයේවත් විපක්ෂයක් පිටරටකින් රාජතාන්ත්‍රික මට්ටමෙන් ආධාර අරගෙන නැතිව ඇති. එහෙම බලපුවාම මේක ඓතිහාසික වැඩක්”‍ එහෙම කිව්වේ රාජිත ය.


සුනිල්ටත් හුස්මක්


කොරෝනා වෛරසයට ගොදුරුව මියගිය ගායන ශිල්පී සුනිල් පෙරේරා සිහිපත් කරමින් හුස්ම වැඩසටහනක් ක්‍රියාත්මක විය. සමගි ජන බලවේගයෙන් හුස්මක් වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහිකිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක ජන සුවය වැඩසටහන යටතේ රුපියල් විසිතුන් ලක්ෂ හැට දහසක් වටිනා රෝහල් උපකරණ තොගයක් මොරටුව ලු‍නාව රෝහලට පරිත්‍යාග කළේය.


සජිත් සමග මේ අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති අගලකඩ සිරිසුමන හිමියන්, සුනිල් පෙරේරාගේ සොයුරු පියල් පෙරේරා, ලාල් පෙරේරා, නිමල් පෙරේරා ඇතුළු පවුලේ ඥාතීහු එක්ව සිටියහ.


‘‘සුනිල් අයියා ඔබතුමාගේ පක්ෂය වෙනුවෙන් දේශපාලනය කරපු කෙනෙක් නෙමෙයිනේ’’ එතැන සිටි අයෙක් සජිත්ට කීවේය


‘‘සුනිල් කියන්නේ රටක් සුවපත් කළ ගායකයෙක්. කෙළින් කතා කරපු මනුස්සයෙක්. අපි හැමෝම ආදරය කරන කෙනෙක්. ඒ වගේ අයෙක් සිහිපත් කරලා මෙහෙම දෙයක් කරන්න මට දේශපාලනයක් අවශ්‍ය නෑ. අපි දේශපාලනය වෙනුවට දේශ සේවය කරන්නේ’’ සජිත් කීවේ සිනාමුසු මුහුණෙනි.


සජිත් වැලිකඩට


සිරගත කර සිටින රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාගේ සුව දුක් විමසීමට සජිත් වැලිකඩ බන්ධනාගාරයට ගියේය. රංජන් නිදහස් කරන ලෙසට අන්තර් පාර්ලිමේන්තු සංගමය කරුණු නවයක් සහිත ඉල්ලීමක් ඉදිරිත් කර තිබූ අතර ඔහු රංජන් හමුවීමට ගියේ එම ඉල්ලීමේ පිටපතක්ද රැගෙනය.


අන්තර් පාර්ලිමේන්තු සංගමය කර ඇති ඉල්ලීම ගැන ඔහු රංජන්ට කරුණු පැහැදිලි කළේය.


‘‘අන්තර් පාර්ලිමේන්තු සංගමය කරුණු නවයක් සහිතව තමයි ජනාධිපතිවරයාගෙන් ඔබ නිදහස් කරන්න කියන ඉල්ලීම ඉදිරිපත් කරලා තියෙන්නේ. විපක්ෂය විදියට මමත් කිහිප වතාවක්ම මේ ඉල්ලීම කළා. ඒත් තවම නිදහස් කරන්න කිසිම දෙයක් කරලා නෑ. අනෙක ඔබතුමා හොරකම් කරලා, මිනී මරලා නෙමෙයි හිරේ ඉන්නේ. ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නිසා තමයි හිරේ ඉන්නේ’’ සජිත් රංජන් සමග දීර්ඝ වේලාවක් කතා කරමින් පැවසුවේය.


සජිත් වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන විට මාධ්‍ය කණ්ඩායමක් ද එහි පැමිණ සිටියේය.
‘‘සීනි වංචා කරපු අය, පොල් තෙල් වංචා කරපු අය, ගෑස් මගඩියට සම්බන්ධ අය දැන් නිදැල්ලේ ඉන්නවා. ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කරපු රංජන් හිරේ දාලා. රංජන්ගේ නිදහස වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක් නැවත වරක් අපි ආරම්භ කරනවා’’ සජිත් කීය.


තරුණ දේශපාලකයන් පුහුණු කරන ඇකඩමියක්


තරුණ දේශපාලනඥයන් පුහුණු කිරීමේ ඇකඩමියක් කඩිනමින් ආරම්භ කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට ඉකුත්දා උපදෙස් දුන්නේය.
ඒ අනුව රුවන් විජයවර්ධන මහතා ඇකඩමිය පිහිටුවීම පිළිබඳව සාකච්ඡාව පසුගිය සතියේදීම පැවැත්වීමට කටයුතු යොදා ගත්තේය. සාගල රත්නායක, පාලිත රංගෙ බණ්ඩාර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්කර ගත්තේය.


මෙහිදී ඇකඩමිය පිහිටුවීම පිළිබඳව මූලික සාකච්ඡාව පවත්වනු ලැබූ අතර කළයුතු දැනුවත් කිරීම පිළිබඳවද සාකච්ඡා කළේය.


රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේදී නයිජීරියානු තානාපතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකටද සහභාගී විය. එහිදී රටේ දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තිබුණි.


දිස්ත්‍රික් සංවිධාන වැඩපිළිවෙළ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු පිළිබඳව රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේදී අවශ්‍ය සැළසුම් සකස් කළේය. එහිදී කලවාන, රත්නපුර ඇහැලියගොඩ, රක්වාන, කොළොන්න, ඇඹිලිපිටිය ආසනවල සංවිධාන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කෙරිණි.


පක්ෂ සංවිධාන කටයුතු පුළුල් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඡන්ද මධ්‍යස්ථාන කමිටු පිහිටුවීමටත් ආසන මට්ටමින් ලේකම්වරුන් පත් කිරීමටත් පියවර ගන්නා ලෙස නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.
ආසන මට්ටමින් සමාජ මාධ්‍ය කමිටු පිහිටුවීමටද අදාළ පුද්ගලයන් මෙහෙයවනු ලැබීය. අද වනවිට බෙහෙවින් ජනප්‍රිය මාධ්‍යයක් වී තිබෙන සමාජ මාධ්‍ය ඔස්සේ පක්ෂයේ ප්‍රවෘත්ති බෙදා හැරීමට අැති හැකියාව පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.


දේශපාලන අර්බුදය ගැන හිටපු කතානායක දුන් පිළිතුර


සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාට පසුගිය සතිය ද කාර්ය බහුල විය. රටේ පවත්නා දේශපාලන සහ ආර්ථික අර්බුද හමුවේ විවිධ පාර්ශ්ව ඒ ගැන කරු ජයසූරිය මහතාගෙන් ද විමසීම් කරන්නට විය. ඒ සෑම පාර්ශ්වයකටම ජයසූරිය මහතා ලබා දුන් පොදු පිළිතුර වූයේ අද වන විට රට ඇද වැටෙමින් පවතින අන්තරායදායක තත්ත්වය හමුවේ එයට හුදෙකලා විසඳුම් නැති බවය. රට මුහුණදෙමින් ඇති අර්බුදයේ ගැඹුර සියලු පාර්ශ්ව තේරුම් ගනිමින් ජාතික වශයෙන් ඇති කර ගන්නා පොදු සම්මුතියකින් තොරව එයට විසඳුම් සපයා ගත නොහැකි බවද කරු ජයසූරිය මහතා ඒ සියල්ලන්ටම පෙන්වා දී තිබේ.


එහෙත් එවැනි පිළිවෙතකට රටේ සියලු පාර්ශ්ව ඒකරාශී කර ගැනීමට නම් රජය ඒ පිළිබඳව වන තම අවංක අභිලාෂය ප්‍රථමයෙන්ම රටට පෙන්වා දිය යුතු බව එහි දී අවධාරණය කර ඇති ජයසූරිය මහතා එහිදී රජයේ පාර්ශ්වයෙන් යොමු විය යුතු එක් අත්‍යාවශ්‍ය හා අනිවාර්ය කාර්යයක් ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවා පාර්ලිමේන්තුවට රට පිළිබඳව තීරණ ගැනීමට හැකි වාතාවරණයක් නිර්මාණය කළ යුතුව ඇති බව එහිදී අවධාරණය කර ඇත. එමෙන්ම ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේග වෙත රජය දෑත් දිගු කිරීමට පෙර රංජන් රාමනායක මහතාට පූර්ණ සමාවක් ලබා දෙමින් ඒ සඳහා ආරම්භයක් ලබාගත හැකි බවද ජයසූරිය මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 

 

 

-ගජබා-