ගෑස්-කිරිපිටි ප්‍රශ්නය ඇමැති රැස්වීමට



‘එක පැත්තකින් කොරෝනා. අනෙක් පැත්තෙන් ගෑස් නෑ. බඩු මිල අහස උසට ගිහින්”‍

අශෝක් අබේසිංහ එහෙම කියද්දී

‘‘කිරිපිටි ගන්නත් පෝලිමේ ඉන්න වෙලා”‍යැයි කීවේ හෙක්ටර් අප්පුහාමි ය.


 

කොවිඩ් රැල්ල රට තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය කරමින් තිබේ. දිනෙන් දින වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාවත් ආසාදිතයන්ගේ සංඛ්‍යාවත් ඉහළ යමින් තිබෙන්නේ සෞඛ්‍ය පද්ධතියටද දරාගත නොහැකි අන්දමිනි. මේ තත්ත්වය හමුවේ අඩුම තරමින් සති හතරක් වත් රට වසා තබන්නැයි සෞඛ්‍ය අංශ ඇතුළු විවිධ පාර්ශ්ව වලින් ඉදිරිපත් වන ඉල්ලීම්වලින්ද අඩුවක් නැත. එහෙත් ආණ්ඩුව පාර්ශ්වයෙන් රට වසා තැබීමේ තීරණයකට යාමේ සූදානමක් නැති බව පෙනෙන්නට තිබේ. ආණ්ඩුවේ උත්සාහය වී ඇත්තේ රට වසා නොදමා එන්නත්කරණ කටයුතු කඩිනමින් හමාර කිරීමය. සෞඛ්‍ය අංශවලට අමතරව යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ද කැඳවමින් ආණ්ඩුව එන්නත් කරන වැඩපිළිවෙළට වැඩි බරක් තබා ඇත්තේ එහෙයිනි. මේ අතර තවත් අර්බුද දෙකක් මතුව තිබේ. ඒ ගෑස් හිඟය හා කිරිපිටි හිඟයයි. ගෑස් හිඟය හේතුවෙන් ප්‍රදේශ රැසක දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, කිරිපිටි හිඟය හේතුවෙන් වෙළෙඳසල්වල කිරිපිටි රාක්ක හිස් ව තිබිණි. ඇතැම් ප්‍රදේශවල කිරිපිටි මිලදී ගැනීමට දිගු පෝලිම් දක්නට ලැබුණේ තවත් කොවිඩ් රැල්ලකට ද අත වනමිනි.
කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර ද කැබිනට් රැස්වීම පැවැත්වු⁣ණේ ‘සූම්’ තාක්ෂණය ඔස්සේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට ඊට සම්බන්ධ වූ අතර, ඇමැතිවරු සිය නිවෙස්වල සිට සහ අමාත්‍ය කාර්යාලවල සිට ඊට සම්බන්ධ වූහ. ප්‍රධාන මාතෘකා තුනක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී විශේෂ අවධානය යොමු විය. ඉන් පළමුවැන්න ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයයි. දෙවැන්න ගෑස් අර්බුදයයි. තුන්වැන්න කිරිපිටි හිඟයයි. ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය මුලින්ම යොමු කර වූයේ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. ඔහු කිව්වේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් ගුරු සංගම් සමඟ සාකච්ඡා කළත් එකඟතාවකට ඒමට නොහැකි වූ බව ය. සුබෝධිනී වාර්තාව ක්‍රියාත්මක කිරීම සහ අමතර දීමනා ලබාදීම කරන ලෙසට ඔවුන් දිගින් දිගටම ඉල්ලීම් කරන බව ඇමැතිවරයා කීවේය. සුබෝධනී වාර්තාව ක්‍රියාත්මක කිරීමට මිලියන හැට අටක් පමණ වැය වන බව කී ජී.එල්. සඳහන් කළේ එවැනි දෙයක් කළ හැකි තත්ත්වයක මේ වෙලාවේ රට නොමැති බවය. අනතුරුව මහින්ද අමරවීර අදහස් දැක්විය .“ජනතා විමුක්ති පෙරමුණයි ජෝසෆ් ස්ටාලින්ලයි තමයි මේ මස් රාත්තලම ඉල්ලන්නේ. වැටුප් වැඩි කරන විදිහ පැහැදිලි කළොත් අපට මේ සාකච්ඡාව අතරමැදි තැනකට ගේන්න පුළුවන් කියලයි විශ්වාස කරන්නෙ’’ මහින්ද අමරවීර කීවේය


සුපුරුදු පරිදි බන්දුල ගුණවර්ධන ද මේ ප්‍රශ්නයට මැදිහත් විය. ‘‘වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ඒ අයගේ ඉල්ලීම් මේ වෙලාවෙ දෙන්න බැහැ කියලා පැහැදිලිවම කිව්වා. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ ඉල්ලීම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක්”‍ යැයි බන්දුල ගුණවර්ධන කීවේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරමිනි. විමල් වීරවංශ ඇමැතිවරයා ද කතාවට මැදිහත් වෙමින් කීවේ මේ වන විට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නතර වී ඇති බවය. ‘‘ඔන්ලයින් වෙනුවට රූපවාහිනී චැනල් එකක් පටන් ගන්නවා කියලා කිව්වත් තවම ඒක ක්‍රියාත්මක වෙලා නැහැ”‍ යැයි විමල් කීවේය.”‍ චැනල් එකක් පටන් ගන්න සංඛ්‍යාත තියෙනවා. අපි ඒකට වැඩපිළිවෙළක් සූදානම් කරලයි තිබුණේ”‍ යැයි ඩලස් පැහැදිලි කළේ ඔහු අධ්‍යාපන ඇමැතිව සිටි කාලයේ දී ගෙන ගිය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.”‍ දරුවන් වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න ආයතන හිමිකරුවන් එකඟතාව පළ කර ඇති බව කී ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කාලසටහනක් ලැබුණේ නම් ඒ වැඩේ පටන් ගැනීමට හැකියාවක් තිබෙන බව ය. අධ්‍යාපන කටයුතු සඳහා හැකි ඉක්මනින් චැනල් එක පටන් ගන්නැයි ජනපතිවරයාද කීවේය .


අනතුරුව ජනාධිපතිවරයා කීවේ ගුරුවරුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය යුතු බවය. ‘‘ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්න ඕනැ කියලා අපි පිළිගන්නවා. හැබැයි ඒ ඉල්ලීම අසාධාරණ එකකුත් නෙමෙයි . මේ වෙලාවේ ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් අපට තියෙන්නේ”‍ යැයි කී ජනාධිපතිවරයා කිව්වේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැබිනට් අනු කමිටුවක් පත් කරන බව ය. විමල් වීරවංශ, මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම සහ ප්‍රසන්න රණතුංග ඒ සඳහා පත් කරන බව ජනාධිපතිවරයා කීවේය. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කීවේ පුළුවන් ඉක්මනට මේ ගැන ගුරුවරුන් සමග සාකච්ඡා කර ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකරගන්න කියාය.


අනතුරුව කතාබහට ලක් වූණේ ගෑස් හිඟයයි. ඒ ගැන මුලින්ම පැහැදිලි කළේ වෙ​ෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ය.”‍ ලාෆ් ගෑස් සිලින්ඩරේට ලිට්රෝ ගෑස් පුරවන්න බැහැ. ඒ විදිහට ගෑස් පුරවන්න බැහැ කියලා අධිකරණ තීන්දුවකුත් තියෙනවා. මේ නිසා කහ පාට සිලින්ඩර තියන අයට අද ගෑස් නැහැ. වෙ​ෙළඳපොළේ ගෑස් සිලින්ඩරයක් රුපියල් පන්දාහක් විතර වෙනවා. මේකට විසඳුමක් අවශ්‍යයි.”‍ බන්දුල කීවේය. විමල් වීරවංශ කීවේ ගෑස් සපයන එක සමාගමේ වගකීමක් බව ය. සමාගමට ගෑස් ගේන්න බැරි බව බන්දුල කීවේ විමල්ට පිළිතුරු දෙමිනි. සමාගමේ ක්‍රියාකාරිත්වය නතර වී ඇති බව වාසුදේව නානායක්කාර ඇමතිවරයා ද කීවේය


අනතුරුව කතාබහට මැදිහත් වුණේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂය. ඔහු කීවේ තමා මේ ගැන රාජ්‍ය ඇමැතිවරයා සහ අදාළ සමාගම සමඟ සාකච්ඡා කළ බව ය.”‍ “නඩු තීන්දුවෙන් කියලා තියෙන්නෙ ගෑස් පුරවන්න බැහැ කියලා විතරයි. ලාෆ් ගෑස් එකක් වෙනුවට ලිට්රෝ ගෑස් එකක් දෙන්න බැහැ කියලා නැහැ. අවශ්‍ය නම් කහපාට සිලින්ඩරය අරගෙන නිල්පාට සිලින්ඩරයක් දෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ”‍යැයි බැසිල් කීවේය. ජනාධිපතිවරයා හිනාවෙමින් කීවෙ “ඕන නම් පස්සේ කහ නිල් කරගන්න පුලු‍වන්නේ ”‍ යනුවෙනි. කහ එකක් නිල් කළාට ප්‍රශ්නයක් නැහැ නේදැයි විමල් බන්දුල ගෙන් විමසීය. එහි ප්‍රශ්නයක් නොමැති බව බන්දුල ද පිළිතුරු දෙමින් කීවේය.


මේ කතාබහ යන අතරේ කිරිපිටි හිඟය ගැන ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු විය. ඒ ගැන ද මතු කළේ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාය .”‍ “කිරිපිටි හිඟයට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ව්‍යාපාරිකයන් කිරිපිටි ආනයනය නතර කිරීමයි”‍ බන්දුල කීවේය. දේශීය නිෂ්පාදනය වැඩිකර අවශ්‍යතාව සපුරා ලිය නොහැකි දැයි වාසුදේව විමසා සිටියේය. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද කතාබහට එක් වෙමින් කීවේ එය කළ නොහැකි බවය. මේ කතාබහට බැසිල් ද මැදිහත් විය.”‍ වෙ​ෙළඳපොළේ කිරිපිටි හිඟයක් ඇති වෙන්න ඉඩ දෙනවාද, කිරිපිටි මිල වැඩි කරනවද එහෙම නැත්නම් කිරිපිටි ආනයනය මත පනවා ඇති බදු අඩු කරනවද කියලා තීරණය කරන්න වෙනවා. ව්‍යාපාරිකයන්, පාරිභෝගිකයන් ආරක්ෂා වෙන විදියට මේ වෙලාවේ තීන්දු ගන්න වෙනවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දෙනවා නම් අපිට බදු අඩු කිරීමේ හැකියාව තියනවා යැයි බැසිල් කීවේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ මුදල් ඇමැතිතුමා කළ යෝජනාව ක්‍රියාත්මක කිරීම සුදුසු බවය. ඒ අනුව කිරිපිටි මත පනවා ඇති ආනයන බදු ඉවත් කර කිරිපිටි ආනයනික ව්‍යාපාරවලට සහන දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.


සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොවිඩ් ප්‍රශ්නය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කළා ය. ඇය කීවේ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යාම සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරුන් දක්වන අදහස් ගැනය.”‍ විශේෂඥ වෛද්‍යවරුන් කියන්නේ රටේ බරපතළ තත්ත්වයක් තියෙනවා කියලයි .මහජනතාව ඒකරාශී වීම වැළැක්වීමට ගැසට් පත්‍රයක් අපි මේ වන විටත් සකස් කරමින් සිටිනවා යැයි පවිත්‍රා කීවාය. එය ඉක්මන් කරන්නැයි කී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ එන්නත්කරණ වැඩපිළිවෙළ කාර්යක්ෂම කරන ලෙසය. කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් 46 දාහකට තාම එන්නත් දීලා නෑ. ඒක හොයල බලලා එන්නත් කරන කටයුතු ඉවර කරන්න”‍ ජනාධිපතිවරයා කීවේය. මේ අතර වී මිල ස්ථාවර කිරීමේ කැබිනට් පත්‍රිකාව ද බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීය. මහින්දානන්ද යෝජනා කළේ බන්දුලට මේ ගැන කියන්නට මාධ්‍ය හමුවක් හෙටම කැඳවන්න වෙයි කියාය. ‘‘ඇයි හෙට කියන්නේ. මම දැනුත් ඒ වැඩේට තමා යන්නේ. මාධ්‍ය හමුව ලෑස්ති කරලයි තියෙන්නෙ”‍ බන්දුල කීවේය. මහින්දානන්ද බන්දුලට විහිලු‍වක් කරමින් කීවේ ‘‘ඔව් ඉතින් ඔබතුමාට මයික් එකකට කතා නොකර එක දවසක්වත් ඉන්න බැහැනේ”‍ යනුවෙනි. බන්දුල කිව්වේ මේවා කල්දාන්න පුළුවන් දේවල් නෙමෙයි. මං මේක ඉවර වුණු ගමන් මාධ්‍ය හමුව තියෙනවා”‍


පසුපෙළ මන්ත්‍රීවරු බැසිල් හමුවෙති


ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් අඟහරුවාදා හමුවූයේ අරලියගහ මන්දිරයේදී ය. බැසිල් මුදල් ඇමති වීමෙන් පසුව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම හමු වූ පළමු අවස්ථාව එය විය. මේ හමුව කැඳවා තිබුණේ මේ දිනවල සකස් කරගෙන යන අයවැය සම්බන්ධයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම වෙනුවෙනි. හිටපු මුදල් ඇමැති, අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ඊට සහභාගී විය. පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා විමසමින් බැසිල් කීවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිව සිටියදී අය-වැය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල අදහස් ලබා ගත් බව ය. ඒ ආකාරයට තමන් ද විවිධ පාර්ශ්වවල අදහස් හා යෝජනා ලබා ගන්නා බව ඔහු කීවේය. ඒ සමගම ඔහු ඉල්ලීමක් කළේ මෙතැන සාකච්ඡා වන දේවල් මාධ්‍ය හමුවේ ප්‍රකාශ නොකරන ලෙසය .


 

ආණ්ඩුව ගජ මිතුරන්ට සහන දුන්නා

 

 



හිතක් පපුවක් නැති ආණ්ඩුවක්:
විපක්ෂයෙන් චෝදනා


කොරෝනා ව්‍යසනය රට පුරා ව්‍යාප්ත වීමත් සමඟම මේ වන විට රටේ ඇති වී තිබෙන බරපතළ තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගය නායකයින්ගේ විශේෂ අවධානය යොමු විය. ආණ්ඩුව කොරෝනා පාලනයට ගෙන ඇති සියලු‍ ක්‍රියාමාර්ග මේ වන විට අසාර්ථක වී ඇති බව කාගේත් විශ්වාසය විය.


”‍සියලු‍ම කටයුතු දෙවියන්ට බාර දෙනවා කියලා කෙහෙළිය කියලා තියෙනවා”‍ කතාවට මුල පිරුවේ ගයන්ත කරුණාතිලක ය.


‘එහෙම නම් ඉතින් රටත් දෙවියන්ට බාර දීලා හිටියා නම් හරිනේ”‍
රාජිත සිනාසෙමින් කීවේය.


‘‘වෙන අය පැත්තකින් තියමුකෝ. ඡන්දෙ දුන්න හැට නව ලක්ෂයටත් මේ අය නිග්‍රහ කරනවනෙ”‍
විපක්ෂ නායක සජිත් කීවේය.


”‍ඇත්තටම නායකතුමා, මුල ඉඳලා කියපු සියල්ල අද වෙනකොට ඇත්ත වෙලා තියෙනවා. ඔබතුමා පේන කියනවා වගේ මේ දේවල් දවසින් දවස කීවා. හැබැයි කිසි දෙයක් ආණ්ඩුවේ කිසි කෙනෙක් තඹ සතේකට මායිම් කළේ නෑ’’ එහෙම කිව්වේ හරීන් ය.


”‍එ් විතරක් නෙවෙයි ඒ කියපු සේරටම අපහාස කළා. කොරෝනා එන්නත ගෙන්නන්න කියලා නායකතුමා කියනකොට ඒකට හිනා වෙච්ච ඇමැතිවරු හිටියා. හැබැයි ඒ අයටත් කොරෝනා හැදුනා”‍ එහෙම කිව්වේ මනුෂය.


“මට හිනා වුණාට කමක් නෑ. ඒකෙන් ජනතාවට හරි සෙතක් වුණා නම්. හැබැයි අද මුළු රටම මරණ බියෙන් ජීවත් වෙන්නේ. පහුගිය දවස්වල අපි ඉන්දියාවට කිව්වා විශාලාව කියලා. මේ වෙනකොට අපේ රටත් විශාලාවක් වෙලා තියෙන්නෙ. දවසින් දවස මරණ ගාන වැඩි වෙලා. මේවා මරණ නෙමෙයි මේවා ඝාතන”‍ සජිත් කීවේය.


කොරෝනා හේතුවෙන් කුඩා දරුවන් පිරිසක් මිය යාම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු විය.
“අද වෙනකොට මේ වයිරසය බොහොම දරුණු තැනකට ඇවිත් ඉවරයි. හැබැයි මොන තරම් මේක උග්‍ර වෙලා තිබුණත් ආණ්ඩුවට කිසිම ගානක් නෑ”‍ රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


‘‘හෙට අනිද්දා ප්‍රවෘත්ති සාකච්ඡාවලට ඇවිල්ලා ඉන්දියාවේ වගේ දවසකට දෙතුන් දාහක් මැරෙන්නෙ නෑ කියලා කියන්නත් බැරි නෑ. ඉන්දියාව කියන්නේ ලංකාවට වඩා 60 ගුණයකටත් වඩා විශාල රටක් කියන එක ඒ අයට අදාළ නෑ .”‍ නලින් බණ්ඩාර එහෙම කීවේ ය.


‘‘ලෝකෙ ගොඩක් රටවල් තමන්ගේ පුරවැසියන්ට එන්නත් මාත්‍රා කීපයක් ස්ටොක් කරල තියෙනවා. ඒ රටවල්වල එන්නත් අතිරික්තයක් පවා තියෙනවා. අපේ රටේ මැරුණ අයගෙන් සීයට අසූවක් අවුරුදු 60 ඉක්මවපු අය. ඒ කියන්නේ ආණ්ඩුව ඉන්නේ ඒ අය මැරුණත් කමක් නෑ කියන ගානට. ආණ්ඩුව කඩිනමින් තුන්වෙනි මාත්‍රාව ගෙනාවේ නැත්නම් මේ ව්‍යසනය දෙගුණ තෙගුණ වෙන එක නවත්තන්න බෑ”‍ සජිත් කීවේය.
‘‘එක පැත්තකින් කොරෝනා. අනෙක් පැත්තෙන් ගෑස් නෑ. බඩු මිල අහස උසට ගිහින්”‍


අශෝක් අබේසිංහ එහෙම කියද්දී


‘‘කිරිපිටි ගන්නත් පෝලිමේ ඉන්න වෙලා”‍යැයි කීවේ හෙක්ටර් අප්පුහාමි ය.


‘‘බඩු මිල පාලනය කරන්න නිකුත් කරනු ලැබූ ඊනියා ගැසට් නිවේදනයි චක්‍රලේඛයි අමු අමුවේ උල්ලංඝනය වෙලා. ගමන වරද්ද ගන්නවා කියන එක, මුලින්ම පෙනුණේ ආණ්ඩුව ආව ගමන්ම ගජ මිතුරන්ට බදු සහන දුන්න එකෙන්.”‍ සජිත් පැහැදිලි කළේය.


‘‘මේ තියෙන තත්ත්වෙත් එක්ක කරන්න තියෙන එකම විකල්පය රට වහන එක. සියලු‍ම විශේෂඥයෝ කියන්නේ ඒක.”‍ රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


‘‘මේ කියන කිසි දෙයක් ආණ්ඩුවනම් අහන්නේ නෑ. ඒකට අඩු තරමේ හිතක් පපුවක් තියෙන්න ඕනෑ”‍ මරික්කාර් එහෙම කිව්වේය.


‘‘දැන් කරන්න තියෙන එකම දේ වෙන මොකක්වත් නෙවෙයි, ආණ්ඩුවෙන් බේරෙන්න අපි lock down වෙමු කියලා”‍


ජනතාව තීන්දු කරන එක හරීන් කීවේය.


සජබෙන් එන අලු‍ත් ”‍බලවේගය”‍මොකක්ද?


සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය සහ විපක්ෂ නායක මාධ්‍ය අංශය මේ දිනවල විශේෂ කටයුත්තක් වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙමින් සිටී.


ඒ පක්ෂයේ නිල පුවත්පත, ඊට සමගාමී වෙබ් අඩවිය සහ යූ ටියුබ් නාළිකාව එළිදැක්වීම වෙනුවෙන් ය.
මේ විපක්ෂ නායක සජිත් ගේ මූලික සංකල්පයක් යටතේ ක්‍රියාත්මක වන අතර වැඩි බරක් අදින්නේ හිටපු ඇමැති ඉමිතියාස් බාකීර් මාකාර් ය.


පුවත්පතේ නම ‘‘බලවේගය”‍ය. ඊට සමගාමීව දෙමළ පුවත්පත ”‍මක්කල් ශක්ති”‍නම් වෙයි.
‘‘කොහොමද පත්තරේ වැඩකටයුතු?”‍ සජිත් ඉමිටියාස්ගෙන් ඇසුවේය.


‘‘වැඩ ටික හොඳින් යනවා. කර්තෘ මණ්ඩලයක් විදිහට වැඩ ටික කරනවා. ජ්‍යෙෂ්ඨයෝ කණ්ඩායමක් වගේම තරුණයෝ කීප දෙනෙක්ම වැඬේ ඉන්නවා. අපි හොඳ වැඩක් කරනවා”‍ ඉම්තියාස් පැහැදිලි කළේය.
‘‘සාම්ප්‍රදායික පක්ෂ වලින් කරන පත්තර ආදර්ශයට ගන්න එපා. ඒවායෙන් වෙන්නේ ප්‍රතිවාදියාට මඩ ගහන එක. අපේ පත්තරේ එහෙම නොවී ඒ අයටත් කියවන්න පුලු‍වන් විදිහේ නවීන පත්තරයක් කරමු. හොඳ ආදර්ශයක් අපි රටට ලබා දෙමු. අපේ බුද්ධි මණ්ඩපයේ සහයත් මේ වැ​ඩේට ගන්න. ‘‘සජිත් කීවේය.
‘‘කීවා වගේම ඉම්තියාස් හා මහලේකම් රංජිත් ඇතුලු‍ පිරිස දින කිහිපයක් සූම් තාක්ෂණය ඔස්සේ පුවත්පතේ කටයුතු පිළිබඳව විමසා බැලූහ.


‘‘16 වෙනිදට බලවේගය අපි එළිදක්වනවා. නායකතුමා දිනය දුන්නා”‍
ඉම්තියාස් කතෘ මණ්ඩලයට කීවේය.


ඒ අනුව ලබන සදුදා “බලවේගය”‍එළි දකින්නට නියමිතය.


 

ගෑස් සපයන එක සමාගමේ වගකීමක්

 

 



ආණ්ඩුවේ වැඩ නිරීක්ෂණයට
එජාපයෙන් නීතිඥ කමිටුවක්


රජය විසින් සිදුකරනු ලබන මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ව්‍යවස්ථානුකූල නොවන කටයුතු හා නීති විරෝධි කටයුතු අධීක්ෂණය කිරීම සඳහා නීතිඥ කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ පියවර ගත්තේය.


පක්ෂයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥයන්ගෙන් සමන්විත මෙම කමිටුවට විශේෂ උපදෙස් ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ නීති විරෝධි ලෙස සිදුකරන කටයුතු වෙනුවෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා ලෙසටය.


මීට අමතරව පක්ෂයේ හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා හා සමන් රත්නප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති කමිටුවක් ද පිහිටු වීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේය. විවිධ අංශවල වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් උද්ගත වන ගැටලු හා අරගලවලට මැදිහත් වන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා සමන් රත්නප්‍රිය මහතාට උපදෙස් ලබා දුන්නේය.


ගිය සතියේ දී එජාප කළමනාකරණ කමිටුව රැස් වූ අවස්ථාවේ දී පක්ෂය ඇතුළත පවතින විනය පරීක්ෂණ කඩිනමින් පවත්වා ඒ ඒ පුද්ගලයන් සඳහා වන තීරණ පැහැදිළිව ඉක්මනින් ප්‍රකාශයට පත් කරන ලෙසට ද ඒ මහතා නියම කළේය.


දිනෙන් දින ඉහළ යන කොවිඩ් වසංගත රැල්ල සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් රජයෙන් ඉල්ලීමක් කළ එක්සත් ජාතික පක්ෂ නායකයා ප්‍රකාශ කර සිටියේ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලතල අමාත්‍ය මණ්ඩලයට පවරා ගතයුතු බවයි. මීට අමතරව ව්‍යසන සභාවක් පිහිටුවීමට වහාම පියවර ගත යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය. සැප්තැම්බර් 6 වැනි දිනට යෙ දී ඇති පක්ෂ සම්මේලනය සෞඛ්‍ය උපදෙස් මත පැවැත්වීමට සැළසුම් කරන ලෙසට පක්ෂයේ ලේකම් රංග බණ්ඩාර මහතාට උපදෙස් දුන්නේය.


මේ අතර පසුගිය සති අන්තයේ බදුල්ලේ සංචාරය කළ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඉන්පසුව දින කීපයක් දියතලාවේ ගත කළේය. කොළඹට පැමිණි ඔහු සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති ‘මහජන සභාවට ද’ සහභාගි විය. පක්ෂ පුවත්පත වූ ‘සියරට’ පත්‍රයේ අගෝස්තු කලාපය නිකුත් කිරීම පිළිබඳව සමන් රත්නප්‍රිය මහතාට උපදෙස් ලබා දුන්නේය.

බ්‍රහස්පතින්ද‌ා සවස පැවැති පක්ෂයේ කෘත්‍යාධිකාරි රැස්වීමට ද රුවන් විජයවර්ධන මහතා සහභාගි විය.

 

 

-ගජබා-