කෙන්යාවේ ජනපති ලංකාවේ ඉංජිනේරුවන් ගැන ජනපති ගෝඨාභයට කී කතාව


ඩොලර් ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් සොයා ගැනීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ගිය සතියේ ඉන්දියාවේ සංචාරය කළේය. ඉන්දියාවෙන් ඒ සඳහා යම් උදව්වක් ලැබුණද එය ප්‍රශ්නයට නිශ්චිත උත්තරයක් නොවුණු බව පැහැදිලිය. 


ඇමරිකන් ඩොලර් ප්‍රශ්නය විසඳාගැනීම සඳහා ක්ෂණික පියවරක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ කතාබහක් ඇතිවී තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ද ආණ්ඩුවේ ද එකඟතාවක් නැත. පිරිසක් කියා සිටින්නේ ආණ්ඩුව මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ඩොලර් ප්‍රශ්නය විසඳාගැනීම සඳහා ණය මුදලක් ලබාගත යුතු බවය. තවත් පිරිසක් සිටින්නේ ඊට විරුද්ධ අදහසකය. මූල්‍ය තත්ත්වය සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කරන්නට ගිය සඳුදා පැවති කැබිනට් රැස්වීමට අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස්.ආර්. ආටිගල ද පැමිණ සිටියහ. එහෙත් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් නොලැබුණේ කාරණා දෙකක් හේතුවෙනි. එකක් කැබිනට් පත්‍රිකා ගැන සාකච්ඡා කරන්නට බොහෝ වේලාවක් ගත වීමය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද කැබිනට් රැස්වීමට සහභාගී වී නොසිටියේය. කැබිනට් මණ්ඩලය රැස්වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. 

 


 

 

අගමැති පොහොට්ටු මන්ත්‍රීන්ගේ රැස්වීමක් කැඳවයි 

 

 


 

 

මනූෂලා ගහද්දී ආණ්ඩුවට රිදුනා

 

 


 


එදින මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට තවත් විශේෂිත පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. ඒ යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීම සදහා අත්සන් කරන ලද ගිවිසුමය. මේ ගිවිසුම රටේ මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙන ගිවිසුමකි. ගිවිසුමට එරෙහිව වෘත්තිය සමිති හා දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව කිහිපයක් ද අධිකරණයට ගොස් ඇත. එසේ තිබියදී ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද වෙලාවක් නොලැබුණේ කැබිනට් පත්‍රිකා සාකච්ඡා කිරීමට බොහෝ වෙලාවක් ගත වූ බැවිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සති අන්තයේ අබුඩාබිවල පැවති ඉන්දියානු කලාප සාගර සමුළුව අමතන්නට ගියේය. විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද ජනාධිපතිවරයා සමඟ මේ ගමනට එක්ව සිටියේය. පාකිස්තානයේ කර්මාන්තශාලාවක සාමාන්‍යාධිකාරිවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර නමැති අය ඝාතනයට ලක් වූ පුවත ජනාධිපතිවරයාට අසන්නට ලැබුණේ මේ අතරවාරයේ ය . එය ලංකාව පාකිස්තානය පමණක් නොව මුළු ලෝකයම කම්පාවට පත්කළ සිදුවීමකි. සිද්ධිය ගැන වාර්තාවීමත් සමඟ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කතා කළේය. ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කළ ඉම්රාන් ඛාන් සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට කඩිනමින්ම නීතිය ක්‍රියාත්මක කර උපරිම දඬුවම් ලබාදෙන බවට සහතික විය. ඒ සමගම පාකිස්තාන විදේශ ඇමැතිවරයා ද විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට කතාකර සිද්ධිය ගැන කනගාටුව පළ කළේය. අපරාධකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙන බවට ඉම්රාන් ඛාන් සහතික වී ඇති බව ඔහු ජීඑල්ට කීවේය.


අබුඩාබි සංචාරය නිමවා ජනාධිපතිවරයා ඉරිදා දිවයිනට පැමිණි අතර, විදුලි ඉංජිනේරුවන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය නරක අතට හැරෙමින් තිබුණි. නොරොච්චෝලේ බලාගාරය අක්‍රීයවීමෙන් රටපුරා පැය හයක් පමණ විදුලිය නොමැති වූ අතර, එය යථා තත්ත්වයට පත්වන තෙක් පැය කිහිපයක් විදුලිය කපන්නට ද සිදුවිය. මේ තත්ත්වය හමුවේ අර්බුදය විසඳන්නට ජනාධිපතිවරයා විදුලි ඉංජිනේරු සංගම්වල නියෝජිතයන් සඳුදා හමුවිය. ඇමැති ගාමිණී ලොකුගේද අමාත්‍යාංශයේ ලේකම්වරයා ද විදුලි ඉංජිනේරු සංගම් නියෝජිතයෝ පිරිසක් ද ඊට සහභාගි වූහ. ඉතා අසීරු තත්ත්වයක තිබෙන බැවින්, රට ඉදිරියට ගෙන යාම සඳහා සියලු‍ දෙනාගේ සහාය ලබා දෙන්නැයි ජනාධිපතිවරයා ඉංජිනේරු සංගම්වලින් ඉල්ලීමක් කළේය. එ් සමගම ඔහු අපූරු කතාවක් කීවේය. ‘‘මම ඔස්ලෝ ගිය වෙලාවේ කෙන්යාවේ ජනාධිපතිතුමා හම්බවුණා. ඔහු කිව්වා ඒ රටේ විදුලි අවශ්‍යතාවෙන් සියයට අසූවක්ම පුනර්ජනනීය බල ශක්තිය මගින් ලබාගන්නේ කියලා. ඒක නෙමේ හොඳම කතාව. ඒ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය අද සාර්ථකවෙලා තියෙන්නෙ ඔබතුමාගේ රටේ ඉංජිනේරුවන් නිසා කියලා එතුමා කිව්වා. ඒ කිව්වේ අපේ රටේ ඉංජිනේරුවන් ගැන. එතුමා එහෙම කිව්වම මට ලොකු සතුටක් ඇති වුණා. ඉන්ජිනේරුවො එහෙ ගිහිල්ලා පුනර්ජනනීය බලශක්තිය හදලා දෙනවා. ඇයි අපේ රටේත් ඒක කරන්න බැරි කියලා මට හිතුනා. ඊට වැඩිය දක්ෂ අය මෙහෙ ඉන්නවා. ඔයාලටත් ඒක කරන්ඩ පුළුවන්’’ ජනාධිපතිවරයා කීවේය.


අගමැති පොහොට්ටු මන්ත්‍රී හමුව


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඉකුත් සතියේ සෙනසුරාදා හැන්දෑවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එය පැවැත්වුණේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ හමුවක් වෙනම කැඳවූ පළමු අවස්ථාව එය විය. එම හමුව ලබාගන්නට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, ජගත් කුමාර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් උත්සාහ ගත්හ. මේ හමුවට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටුවේ ඇමැතිවරු පිරිසක්ද සහභාගි වූහ. මැති ඇමැතිවරුන්ට ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණු අතර මන්ත්‍රීවරු තමන්ට ඇති පෞද්ගලික හා රාජකාරිමය ගැටලු‍ ගැන කරුණු ඉදිරිපත් කළහ. මේ අතර ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ද අවස්ථා දෙකකදී නැගී සිටිමින් සිය දුක්ගැනවිලි ඉදිරිපත් කළේ කඳුළු සලමිනි. ඇය කියා සිටියේ ඇයට දිගින් දිගටම අසාධාරණ සිදු වූ බවය. ඒකාබද්ධ විපක්ෂයේ ආරම්භයේ සිටම සිටි පනස් තුන්දෙනාගෙන් පනස් දෙදෙනෙකුට තනතුරු ලැබෙද්දී තමාට පමණක් ඇමැති ධුරයක් නො ලැබුණු බව ඇය කීවාය . එම ප්‍රශ්නය නිසා ආතතියද හැදී බෙහෙත් ගනිමින් සිටින බවද ඇය කීවාය. එසේ කියා ඇය සාකච්ඡාව අවසන් වන්නටත් පෙර පිටව ගියේ රාත්‍රී භෝජන සංග්‍රහයට ද නොඉඳය.


මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂය. ‘‘ප්‍රශ්න තියෙන බව මම දන්නවා. ගහන අයත් මේ වෙලාවේ වැඩිපුරම ගහන්නෙ මට. ඒවා ගණන් ගන්න හොඳ නෑ. ජනාධිපතිවරණය වෙලාවේ අපි දින්නේ ඔක්කොම එකට එකතු කරගෙන. ජනාධිපතිවරණය වෙලාවේ මෛත්‍රිපාල සිරිසේන මහත්තය ස්වාධීන වුණා. එතුමා සභාපතිකමෙනුත් අයින් වෙලා වැඩබලන සභාපති කෙනෙකුත් පත් කරා. තමුන්නාන්සේලා හැම කෙනාටමත් ප්‍රශ්න තියෙන බව මම දන්නවා . නමුත් අපි එකට වැඩ කරන්න ඕනෑ ”‍ ඔහු කීවේය . අදහස් ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම කීවේද රටේ තියෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළයුතු බවය. ජනතාව දැනුවත් කරන්නට නම් , ඒ ගැන මන්ත්‍රීවරුන් දැනුවත්ව සිටිය යුතු බවද ඔවුහු කීහ. සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් අරලියගහ මන්දිරයෙන් පිරිනැමිණි.


ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක හිමිකරුවකුගේ ඥාති දියණියකගේ විවාහ මංගල උත්සවයක් ඉකුත් සතියේ වාද්දුව ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක පැවැත්විණි. දේශපාලනඥයන් වශයෙන් ඊට සහභාගි වී සිටියේ සිවු දෙනෙකි. ඒ සිව් දෙනාද ඊට සහභාගි වූයේ දේශපාලනඥයන් වශයෙන් නොව ඔහුගේ පෞද්ගලික මිතුරන් වශයෙනි. එක්කෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු පැමිණ සිටියේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ද සමඟය. අනෙක් කෙනා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු කල් වේලා ඇතිවම පැමිණ පැය කිහිපයක් තිස්සේ එහි රැඳී සිටියේය අනෙක් දෙදෙනා ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිටපු ඇමතිවරයාය. එය දේශපාලන කතාබහවලින් තොර හමුවක් විය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආලින්දයේදී විපක්ෂයේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා හමුවිය. ආණ්ඩුවේ සිටියත් විපක්ෂයෙ හිටියත් දෙන්නට දෙන්නා දිගු කලක සිට යාළුවෝය.
ඒ යාළුකම මතක් කරමින් වෙල්ගම ජනක හඳුන්වා දුන්නේ අපූරු කතාවක් ද කියමිනි. ‘‘ජනක ඇමැතිතුමා ඉන්නව නේද. මම වගේ නෙවෙයි. හොඳ පවුල් ජීවිතයක් ගෙවනවා’’ යැයි වෙල්ගම කීවේ හයියෙන් හිනා වෙමිනි.


‘ඔව් සර්, ඒක නම් ඇත්ත, එතුමා පාර්ලිමේන්තුවේ කැන්ටින් එකෙන් කන්නෙත් නෑ නේ. කන්නෙත් නෝනත් එක්කනෙ’. එහි සිටි සේවකයෙක් කීවේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඉදිරි පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ ඉලක්ක කර ගනිමින් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කර තිබේ. ඒ යටතේ අලු‍තින් සංවිධායකවරුන් පත් කරන්නට ද මේ වනවිට පියවර ගෙන ඇත. ඒ සඳහා නාම යෝජනා කමිටුවක්ද පත්කර තිබේ. පසුගියදා මේ සඳහා සම්මුඛ පරීක්ෂණ ද පැවැති අතර, පරීක්ෂණවලින් තෝරා ගත් පිරිස සම්බන්ධයෙන් නාමයෝජනා මණ්ඩලය සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අඟහරුවාදා හැන්දෑවේ මහගමසේකර මාවත නිල නිවසේ දී පැවැත්විණි. දයාසිරි ජයසේකර , මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ ශාන් විජයලාල් ද සිල්වා යන සිව්දෙනා ඊට සහභාගී වූ අතර නාමයෝජනා මණ්ඩලයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වෙනත් කටයුත්තක් නිසා සහභාගී නොවීය.


දිස්ත්‍රික්කවලින් පත් කරන්න යන ආසන සංවිධායකවරුන් ගැන එහිදී සාකච්ඡා වූ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන් පත් කිරීම ගැන සාකච්ඡා කිරීමට සාකච්ඡාව අතරවාරයේ දී ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමැතිවරයා ද එම ස්ථානයට කැඳවනු ලැබීය. සංවිධායකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණවලදී ඉදිරි පළාත් සභා හා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන්නැයි හිටපු ජනාධිපතිවරයා නාම යෝජනා මණ්ඩලයට උපදෙස් දුන්නේය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණියේ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට සහභාගිවීම වෙනුවෙනි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට යන අතරේදී ඇමතිවරුන් සමඟ ද කතාබහ කරමින් ගියේය. ‘‘මොනවද ඇතුළේ අලු‍ත් නිවුස්’’ ජනාධිපතිවරයා අහද්දි ඇමැතිවරුන් කීවේ සමගි බලවේගයේ මන්ත්‍රීවරුන් ආරක්ෂාව නෑ කියමින් පාර්ලිමේන්තු විවාදය වර්ජනය කර ඇති බවය. මහින්දානන්ද අලු‍ත්ගමගේ ඇමැතිවරයා කීවේ ‘විවාදය වර්ජනය කළාට දවල්ට ඇවිල්ල හොඳට කාලා නම් යනවා’ යනුවෙනි.


මනූෂගේ කතාවට ආණ්ඩුවෙන් බාධා


පසුගිය සතියේදී පාර්ලිමේන්තුව උණුසුම් වූයේ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාට පහරදීමට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් සූදානම්වීමත් සමග විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලු‍වක් මතුවීම නිසාය.


පසුගිය සිකුරාදා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගනිමින් තිබුණි. සමගි ජනබලවේගය වෙනුවෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරම්භක කතාව කළ අතර අවසන් කතාව කිරීමට නියමිතව සිටියේ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාය. මනුෂ කතාව ආරම්භ කරන විට කතානායකවරයා සභාවේ අනුමැතිය ගත්තේ නියමිත කාලයෙන් පසුවත් පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමටය. ඒ අනුව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ මැදිහත්වීමෙන් මනුෂට විනාඩි දහ අටක කාලයක් ලබා දුන්නේය.


එහෙත් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පසුව නැගීසිටිමින් මනුෂගේ කතාව නතර කරන ලෙස ඉල්ලා සිටි විට කතානායකත් තමන්ගේ තීරණය රිවස් කරගනිමින් මනුෂගේ කතාව නතර කරන ලෙස දැනුම් දුන් බව සමගි ජන බලවේග මන්ත්‍රීවරු කියති. එහිදී මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ජීවිතය ගැනද සමහරු කෑ ගැසූහ.


කතානායකවරයා හදිසියේම තමන්ගේ කතාව නතර කිරීමත් සමග මනුෂ පාර්ලිමේන්තු ලේකම්වරුන් සිටින තැනට ගියේ තමන්ගේ කතාව හදිසියේ නතර කළේ කුමන හේතුවක් නිසාදැයි විමසීමටය. එතැනට වේගයෙන් ජොන්ස්ටන් ඇමැතිවරයා පැමිණ ‘‘උඹ මගේ පුද්ගලික ජීවිතය ගැන කතා කරන්නේ කොහොමද’’ යනුවෙන් මනුෂගෙන් ඇසූ බව ඔවුහු කියති. ඒ සමගම කංචන විජේසේකර රාජ්‍ය ඇමැතිවරයා එතැනට පැමිණ මනුෂ තල්ලු‍ කළේ ගැටුමකට අරඅඳිමිනි. එතැන සිටි හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයාත් පාර්ලිමේන්තු සේවකයෙකුත් නොවන්නට මනුෂ කතානායක පුටුව ළඟ ඇදවැ​ෙටන්නට තිබුණි. පසුදාද මේ ප්‍රශ්නය දිගටම ඇදී ගියේය.
‘‘පාර්ලිමේන්තුව තියෙන්නේ අදහස්වලින් ගහගන්න මිසක් අතින් පයින් ගහගන්න නෙමෙයි. මම ඒ අය මගහැරලා යන්නම්’’ කී මනුෂ කතානායකවරයා පිටව යන දොරටුවෙන් පිටත්ව තුන්වැනි මහලේ පිහිටි විපක්ෂනායක කාර්යාලයට ගියේය.


විපක්ෂනායක ලේකම් රවි ජයවර්ධන ඇතුළු පිරිසක් එතැන සිටියහ. විපක්ෂනායක කාර්යාලයේ සිටිමින්ම සමගි ජනබලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට ඔහු දුරකතන ඇමතුමක් ගත්තේය. ඇතිවූ සිද්ධිය ඔහු පැහැදිළි කළේය.


මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප‍්‍රනාන්දු, එස්.එම්. මරික්කාර් ඇතුළු කණ්ඩායම දුරකතනයෙන් කතා කරමින් ගත යුතු ඉදිරි පියවර ගැන සාකච්ඡා කළහ. ඒ වන විට කිරිඇල්ල මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිස පාර්ලිමේන්තුව තුළ සිටි අතර ඔවුන් සමගත් සාකච්ඡා කරමින් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණයකට පැමිණියේය.


‘‘මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු අපි පාර්ලිමේන්තුව වර්ජනය කරනවා’’ කිරිඇල්ල කියුවේ සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් එළියට රැගෙන එමිනි.


පාර්ලිමේන්තු පිවිසුම අසලට පැමිණි මන්ත‍්‍රීවරුන් විරෝධතාවයක් දක්වමින් පිටත්ව ගියේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පාරලිමේන්තුව වර්ජනය කරන බව පවසමිනි.


සූම් සාකච්ඡා


පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණය ගැනීමෙන් පසුව සජිත් ඇතුළු මන්ත‍්‍රීවරු සූම් සාකච්ඡාවක් පවත්වමින් ගන්නා ඉදිරි පියවර ගැන සාකච්ඡා කළහ.


‘‘සඳුදාට තියෙන්නේ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂය. මේ ආණ්ඩුව ජනතාවට නිවාස ලබාදෙනවා කියලා කරපු බොරුව අපි අනාවරණය කරන්න හිටියා. ඒ වෙනුවෙන් අපි වෙනත් අවස්ථාවක් ගන්න ඕනැ’’ ඉමිතියාස් බාකීර් මාකාර් මන්තී‍්‍රවරයා යෝජනා කළේය.


‘‘අපි විපක්ෂයේ පාර්ලිමේන්තුව විදියට අපේ අදහස් දිරිපත් කරන්න සමගි ජන බලවේගය කාර්යාලයේදී අඛණ්ඩ ප‍්‍රවෘත්ති සාකච්ඡා පවත්වමු’’ හරින් යෝජනා කළේය.


ඒ අනුව පාර්ලිමේන්තුව වර්ජනය කළ මන්ත‍්‍රීවරු සමගි ජනබලවේගය කාර්යාලයේ සිට සිය අදහස් ඉදිරිපත් කිරීමට තීරණය කළහ. එහෙත් එයට පෙර පාර්ලිමේන්තුව ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක් දැක්වීමටද එම සූම් සාකච්ඡාවේදී තීරණය විය.


‘‘මම සේරම විරෝධතා පුවරු ටික එවන්නම්’’ හරින් පැවසුවේය.


ඒ අනුව සඳුදා උදෑසන මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තු භෝජනාගාරයට ගොස් එක්වී විරෝධතාවයට පැමිණීමට සාකච්ඡා විය. එතැන් සිට මන්ත‍්‍රීවරුන් පහළට එන අතරවාරයේදී අගමැති මහින්ද රාජපක්ෂ තමන්ගේ මෝටර් රථයෙන් බැස ඉදිරියට පැමිණියේය. ඔහු සාමාන්‍යයෙන් පැමිණෙන්නේ මන්ත‍්‍රී පිවිසුමෙන් නොව කතානායකවරයා පාර්ලිමේන්තුවට පිවිසෙන ප‍්‍රධාන දොරටුවෙන්ය.


‘‘විරෝධතාවයට තවත් ටිකක් එකතු කරගන්න ඕනෑ’’ මහින්ද තමන්ගේ සුදුපුරුදු දේශපාලනය ඉදිරියට ගත්තේය.


‘‘අපේ ඉන්න මන්ත‍්‍රීවරු හැමෝම මෙතැන ඉන්නවා’’ ඉමිතියාස් කෙටියෙන් පිළිතුරක් දුන්නේය.


‘‘අපිට ඕනෑ නම් පොහොට්ටුවේ කළකිරිලා ඉන්න අයටත් එන්න කියන්න තිබුණා. හැබැයි අපි ජනතාව අපිට දුන්න මන්ත‍්‍රීවරුන්ගෙන් තමයි මේ දේවල් කරන්නේ’’ මහින්ද ගිය පසු මන්ත‍්‍රීවරයෙක් කීවේය.


පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාව දැක්වූ මන්ත‍්‍රීවරුන් ගියේ සමගි ජනබලවේගය කාර්යාලටය. පාර්ලිමේන්තුවේදී දැක්වීමට නියමිතව තිබූ අදහස් සියල්ල මාධ්‍ය ඉදිරියේ ඉදිරිපත් කළේ ආණ්ඩුවේ නිවාස වැඩපිළිවෙළ විවේචනය කරමිනි.


අයවැයට සජබ මුහුණ දුන් හැටි


අයවැය විවාදයට මුහුණ දීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පුළුල් වැඩසටහන් මාලාවක් දියත් කොට තිබුණි.


විපක්ෂනායක කාර්යාලයේ මැදිහත්වීමෙන් මේ කටයුතු සිදු වූ අතර ඒ සියල්ලට අවශ්‍ය උපදෙස් ලබාදීමට සජිත් අමතක නොකළේය.


ඒ ඒ විෂයයන්ට අදාළ කමිටු වෙන් කොට ඒවාට මන්ත්‍රීවරුන් නම් කොට අදාළ විෂයයන් සම්බන්ධ නිපුණතාව සහ කුසලතාව ඇති වෘත්තීයවේදීන් සහ විශේෂඥයින් කැඳවා දීර්ඝ වශයෙන් උපදෙස් ලබාදෙමින් සාරවත් අයවැය විවාද‍යකට අවශ්‍ය කරන කටයුතු විපක්ෂනායක ලේකම් රවි ජයවර්ධනගේ සංවිධායකත්වයෙන් සම්පාදනය විය.


ඒ සියලු‍ වැඩසටහන්වලට මන්ත්‍රීවරුන් ඉතා උනන්දුවෙන් සහභාගි වූහ.


“ගිය අවුරුද්දේ අය වැය විවාදයත් ආණ්ඩුව ෆේල් වුණා. මෙදාත් ආණ්ඩුවට මුහුණ දෙන්න බැරිවෙච්ච නිසා කළේ අතින් පයින් දිනන්න ට්‍රයි කරපු එක”‍ මහලේකම් රංජිත් කීවේය.


‘‘මනුෂලා දිගට හරහට ගහනකොට ආණ්ඩුවට රිදුනා. අපේ සියලු‍ම මන්ත්‍රීවරු හොඳටම තමන්ගේ වගකීම ඉටු කළා”‍ සජිත් කීවේ සිය කණ්ඩායමට ස්තූති කරමිනි.


සජිත් - ප‍්‍රියන්ත කුමාරගේ ගෙදරට


පකිස්තානයේදී අන්තවාදීන්ගේ පහරකෑමට ලක්ව මියගිය ප‍්‍රියන්ත කුමාරගේ නිවසට සජිත් ගියේ සඳුදා උදෑසනය. ඔහුගේ බිරිඳට සහ දරුවන්ට සිය කණගාටුව ප‍්‍රකාශ කළ ඔහු ප‍්‍රියන්ත වෙනුවෙන් කළ හැකි සියලු‍ම දේ කිරීමට සහතිකයක් දුන්නේය.


‘‘ප‍්‍රියන්ත මහත්මයාගේ ඝාතකයන්ට එරෙහිව පකිස්ථාන ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ ඝාතනය සමගි ජනබලවේගය හෙළා දකිනවා විතරක් නෙමෙයි ඔහුට සාධාරණය ඉටු කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නවා’’ සජිත් සහතිකයක් දුන්නේය.


එජාප නායකයාත් ඉන්දීය සාගර සමුළුවට


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ ඉන්දියානු සාගර සමුළුවට සහභාගි වීම සඳහා අබුඩාබියට ගියේය. මෙම සමුළුවේ සභාපතිත්වය දැරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය.
රනිල් වික්‍රමසිංහ මහතා සමුළුව ඇමතුවේ ඉකුත් 5 වැනිදාය. සමුළුවේ තේමාව වී තිබුණේ ‘‘පරිසරය, ආර්ථිකය හා වසංගතයයි’’, රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශනය පවත්වද්දී මූලාසනයේ සිටි​යේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. රනිල් වික්‍රමසිංහ මහතා 2016 සිට 2019 දක්වා මෙම සමුළුවේ සභාපතිවරයා වශයෙන් සිටියේය.


මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා කළ හරවත් දේශනය දැඩි ප්‍රසාදයට ලක්විය. ආර්ථික කම්පනවලට අමතරව දේශගුණික විපර්යාසවලින් ආසියාවට ​ෙවන පාඩුව අපගේ බටහිර සගයන්ට වඩා පස් හය ගුණයකින් වැඩි බව කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා ගුවන්යානා වාහක, න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සහ 5 වැනි පරම්පරාවේ සටන් ගුවන්යානා කෙරෙහි අවධානය යොමු කරමින් ආසියාව අවි තරගයක ආරම්භක රේඛාවේ සිටින බව කීය.


මෙම සංචාරයේදී සිංගප්පූරුවේ හා ඉන්දියාවේ රජයේ මැති ඇමැතිවරුන් කීපදෙනෙක්ද හමුවී සාකච්ඡා කළේය. රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූයේ සමුළු සාමාජිකයන් සඳහා පැවති දිවා භෝජන සංග්‍රහයේදීය.


ඉකුත් අඟහරුවාදා පෙරවරු​වේ දිවයිනට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගි විය. බදාදා දිනයේත් පාර්ලිමේන්තුවේ විවාදයට සහභාගි වූ ඔහු පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක්ද හමුවිය.


ජනතාව අතරට පක්ෂයේ පණිවුඩය ගෙනයාම වෙනුවෙන් අලුත් ක්‍රම උපයෝගී කර ගන්නා ලෙසටත් තරුණ කණ්ඩායම් මෙන්ම ආණ්ඩුව එපා වූ කොටස් පක්ෂයට සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් වැඩසටහන් රැසක් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කළේය. ඒ අනුව ජනවාරි දෙවැනි සතියේදී සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විශේෂ වැඩ සටහන් කීපයක් පැවැත්වීමට ද නියමිතය.


ලබන වසර රටේ ජනතාවට බරපතළ ලෙසින් දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් පසුගිය සතියේදී හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කළේය.


පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සංවිධානය කිරීම සඳහා මෙම පක්ෂ ක්‍රියාකාරී සාක්චඡාව පැවැත්වුණි. ලබන ජනවාරි මාසයේ සිට පක්ෂයේ තරුණ පිරිසට      වි​ශේෂ ස්ථානයක් ලබා දෙමින් පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය.


මාරි අලස් ප්‍රනාන්දුගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට්හිදී විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ රුවන්ට එහිදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද හමු විය.
සංදිත් සමරසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් වූ උපාලි ගුණසේකර මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයටද රුවන් විජයවර්ධන මහතා සහභාගි වූයේය.

 

-ගජබා-