කැබිනට් රැස්වීමේ කතා එළියට ගියාට ඇමැතින්ගේ නෝක්කාඩු


 

  • පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසකගේ සහභාගීත්වයෙන් සුපිරි මංගල උත්සවයක් ගිය සතියේ කොළඹ දී පැවැත්විණි. ඒ ප්‍රකට දේශපාලනඥයකු මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයකු වන තිලංග සුමතිපාල මහතාගේ වැඩිමහල් පුත්‍රයාගේ මංගල උත්සවයයි. දින තුනක් තිස්සේ පැවැති මංගල උත්සවයට දේශපාලන කරළියේ නිතර හැප්පෙන ගැටෙන දේශපාලනඥයෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

ඩොලර් අර්බුදය, ඉන්ධන අර්බුදය සහ විදුලි අර්බුදය ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධාන අභියෝග තුනක් බවට පත්ව ඇත. ඩොලර් අර්බුදයත් සමග ඉන්ධන නොමැතිවීම හේතුවෙන් විදුලිය කැපීමට ද පසුගිය සතියේ සූදානම් විය. එහෙත් එය අවසන් මොහොතේ තාවකාලිකව හෝ නතර කර ගන්නට හැකිවූයේ දින කිහිපයකට ඉන්ධන ලබාදෙන්නට උදය ගම්මන්පිල ඇමැතිවරයා එකඟ වීමත්, ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් සොයාදීමේ වගකීම මහබැංකුව භාර ගැනීමත් හේතුවෙනි. විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ සාකච්ඡාවක් කැඳවනු ලැබීය. 
ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් ද, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු ඉහළ නිලධාරීහු පිරිසක් ද ඊට සහභාගි වූහ. ජනාධිපතිවරයා කියාසිටියේ මේ මොහොතේ විදුලිය කැපීම බලවත් ගැටලුවක් බැවින් එය වහාම නතර කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බවය. ගම්මන්පිල කීවේ තොග අනුව සති දෙකකට අවශ්‍ය ඉන්ධන ලබා දීමට හැකියාවක් ඇති බවය. ඉන්දියාව සමග සාකච්ඡා කර අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව බැසිල් රාජපක්ෂ ඇමතිවරයා කීය. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියාසිටියේ කල්තියා දැනුම්දීමක් කළහොත් අවශ්‍ය ඩොලර් සොයාදීමේ වගකීම තමා භාර ගන්නා බව ය. ඒ අනුව පසුගිය සතියෙහි විදුලිය කැපීම තාවකාලිකව නතර කරන්නට හැකිවිය.


මේ අතර, කැබිනට් මණ්ඩලය ගිය සඳුදා හැන්දෑවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය. ඉන්ධන අර්බුදය සහ ඩොලර් ප්‍රශ්නය සම්බන්ධයෙන් එහි දී සාකච්ඡාවට ලක් වූ අතර ඉන්ධන අර්බුදය සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ගයක් ඇතුළත් යෝජනාවලියක් ද උදය ගම්මන්පිල ඇමැතිවරයා ඉදිරිපත් කර තිබිණි. ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ නමුත් එහිදී අවසන් තීරණයක් නොගැනුණි.


වී මිලදී ගැනීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් ද සාකච්ඡාවට ලක්විය. ඔහු එමගින් යෝජනා කර තිබුණේ ගොවීන්ගෙන් රුපියල් අනූ පහකට වී කිලෝවක් මිලදී ගත යුතු බවය. ප්‍රවාහන වියදම් සහ අනිකුත් දිරිදීමනා ගෙවීමේදී වී කිලෝවක් රුපියල් සීයක් පමණ දක්වා වැඩිවන බව ඔහු එමඟින් යෝජනා කර තිබිණි. එස්.එම්. චන්ද්‍රසේන ඇමැතිවරයා කීවේ ගොවීන්ට සිදුවන පාඩුව වෙනුවෙන් වන්දි ගෙවීම වෙනම සිදුකළ යුතු බවත්, වී කිලෝවක මිල වෙනම තබා ගත යුතු බවත් ය. ඔහු කීවේ රුපියල් 100 ක මිලක් නියම කළහොත් සමස්ත වී තොගයම රජයට ගන්නට සිදුවනු ඇතැයි කියාය. චන්ද්‍රසේනගේ අදහස චමල් රාජපක්ෂ ඇමැතිවරයා ද අනුමත කළේය. ඔහු කීවේ “අපි වී කිලෝ එකට රුපියල් 75ක් ගෙවමු. වන්දිය විදියට පාඩුව රුපියල් විසිපහක් ගෙවමු” කියා ය. අවසානයේ තීරණය වූයේ වී කිලෝව රුපියල් හැත්තෑ පහකට රජයෙන් මිලට ගැනීමට ය.


කාබනික පෝර වැඩපිළිවෙළ නිසා වගා හානියක් සිදුවී ඇත්නම් කිලෝව රුපියල් 25 බැගින් වන්දි ගෙවීම සඳහා රුපියල් කෝටි 4000 ක මුදලක් වෙන් කිරීමටද එහිදී තීරණය විය.
මේ අතර, චන්ද්‍රසේන ඇමැතිවරයා නෝක්කාඩුවක් කීවේය. ඔහු කීවේ තමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් වැරදි ආකාරයෙන් මාධ්‍යවලට ගොස් ඇති බවය. කඩුවෙල ප්‍රදේශයේ ඉඩමක් නිදහස් දීමනා පත්‍රයකින් ව්‍යාපාරිකයකුට දීමට තමා තීරණය නොකළ බවත්, මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ගත් තීන්දුවක් සම්බන්ධයෙන් තමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත්ය. එය වැරදි ආකාරයට මාධ්‍යවලට ගොස් ඇතැයි කී ඇමැතිවරයා මේ ආකාරයෙන් කැබිනට් පත්‍රිකා එළියට යන්නේ කෙසේදැයි වහාම සොයාබැලිය යුතු බව ඔහු කීවේය. අනතුරුව කතා කළේ උදය ගම්මන්පිල ඇමතිවරයාය. ඔහු ද කිව්වේ “කැබිනට් පත්‍රිකා මේ ආකාරයෙන් එළියට යන්නේ කෙසේද කියාය. අනෙක මම ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ නැති දේවලු‍ත් මාධ්‍යවලට දීලා තියෙනවා. මෙතන සාකච්ඡා කරන්න කලින් කැබිනට් පත්‍රිකා එළියට ගියාම අපි මෙතන සාකච්ඡා කරන්නේ කොහොමද? කවුරුහරි එළියට විස්තර දෙනකොට ඇත්ත විතරක් කියන්න. මේකේ නැති දේවල් කියන්න එපා” යැයි ගම්මන්පිල කීවේය. කෙහෙලිය ද කතා කළේ චන්ද්‍රසේනගේ හා ගම්මන්පිලගේ අදහස් අනුමත කරමිනි. “අපි කතා කරන දේවල් මේ විදියට මාධ්‍යවල යනවනම් අපි කැබිනට් එකේදි විවෘතව කතා කරන්නේ කොහොමද”‍ කෙහෙලිය කීවේය. තමා මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන බව ජනාධිපතිවරයා කීවේය. ඒ සමඟම ජනාධිපතිවරයා කීවේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරන දේවල් මාධ්‍යවලට දීමෙන් වළකින ලෙසය.

 


මේ අතර බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ද නෝක්කාඩුවක් කීවේය. ඔහු කීවේ “මම චීනයෙන් හාල් ගන්න කතා කළා විතරයි. හැබැයි සමහරු මාධ්‍යයට ගිහින් හාල් මෙච්චර ලැබෙනවා කියලා කිව්වා. ඒක නොලැබෙන තත්ත්වයක් ඇවිත්. මොකද හේතුව මම එකඟ වෙලා නැති දෙයක් ඔයාලා මාධ්‍යවලට කිව්වේ කොහොමද කියලා චීනෙ තානාපති කාර්යාලයෙන් අහනවා”‍ බැසිල් කීවේය.


අධ්‍යාපන ඇමැතිකම එස්.බී.ට දෙන්නැයි මැදගොඩ හිමි ජනපතිට කියයි.


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට ජපාන අධිරාජයාගෙන් ලැබුණු ස්වර්ණ සූර්ය සම්මානය ඔහුට පිළිගැන්වීමේ උත්සවය ඉකුත් සතිඅන්තයේ රුක්මලේ ශ්‍රී විජයාලෝක මහා විහාරස්ථානයේ දී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන්ගේ මූලිකත්වයෙන් හා ආදී විද්‍යාර්ථීන්ගේ සංවිධායකත්වයෙන් සංවිධානය කර තිබූ එම උත්සවයට ජපාන තානාපතිවරයාද එස්.බී. දිසානායක මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වී සිටියහ. උත්සවය ආරම්භවීමට පෙර ජනාධිපතිවරයා මහනාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේ මැදගොඩ අභයතිස්ස හිමියෝ ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ඇතුළු පිරිසක් ද එහි සිටියහ. ජනාධිපතිවරයා සමඟ කතාබහ කරන අතරේ මැදගොඩ හිමියන් එස්.බී. පෙන්වමින් කීවේ “ජනාධිපතිතුමා අධ්‍යාපන ඇමැතිකම එස්.බී. ඇමතිතුමාට දුන්න නම් හොඳයි නේද කියාය.”‍ කෝ අපි එන්න කිව්වට එන්නේ නැහැනේ යැයි ජනාධිපතිවරයා කීවේය.


වසරේ ලොකුම මංගල උත්සවය


පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසකගේ සහභාගීත්වයෙන් සුපිරි මංගල උත්සවයක් ගිය සතියේ කොළඹ දී පැවැත්විණි. ඒ ප්‍රකට දේශපාලනඥයකු මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයකු වන තිලංග සුමතිපාල මහතාගේ වැඩිමහල් පුත්‍රයාගේ මංගල උත්සවයයි. දින තුනක් තිස්සේ පැවැති මංගල උත්සවයට දේශපාලන කරළියේ නිතර හැප්පෙන ගැටෙන දේශපාලනඥයෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. එක් උත්සවයක් කොළඹ හිල්ටන් හෝටලයේ ද, දෙවැනි උත්සවය ෂැංග්‍රිලා හෝටලයේ ද, තුන්වෙනි උත්සවය බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ද පැවැත්විණි. හිල්ටන් හෝටලයේ පැවති උත්සවයට අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.බී. දිසානායක, සරත් ඒකනායක, ජීවන් කුමාරතුංග ඇතුළු දේශපාලනඥයෝ රැසක් සහභාගි වූහ. අගමැතිවරයා පැමිණ පැය තුනකට ආසන්න කාලයක් එහි රැඳී සිටි අතර, ඔහුගේ මේසයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් තිලංගත් අසුන්ගෙන සිටියහ. මහින්දත් මෛත්‍රීත් ආගිය තොරතුරු කතාබහ කරන අතරේ මහින්ද කීවේ තිලංගගේ පුතාගේ මංගල්‍යය වුණාට මේක අපේම මගුලක් වගේ කියාය. “සර්ලා දෙන්නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති වෙලා රටේ ජනාධිපති වුණා. මෙහෙම ඉන්නවා දැක්කම පාක්ෂිකයන්ටත් මොන තරම් සතුටක් දැයි” තිලංග කීවේය. මහින්ද මෛත්‍රී දවල් කෑම ගත්තේද එකටය.
මංගල්‍යයේ දෙවැනි උත්සවය පැවැත්වුණේ සති අන්තයේ ෂැංග්‍රිලා හෝටලයේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය බිරිය සමඟ පැමිණ සිටි අතර, නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ඇතුළු ඇමැතිවරු කිහිපදෙනෙක් ද සිය බිරියන් සමඟ පැමිණ සිටියහ. ඩලස් අලහප්පෙරුම, ගාමිණි ලොකුගේ, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, සරත් ඒකනායක, චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු දේශපාලනඥයන් රැසක් ද ඊට එක්ව සිටිනු දක්නට ලැබිණි දේශපාලනඥයන්, කලාකරුවන්, ක්‍රීඩකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ මේ උත්සවයේ නැටුම් ගැයුම්වලින් ද අඩුවක් නොවීය. රාත්‍රී අටට පමණ උත්සවයට ආ ජනාධිපතිවරයාද රෑ 11 පසුවන තුරු එහි රැඳී සිටියේ එහි සිටි අය සමඟ ද කතා බහ කරමිනි.


මංගල උත්සවයේ තුන්වැනි උත්සවය පැවැත්වුණේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදීය. ප්‍රකට ව්‍යාපාරිකයින් කලාකරුවන් ක්‍රීඩකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටි අතර සෞඛ්‍ය නීති අනුව මෙම උත්සව තුනම සංවිධානය කර තිබීම විශේෂත්වයක් විය.


මෛත්‍රී, බැසිල්, ජීඑල් හමුවක්


ඉන්දීය ජනරජ දින උත්සවය ගිය බදාදා පැවැත්වුණේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු මැති ඇමැතිවරු රැසක්ම මේ උත්සවයට පැමිණ සිටියහ. ඉන්දීය මහ කොමසාරිස්වරයාත්, හිටපු ජනාධිපති මෛත්‍රී, බැසිල් සහ ජී.එල්. වාඩිවී සිටියේ එකම මේසයේ ය. දේශපාලන පොරපිටියේ මේ දිනවල හැප්පෙන, ගැටෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් පොහොට්ටුවෙත් නායකයන් මේ ආකාරයෙන් එකම මේසයේ සුහදව කතාබහ කරමින් සිටීම එහි සිටි පිරිසගේ ද දැඩි අවධානයට ලක් විය .


බන්දුල ගුණවර්ධන ඉම්රාන් ඛාන් හමුවෙයි


ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පසුගිය සතියේ පාකිස්තානයේ නිල සංචාරයක නිරත විය. දෙරට අතර වෙ​ෙළඳ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් ගිය එම සංචාරයට බන්දුල සමඟ රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය සහ ව්‍යාපාරිකයෝ පිරිසක් ද සහභාගි වූහ. එරට විදේශ ඇමැති, වෙළෙඳ ඇමැති ඇතුළු පිරිස සමඟ සාකච්ඡා කළ බන්දුල ලංකාවේ බුලත් අපනයනයේදී පාකිස්තානය අයකරන බද්ද ඉවත් කරන්නැයි ඉල්ලීමක් ද කළේය. ඒ සම්බන්ධව සලකා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට එරට වෙළඳ ඇමැතිවරයා බන්දුල ට පොරොන්දු විය.


මේ අතර බන්දුලට පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් හමුවීමට ද අවස්ථාවක් ලැබුණි. ඊට රාජ්‍ය ඇමති තාරක බාලසූරිය සහ එරට සිටින ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ද සහභාගි වූ මේ හමුව පැවැත්වුණේ අගමැති කාර්යාලයේ එළිමහනේය. ශ්‍රී ලංකාවට ආර්ථික පැකේජයක් හඳුන්වා දෙන්නැයි බන්දුල ඉම්රාන් ඛාන්ගෙන් ඉල්ලීමක්ද කළේය.


‘මැදහත් මාවත’ක් පිණිස විවෘත දේශපාලන කතිකාව


මෙරට දේශපාලනයේ ඉදිරි දිශානතිය විය යුත්තේ කුමක් ද? පිළිබඳ විවෘත සාකච්ඡාවක් ඉකුත් 22 තිඹිරිගස්යාය ජානකී හෝටලයේ දී පැවැත්විණි. එය සංවිධානය කළේ “මැදහත් මාවත”‍ විසිනි. විපක්ෂයේ පක්ෂ රැසක නියෝජිතයෝ ඊට එක්ව සිටියහ. සමඟි ජනබලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සමබිම පක්ෂය, ලිබරල් පක්ෂය, ජනතා පක්ෂය, නව ලංකා නිදහස් පක්ෂය, පොදුජන විජය පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ සහ සාධාරණ සමාජය, එක්සත් පුරවැසි සංධානය, පුරවැසි හඬ, මව්බිම සුරක්ෂා එකමුතුව, ජාතික විද්වත් සභාව, ජනතාවාදී බුද්ධි මණ්ඩපය, එක්සත් කම්කරු සංවිධානය, නීතිවේදී සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන සේම වෘත්තීය සමිති, මාධ්‍යවේදීන්, සාහිත්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු බහුජන ව්‍යාපාර ගණනාවක නියෝජිතයන් සහ සිවිල් ක්‍රියාකාරීන් ද එම අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයක් විය. මෙරට මුහුණ පා ඇති දැවැන්ත අභියෝග හමුවේ එක්සත් සහ මධ්‍යස්ථ වැඩපිළිවෙළක් නිර්මාණය කරගැනීමේ ආරම්භයකි.


එහිදී විපක්ෂනායක සජිත් කළ කතාව බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් විය.


“මේ වැටී තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් අපිට ගොඩ එන්න පුළුවන්ද? බොහොම පැහැදිලිව පුළුවන්. නිවැරැදි වැඩපිළිවෙළක් තුළ ජන සමාජය අතිමහත් බහුතරයකගේ සහයෝගයක් ලබාගෙන මේක මේ ජනාධිපතිවරයෙකුට වත්, අගමැතිවරයකුට වත්, ආණ්ඩුවකට වත් මේ හුදෙකලාවේ යන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමස්ත ජන සමූහයම ඒකරාශී කරගෙන යා යුතු ගමනක් විය යුතුයි”‍ සජිත් එහිදී කීවේය.
‘‘අපේ නාගමුව සහෝදරයා කියපු කරුණු කිහිපයක් එක්ක මම එකඟ වෙනවා. එතුමා කිව්වා මේ ආර්ථික ක්‍රම​ෙය තිබෙන බරපතළ දුබලතාව. ඔව්, බරපතළ දුබලතාවයක් තිබෙනවා. ඒක අපි පිළිගන්නට ඕනෑ.
ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2016 අදායම් සහ සම්පත් බෙදීයාමේ සංඛ්‍යාලේඛන බැලු‍වහම අපි රටක් හැටියට ලැජ්ජා වෙන්න ඕනැ. ආදායමේ සියයට, දළ වශයෙන් ම මේ ගණන් කියන්නේ මොකද? හෙට උදේ ඕක වැරදියි කියන්න පුළුවන්. පෝසත්ම 20%යි. මේ රටේ සම්පත්වලින් සහ ආදායමෙන් 52% ප්‍රමාණයක් භුක්ති විඳිනවා. 20% ක් මහා බහුතරයක් භුක්ති විඳින කොට 50% කටත් වැඩි ප්‍රමාණයක් භුක්තිවිඳින කොට මේ රටේ ජන සමාජයේ දුප්පත්ම 20% අපේ රටේ සම්පත් සහ ආදායම්වලින් භුක්ති විඳින්නේ 4.5% , 5% ත් අතර ප්‍රමාණයක්. ඒ නිසා අර සුපුරුදු විදිහට ආර්ථික වර්ධන වේගය කියන එක අපිට අමුවෙන් පිළිගන්නට බැහැ. මේක තමයි තිබිය යුතු ප්‍රධානම දර්ශනය.”‍ සජිත් කීවේය.


ජාතික ආණ්ඩු ගැන විහිළු කතා


“සමහරු දැන් ජාතික ආණ්ඩු හදන්න යෝජනා ගේනවලු‍”‍
තුෂාර ඉඳුනිල් කීවේ ඔහුට ලැබුණ ආරංචියක් ගෙනහැර පාමිනි.
‘‘රට ලෙල්ලටම වැටිලා තියෙන වෙලාවේ මෙයාලා ඒකට මුවාවෙලා බෙදාහදාගෙන කන්න හදන්නේ. මේ ආණ්ඩුව රටට කරපු විනාසේ හැටියට ජාතික ආණ්ඩු තියා එකට ඉඳගන්නවත් පුළුවන් ද?”‍
අශෝක් අබේසිංහ කීවේය.


‘‘තනි ආසනයක් තියෙන අය අගමැතිලත් වෙලා. හැබැයි ඔය කතාව හොඳයි, මොකද ඒ අයට තියෙන්නෙ ඉතිහාසගත ඩීල්නෙ”‍ මරික්කාර් පිළිතුරු දුන්නේය.
‘‘රාජකාරිවලට බයිසිකලෙන් යන්න කියලා යෝජනාවක් ගෙනල්ලා ලු‍”‍
එහෙම කීවේ හර්ෂණ රාජකරුණාය.
‘‘ඕක තමයි කාබනික පොහොරවලට කරපු එකේ දෙවෙනි වර්ෂන් එක”‍
නලින් බණ්ඩාර සිනාසෙමින් කීවේය.


“V8 වලින් ගිහිල්ලා බහින ඇමතිවරු තමයි මිනිස්සුන්ට බයිසිකල්වලින් වැඩට යන්න කියන්නේ. මේ හැම දේකින්ම පේන්නේ මේ ආණ්ඩුව කොච්චරක් බංකොලොත්ද කියන එක”‍ සජිත් කීවේය.


වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් නව නගර ශාලාව පිරෙයි


සමගි ජන බලවේගයට අනුබද්ධ සමගි සේවක සංගමයේ පළමු සංවත්සර උත්සවය පසුගියදා කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විණි.


ඒ විපක්ෂනායක සජිත් ප්‍රමුඛ දේශපාලන නායකකාරකාදීන් රැසකගේ සහභාගිත්වයෙනි.
සමගි ජන බලවේගය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයෝ විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.


‘‘සමගි ජන බලවේගය අප සතු කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය තමයි අපේ කම්කරු ශ්‍රමයට, එහි සාමාජිකත්වයට අපි වග වෙන්නත් ඕනැ වග කියන්නත් ඕනැ. මම ඔබ සියලු‍ දෙනාටම හදපත්ලෙන්ම පොරොන්දු වෙනවා සමගි ජන බලවේගය රජයක් තුළ සාමාජිකත්වයටත් ඔබ සියලු‍ දෙනාටත් රටේ කම්කරු ප්‍රජාවටත් අපි වග කියනවා, ඒ වගේම වග වෙනවා. එය ප්‍රකාශ කරන්නේ ඉමහත් ශක්තියකින් සහ විශ්වාසයකින්”‍ සජිත් කීවේය.
එහෙම කීවත් සජිත් තම කතාවේදී රාජපක්ෂ පාලනයට ද දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.


රංජන් නිදහස් කරන සටන හරීන්ගේ කරට


මේ අතර, සිරගතව සිටින රන්ජන් නිදහස් කර ගැනීම සඳහා සමගි ජන බලවේගය සිය අරගලය තවදුරටත් තීව්‍ර කොට තිබේ.


සිය මන්ත්‍රීවරයා බලන්නට වැලිකඩ සිරගෙදරට ගිය සජිත් එළියට පැමිණ මාධ්‍යයට ප්‍රකාශ කොට සිටියේ රංජන් නිදහස් කරගැනීමේ අරගලය අලුත් වටයකින් ආරම්භ කරන බව ය.
ඒ වගකීම සජිත් සිය පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී හරින්ට භාර දුන්නේය.
සියලු‍ දෙනාම එකතු වී රට ගොඩ නගමු යැයි නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ප්‍රකාශ කිරීමත් සමඟම හරින් කීවේ ‘‘රන්ජන් නිදහස් කර ගැනීමටත් දායක වෙමු’’ කියාය.


අනතුරුව හරින් කළේ රන්ජන් නිදහස් කරගැනීමට දායක වෙන ලෙස ආණ්ඩු පක්ෂය ඇතුළු සියලු‍ම පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීමය.


ඒ සඳහා ඔහු අත්සන් ලිපියක් ද පිළියෙල කළේය.
ඒ සමඟම රටේ ජනප්‍රිය කලාකරුවන් ද තවත් පැත්තකින් රංජන් නිදහස් කර ගැනීමේ අරගලයට දායක විය.
‘‘මේ වෙලාවේ කොහෙන් හරි රංජන්ට නිදහස ලැබෙනවා නම් ඒක තමයි විය යුත්තේ”‍ හරින් කීවේය.

 

මිරිස්කුඩු සිද්ධිය ගැන රනිල් කරුණු කියයි


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට ඉකුත් සතියේදී පැරණි මිතුරන් කීප දෙනෙක් හමු වූයේය. හිටපු කතානායක කරු ජයසූරිය, කුමාර වෙල්ගම, සමගි ජන බලවේගය ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන් යන මහත්වරුන් හමුවූයේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ 43 වැනි සේනාංකයේ සමුළුවේදීය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනක් ඉම්පිරීයල් හෝටලයේදී මෙම සමුළුව පැවැත්වුණි. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රුවන් විජයවර්ධන මහතා හා සාගල රත්නායක මහතා එයට සහභාගි වූහ. මෙම හමුව පොදු වේදිකාවක මූලාරම්භයක් ද යන්න පිළිබඳව මෙහිදී කතාබහට ලක්වී තිබුණි.


පසුගිය සිකුරාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවට ද රුවන් විජයවර්ධන මහතා සහභාගි වූයේය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාව පැවැත්වුණි. මෙවර කාලයකට පසු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් බහුතරයක් සහභාගී වී සිටීම විශේෂයක් විය.


මෙවර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පැරණි සිද්ධියක් පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. එම පැහැදිලි කිරීම කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගැසූ සිද්ධිය පිටුපස රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේදැයි සමාජ මාධ්‍යයකින් කළ විමසීමකදී හිටපු කතානායක කරු ජයසූරිය මහතා එය ප්‍රතික්ෂේප නොකිරීම හේතු කරගෙනයි.


පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු සිද්ධියට තමන් හා වත්මන් අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ බවට චෝදනා කිරීම මුළුමනින්ම අසත්‍යයක් වන අතර එවැනි චෝදනාවක් පිළිබඳව තමන් බලවත් සේ පුදුමයට පත්වන බව මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කර දුන්නේය.


මීට අමතරව පසුගිය සතියේදී පක්ෂයේ පරිපාලන කමිටු සාකච්ඡාව සිරිකොතේදී පැවැත්වුණි. රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා හා රුවන් විජයවර්ධන නියෝජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණි.
එක්සත් ජාතික පක්ෂයේ බෙහෙවින් ජනප්‍රිය වැඩපිළිවෙළක් වූ යොවුන් සේනාංකයේ හිටපු සාමාජිකයන් සඳහා නේවාසික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා තීරණය කර තිබුණි. කොරෝනා වසංගතය යළිත් පැතිරීමේ තර්ජනයක් පවතින නිසා එම වැඩපිළිවෙළ කල් දැමීමට රුවන් තීරණය කළේය.


කොළඹ නගර සභාවේ උපනගරාධිපතිවරයාට ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳව පක්ෂයේ අනෙකුත් සභිකයන්ගෙන් අදහස් විමසීමට ගෙනයන වැඩපිළිවෙළ යටතේ ගිය සතියේදී බටහිර කොළඹ හා නැගෙනහිර ​කොළඹ සභිකයෝ සිරිකොතට පැමිණ රුවන් හමුවූහ.


කරු රට වටා යන ගමනක

 

ජනතාව දැනුවත් කරමින් රට වටා යන ගමනක් කරු ජයසූරිය මහතා පසුගිය සතියේ ආරම්භ කරන ලදී. එහි සමාරම්භක පියවර තැබුණේ කුරුණෑගලිනි. රටට අවශ්‍ය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ පවත්නා මැතිවරණ ක්‍රියාවලියට අලුත් වෙනසක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම එහි අරමුණ වී තිබේ. කරු ඊට අවශ්‍ය පදනම දැමුයේ කොළඹිනි. රටේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ වෘත්තීය විද්වත් ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් කාලයක් පුරා සිදුකළ ‘කතිකාව’ සංවාදය හරහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගත විය යුතු මූලික මූලධර්ම සහ මූලික යෝජනා ඇතුළත් කෙටුම්පතක් මෙන්ම මැතිවරණ නීති සංශෝධනය සඳහා වූ යෝජනා මාලාව ඒ සඳහා මූලික කරගෙන තිබේ.


රට වටා යන්නට අපේක්ෂා කරන ඒ ගමනට, කුරුණෑගලින් ලැබුණේ ඉහළම ප්‍රතිචාරයකි. දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය ද කතෝලික සහ ක්‍රිස්තියානි රදගුරුවරුන් මෙන්ම හින්දු සහ ඉස්ලාම් පූජක පක්ෂය ද සිවිල් සංවිධාන නියෝජනය කරන නායකකාරකාදීන් ද ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ. රටට යහපත් අනාගතයක් උදාකරලීම සඳහා සිදුවිය යුතු දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක ආරම්භයක් ලෙස එය හැඳින්විය හැකි බව ඊට සම්බන්ධ බොහෝ දෙනෙකුගේ අදහස විය.

 

 

 

-ගජබා-