ඇමැති තටු කැපුණු පෙරැලිකාර සතියක්


​දේශපාලන කරලියේ එකිනෙකට සම්බන්ධ නොවූ සිදුවීම් පෙළක් ඉකුත් සතිය පුරා වාර්තා විය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීම, උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහිව විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාර දීම, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීම, මාසයකට ආසන්න කාලයක් ඇමරිකාවේ සිටි බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට යළි පැමිණීම, විමල් වීරවංශ ඇමැතිවරයා යටතේ තිබූ පොස්පේට් සමාගම මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා යටතට පත් කිරීම එම සිදුවීම් අතර කැපී පෙනුණි.


ජනපතිට මිරිසවැටියෙන් දිවා භෝජනය


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 72 වන ජන්ම දිනය පසුගිය ඉරිදාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් කිසිදු උත්සවයක් නොපැවැත්වූ ජනාධිපතිවරයා එදින අනුරාධපුරයට ගොස් ආගමික වතාවත්වල නිරතවිය. උපන්දිනය වෙනුවෙන් අනුරාධපුරයේ විශේෂ පින්කම් සූදානම් කිරීමට පළාතේ දේශපාලනඥයින් ද සූදානම් වුවත් ජනාධිපතිවරයා ඊට ඉඩ දුන්නේ ද නැත. මුලින්ම ශ්‍රී මහා බෝධියට ගොස් ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා අනතුරුව රුවන්වැලි සෑය වැඳපුදා ගන්නට ගියේය. මේ කටයුතුවලට සීමිත පිරිසක් පමණක් සහභාගි කරවා ගත් ජනාධිපතිවරයා සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්නට ද වග බලා ගත්තේය. රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ද එම අවස්ථාවට වැඩම කර සිටියහ. අනතුරුව ජනාධිපතිවරයා ගියේ ලංකාරාම විහාරස්ථානයටය. මිරිසවැටිය විහාරස්ථානයේ පවත්වාගෙන යන ළමා නිවාසයේ දරු දැරියන්ට තෑගි බෝග රැගෙන යන්නට ද ජනාධිපතිවරයා අමතක නොකළේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙන් දහයකට ලැප්ටොප් පරිගණක හා වියළි ආහාර සළාක පිරිනැමීමට ද කටයුතු යොදා තිබූ අතර සෙනඟ රැස් නොකර එම ත්‍යාග සියල්ලම අදාළ ස්ථානවලට රැගෙන ගොස් භාර දෙන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.


ජනාධිපතිවරයා එදින දිවා ආහාරයට අනුරාධපුර ජනාධිපති මැදුරට යාමට සූදානමින් සිටියත් ඊට අවස්ථාව නොලැබුණේ මිරිසවැටිය විහාරයේ දිවා ආහාරය සූදානම් කර තිබූ බැවිනි. විහාරාධිකාරී ඊතලවැටුණවැවේ ඥාානතිලක හිමියන් කීවේ ජනාධිපතිතුමාට අපි දිවා ආහාරය පන්සලේම සූදානම් කළා කියා ය. රජරටට ආවේණික කෑම බීමවලින් පිරුණු කෑම මේසයක් සූදානම් කර තිබූ අතර ජනාධිපතිවරයා ද පන්සලේදීම දිවා ආහාරය ගත්තේය. හැන්දෑවේ රුවන්වැලි සෑය අභියස පැවැති පිංකමකට සහභාගී වූ ජනාධිපතිවරයා එදින රාත්‍රිය ද අනුරාධපුරයේම ගත කළේය.


කබ්රාල්ගෙන් කැබිනට්ටුවට ආර්ථික විද්‍යා පාඩමක්


කැබිනට් මණ්ඩලය ගිය සඳුද‌ා හැන්දෑවේ රැස්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ආණ්ඩු පක්ෂ රැස්වීමත්, ජනාධිපතිවරයාගේ උපන් දිනය නිමිත්තෙන් රාත්‍රී භෝජන සංග්‍රහයත් සූදානම් කර තිබීමත් හේතුවෙන් මෙවර කැබිනට් රැස්වීම පැවැත්වුණේ ජනාධිපති මන්දිරයේය. කැබිනට් රැස්වීම කොටුව ජනාධිපති මන්දිරයේ උඩුමහලෙහි දී හවස පහට ආරම්භ විය. රැස්වීම ආරම්භයේ දී අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්ය. ඉන්ධන මිල, ඩොලර් හිඟය සහ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන කැබිනට් මණ්ඩලය දැනුවත් කරන්නට කබ්රාල් පැමිණ සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙනි. ඉන්ධන මිල වැඩි කිරීම ආණ්ඩුව තුළ ද පසුගිය සතියේ ලොකු ආන්දෝලනයක් ඇති කළේය. කබ්රාල් පැමිණියේ ඒ ගැන ඇමැතිවරුන් දැනුවත් කිරීම වෙනුවෙනි. ආණ්ඩුවේ විදේශ සංචිත ප්‍රමාණය විශාල වශයෙන් අඩු වීම බරපතළ අර්බුදයක් බව ඔහු කීවේය. තෙල් මිල වැඩි කළේ එසේ නොකර බැරිම තැන යයි ද කබ්රාල් කීවේ සංඛ්‍යාලේඛන ද ඉදිරිපත් කරමිනි. ඔහුගේ කතාවෙන් පසුව ඇමැතිවරුන්ට ප්‍රශ්න අසන්නටද අවස්ථාව ලැබිණි.


තෙල් මිල අඩු කරන්න 

ගම්මන්පිලගෙන් යෝජනාවක්


කබ්රාල් සිය කතාව කර ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් අනතුරුව පිටව ගියේය. කැබිනට් පත්‍රිකා ගැන සාකච්ඡාව ආරම්භ වූයේ ඉන් අනතුරුවය. එහිදී ද තෙල් මිල සම්බන්ධයෙන් සාකච්ඡාව දිගට ගියේය. සමහර අය ඇවිත් තෙල් මිල පරණ තත්ත්වයටම ගේනවා කියලා මන්ත්‍රීවරුන් කියනවා. සමහර මන්ත්‍රීවරුන් කියන්නේ තෙල් මිල යම් ප්‍රමාණයකින් අඩු කරනවා කියලයි. අපි මේ විකල්ප දෙකම ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කළා. තෙල් මිල වැඩි කරන්න ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ඩොලර් හිඟය. මිල අඩු කරන්න නම් කරන්න ඕන තෙල් ගේන එක සීමා කරන එකයි. එහෙම කරලා සලාක ක්‍රමයට තෙල් බෙදන්න වැඩපිළිවෙළක් හදන්න ඕන. ඒකට කමිටුවක් පත් කරමු යැයි ගම්මන්පිල යෝජනා කළේය. තෙල් සලාක ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ අපහසුතාව ගැන ද ගම්මන්පිල කියන්නට විය. “ඕක කළොත් මිල වැඩි කළාටත් වඩා බැනුම් අහන්න වෙන්නෙ”‍ යැයි අගමැතිවරයා කීවේ හයියෙන් හිනා වෙමිනි. අනතුරුව කතා කළේ ජනාධිපතිවරයාය.


‘‘අපි මිල වැඩි කළේ ඔය විකල්ප සියල්ල ගැන බලලා. ඒ හින්ද දැන් ආයේ මිල අඩු කිරීමක් ගැන කතා කරන්න අවශ්‍ය නෑ, ඒක කරන්නත් බෑ. තෙල් ගෙන්වන්න ඩොලර් නැති එකනේ ප්‍රශ්නේ. අපි පුනර්ජනනීය විදුලිය නිපදවීම වැඩි කරලා ඉලෙක්ට්‍රික් වාහන, හයිබ්‍රිඩ් වාහන ගෙන්වමු.”‍ ජනාධිපතිවරයා යෝජනා කළේය. පුනර්ජනනීය බලශක්තිය වැඩි කිරීම ගැන ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල වගේම නාමල් රාජපක්ෂ ද පැහැදිලි කළහ. තෙල් කතාවෙන් ඊළගට ගියේ හාල් කතාවලටය. රටේ හාල් මිල විශාල වශයෙන් ඉහළ යාම ද කැබිනට් රැස්වීමේ දැඩි කතාබහට ලක් වූ මාතෘකාවකි. බන්දුල ගුණවර්ධන ඒ ගැන දීර්ඝ විග්‍රහයක් කළේ හාල් මිල බැස්සවීමට පිටරටින් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්විය යුතු බව කියමිනි. අනෙක් ඇමැතිවරුන් ද කතා කළේ බන්දුලගේ අදහස් අනුමත කරමිනි.


කැබිනට් රැස්වීම කඩිනමින් අවසන් කළේ ආණ්ඩු පක්ෂ රැස්වීම සඳහා මන්ත්‍රීවරුන් පහත මාලයේ රැස්වීම් ශාලාවට ඒ වනවිටත් පැමිණ සිටි බැවිනි. සමහර මන්ත්‍රීවරු කල්වේලා ඇතිවම රැස්වීමට පැමිණ අසුන්ගෙන සිටියහ. ගම්මන්පිල රැස්වීමට පැමිණියේ වාසු ද සමගය. ඇතුළුවන දොරටුව අසල ඉඳගෙන සිටි සාගර කාරියවසම් මන්ත්‍රීවරයා ගම්මන්පිල දුටු සැණෙන් බිම බලා ගත්තේය. ඔහු අසලට ගිය ගම්මන්පිල ‘‘කොහොමද සාගර”‍ යැයි විමසුවේ පිටට තට්ටුවක් ද දමමිනි. සාගර බිම බලා ගත්තා මිස කිසිවක් කියන්නට ගියේ නැත. ගම්මන්පිල වාසු ට කිව්වේ ‘‘මට ඇත්තටම සාගර ගැන දුකයි. මොකද එයා කළේ දුන්න ලියුමට අත්සන් කරන එක විතරයි නේ”‍ යනුවෙනි.


ආණ්ඩු පක්ෂ රැස්වීම් ආරම්භ වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ඊට සහභාගී විය.
මුලින්ම සාකච්ඡාවට ගැනුණේ සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැනය. දැන් දැන් ගම්මන්පිලගේ, විමල්ගේ ප්‍රශ්නය මතු කරන්නට අවස්ථාව එනු ඇතැයි පසුපෙළ බලා සිටියේය. පාර්ලිමේන්තුවේ සතියේ න්‍යාය පත්‍රය කතා කිරීමෙන් අනතුරුව අගමැතිවරයා සියලු‍දෙනාටම ආරාධනා කළේ” ජනාධිපතිතුමා ඔබතුමාලා හැමෝටම රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කරලා තියෙනව, ඒකත් භුක්ති විදලා යන්න”‍ යනුවෙනි.


‘‘ජනාධිපතිතුමාගේ උපන්දිනය ඊයෙ යෙදිලා තිබුණේ. එතුමා අද ඔබතුමාලට රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කරලා තියෙනවා. ඒකට හැමෝම සහභාගි වෙන්න”‍ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා ද මන්ත්‍රීවරුන්ට ආරාධනා කළේය. ඒ අනුව සියලු‍ දෙනා භෝජන සංග්‍රහයට සහභාගී වූහ. ගම්මන්පිල රූපවාහිනී වැඩසටහනකට සහභාගිවීමට තිබෙන බව ජනාධිපතිවරයාට කියමින් රෑ කෑමට නොසිට පිටත්ව ගියේය.


ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් එදින පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා ද හමුවූයේ ඔවුන්ට තිබෙන ප්‍රශ්න ගැන කියන්නටය. ජොන්ස්ටන් හා පසුපෙළ අතර මේ හමුව බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශයේ දී පැවැත්විණි. පසුපෙළ මන්ත්‍රීවරු විසිපස් දෙනෙක් පමණ ඊට සහභාගි වූහ. ඔවුන්ට තිබෙන දුක් ගැනවිලි මෙන්ම, රටේ ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න ආදිය ගැන ද එහිදී සාකච්ඡා වූ බව වාර්තා වේ.


බැසිල් කැබිනට්ටුවට


ඇමරිකාවේ මාසයක පමණ කාලයක් ගත කළ බැසිල් රාජපක්ෂ මහතා සිය බිරිඳ ද සමඟ ගිය සතියේ දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා ද වන බැසිල් සංවිධාන කටයුතුවල දක්ෂයෙකි. ඔහු පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයාය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවන්නටත් පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවන්නටත් ඔහුගේ සංවිධාන ශක්තිය බෙහෙවින් ඉවහල් විය. ආණ්ඩුවේ තිරය පිටුපස සිටි ඔහු ලබන මාසයේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ. පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වන ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වී ඔහුගේ පුරප්පාඩුවට බැසිල් පත්වනු ඇති බවත් හෙතෙම ලබන 6 වැනි දා පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දෙන බවත් දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසේ එපමණක් නොව ඔහු ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස ද දිවුරුම් දීමට නියමිතය.


ඉකුත් බ්‍රහස්පතින්දා උදේ දිවයිනට පැමිණි බැසිල් පිළිගන්නට ප්‍රසන්න රණතුංග හා නිමල් ලන්සා යන ඇමැතිවරු ද කටුනායක ගුවන් තොටුපලට පැමිණ සිටියහ. පී.සී.ආර්. පරීක්ෂණයකට ද පෙනී සිටි බැසිල් එළියට ආවේ”‍ දැන් වැක්සින් කරන වැඩපිළිවෙළ කොහොමදැයි”‍ ප්‍රසන්නගෙන් විමසමිනි.”‍ ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. තවත් විධිමත් වෙන්න ඕන කියලයි අපි හිතන්නේ ”‍ ප්‍රසන්නගේ පිළිතුර විය.


සමගි ජන බලවේගය බයිසිකලයෙන් පාර්ලිමේන්තුවට


කොරෝනා ව්‍යාප්තිය නිසා රට වසා දැමුවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ක්‍රියාත්මක කරනු ලබන විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යළිත් සක්‍රීය කර තිබුණි.
කිළිනොච්චිය රෝහලට උපකරණ ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට සජිත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ටද ආරාධනා කර තිබුණේය.


කුරුණෑගල රෝහලටත්, බලපිටිය රෝහලටත් උපකරණ ලබාදුන්නේ මේ සතියේදීමය. බලපිටිය රෝහලට උපකරණ ලබාදීමේ වැඩසටහනේ විශේෂත්වයක් විය. ඒ රණසිංහ ප්‍රේමදාස මහතාගේ උපන්දිනය නිමිත්තෙන් ඒ උපකරණ ප‍්‍රදානය සිදුවිය.


‘‘අපේ තාත්තා ඉපදුණේ බලපිටියේ. ඊට පස්සේ තමයි කොළඹට ආවේ’’සජිත් බලපිටිය රෝහලේ වෛද්‍යවරුන් සමග කීවේය.


කණ්ඩායම් රැස්වීම


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම සජිත්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. පාර්ලිමේන්තුවේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම ගම් මට්ටමින් ගන්නා ක්‍රියාමාර්ග ගැනද මෙහිදී වැඩි අවධානයක් යොමුවිය.


‘‘ආණ්ඩුව මේ තෙල් මිල වැඩි කළ එකට අපි ලොකු සටනක් කරන්න ඕනෑ. පාර්ලිමේන්තුවේදී විතරක් නෙමෙයි ගම් මට්ටමින් සටන අරගෙන යන්න ඕනෑ’’සජිත් ආරම්භයේදීම කීවේය.


‘‘පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් එකතු කරගෙන අපි විරෝධතාවයක් කරන්න සූදානම් කරලා තියෙනවා. තෙල් මිල නිසා හැම වාහනයක්ම පාවිච්චි කරන ජනතාව පීඩාවට පත් වෙනවා. ඩිමෝ බට්ටෝ, බයිසිකල්, ත‍්‍රීවීල් වගේ පොඩි අය පාවිච්චි කරන වාහන අරගෙන ඇවිත් අපි රථ පෙළපාලියකින් විරෝධයක් දැක්වීමට සැලසුම් කරලා තියෙනවා’’ නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා විරෝධතාව ගැන පැහැදිළි කළේය.


ඒ අනුව පසුදා සමගි ජන බලවේගය කාර්යාලය අසලට විවිධ වර්ගයේ වාහන පැමිණ තිබුණේය. ඩිමෝ බට්ටා, බයිසිකල්, ත‍්‍රීවීල් පමණක් නොව ඩෝසර්, ට‍්‍රැක්ටර්ද කාර්යාලය අසල නවතා තිබුණේය.


සජිත්ට ගයන්තගෙන් 
මිනි කූපරයක්


මේ අතර ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා මිනි කූපර් රථයකින් පැමිණ පක්ෂ කාර්යාලය අසල නැවැත්වූවේය. ඔහු එයින් බැස නොගොස් වාහනයටම වී සිටියේය.
මයන්ත දිසානායක මන්ත‍්‍රීවරයා පැමිණ එම වාහනයට ගොඩවීමට සුදානම් විය.


‘‘මේකෙ තමයි නායකතුමා යන්නේ’’ ගයන්ත කී විට මයන්ත අසල තිබූ ඩෝසරයට නැග්ගේය.
ටික වේලාවකින් පැමිණි සජිත් ගයන්තගේ මිනි කූපරයට නැග්ගේය.


‘‘ඔබතුමයි මායි දෙන්නම එකට නේ පාර්ලිමේන්තු ආවේ’’ගයන්ත සජිත් සමග යන අතරවාරයේදී ආගිය කතා සිහිපත් කළේය.
‘‘ඒකාලේ අපි දෙන්නම එකට පාර්ලිමේන්තුවේ ඉඳලා ගමේ යන්න පිටත් වෙනවානේ. ඔබතුමා ගාල්ලට යනවා. මම හම්බන්තොටටම යනවා’’ සජිත්ද අතීතය සිහිපත් කළේය.
සරත් ෆොන්සේකා සහ අශෝක අබේසිංහ ත‍්‍රිරෝද රථයකට නැගුණෝය.


‘‘අනේ මහත්තයෝ අපිට පෙට‍්‍රල් ගහගන්න සල්ලි නෑ. ඒක නිසා භූමිතෙල් ගැලු‍මක් ගහගෙන මේකේ යනවා’’ ෆොන්සේකා සිනාවෙමින් කීවේය.
ධර්මසේන මන්ත‍්‍රීවරයා ලෑන්ඩ්මාස්ටරය අතට ගත්තේය. හුරුපුරුදු අයෙක් ලෙස ඔහු එය රැගෙන ගියේ එක් පසෙකින් රෝහිණී කවිරත්න මන්ත‍්‍රීවරිය වාඩිකරගෙනය.
රෝහණ බණ්ඩාර විශාල ට‍්‍රැක්ටරයක රියදුරු විය. හර්ෂ ද සිල්වා ඩිමෝ බට්ටාගේ රියදුරු විය. එරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් තට්ටු ලොරියකට නැග්ගේය. තවත් මන්ත‍්‍රීවරු පිරිසක් බස් රථයකට ගොඩවූහ.


ගයන්ත සමග පැමිණි සජිත් පාර්ලිමේන්තු වටරවුම අසලදී වාහනයෙන් බැස්සේය. ඔහු අසලට පැමිණියේ හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාය.
‘‘සර් මෙන්න මනුෂ අප්සෙට් එකේ ඉන්නවා’’ හරින් සිනාසෙමින් කියන විට මනුෂත් එතැනට ආවේය.
‘‘මොකද මනුෂ අප්සෙට් එකේ’’ සජිත් ඇසුවේය.


‘‘ගයන්ත එක්ක වාහනේ ආවා කියලා’’ හරින් කියන විට ‘‘ඔය බොරු සර්’’ කියමින් මනුෂ විහිළුවට හවුල් විය.


දෙවැනි දවසටත් විරෝධතා


පාර්ලිමේන්තුව රැස්වූ පළමු දවසේ විරෝධතා පැවැත්වූ නිසා දෙවැනි දවසේත් විරෝධතා නොපවත්වනු ඇතැයි ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් සිතාගෙන සිටියහ. එහෙත් ආණ්ඩුවට සිතාගත නොහැකි ආකාරයට දෙවැනි දවසටත් විරෝධතාවයක් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් සූදානම් කර තිබුණේය.


මේ විරෝධතාව සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තුවේදීය.


කලින් දවසේ සවස විපක්ෂ නායක කාර්යාලයට ගෙනවිත් තිබූ විශාල ප‍්‍රමාණයේ පුවරු වල විරෝධතා සටන් පාඨ ඇන්ඳේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකි. සටන් පාඨ ඇඳීමට යොදා ගත්තේ මාකර් පෑනකි.


එය පාර්ලිමේන්තුවේ ආරක්ෂාකාරීව සඟවා තැබූ මන්ත‍්‍රීවරු පසුදා විපක්ෂ නායක කාර්යාලයට එක්වූහ. ඒ විරෝධතාව සංවිධානය කරගැනීමටය.


විරෝධතා පුවරු සභා ගැබට රැගෙන යාම එක කණ්ඩායමකට භාර විය. සජීවීව මෙය මාධ්‍යයට ලබාදීම තවත් මන්ත‍්‍රීවරයෙකුට පැවරිණි.


පාර්ලිමේන්තුව ආරම්භවී විනාඩි දහයකින් පසුව ආරම්භවූ විරෝධතාව අවසන්වූයේ පැය භාගයකට පමණ පසුවය.


ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගය


උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් අත්සන් කර තිබූ විශ්වාසභංග යෝජනාව භාරදුන්නේ විපක්ෂ නායක ලේකම් රවි ජයවර්ධන සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ලය.


විශ්වාසභංග යෝජනාව භාරදීමෙන් පසුව මන්ත‍්‍රිවරු විපක්ෂ නායක කාර්යාලයට රැස්වූහ.


‘‘දැන් මේක නිසා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු හිර වෙනවා. උදය ගම්මන්පිල ඇමැතිවරයා කරපු දේ වැරදියි කියලා පොහොට්ටුවේ මන්ත‍්‍රීවරු කියනවානේ. ඒ අය ඇත්තටම විරුද්ධ නම් විශ්වාසභංගයට සහාය දෙන්න වෙනවා’’ ජේ.සී. අලවතුවල මන්ත‍්‍රීවරයා පැහැදිළි කළේය.


‘‘තෙල් මිල වැඩි කළාට පස්සේ ගෑස් මිලත් වැඩි කරන්න ආණ්ඩුවට වුවමනා වුණා. ඒත් අපි කරපු විරෝධතාව නිසා ගෑස් මිල වැඩි කිරීමේ තීරණය හකුලාගන්න ආණ්ඩුවට සිදුවුනා’’ මරික්කාර් මන්ත‍්‍රීවරයා කීවේය.


‘‘ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය සම්පූර්ණයෙන්ම හකුලා ගන්නා තෙක් අපි මේ විරෝධතා නතර කළ යුතු නැහැ. අපි සටන දිගටම අරගෙන යන්න ඕනෑ’’ සජිත් පැවසුවේය.


එජාප නායක රනිල් යළිත් පාර්ලිමේන්තුවට


එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය සතිය බෙහෙවින් කාර්ය බහුල විය. ඒ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීම නිසාය.
දිවුරුම් දීමට පෙර දිනයේත් වජිර අබේවර්ධන හිටපු ඇමැතිවරයාගේ නිවසේ පක්‍ෂ සාමාජික පිරිසක් සමඟ සාකච්ඡා කළ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ “මේ මන්ත්‍රීකම බාරගත්තෙ හැමෝගෙම ඉල්ලීම නිසයි. මෙච්චර කාලයක් ප්‍රමාද වුණෙත් වෙනත් නමක් යෝජනා වේවි කියලයි.” යනුවෙනි.


එහිදී වජිර අබේවර්ධන, රංගෙ බණ්ඩාර යන මහත්වරුන් කියා සිටියේ “ඔබතුමා තමයි නියම සුදුස්සා. දැන් ඔක්කොම හරිනේ. අපි රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියට හොඳ වැඩපිළිවෙලක් කරමු.” යනුවෙනි.


මෙම සාකච්ඡාවේදී බැසිල් රාජපක්‍ෂ මහතා යළි දිවයිනට පැමිණෙන බව ආරංචි යැයි වජිර අබේවර්ධන මහතා කීවේය.


එහිදී රනිල් වික්‍රමසිංහ මහතා කීවේ, “බැසිල් ආව කියල මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නෙ නැහැ, සමහරු කියනවා බැසිල් ආවම තෙල් මිල අඩු වෙනවා කියලා. ඒක විහිළුවක්. අඩු කරනවා නම්, ඒකට බැසිල් එනකම්ම ඉන්න ඕනෑද. දැනුත් කරන්න පුළුවන්නෙ.” එජාප නායකයා කීවේය.


මෙහිදී පාලිත රංගෙ බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ “හෙට ඔබතුමා දිව්රුම් දෙන එක වෙනුවෙන් හොඳ සැමරුමක් කරන්න ඕනෑ.” යනුවෙනි. එයට තරයේ විරෝධය දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ “එහෙම අවශ්‍ය නැහැ. මේ රටේ මිනිස්සු කන්න, බොන්න නැතුව ඉන්නවා. තවත් පැත්තකින් කො​රෝනා. මිනිස්සු අසීරුවට පත් වෙලා ඉන්න වෙලාවේ මොන සැමරුම්ද?” යනුවෙනි.


එදින සවස් වරුවේ කොල්ලුපිටිය, වාලුකාරාමයට ගිය රනිල් වික්‍රමසිංහ මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.


ඉකුත් 23 වැනිදා පාර්ලිමේන්තුවට ගිය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමට පෙර කතානායකවරයාගේ නිල කාමරයේදී ඔහු හමුවී දිවුරුම් දීමේ වැඩ කටයුතු සොයා බැලුවේය. අනතුරව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා ගෙන ගොස් දිවුරුම් දීමට පෙර මන්ත්‍රීවරුන් වාඩිවන ආසනය වෙත කැඳවා ගෙන ආවේය. එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්ත්‍රීවරු පැමිණ සුභ පැතූහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාද ඔහුට සුභ පැතීය. දිවුරුම් දීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතාට විපක්‍ෂයේ ඉදිරිපෙළ අසුනක් ලබාදී තිබුණි. සම්බන්ධන් හා මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් දෙදෙනාට මැද අසුන රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවී තිබුණි.
සියලු පක්‍ෂ නායකයන්ම පාහේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අසුන ළඟට පැමිණ සුභ පැතූ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විශාල පිරිසක්ද ඒ අතර වූහ. එහෙත් සජිත් ප්‍රේමදාස මහතා ඒ අවස්ථාවේ එහි පැමිණියේ නැත.


රනිල්ගේ දිවුරුමට රුවන් කළ මෙහෙයුම


එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට ද පසුගිය සතියේ බෙහෙවින් කාර්ය බහුල වූයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීම වෙනුවෙන් පක්‍ෂ මූලස්ථානයේ වැඩ කටයුතු ඔහු මත පැටවී තිබූ නිසාය.


ඒ සම්බන්ධයෙන් උත්සවයක් පැවැත්වීමට අවශ්‍යතාවක් තිබුණත් රනිල් එයට එකඟ නොවීම නිසා සියල්ල චාම් අයුරින් සිදු කිරීමට රුවන් වගබලා ගත්තේය.
ඒ අනුව චාම් හා අලංකාරවත් ලෙස රනිල් දිවුරුම් දීම සැමරීමට රුවන් විජයවර්ධන මහතා පියවර ගෙන තිබුණි. එම දිනය පක්‍ෂයට හා රටට බෙහෙවින් වැදගත් දිනයක් ලෙස සලකා සිරිකොත මන්දිරය පිහිටි භූමියේ පැළයක් සිටුවීම රුවන් අතින් සිදුවූයේ රනිල් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන අවස්ථාවේදීය.


පක්‍ෂයට බෙහෙවින් හිතවත් ඡන්දදායකයන් පිරිසක් ඒ අවස්ථාවේ සිරිකොතට පැමිණ සිටි අතර, ඔවුන් ලවා කොළ පැහැති බැලුම් පා කර යැවීමටද පියවර ගනු ලැබීය.
තමා පැළයක් සිටුවීමට සමගාමීව රට පුරාම පාක්‍ෂිකයන් ලවා පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ඒ සමඟ ක්‍රියාත්මක කිරීමට විජයවර්ධන මහතා සැලසුම් කර තිබුණි.
ඉන්පසුව රුවන් ඇතුළු පිරිස ප.ව. 3.00 ට පමණ හයිඩ්පාක් කෝනර් හි නිවසේ පැවැති සාකච්ඡාවකටද සහභාගි විය. නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන සමන් රත්නප්‍රිය, අාශු මාරසිංහ, අනුරාධ නායක, ශාන්තිනි කෝන්ගහගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ඒ අවස්ථාවට සහභාගි වී සිටියහ.


මෙහිදී රටේ පවතින බරපතළ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා විය. ඉන්ධන මිල ඉහළ යාම, පොහොර නොමැතිවීම, කොවිඩ් වසංගතය, බඩු මිල ඉහළ යාම, ජනතාවගේ ජීවන ප්‍රශ්න ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී අදහස් ප්‍රකාශ විය.


මෙහිදී රුවන් විජයවර්ධන නියෝජ්‍ය නායකවරයා කියා සිටියේ මේ රජයේ වැඩපිළිවෙළ නිසා, ජනතාව මීට පෙර කිසිදු අවස්ථාවක නොවූ තරම් පීඩාවට පත්වී සිටින බවය. අාශු මාරසිංහ හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතා විරෝධය පාරට ගෙන ආ යුතු බවය. රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනතා ප්‍රශ්න විසඳීමට රජය පෙළඹවීම සඳහා අලුත් විදියට කටයුතු කළ යුතු බවය.


මේ අතර එක්සත් ජාතික පක්‍ෂය කාලයක් තිස්සේ මුද්‍රණය කරමින් සිටියදී, පසුකාලයක ප්‍රකාශයට පතු නොවූ ‘සියරට’ පුවත්පත ඔන්ලයින් ඔස්සේ ආරම්භ වූයේ රුවන් විජයවර්ධන මහතාගේ මූලිකත්වයෙනි. එහි වැඩ කටයුතු පවරා තිබුණේ සමන් රත්නප්‍රිය මහතාටය. Online තාක්‍ෂණය ඔස්සේ ‘සියරට’ පුවත්පතේ පළමු පිටපත් නැරඹූ රුවන් විජයවර්ධන මහතා, තවත් වර්ධනය කළයුතු කරුණු පිළිබඳව සමන් රත්නප්‍රිය මහතාට උපදෙස් ලබා දුන්නේය.


රුවන් විජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ‘මහජන වේදිකාව’ වැඩපිළිවෙළ සූම් තාක්‍ෂණය ඔස්සේ ගිය සතියේදී පැවැත්වුණි. 300කට අධික පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. හිටපු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් සහභාගී වූ එම සාකච්ඡාවේදී ඒ ඒ ප්‍රදේශවල පවත්නා අඩුපාඩු පිළිබඳව ද රුවන් විජයවර්ධන මහතා විමසා බැලීය.


***************************************
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර තම මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන වැඩ කිහිපයක් සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අනුග්‍රහයක් ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ දී හිමිකරගත්තේය. අගමැතිවරයා සමග පිළිසඳරක යෙදී සිටි අවස්ථාවේ ශාන්ත බණ්ඩාර කීවේ අලව්වේ ජනතා පොල අලුතෙන්ම හදන්න පටන් ගත්තා. ගුවන් පාලම සහ මහා මාර්ග පුළුල් කරන්න සර්ගේ උදව් ඕනෑ’’ කියාය.


‘‘ආ ඒ දෙකම පටන් ගන්න. ජොනී... මෙයාට උදව් කරන්න...’’ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ අසලම සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාට කීවේය.


‘‘අලව්වේ හා මහව ගුවන් පාලම් දෙක අපි ළඟදීම පටන් ගන්නවා.’’ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා එහි දී කීවේය.


කෘෂිකාර්මික ප්‍රදේශයක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් වී හා පොල් පොහොර හිඟයෙන් පීඩා විඳින බව කී ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ඒ සඳහා පියවරක් අගමැතිතුමාගෙන් ඉල්ලා සිටියේය. අගමැති ඇමැති රමේෂ් පතිරණට කතා කර මේ ගැන විමසද්දී පොහොර සමාගම්වලින් පිළිතුරු ලැබුණේ මේ වන විට පොහොර හිඟයක් පවතින බවය.

 

-ගජබා-