ආණ්ඩුවේ පුටු මාරුව


 දේශපාලන කරළිය දවසින් දවස ගිනියම් වෙමින් තිබෙන්නේ අලු‍ත් මාතෘකා එකතු වෙමිනි. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ, ගිය සතියේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ද ඉහළ ගිය අතර කිරිපිටි මිල ද නැවත වරක් ඉහළ දමනු ලැබීය. ඒ අතර රටපුරා පිටි හිඟයද තවමත් පවතින අතර එය කවදා අවසන් වනු ඇතිදැයි කිව නොහැකිය

.
ජනපති පුවත්පත් කතුවරුන් හමුවෙයි


මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සඳුදා දහවල් ජනාධිපති මන්දිරයේ දී මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් කතුවරුන් හමුවිය. එහි දී ජනාධිපතිවරයා වැඩි ප්‍රමුඛතාවක් දී තිබුණේ රජයේ පුවත්පත්වලට වඩා පෞද්ගලික මාධ්‍ය ආයතනවල පුවත්පත් කතුවරුන්ට බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි .දිවා භෝජනය ද සමගින් සූදානම් කර තිබූ මේ හමුවේදී ජනාධිපතිවරයා මුලින් කරුණු පැහැදිලි කර පුවත්පත් කතුවරුන්ට ඇති ප්‍රශ්න ගැටලු‍ ඉදිරිපත් කරන්නැයි කීවේය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් සිටියදී යුගදනවි ගිවිසුමට එරෙහිව අධිකරණයට යාම සම්බන්ධයෙන් පුවත්පත් කතුවරු විමසා සිටියහ. එම ඇමතිවරුන් තුන්දෙනා කළ ක්‍රියාව සම්පූර්ණයෙන් වැරදි බව ජනාධිපතිවරයා ප්‍රථම වරට මාධ්‍ය හමුවේ කීවේය. කැබිනට් ‘‘එකේදි සාමූහික තීන්දුවක් ගත්තහම ඒ විදියට ඉන්න ඕන. එහෙම නැතුව කැබිනට් එකේ ඉඳන් මේ කරන වැඩේ අසාධාරණයි. එයාලට අධිකරණයට යන්න ඕන නම් ඇමතිධුරවලින් අයින්වෙලා යන්න තිබුණා’’ යයි ජනාධිපතිවරයා කීවේ පුවත්පත් කතුවරුන් නැගූ ප්‍රශ්නයට දීර්ඝ පිළිතුරක් දෙමිනි. ඒ සමගම ජනාධිපතිවරයා කීවේ ප්‍රේමදාස ආණ්ඩුව සමයේ මේ ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමා දුන් තීන්දුවක් ද තිබෙන බව ය. ඇමතිවරුන් තිදෙනා මේ ආකාරයෙන් කටයුතු කිරීම සාමූහික වගකීම කඩකිරීමක් බව ජනාධිපතිවරයා කීවේය .


මේ අතර ජනාධිපතිවරයා රජයේ ඇතැම් පත්කිරීම් ගැන ද කතා කළේ කලකිරීමෙනි. ආචාර්ය මහාචාර්යවරුන් පත්කර ඇති ඇතැම් තැන්වල අසාර්ථක වී ඇති බවද ජනාධිපතිවරයා කීවේය


මේ අතර ජනාධිපතිවරයා කීවේ ”‍ආණ්ඩුව කරන හොඳ වැඩ ගැන මාධ්‍යවලින් එතරම් ප්‍රචාරයක් නොලැබෙන බවය. ඇතැම් සුළු සුළු වැරදි අඩුපාඩු මාධ්‍යවලින් මහ ඉහළින් හුවාදක්වන බව ජනාධිපතිවරයා කීවේය. චීන පොහොර නැවේ පොහොර පරික්ෂා කර සහතික නිකුත් කිරීමට පෙර බැංකුව හරහා එල් සී විවෘත කිරීම වැරදි බව ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයා කීවේ පසුගිය කාලයේ දේශීය නිෂ්පාදන වල වැඩිවීමක් සිදු වූ බව ය. විශේෂයෙන් ගම්මිරිස්, කහ නිෂ්පාදනවල වැඩිවීමක් සිදුවූ බවත් එමගින් ගොවීන්ගේ ආදායම ඉහළ ගිය බවත් ජනාධිපතිවරයා කීවේය. රටෙහි ඇති ව තිබෙන ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් ප්‍රශ්නය බව කී ජනාධිපතිවරයා එය ලංකාවට පමණක් නොව ලෝකයටම මුහුණ දෙන්න සිදු වූ බරපතළ ගැටළුවක් වූ බව කීවේය. ඒ ගැන තමන්ට දොස් කියන එක වැරදි බව කී ජනාධිපතිවරයා රටේ හොරකම් සිදුවනවා නම් මාධ්‍යවලින් පෙන්වා දෙන්නැයි ඉල්ලීමක් කළේය. තමාගෙ කාලයේ ව්‍යාපෘති කිරීමට ණය නොගත් බවද ඔහු සඳහන් කළේය. ඩොලර් හිඟයට ද බලපෑවේ කොවිඩ් ප්‍රශ්නය බව කී ජනාධිපතිවරයා මාසයකට තෙල් ගෙන්වීමට ඇමරිකානු ඩොලර් මිලියන 360 ක් පමණ වැය වන බව කීවේය .ඉන්ධනවලට හා ගල් අඟුරුවලට යන වියදම අඩු කර ගැනීමට වහා කටයුතු කළ යුතු බව කී ජනාධිපතිවරයා පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් කැපවිය යුතු බවද සඳහන් කළේය.


ඒ අතර මේ දිනවල අර්බුදයට ලක්ව ඇති කාබනික පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය. ‘මුලදී මම ගොවීන්ට නිකම් පෝර දුන්නා, රුපියල් 20ට තිබුණු වී කිලෝව රුපියල් පනහට වැඩි කළා. ගොවීන්ගේ ආදායම වැඩි වුණා. ඒව ගැන කවුරුවත් කතා කරන්නේ නෑ’ යැයි කී ජනාධිපතිවරයා කාබනික පොහොර ව්‍යාපෘතියට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කිසිදු සහායක් නොලැබුණු බව ද කීවේය.


පීබී ගෙදර යැව්වේ විමල් ද?

 

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සම්බන්ධයෙන් විමල් වීරවංශ ඇමතිවරයා දිගින් දිගටම කටයුතු කළේ ප්‍රහාරාත්මක ස්වරූපයෙනි. මේ ආණ්ඩුවේ දී පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් සිටියදී ද ඔහු විමල්ගේ විවේචනයට ලක් විය. කෙසේ හෝ මේ ආණ්ඩුව පත්වීමෙන් පසුව ද විමල්, පීබීට එරෙහි සටන දිගින් දිගටම ගෙන ගියේය. ප්‍රසිද්ධ රැස්වීම්වල ද විමල් ඔහුට එරෙහිව හඬ නැගුවේ ය. මෑතකදී විමල් එක්තරා රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනකට සහභාගීවෙමින් යුගදනවි ගිවිසුම ගැන මෙන්ම පී.බී. ජයසුන්දර සම්බන්ධයෙන්ද කර්කශ විවේචනයක් ඉදිරිපත් කළේය. ජනාධිපතිවරයා සහ පුවත්පත් කතුවරුන් අතර ඉකුත්දා පැවැති හමුවෙන් අනතුරුව දිවා භෝජන සංග්‍රහයේදී පුවත්පත් කතුවරයෙක් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් කෙළින්ම විමසීමක් කළේය. රූපවාහිනී සංවාදයේ දී විමල් කළ ප්‍රකාශ ගැන ජනාධිපතිවරයා සිටියේ තරමක කනගාටුවකිනි. ”‍මේ විදියට ලේකම්වරයාට පහරදීම වැරදියි. ජනතාව අතර වැරදි මතයක් යනවා. එය වැරදි පූර්වාදර්ශයක්’ යයි කීවේ පී.බී. ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටිමිනි. විමල් ගේ විවේචනය හමුවේ පී.බී. ජයසුන්දර ද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉකුත්දා ජනාධිපතිවරයාට ලිපියක් යැවීය ජනාධිපතිවරයා එය නොපිළිගෙන තිබූ බැවින් පසුව ඔහු පිටු හතරක ලිපියක් ද යැව්වේ තමාට ඉල්ලා අස්වීමට අවශ්‍ය බව සඳහන් කරමිනි. ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් සමග දිවා භෝජනය ගන්නා අතරතුර කීවේ පී. බී.ගේ ඉල්ලා අස්වීම පිළිගත් බව ය. පුවත්පත් කතුවරුන්ගේ ඊළඟ ප්‍රශ්නය වූයේ පීබී ගියාම එතනට එන්නේ කවුද කියා ය. ජනාධිපතිවරයා ඒ ගැන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද ඉකුත්දා සාකච්ඡා කර තිබිණි. ඔහු කීවේ පීබී යනවනං අගමැති ලේකම් ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කළ බව ය. ඒ අනුව ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කරන අතර අගමැති ලේකම් ලෙස වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක පත් කරන බව ජනාධිපතිවරයා කීවේය. ලේකම්වරු පත්කිරීම සම්බන්ධයෙන් විශේෂත්වයක් ද තිබේ. ඒ අයියා ළඟ සිටි ලේකම්වරුන් මල්ලි ළඟට ඒමය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ළඟ සිටි ගාමිණී සෙනරත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟට පැමිණීමට නියමිත අතර ලොකු අයියා වන චමල් රාජපක්ෂ මහතා ළඟ සිටින අනුර දිසානායක අගමැති ලේකම් වී අගමැති අයියා ළඟට පැමිණීමට නියමිතය .


මේ අතර ජනාධිපතිවරයා ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ දී සියලු‍ම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති මන්දිරයේ දී හමුවිය. ඔවුන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සූදානම් කර තිබූ අතර ලේකම්වරු කැඳවනු ලැබ සිටියේ ඔවුන්ගේ බිරින්දෑවරුන් ද සමඟිනි. ජනාධිපතිවරයා මේසයෙන් මේසයට යමින් ලේකම්වරුන් සමග කතාබහ කළ අතර ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු‍ ගැන ද විමසීය. ලේකම්වරුන් බොහෝදෙනකු කීවේ තමන්ට රාජකාරි ප්‍රශ්න මෙන්ම පුද්ගලික ගැටලු‍ද තිබෙන බවය. එහෙත් ඒවා කතා කිරීමට කෙනෙක් නැති බවත් ඒ සඳහා ක්‍රවේදයක් අවශ්‍ය බවත් ඔවුහු කියා සිටියහ. ජනාධිපතිවරයා අගමැති ලේකම් ගාමිණී සෙනරත් ළඟට කැඳවා ‘මේ ඉන්නේ ඔයාලට මෙයත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඔයාලගේ ගැටලු‍ මෙයාට කියන්න’ යයි කීවේය. ජනාධිපතිවරයා මේ ආකාරයෙන් සුහද කතාබහක නිරත වීම ගැන ලේකම්වරුන් ද සිටියේ මහත් සන්තෝෂයෙනි .

 

කබ්රාල් - ආටිගල හෙට කැබිනට්ටුවට


නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වේ. මැති ඇමැතිවරුන් බොහෝ දෙනෙකු වසර අවසානයේ නිවාඩුව ගත කිරීමට විදේශගතවීම සහ ගම් පළාත් බලා යාම නිසා ගිය සතියේ කැබිනට් රැස්වීම නොපැවැත්විණි. ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල කැබිනට් මණ්ඩලයට කැඳවීමට තීරණය කළේ මීට සති දෙකකට පෙර පැවති කැබිනට් රැස්වීමේ දී ය. එම දෙදෙනා හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට සහභාගි වී රටේ මුදල් තත්ත්වය සහ ආර්ථිකය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරනු ඇත. ඇතිව තිබෙන තත්ත්වය හමුවේ ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ ද යන්න සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තීරණය කරනු ඇත


හාල් සොයන්න බන්දුල පිටකොටුවේ

.
ඇමැති බන්දුල ගුණවර්ධන ගිය සතියේ පිටකොටුවට ගියේ සහල් වෙළෙඳුන් හමුවී සහල් තොග පිළිබඳව අවබෝධයක් ලබාගැනීම වෙනුවෙනි. ඒ සහල් හිඟයක් පවතින බවට පැතිර ගිය ආරංචියක් හේතුවෙනි. ආරංචිය පැතිරගිය දිනට පහුවදා බන්දුල පිටකොටුව සහල් තොග වෙළඳුන් හමුවිය. ඒ අතරවාරයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් කතා කරමින් සහල් හිඟයක් පවතින බවට යන ආරංචි සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලීමක් කළේය. බන්දුල කිව්වෙ තමා දැනටත් සිටින්නේ පිටකොටුවේ සහල් තොග වෙළඳුන් සමග බවත් එවැනි කිසිදු හිඟයක් නොමැති බවත්ය .

 


හම්බන්තොට පොළේදී සජිත් කී කතාව


පසුගිය 26 වැනිදා සජිත් අලු‍ත් කටයුත්තකට මුල පිරුවේය. ඒ නගරයෙන් නගරයට ගොස් ජනතාව හමුවන ‘‘මනුෂ්‍යත්වය චාරිකාව”‍ වැඩසටහනය.


හම්බන්තොට පොළ භූමියෙන් ආරම්භ කළ වැඩසටහන දින කිහිපයක්ම හම්බන්තොට කේන්ද්‍රගත කරගනිමින් පවත්වනු ලැබීය.


ඔහු යන යන තැන සෑම තැනකින්ම අසන්නට දකින්නට ලැබුණේ මිනිස්සුන්ගේ දුක් අඳෝනාවන්ය.
“මන්ත්‍රීවරයෙක් තියා ඇමැතිවරයකුටත් පාරට බැහැලා අපි ඉස්සරහට එන්න බැහැ මහත්තයෝ. අපි උන්නද මළාද කෑවද බීවද කියලා බලන්න කෙනෙක් නෑ. දිනුවත් පැරදුනත් හැමදාම අපි ළඟට ඇවිල්ල අපේ දුක සැප හෙව්වේ ඔබතුමා.”‍ පොළ භූමියේ සිටි බොහෝ දෙනෙක් සජිත් සමග කීහ.


‘‘අපිත් රැල්ලට රැවටිලා පොහොට්ටුවට ඡන්දය දීපු මිනිස්සු. ජනතාවගේ දෙපා ළඟට එනවා කියලා ඔබතුමා එදා කියද්දී අපි ඔබතුමාට හිනා වුණා. හැබැයි ඔබතුමා අද අපේ දෙපා මුලට ඇවිල්ල දුක අහනව. අපි අඬ අඬා ඔබතුමාට දුක කියනවා.”‍


මවක් ඇස්වල කඳුළු පුරවාගෙන සජිත් සමග කීවේය. ‘‘ආණ්ඩුවේ සමහරු දැන් කියනවා ‘‘ජනතාව මීට වඩා කැපකිරීම් කරන්නලු‍.”‍ ත්‍රීරෝද රථ රියැදුරෙක් සජිත්ට කීවේය.


‘‘ඔව් ආණ්ඩුවේ තවත් පිරිසක් කියනවා ජනතාවට”‍ ටිකක් කන්න කියලා. තව සමහරු කියනවා ‘‘එක වේලක් අඩු කරලා”‍ කන්නලු‍. තව ටික දවසකින් කියයි’’ කන්න එපා”‍ කියලා. ජනතාව කැපකිරීම්-ආණ්ඩුව සැපගැනීම්”‍ ‘‘මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලාම ජනතාව කළේ කැපකිරීම් කරන එක. හැබැයි ආණ්ඩුවේ උදවිය කළේ සැප ගැනීම. ආණ්ඩුවට දුකක් නෑ. ජනතාවට ඇපත් නෑ.”‍ සජිත් උත්තර දුන්නේය.


දින හතරක් මුළුල්ලේ සජිත් මනුෂ්‍යත්වය චාරිකාව සිදු කළේ ය.


විශාල උද්යෝගයකින් ජනතාව ඒවාට සම්බන්ධ වූ අතර ආණ්ඩුවට එරෙහිව ඇති අප්‍රමාණ කලකිරීම ජනතාව සිය හැඟීම්වලින් පිට කරනු ලැබීය.


අධ්‍යාපනයේ දෙවැනි නිදහස් අරගලයට සජිත් මුලපුරයි!


මේ අතර පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සජිත් තවත් සුවිශේෂී කටයුත්තකට මුල පිරුවේය.


ඒ ඔහු විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘‘සක්වල”‍ නවතම වැඩසටහනයි.


සක්වල වැඩසටහන හරහා ඔහු සිදුකිරීමට අපේක්ෂා කරන්නේ රටේ දුෂ්කර පාසල්වල දූදරුවන්ගේ පරිගණක සහ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමත් සුහුරු පන්ති කාමර ආරම්භ කිරීමත් ය. ඒ හරහා තෝරාගත් පාසල්වලට ඉතා විශාල ප්‍රමාණයේ පරිගණක ඩිජිටල් පුවරු, සුහුරු පන්ති කාමරයකට අවශ්‍ය පරිගණක ලබාදීමටද සජිත් කටයුතු කරයි.


එහි පළමු නියමු ව්‍යාපෘතිය ආරම්භ වූයේ තණමල්විල බෝදාගම විද්‍යාලයෙනි.


සජිත්ගේ මේ අලු‍ත්ම කටයුත්ත පිළිබඳව සැලවූ බොහෝ දෙනෙක් සජිත්ට දුරකථනයෙන් අමතා ප්‍රශංසා කරන්ට පටන් ගත්හ.


‘‘ආණ්ඩුවක් කරන්න ඕනැ මේවා. හැබැයි ආණ්ඩුවේ ලොකු ලොක්කෝ කරන්නේ සැප ගන්න ලෝකෙ වටේ යන එක.”‍ භික්ෂූන් වහන්සේ නමක් සජිත්ට කතා කොට එහෙම කීවේය.


‘‘සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහත්තයා, මේ රටේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය දෙන්න පැය ගණන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතා කළා. එච්චර හොඳ වැඩෙත් නරකයි කියන්න උදවිය ඒ දවස්වල හිටිය. හැබැයි ඒ නිදහස් අධ්‍යාපනයේ පළවෙනි සටන කන්නන්ගර මහත්තයා දිනුවා”‍ උන්වහන්සේ සජිත් සමඟ කීවේය.
‘‘අද මුළු ලෝකෙම අලු‍ත් තාක්ෂණය එක්ක ඉස්සරහට යනවා. ඔන්ලයින් අධ්‍යාපනය අතින් අපේ රට මොනතරම් පසුගාමීව ද ඉන්න කියලා පහුගිය දවස්වල හොඳටම පෙනුණා. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය නෙවේ අද තියෙන්නේ. අද අධ්‍යාපනය නූතන තාක්ෂණයත් එක්ක යන්නේ. හැබැයි කොම්පියුටරයක් ඇහැට දැකපු නැති දරුවො මේ රටේ ඉන්නවා. එහෙම වෙලාවක ඔබතුමා කරන මේ වැඩේ වචනවලින් කියලා නිම කරන්න බැහැ” මහ ලේකම් රංජිත්, සජිත්ගේ අලු‍ත්ම සංකල්පය ගැන එහෙම කීහ.


‘‘92%ත්, 97% අතර සාක්ෂර මට්ටමක් අප රටේ පවතින්නේ. ඩිජිටල් සාක්ෂරතාව අද ආර්ථික සංවර්ධනයේ මිනුම් දණ්ඩක් වෙලා තියෙනවා. අපේ රටේ ජනතාවගේ ඩිජිටල් සාක්ෂරතාව 2020 වර්ෂයේ 49% යි. පරිගණක සාක්ෂරතාව 32.2%යි. අපේ රටේ භාගයකට ඒ හැකියාව නැහැ. අපගේ වගකීම තමයි ඩිජිටල් සාක්ෂරතාව වර්ධනය වන පරිදි වැඩ කටයුතු කිරීම. අපි ඉන්නේ හතරවෙනි කාර්මික විප්ලවය ක්‍රියාත්මක වන අවස්ථාවේ. තවමත් අපි උපයෝගී කරගන්නේ පළවෙනි දෙවෙනි විප්ලවවල මෙවලම් සහ ක්‍රියාදාමයන්. එය කනගාටුවට කරුණක්. වෙනත් රටවල්වල හතරවැනි කාර්මික විප්ලවයට අදාළව තොරතුරු තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, ස්වයංක්‍රීයකරණය, රොබෝ තාක්ෂණය යන ඒවා භාවිත කරනවා. මේවා තමයි අනාගත රැකියා උත්පාදන සඳහා අලු‍ත් දැනුම. විද්‍යා, ගණිත සහ ඉංජිනේරු මෙන්ම ඩිජිටල් තාක්ෂණය වැනි විෂයන්වලට අපි උනන්දුවෙන් අවධානය යොමු කරන්න ඕනෑ. රටක් වශයෙන් ඉදිරියට යන්න අපි මේවායේ රැඩිකල් වෙනසක් ඇති කරන්න ඕනෑ.”‍ සජිත් සිය වැඩසටහන පිළිබඳව මන්ත්‍රීවරුන් සමග කීවේ එහෙමය.
‘‘සක්වල”‍ නියමු වැඩසටහන පැවැත්වුණේ තණමල්විල බෝදාගම විද්‍යාලයේදීය. අති නවීන පරිගණක පංති කාමරය දුටු දරුවන්ගේ මුහුණු මත සිනා මල් පිපෙනු දැකිය හැකි විය. එය අතිශය සංවේදී මොහොතක් බවට පත්විය.


‘‘මේ වගේ දුෂ්කර ප්‍රදේශවලට කොම්පියුටරයක් තියා කාඩ් එක දාගන්නවත් දරුවන්ට සල්ලි නැහැ. එහෙම ප්‍රදේශයකට මේ කරපු පිංකම වචනවලින් කියලා නිම කරන්න බැහැ”‍ විද්‍යාලයේ ගුරු මණ්ඩලය සජිත්ට ස්තුති කළේ එහෙමය.


‘‘මේක අපේ ජීවිතයේ ඉතාම සතුටුදායක වෙලාවක්. පරිගණක පුවරුවක්, නවීන කොම්පියුටරයක්, සුහුරු පන්ති කාමරයක් අපිට හීනයක් වෙලා තිබුණේ. ඉතාම කටුක දුෂ්කර ජීවිත තමයි අපි ගෙවන්නේ. එහෙම තැනකට ඇවිල්ලා ඔබතුමා මෙහෙම පරිත්‍යාගයක් කරලා අපිට අලු‍ත් ලෝකයකට දොරටු ඇරලා දුන්නට ගොඩක් පින්’’ පාසලේ දරුවන් සජිත්ට කීවේය.


‘‘රට ගොඩනගන්න නම් නිදහස් අධ්‍යාපනයක් තිබිය යුතුයි කියන සටනට කන්නන්ගර මැතිතුමා නායකත්වය ලබාදුන්නා. උසස් පැලැන්තිය කිව්වා නිදහස් අධ්‍යාපනයක් ආවොත් අපේ වතුවල පොල් කඩන්නවත් කවුරුත් නැති වෙයි කියලා. ශ්‍රීමත් කන්නන්ගර මැතිතුමාගේ මැදිහත්වීමෙන් නිදහස් අධ්‍යාපන අරගලය ජයග්‍රහණය කළා. ඒ නිදහස් අධ්‍යාපනයේ පළමු වැඩසටහන. සක්වල වැඩසටහන මං හඳුන්වන්න කැමතියි නිදහස් අධ්‍යාපනයේ ඊළඟ යුගයට ගෙන යන සටනක් හැටියට. දෙවන පියවර හැටියට.”‍ සජිත් සභාව අමතා එහෙම කීවේය.

 

සංචිත වැඩිවීමේ රහස


එක්සත් ජාතික පක්ෂ නායක වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී ජ්‍යෙෂ්ඨයන් හමුවූයේය. මෙහිදී පක්ෂයේ ඉදිරි කටයුතු අතර තරුණ කණ්ඩායම් හා කාන්තා සංවිධාන ශක්තිමත් කිරීම, ප්‍රතිපත්ති සකස් කිරීම හා සාමාජික ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පියවර ගැනීමට සාකච්ඡා කෙරිණි. රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ, ගොවීන් බහුතරයක් වගාවෙන් ඉවත්වීම නිසා සාගතයක් ඇති වීම වැළැක්විය නොහැකි බවය.
යළි ඒ මහතාගේ නිවසේදී රැස්වූ පිරිස ඩොලර් ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළහ. චීනයෙන් ඩොලර් බිලියන 1.5ක ණයක් ඉල්ලුවට ඔවුන් ඒක දෙන්නෙ යුවාන් වලින්. ඉන්දියාවෙන් ඔවුන්ගේ ක්‍රෙඩිට් ලයින් එක හරහා භාණ්ඩ දෙනවා. මීට අමතරව අපනයනකරුවන්ගෙන් ඩොලර් අරන් තිබෙනවා. මේ ටික පෙන්වලා වි​දේශ සංචිත බිලියන 3.1 ට වැඩි වුණා කියනවා. කොහොම ගත්තත් මේවා ගෙවන්න වෙන්නෙ ඩොලර්වලින් යැයි මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.


‘‘මහ බැංකුවේ රේට් එකට මේවා ගන්න පුළුවන් වුණොත් ආහාර ගෙන්නුවට අවාසියක් වෙන්නෙ නෑ. ඔහු පෙන්වා දුන්නේය.


අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික ජෙට් යානයකින් ඉන්දියාවේ ගිය බව කියන සිද්ධියක් පිළිබඳවද මෙහිදී පිරිස අතර සාකච්චාවට බඳුන් විය.


ගිය සතියේදී එක්සත් ජාතික පක්ෂ නායකයා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කළේය.


සිංහල අවුරුද්දට රටේ බරපතළ ආහාර හිඟයක් ඇති වන බව එම ප්‍රකාශයේ සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා රටේ අස්වැන්න සියයට 60කින් අඩුවන බවද ප්‍රකාශ කළේය.


මේ තත්ත්වය මත කෝපවන ජනතාව අතර පිපිරීමක් ඇතිවිය හැකි බවද ඔහු එම ප්‍රකාශයේ සඳහන් කළේය.
පොදුජන පෙරමුණට සම්බන්ධ 25 දෙනෙක් පසුගිය සතියේ දී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඉදිරියේ සිදු විය.
අත්තනගල්ල ආසනයේ කඹුරාගල්ල ප්‍රදේශයේදී පැවැති චාම් උත්සවයකදී මෙම 25 දෙනාට පක්ෂ සාමාජිකත්වය ලබාදීම සිදුවිය.


පසුගිය සතියේ අත්තනගල්ල ආසනයේ සංචාරයක යෙදුණු රුවන් විජයවර්ධන මහතා එහිදී ප්‍රදේශයේ තරුණ කණ්ඩායම් හමුවී රටේ පවතින තත්ත්වය පිළිබඳව කතා බහක යෙදුණේය.


එහිදී රුවන් විජයවර්ධන අභියෝගතා කුසලාන තරගාවලිය පැවැති අතර ඔහු එය නැරඹුවේය.


විවාහ චක්‍රලේඛයට කරුගෙන් ප්‍රකාශයක්


රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබුණත් මේ එළඹ ඇත්තේ උත්සව සමයකි. එබැවින් බොහෝ දේශපාලන හා සිවිල් ක්‍රියාකාරිකයන්ට තාවකාලික විරාමයක් ලැබී ඇති සෙයකි. සමහර දේශපාලනඥයින් මේ වන විට ගතකරන්නේ රටින් බැහැරවය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතාටද පසුගිය සතියේ දින වෙන්කර තිබූ බොහෝ හමුවීම් ඒ නිසා අවලංගු කරන්නට සිදුවිය. ඔහු අමරසේකර මාවතේ තම නිවසේ ගත කළද කාර්ය බහුලත්වයේ කිසිදු අඩුවක් නොවීය. දෙස් විදෙස් බොහෝ දෙනෙක් ඔහු අමතමින් රටේ පවත්නා තත්ත්වය මෙන්ම රට මෙම අගාධයෙන් ගොඩගැනීමට ඇති වගකීම පිළිබඳව බොහෝ දේ සාකච්ඡා කළේය.


රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව මෙන්ම එය පුළුල් මහජන සහභාගිත්වයකින් මෙන්ම අනුමැතියකින් සිදුකළ යුත්තක් බවද එහිදී අවධාරණය වී තිබේ.


රටේ යම් පුරවැසියකු විදේශිකයෙකු හා විවාහ වන්නේ නම් ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයෙන් පූර්ව අවසරයක් ලබාගත යුතු බවට නිකුත්කර ඇති අලුත්ම චක්‍රලේඛයට ද කරු තම විරෝධය සටහන් කර ඇත. විදේශ පුරවැසිභාවය අත්නොහළ අයට රාජ්‍ය පාලනයට එක්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කරගත් පිරිසක් සාමාන්‍ය ජනතාවට වෙනස් නීති පනවන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමින් ඔහු පසුගිය සතියේ නිවේදනයක් ද නිකුත් කළේය.

 

 

-ගජබා-