ආණ්ඩුවට කළු පැල්ලමක් එක් කළ ලොහාන්ගේ කතා වස්තුව


ඉකුත් සතියේ දේශපාලන කරළිය ගිනියම් කළ ප්‍රධාන සිද්ධිය වූයේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සිද්ධියයි. සිරකරු සුබසාධන දිනය යෙදී තිබූ ඉකුත් දොළොස් වැනිදා බීමතින් සිය මිතුරන් පිරිසක් ද සමඟ අනුරාධපුර බන්ධනාගාරයට රාත්‍රියේ ඇතුළු වීම හා එහි රඳවා සිටි එල්ටීටීඊ සිරකරුවන් පිරිසක් එළියට ගෙන ඔවුන්ගේ හිසට පිස්තෝලය තබා තර්ජනය කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි. එපමණක්ද නොවේ. ඊට කලින් සතියේ සිය මිතුරන් පිරිසකට එල්ලු‍ම්ගහ පෙන්වීමට යැයි කියා කොට කලිසමකින් සැරසී මිතුරන් පිරිසක් ද සමඟ වැලිකඩ බන්ධනාගාරයට ඒ ආකාරයටම ඇතුළු වූ බවට ද ඔහුට චෝදනා එල්ලවිය.


බොහෝ මාධ්‍යවල ලොහාන්ගේ නම ඒ සම්බන්ධයෙන් සඳහන් නොවුවද සමාජ මාධ්‍යවල නම් ඔහුගේ නම දිගින් දිගටම පළවිය. රූපවාහිනිය, ගුවන් විදුලි මෙන්ම, ප්‍රධාන පෙළේ මුද්‍රිත මාධ්‍යවල ද මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පළවීම හේතුවෙන් එය දේශපාලන කරළියේ ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්විය. මෙවැනි ආකාරයේ හැසිරීම් සම්බන්ධයෙන් ලොහාන්ට මීට පෙර අවස්ථා කිහිපයකදී ද චෝදනා එල්ල විය. මෙවර චෝදනා බරපතළ වූයේ ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය රැස්වන අවස්ථාවේ මෙවැනි සිද්ධියක් වීමත් එල්ටීටීඊ සැකකරුවන් පිරිසක් සිර මැදිරිවලින් එළියට ගෙන පිස්තෝල පෙන්වා ඔවුන්ට තර්ජනය කළ බවටත් චෝදනා එල්ල වීමෙනි. රාජ්‍ය අමාත්‍යවරයෙකු මේ ආකාරයෙන් හැසිරීම ඉතාම බරපතළ ලෙස සැලකිල්ලට ලක්විය යුතු බවට මාධ්‍ය හරහාත් විපක්ෂයේ දේශපාලන පක්ෂත් දිගින් දිගටම මතයක් ගෙන ගියේය. එය ආණ්ඩුවට ද රටට ද බරපතළ කැළලක් බවට පත්විය. මෙහි වඩාත් හාස්‍ය දනවන සුළු සිද්ධිය වන්නේ ලොහාන්ගේ සිද්ධිය මාධ්‍ය වල දිගින් දිගටම පළ වුවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාත් ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයාත් එවැන්නක් සිදු වූ බව නොදැන සිටීමය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ලොහාන් රත්වත්තේ චෝදනාවල වගකීම භාරගෙන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමය.


 

 

 

අගමැති ඉතාලියේ සමුළුවක

 

 

 

 



ලොහාන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ල වූ විවේචන හමුවේ ජනාධිපතිවරයාට ද ඒ සම්බන්ධයෙන් පියවරක් නොගෙන සිටින්නට නොහැකි විය. ලොහාන්, රාජපක්ෂ පවුල සමඟ එදත් අදත් ඉතා සමීපව කටයුතු කරන බව දේශපාලන කරළියේ නොදන්නා කෙනෙක් ද නැත. කෙසේ වුවද එල්ල වී ඇති චෝදනාවේ බරපතළකම හමුවේ ඔහු සම්බන්ධයෙන් පියවරක් නොගෙන සිටින්නට ජනාධිපතිවරයාට ද නොහැකි විය. ලොහාන් සම්බන්ධ සිද්ධිය කරළියට පැමිණීමත් සමඟ ඒ ගැන වහා සොයා බලන්නැයි ජනාධිපතිවරයා බුද්ධි අංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා ලැබීමත් සමඟ ජනාධිපතිවරයා ලොහාන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළේය. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සමඟ ද කතාබහ කළේය. “ලොහාන් රාජපක්ෂ පවුල සමග සමීප බව ඇත්ත. නමුත් මේ සිද්ධිය ඉතාම බරපතළයි. ඒ නිසා මට ඔහු ගැන තීන්දුවක් ගන්න වෙනවා”‍ ජනාධිපතිවරයා කීවේය. බැසිල් ද එය අනුමත කළේ එල්ල වී ඇති චෝදනා වල බරපතළකම සැලකිල්ලට ගනිමිනි.


මේ කතාබහ අතරේ ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිවරයා ජනාධිපතිවරයාට ඉකුත් බදාදා උදේ දුරකථනයෙන් කතා කළේය. සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තරමක කේන්තියෙන් සිටි නමුත් ලොහාන්ගේ ඇමතුමට පිළිතුරු දුන්නේය. සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව කී ලොහාන් තමා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව කීවේය. “මම අස් කරන්න තමයි හිටියෙ. ඊට ඉස්සෙල්ලා ඔයා අස්වෙච්ච එක හොඳයි”‍ ජනාධිපතිවරයා කීවේ ඇමතුම විසන්ධි කරමිනි. ඒ අනුව ලොහාන් රත්වත්තේ බදාදා උදේ ජනාධිපතිවරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය යවමින් සඳහන් කළේ අනුරාධපුර සහ වැලිකඩ සිද්ධි වල වගකීම භාරගනිමින් තමා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වන බවය. ලොහාන්ගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා භාරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය එවේලේම නිවේදනය කළේය. ලොහාන්ට රාජ්‍ය අමාත්‍ය ධුර දෙකක් විය. ඔහු අස් වූයේ එක් අමාත්‍යධුරයකින් පමණය. මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරය ද ඇත්තේ ඔහුටය. චෝදනාවල බරපතළකම හමුවේ ඔහු එම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බව බොහෝ දෙනාගේ අදහස විය.


ජනපති නිව්​යෝර්ක්
  යයි


එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (17) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපතිවරයාගේ සංචාරයට ඇතුළත්ව සිටින්නේ සීමිත පිරිසකි. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ සහ තවත් දෙදෙනෙක් ඊට ඇතුළත්ව සිටිති. ජනාධිපතිවරයාට සංචාරය සඳහා සිය බිරිඳ රජයේ වියදමින් කැඳවාගෙන යාම ගැටලුවක් නොවේ. එහෙත් මෙම සංචාරයට අයෝමා රාජපක්ෂ මහත්මිය එක්වන්නේ සිය පෞද්ගලික වියදමිනි. එය එක් පැත්තකින් ජනාධිපතිවරයා රටට දුන් ආදර්ශයකි.
මෙම සංචාරය ජනාධිපතිවරයාට කාරණා දෙකක් නිසා වැදගත්ය. එකක් ජනාධිපතිවරයා මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් ඇමතීමට විදේශයකට යන පළමු අවස්ථාවය. දෙවැන්න ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරය අමතන පළමු අවස්ථාව මෙය වීමය. සමුළුව ආරම්භ වන්නේ ලබන අඟහරුවාදාය. ජනාධිපතිවරයාට ද එදිනම සමුළුව ඇමතීමට නියමිතව තිබීමද එක් අතකින් විශේෂත්වයකි.


අගමැතිගේ ඉතාලි ගමන


ඉතාලියේ බොලොඤ්ඤා නුවර පැවැති අන්තර් ආගමික සමුළුවකට සහභාගිවීමට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් සතිය ඉතාලියේ ගත කළේය. අගමැතිවරයා සමග මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මෙම සමුළුවට එක්ව සිටියහ. ජිනීවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට එරෙහිව නැගූ චෝදනා වලට පිළිතුරු දෙන්නට සිදුවූයේ ජී.එල්. ට ය. ජී.එල්. පීරිස් ඉතාලියේ සිට ඔන්ලයින් ඔස්සේ මානව හිමිකම් සමුළුව අමතමින් කොමසාරිස්වරිය නැගූ චෝදනාවලට පිළිතුරු දුන්නේ බාහිර පාර්ශ්වයක මැදිහත්වීම අවශ්‍ය බවට ඇය කර ඇති ප්‍රකාශය දැඩි සේ ප්‍රතික්ෂේප කරමිනි. අගමැතිවරයා ඉතාලි සංචාරය නිමවා සති අන්තයේදී දිවයිනට පැමිණීමට නියමිතව සිටි අතර, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ජනාධිපතිවරයා සමග එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගිවීම සඳහා නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේය.


කබ්රාල් යයි. කැටගොඩ එයි


මහ බැංකු අධිපති ධුරය භාරගැනීමට අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ගිය සතියේ ඉල්ලා අස්විය. ඔහු ඉල්ලා අස් වූ දිනයේම ජනාධිපතිවරයා විසින් ඔහු මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරනු ලැබීය. ඔහු ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට ජයන්ත කැටගොඩ පත් කරන බව සඳහන් ලිපිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත එදිනම යවනු ලැබීය. බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට ඒමට පුටුව දුන් කැටගොඩට ලබන සතියේ සිට නැවත පාර්ලිමේන්තුවට ඒමට වාසනාව ලැබුණේ එලෙසය.


මෙවර කැබිනට් රැස්වීම ද කොවිඩ් අර්බුදය හේතුවෙන් සුපුරුදු පරිදි සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට ද ඇමැතිවරු සිය නිවෙස්වල සහ කාර්යාලවල සිට ද ඊට සම්බන්ධ වූ අතර අගමැතිවරයා දිවයිනෙන් බැහැරව සිටි නිසා ඊට සම්බන්ධ නොවීය. මෙවර කැබිනට් රැස්වීමේදී වැඩි අවධානයක් යොමුවූයේ හාල් මිල අර්බුදය සහ වී මිල සම්බන්ධයෙනි. වී සඳහා වැඩි මිලක් ලබා දෙන්නැයි ගොවීන්ගේ තිබෙන ප්‍රබල ඉල්ලීමකි. ඒ අනුව නාඩු වී මිල රුපියල් පහකින් වැඩි කරන්නට මහින්දානන්ද අලු‍ත්ගමගේ ඇමැතිවරයා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබිණි. එය කැබිනට් මණ්ඩලය අනුමත කළේ ගොවීන්ගේ ඉල්ලීම සාධාරණ බව සඳහන් කරමිනි.


ශ්‍රීලනිපයේ අලු‍ත් ගමන


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ඉකුත් බදාදා හැන්දෑවේ රැස්වූයේ එහි නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෛත්‍රී, කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේ සිට සූම් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වූ අතර, අනෙක් සාමාජිකයෝ ද සිය නිවෙස්වල සිට ඊට සම්බන්ධ වූහ. ශ්‍රීලනිපය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, සරත් ඒකනායක, තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් ද, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න සහ දේශ විමුක්ති ජනතා පක්ෂය නියෝජිතයෙක් ද ඊට සහභාගි වූහ. මේ සාකච්ඡාව පැයකටත් අඩු කාලයකට සීමා වුවද මාධ්‍යවලට එය ලොකු මාතෘකාවක් වී තිබූ බව පෙනෙන්නට තිබිණි. හිටපු අමාත්‍ය මංගල සමරවීර, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමාන් සහ දේශ විමුක්ති ජනතා පක්ෂයේ හිටපු නායක ඩී.එම්. පොඩිඅප්පුහාමි යන මහත්වරුන් ගේ අභාවයන් වෙනුවෙන් ආරම්භයේදීම ශෝකය පළ කරන්නට සන්ධාන නාය⁣කයෝ අමතක නොකළහ. එක්සත් ජනතා නිදහස් සන්ධානය පුළුල් කරමින් එය අදට ගැලපෙන ශක්තිමත් සන්ධානයක් ලෙස ගොඩනගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. රට ගොඩනැගීම සඳහා වන සමාජ, සංස්කෘතික හා ආර්ථික ප්‍රතිපත්ති වලින් සමන්විත නව ප්‍රතිපත්ති මාලාවක් සන්ධානය සඳහා නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ උපසභාපතිවරයකු වූ තිලංග සුමතිපාල මහතා විසින් යෝජනාවක්ද ඉදිරිපත් කරනු ලැබූ අතර, ඒ සම්බන්ධයෙන් ද තරමක සාකච්ඡාවක් එහිදී ඇති විය. සන්ධානයේ ලකුණ වන බුලත් කොළය යටතේ සන්ධානය නව මුහුණුවරකින් ඉදිරියට යා යුතු බවට හිටපු ජනාධිපතිවරයා යෝජනා කර ඇති බව ද වාර්තා වේ. කෙසේ හෝ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයේ මේ හදිසි හමුව සම්බන්ධයෙන් දේශපාලන කරළියේ සංවාදයක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබේ.


 

 

මහබැංකුව දේශපාලනීකරණය කරන ගමනට එකඟවෙන්න බෑ

 

 

 



මහ බැංකුව දේශපාලනීකරණය කළා: විපක්ෂයෙන් චෝදනා


මහ බැංකු අධිපති ධුරයට අධිපති ලෙස කබ්රාල් පත් කිරීමට තීන්දු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සිය දැඩි අවධානය යොමු කළා පමණක් නොව, අදාළ තීන්දුවට එරෙහි වීමට ද කටයුතු කළේය.
ඒ පිළිබඳව සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විශේෂ අවධානය යොමු කළ අතර ඒ පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.


“මේ යන්නේ මහ බැංකුව දේශපාලනීකරණය කරන ගමනක්. මේ තීන්දුවට කිසිසේත්ම අපට එකඟ වෙන්න බැහැ.”‍ සජිත් මන්ත්‍රී කණ්ඩායමට කීවේය.


“මේකෙන් වෙන්නේ මහ බැංකුවේ විශ්වාසනීයත්වයට ද මරු පහරක් එල්ල වෙන එක. මෙයාගේ ඉතිහාසය අඳුරුයි. ඒ නිසා ශ්‍රී ලංකාව පිළිබදව ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටෙන එක වළක්වන්න බැහැ.”‍ එහෙම කිව්වේ හර්ෂ ද සිල්වා ය.


“මේ වගේ තීන්දු අරගෙන ගජමිතුරන්ගේ සාක්කු පුරවලා විනාශ වෙච්ච රටවල් ලෝකෙ ඕනෑ තරම් තියෙනවා. බලන්න, ආර්ජන්ටිනාව, හංගේරියාව, සිම්බාබ්වේ වගේ රටවල්. අද ඒ රටවල් උද්ධමනයෙන් විනාශ වෙලා.”‍ කබීර් හෂීම් කීවේය.


“කබ්රාල් එක් අතකින් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්. ඒ විතරක් නෙමෙයි, ආණ්ඩුවේ මුදල් රාජ්‍ය ඇමැති. ස්වාධීන මහ බැංකු අධිපතිවරයකු පත් කිරීමේ ජාත්‍යන්තර සම්මතය පවා ආණ්ඩුව උල්ලංඝනය කරනවා.”‍ ඉරාන් වික්‍රමරත්න කීවේය.


ඒ අතර අතීත උදාහරණ රාශියක් ද ගෙන හැර පෑමට ඉරාන් අමතක නොකළේය.


“අජිත් නිවාඩ් කබ්රාල් මීට පෙර මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ කාලය තුළ, තෙල් සංස්ථාවට ඩොලර් මිලියන ගණනක් අහිමි වූ කුප්‍රකට හෙජින් ගනුදෙනුව, අපේ රටට ඩොලර් මිලියන ගණනක් අහිමි වූ ග්‍රීක බැඳුම්කර නිකුතුව, සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල අවභාවිත කිරීම ආදිය අපිට අමතක කරන්න බෑ.”‍ ඉරාන් කීවේය.


“මේ වෙලාවේ රට මුහුණ දී සිටින බරපතළ ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට නම් ජාත්‍යන්තරව විශ්වසනීයත්වය ඇති, කළු පැල්ලම් නැති පුද්ගලයකු මහ බැංකු අධිපති ලෙස පත් කරන්න ඕනෑ. එහෙම නැතිව, පෞද්ගලික දැනහැඳුනුම්කම හෝ ගජමිතුරුකම හේතුවෙන් ඔළුගෙඩි මාරු කිරීම ඵලදායි කටයුත්තක් නෙවේ.”‍ සජිත් කීවේය.


“මේ තීන්දුව ගැන එක්සත් ජාතික පක්ෂය ඉන්නේ මොන වගේ ස්ථාවරයක ද දන්නේ නෑ?”‍ එහෙම කිව්වේ සරත් ෆොන්සේකාය.


ඔහුගේ කතාවෙන් මුළු මන්ත්‍රී කණ්ඩායමම සිනාසුනහ.


“වෙඩින් එකට ගිය අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට එනකම් බලාගෙන ඉන්න නිසා එයාලට ඕක එච්චර දැනෙන්නේ නැතිව ඇති.”‍ මරික්කාර් එහෙම කීවේය.


දෙබරවැව පොරොන්දුව ඉටු කළ විපක්ෂයේ ‘‘හුස්ම’’


සජිත් මීට මාසයකට පමණ පෙර දෙබරවැව රණසිංහ ප්‍රේමදාස විහාරස්ථානයට ගිය අවස්ථාවේදී ගම්වාසීන්ගෙන් විවිධ ඉල්ලීම් ඉදිරිපත් වන්නට විය. ඒ අතර රෝහලේ ඇති යන්ත්‍ර කීපයකට අත්‍යවශ්‍ය උපකරණවල අඩුපාඩුවක් ගැන දුක්ගැනවිල්ලක් රෝහල පාර්ශ්වයෙන් යොමු විය. මේ ගැන සොයා බැලූ විට සජිත්ට දැනගැනීමට ලැබුණේ එම යන්ත‍්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තවත් උපකරණ ද නොමැති බවය.
ඒ අනුව මාසයක් යන්නටත් පෙර එම උපකරණ තිස්සමහාරාම මූලික රෝහලට පරිත්‍යාග කළේය. සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක, විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ජන සුවය ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 26 වැනි පියවර ලෙස රුපියල් තිස් පන් ලක්ෂයක් වටිනා උපකරණ මෙසේ රෝහලට පරිත්‍යාග කළේය.


“දැන් සර් මේ කී වෙනි වැඩසටහනද අද ක්‍රියාත්මක කළේ?” දිලිප් වෙදආරච්චි ඇසුවේය.
“මීට කලින් වැඩසටහන් විසිපහක් කළා. ලක්ෂ හත්සිය හතළිහකට වැඩි වටිනාකමකින් යුත් රෝහල් උපකරණ අපි පරිත්‍යාග කරලා තියෙනවා. ක්‍රියාශීලී විපක්ෂයක් කියන්නේ ආණ්ඩුවේ වැරදි විවේචනය කරන ගමන් මේ වගේ දේවල් කරන්න පුළුවන් විපක්ෂයකට.” සජිත් කීවේය.


 

අස්නොවුනා නම් මං ඔයාව  අස් කරන්න හිටියේ

- ජනපති ලොහාන්ට කියයි

 

 


 


ලොහාන්ට සජිත්ගේ විරෝධය


රාජ්‍ය අමාත්‍යවරයකු අනුරාධපුරයේ බන්ධනාගාරයට පැන නැටූ නාඩගම සම්බන්ධව මුළු රටේම මහත් ආන්දෝලනයක් ඇති විය. මේ ක්‍රියාව සැල වූ වහාම සජිත් ඒ පිළිබඳව සොයා බැලුවේය.


“බන්ධනාගාර ඇමැතිවරයෙක් ඉන්නේ සිරකරුවන්ගේ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් මිස, සිරකරුවන් ළඟට ගිහිල්ලා ජීවිත තර්ජනය කරන්න නෙමේ.”‍ සජිත් කීවේය.


එපමණක් නොව ඒ පිළිබඳව වහාම සොයා බැලීමට සමගි ජන බලවේගය නීතිඥ කණ්ඩායමට පැවරූ සජිත්, අදාළ අමාත්‍යවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද සිය නීතිඥ කණ්ඩායම යොමු කළේය.


සිද්ධිය සැලවූ සැණින් ට්විටර් පණිවුඩයක් හරහා ද සිය විරෝධය ප්‍රකාශ කරන්නට සජිත් අමතක නොකළේය.


තරුණයන්ට එජාප​ නායකයාගෙන් පණිවිඩයක්


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත චීනයෙන් මෙරටට පරිත්‍යාග කරන ලද සෞඛ්‍ය උපකරණ තොගයක් රෝහල්වලට බෙදා දීම පසුගිය සතියේදී සිදු විය.


සිකුරාදා පැවැති තරුණ සමුළුවට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ මහතා රටේ තත්ත්වය පිළිබඳව තරුණ පිරිස දැනුවත් කළේය. එහිදී ලෝකයේ කොරෝනා තත්ත්වය පිළිබඳව ද කරුණු පැහැදිලි කළ රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික මට්ටම බරපතළ ලෙස පහළට වැටී ඇති බව ද පෙන්වා දුන්නේ ය.


මීට අමතරව ගිය සතියේ දී දෙවුන්දර ප්‍රදේශයේ ධීවර කාර්මිකයන් පිරිසක් ඇමතූ රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ ගැටලු‍ පිළිබඳව සාකච්ඡා කළේ ය. වවුනියාව ප්‍රදේශයේ නීතිඥයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ‘සූම්’ තාක්ෂණය ඔස්සේ ඇමතූ රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමග ද රටේ තත්ත්වය සාකච්ඡා කළේය. මහරගම සංවිධායක නීතීඥ සුදත් ජයසුන්දර මහතා මෙම සාකච්ඡා සංවිධානය කර තිබුණි.


මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ හමුවූ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ සංවත්සර කටයුතු ඔවුන්ට පැවරීය. මේ අවස්ථාවට හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ද සහභාගි විය.


එක්සත් ජාතික පක්ෂ හැත්තෑ පස් වැනි සංවත්සරය නිමිත්තෙන් තරුණ පිරිස් සඳහා වන සංවත්සරය ගිය සිකුරාදා පැවැත්වුණි.


ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ගේ සමරු දිනයට සමගාමීව ‘සූම්’ තාක්ෂණය ඔස්සේ මෙම සංවත්සරය පැවැත්වුණි.


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම කටයුතු සිදු කරනු ලැබීය. තරුණයන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර රුවන් සංවත්සරය අමතමින් ප්‍රකාශ කර සිටියේ තරුණ ජනතාවට රැකියා ලබාදීම අද වනවිට බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවයි. කොරෝනා වසංගතය ව්‍යාපාරයක් කරගෙන ඇති පිරිස් රටේ ආර්ථිකය කෙසේ වෙතත් තමන්ට හොඳින් හරිහම්බ කර ගන්නා බවද කීය.

 

 

-ගජබා-