අර්බුද මැද දේශපාලනය රත්වෙයි


දේශපාලන අර්බුද, ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවක් මැද ඉකුත් සතියේ ගෙවී ගියේය. ජනපති මෛත්‍රීත්, ආණ්ඩුවත් අතර දේශපාලන ගැටුම උග්‍ර වී ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනුණි. ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපයත්, පොහොට්ටුවත් අතර කෙරෙන සාකච්ඡා ද තවමත් හමාර වී නොමැත. ඒ අතර එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ද අවසන් තීරණයක් නැති අතර ඒ පිළිබඳ අර්බුදය ද තවදුරටත් දිග් ගැසෙමින් පවති.


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි ගිය අඟහරුවාදා උදේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ සුපුරුදු පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. පළාත් සභාවල හිටපු මන්ත්‍රීන්ට හා ඌව පළාත් සභාවේ සිටින මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා ඉකුත් සතියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ පළාත් සභා විෂය භාර වජිර අබේවර්ධන ඇමැතිවරයා විසිනි. එදින යෝජනාවට දැඩි විරෝධය පළ කළේ ඇමැති මංගලය. ඒ හේතුවෙන් ඉකුත් සතියේ වජිරගේ යෝජනාව කැබිනට්ටුවේදී ප්‍රතික්​ෙෂ්ප විය. වජිර සිය උත්සාහය අත්නොහැරියේය. ඔහු මේ සතියේ ද යෝජනාව ඉදිරිපත් කළේ කෙසේ හෝ එය සම්මත කර ගැනීමේ අපේක්ෂාවෙනි. නිල කාලය අවසන් වූ පළාත් සභා අටෙන්, උතුරු පළාත් සභාවේ මැති ඇමැතින්ට පමණක් වාහන ආනයන බලපත්‍ර මීට පෙර ලබාදී තිබිණි. වජිරගේ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ නිල කාලය අවසන් වී ඇති ඉතිරි පළාත් සභා හතේ සහ නිල කාලය අවසන් වී නැති ඌව පළාත් සභාවේ මැති ඇමැතීන්ට ද වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ අපේක්ෂාවෙනි. පළාත් සභා නවයේම මන්ත්‍රීවරුන් ගණන 455කි. උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 37 දෙනා හැරුණු විට ඉතිරි මන්ත්‍රීවරුන් 418 දෙනාට වාහන බලපත්‍ර ලැබී නැත. වජිරගේ යෝජනාව 418 දෙනාට බලපත්‍ර ලබාදීමටය. මෙවර එම යෝජනාව කැබිනට්ටුවට ඉදිරිපත් වූ අවස්ථාවේද මංගල සමරවීර ඇමැතිවරයා සුපුරුදු පරිදි සිය විරෝධය පළ කළේ කිසිම හේතුවක් මත ඊට සහාය දිය නොහැකි බව පවසමිනි. ‘තෝරාගත් පිරිසකට බලපත්‍ර දීලා තියෙනවා. මේක එහෙම කරන්න බැහැ දෙනව නම් හැමෝටම පොදුවේ දෙන්න ඕනෑ. නැත්නම් හැමෝටම නොදී ඉන්න ඕන’ වජිර කීවේය. වජිරගේ සහායට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ද ඉදිරිපත් විය. ‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීලා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඒක නොදී ඉන්න එක අසාධාරණයි’ සජිත් කීවේය. මේක මේ වෙලාවෙ තියෙන තත්ත්වයත් එක්ක දෙන්න බැහැ. එහෙම නම් අපි ප්‍රතිපත්තියක් විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන වාහන බලපත්‍රයත් අවුරුදු පහකට නතර කරමු’ යැයි මංගල යෝජනා කළේය. කෙසේ හෝ පළාත් සභා මන්ත්‍රීන්ට වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වජිරගේ යෝජනාව දෙවැනි වතාවටත් ප්‍රතික්​ෙෂ්ප වූයේ මංගලගේ විරෝධයෙනි.


සංවර්ධන කමිටුවල සභාපතිධුර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 23 දෙනකුට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ලබාදීමේ යෝජනාවක් ද කැබිනට්ටුවට ඉදිරිපත් කර තිබුණේ වජිර අබේවර්ධන ඇමැතිවරයාය. ඔහුගේ මේ යෝජනාව මීට මාසයකට පමණ ඉහත ඉදිරිපත් කළ අවස්ථාවේදී ජනපති මෛත්‍රී ඊට දැඩි විරෝධය පළ කළේය. එපමණක් නොව ජනාධිපතිවරයා ප්‍රසිද්ධ රැස්වීමකදී ද ඒ බව කියා තිබුණේ මන්ත්‍රීවරුන්ට දැනටමත් රුපියල් ලක්ෂ 4ක පමණ දීමනාවක් ලැබෙන බැවින් ලක්ෂ දෙකේ යෝජනාවට තමන් විරුද්ධ වූ බවද සඳහන් කර තිබිණි. කෙසේ හෝ වජිර එම යෝජනාව ගිය සතියේ කැබිනට්ටුවට ද ඉදිරිපත් කළේය. මන්ත්‍රීවරුන්ට ලක්ෂ හතරක වැටුපක් නොලැබෙන බව පෙන්වීම සඳහා වජිර එම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ මන්ත්‍රීවරුන් තිදෙනකුගේ වැටුප් වාර්තා ද ඉදිරිපත් කරමිනි. සංවර්ධන කමිටුවල සභාපතිවරුන් ලෙස සිටින මන්ත්‍රීවරුන්ට පසුගිය වසරේ ඔක්තෝබර් වන තෙක්ම මේ දීමනාව ගෙවූ බව වජිර කීවේය. එහෙත් ජනාධිපතිවරයා වජිරගේ යෝජනාවට දැඩි විරෝධය පළ කළේය. ‘රටේ තියෙන මූල්‍ය අර්බුදයත් එක්ක මේක දෙන්න බැහැ. අනෙක මේක මන්ත්‍රීවරුන්ට දුන්නොත් අමාත්‍යාංශ ලේකම්වරුත් කලබල වෙනවා’ යැයි ජනාධිපතිවරයා කීවේය. ඒ අනුව වජිරගේ එම යෝජනාවද ප්‍රතික්ෂේප විය.


පසුගිය සතියේ ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සිදුවූ උද්ඝෝෂණ හා වර්ජන රැල්ලක් ගැන ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු විය. සෑම රාජ්‍ය සේවකයකුගේම වැටුප සියයට 108කින් වැඩි කරල තියෙද්දී මේ විදියට වර්ජන කරන එක අසාධාරණ යැයි මංගල කීවේය.


රංජිත් මද්දුම බණ්ඩාර ද කීවේ, පරිපාලන සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීමට පියවර ගෙන තිබියදී මේ විදියේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට යාම වැරදි බවය. ඔහු කීවේ මේ වගේ වර්ජනවලට ඉඩදිය නොහැකි බවය. මේ අතර මංගල කීවේ ඇතැම් වර්ජන ඉදිරි ඡන්දය බලාගෙන සිදුවන බවය. පරිපාලන නිලධාරීන්ගේ ගැටලුව ගැන සාකච්ඡා කර විසඳුමකට එන්නැයි ජනාධිපතිවරයා මද්දුම බණ්ඩාරට කීවේය.


ජාතික රූපවාහිනිය හේතුකොට ගෙන ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් අතර දේශපාලන ගැටුමක් කරළියට පැමිණ තිබේ. ඊට පාදක වූයේ ජාතික රූපවාහිනියට අලුතින් සභාපතිවරයකු හදිසියේ පත් කිරීමකි. ජාතික රූපවාහිනියේ සභාපතිනිය ලෙස දැනට කටයුතු කරන ඉනෝකා සත්‍යාංගනි මංගල සමරවීර මහතා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස සිටියදී ඔහු විසින් පත් කරන ලද සභාපතිනියකි. මංගලගෙන් පසුව ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැතිවරයා ලෙස පත්වූයේ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා ද වන රුවන් විජයවර්ධන මහතාය. ඉනෝකා සිටිය දී ආණ්ඩුව ජාතික රූපවාහිනියේ සභාපතිධුරයට සංජීව විජේගුණවර්ධන යන අයකු ඉකුත් ජූලි මස 18 වැනිදා පත් කළේය. ඔහු සභාපති ධුරයේ වැඩ බාර ගැනීමට පත්වීම් ලිපිය ද රැගෙන රූපවාහිනියට ගිය ද එහි සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී ඊට ඉඩ නොදුන්නාය. ඉන් පසුව, ගිය සතියේදී ආණ්ඩුව තවත් සභාපතිවරයකු රූපවාහිනියට පත් කළේය. ඒ රූපවාහිනි සංස්ථාවේ හිටපු නිෂ්‍පාදකවරයකු ද වන පාලිත කැළුම් මහිරත්නය. ඔහුද පත්වීම් ලිපිය රැගෙන ගිය සඳුදා රූපවාහිනියේ සභාපති ධුරයේ වැඩ බාර ගැනීමට ගියද ඉනෝකාගෙන් ඊට ඉඩක් නොලැබිණි. ආණ්ඩුවම පත්කළ සභාපතිනියක සිටියදී ආණ්ඩුවෙන්ම තවත් සභාපතිවරයකු පත් කිරීම හමුවේ රූපවාහිනියේ අර්බුදය උග්‍ර වූයේ අලුත් සභාපතිවරයාට වැඩ බාරගැනීමට ඉඩ නොදීමෙනි. ආණ්ඩුවේ තරුණ මැති ඇමැතිවරුන් කණ්ඩායමක් ගිය අඟහරුවාදා රූපවාහිනියට ගොස් නව සභාපතිවරයාට වැඩබාර ගන්නට ඉඩ සලස්වන්නට යන බවට ද සඳුදා හවස්වනවිට ආරංචි පැතිර ගියේය. ඒ අනුව, ජනාධිපතිවරයා ද රූපවාහිනියට අත ගැසුවේය. ඒ රූපවාහිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් සඳුදා රාත්‍රියේම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි. බැලු බැල්මට මෙය රූපවාහිනියේ සභාපතිවරුන් දෙදෙනකු පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සරලව පෙනුණ ද මෙය ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් අතර පවතින දේශපාලන ගැටුමේ එක් අවස්ථාවක් බව බොහෝ දෙනා සඳහන් කරති.


ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පොදුජන පෙරමුණත් අතර සාකච්ඡාවල නිමාවක් තවමත් දකින්නට නැත. ඉකුත් සතියේ දෙපාර්ශ්වයේම නියෝජිතයින් හමුවී සාකච්ඡා කර ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් එකඟතා ඇති කරගෙන ඇති නමුත් හරහට හිට ඇත්තේ ලකුණය. 
එය අපි ගිය සතියේ ඉරිදා ලංකාදීපයෙන් ද වාර්තා කළෙමු. ශ්‍රීලනිපයේ ඉල්ලීම වී ඇත්තේ, පොහොට්ටුව හැර පුටුව හෝ වෙනත් පොදු ලකුණකට යාමය. එහෙත් පොදුජන පෙරමුණේ ස්ථාවරය වී ඇත්තේ මේ වනවිට ලංකාවේ ජනප්‍රියම ඡන්ද ලකුණ පොහොට්ටුව බැවින්, එය වෙනස් කළ නොහැකි බවය. කෙසේ හෝ මේ කරුණ ගිය සතියේ පැවැති දෙපාර්ශ්වයේම ප්‍රවෘත්ති සාකච්ඡාවල දී කතා බහට ලක්විය. ශ්‍රීලනිපයේ හා පොහොට්ටුවේ කමිටු දෙක මේ සතියේදී හමුවී මේ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය. ඒ අනුව මේ සතියේ ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනෙනු ඇත.


මේ අතර ඉකුත් බදාදා රාත්‍රියේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයාගේ පන්නිපිටියේ පිහිටි නිවසේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුහද හමුවක් පැවැත්විණි. ඊට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, නිමල් ලන්සා, එස්.බී. දිසානායක, සුසන්ත පුංචිනිලමේ ඇතුළු මන්ත්‍රීවරු 15 දෙනෙක් පමණ පැමිණ සිටියහ. හමුව කැඳවීමේ අරමුණ වූයේ ඉදිරි ජනාධිපතිවරණයයි. ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර කෙරෙන සාකච්ඡා ගැන ද මන්ත්‍රීවරු බැසිල්ගෙන් විමසා සිටියහ. බැසිල් කීවේ සාකච්ඡා සුබදායිව කෙරෙන නමුත් පක්ෂයේ ලකුණ වන පොහොට්ටුව වෙනස් කරන ලෙස ශ්‍රීලනිපයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවට එකඟ විය නොහැකි බවය. ‘ප්‍රතිපත්තිමය කරුණ ගැන ගැටලුවක් නෑ. ඒත් ලකුණ සම්බන්ධයෙන් ශ්‍රීලනිපය කරන ඉල්ලීමට එකඟ වෙන්න අමාරුයි’ බැසිල් කීවේය. ශ්‍රීලනිපය පක්ෂයක් ලෙස එකතු නොවුණත් එහි බහුතරය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන තැනක සිටින බවද බැසිල් කීවේය. ‘ඉන්දියාවේ මෝදි අගමැතිතුමාත් කිව්වා හැමෝම කතා වෙන්නෙ පොහොට්ටුව කියන ලකුණ ගැනයි කියලා. එ්ක පුදුම දෙයක් බවත් ඔහු කිව්වා යැයි බැසිල් කීවේ පොහොට්ටු ලකුණ වෙනස් කිරීමට ඇති අසීරුකම ගැන පැහැදිලි කරමිනි. සාකච්ඡාව පසුදා අලුයම 1.00 පමණ වන තෙක් පැවැති අතර මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහය සමග සාදයක් ද ලක්ෂ්මන් යාපා සූදානම් කර තිබිණි.


කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හිස් වූ මන්ත්‍රී ධුරය පිරවීම ඉකුත් සතියේ සිදුවූයේ පළාත් සභා හිටපු මන්ත්‍රීවරයකු වන ඩී.බී. හේරත් මහතාට එය හිමිවීමෙනි.
මැතිවරණයෙන් පරාජය වූ අපේක්ෂකයන්ගෙන් මුලින්ම සිටියේ ශාන්ත බණ්ඩාර මහතාය. යම් අපේක්ෂකයකු මියගිය විට ඊළඟට පත්වීමට නියමිතව සිටියේ ඔහුය. එහෙත් සාලින්ද මියයන විට ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්ව සිටියේය.


සාලින්දගේ අභාවය දැනගත් ද‌ාම පසුදින උදේම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය රැගත් ශාන්ත පාර්ලිමේන්තු බලධාරින් හමු විය. එහිදී කතානායක සහ පාර්ලිමේන්තු මහලේකම් ඔහුට කීවේ ඉල්ලා අස්වීමට පෙර නීතිමය තත්ත්වය තවත් විපරම් කරන ලෙසය.


මේ පිළිබඳව ජනාධිපති හා නීති විශාරදයන්ගෙන් විමසූ විට ශාන්තට ලැබුණු පිළිතුර වූයේ ඉල්ලා අස්වන්න. ඔබට එම තනතුර හිමියි කියාය. ඔහු ඉල්ලා අස්වීම භාර දුන්නේ 7 වැනිද‌ාය. එහෙත් කුරුණෑගල තේරීම් භාර නිලධාරියාට අනුව ශාන්ත ඉල්ලා අස්වී ඇත්තේ නියමිත කාල සීමාව ඉකුත් වූ පසුවය. මේ නිසා මන්ත්‍රී පුටුව හේරත්ට පැවරීමට ඔහු තීන්දු කර ඇත.


මෙය දැන් ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර ප්‍රශ්නයකි. ශ්‍රීලනිපය හා පොහොට්ටුව යනු එකම පාර්ශ්වයේ දෙපිරිසක් නිසා නීතිමය පියවරකට යෑමට තමා අදහස් නොකරන බව ශාන්ත බණ්ඩාර තම හිතවතුන්ට දැනුම් දුන්නේය. ඩී.බී. හේරත්ට මන්ත්‍රී ධුරය හිමිකරමින් කුරුණෑගල තේරීම් භාර නිලධාරිගේ තීන්දුව නිකුත් වූ පසු ශාන්ත ජනපති මෛත්‍රි හමුවීමට ගිය අතර එහිදී ජනපති තම කනගාටුව පළකර තිබේ.


‘මට ආරංචි වුණා ඔයාට මන්ත්‍රී ධුරය නෑ කියලා. ඒකට කනගාටු වෙන්න එපා. ඔයා ලැයිස්තුවෙන් ආයෙ පාර්ලිමේන්තුවට යන්න.’ ජනපති ශාන්තට කියා ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද ලකුණ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මෙතෙක් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇත්තේ දෙපිරිසේම බාධා කරන්නන් නිසා බව දැනගන්නට තිබේ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වී ඇත්තේ ඡන්ද ලකුණ ලෙස පොදු ලකුණක් තිබිය යුතු බව යැයි මේ පිළිබඳ විමසූ විට පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා කියයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් සාමාජිකයන් කරන ප්‍රකාශ ඔවුන්ට හානියක් වනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.


මෙම සාකච්ඡාවලට දෙපාර්ශ්වයෙන් හය දෙනෙක් සහභාගි වන අතර ඔවුන් හැර බාහිර පිරිස් කරන ප්‍රකාශ පිළිගත යුතු නැති බව ද ඔහු කියයි.


පොහොට්ටුව, බුලත් කොළය, පුටුව යන සලකුණු හැර වෙනත් පොදු ලකුණක් පිළිබඳව මෙතෙක් එකඟතාවකට පත්වීමට නොහැකි වී ඇතැයි ද වීරකුමාර මන්ත්‍රීවරයා කියයි.