අගමැති උතුරේ ඡන්ද මෙහෙයුමේ


අගමැති රනිල් හා අපේක්ෂක සජිත් අතර ගොඩනැඟී ඇති දැවැන්ත සමගිය හා අ​ෙන්‍යාන්‍ය විශ්වාශවන්තකම තුළ එජාපෙ සියලු පක්ෂ නායකයන්ගේ දිරි ගැන්වීම හා කැපවීම මත එජාප මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ඇදී යමින් තිබේ.


රනිල් - සජිත් මෙන්ම පක්ෂ නායකයන්ගේ හමුවීම් දිනපතාම වාගේ උදය වරුවේ අරලියගහ මැදුරේදී සිදුවන අතර දිනකට දුරකථන හරහාද හත්-අට වතාවක් සබඳතා පවත්වමින් මෙහෙයුම වඩාත් නිවැරදිව ඉදිරියට ගෙන යාමට පසුබිම සකසා ගැනීම විශේෂත්වයකි.


සජිත් දිනකට දැවැන්ත රැලි හතරක් හෝ පහක් අමතන අතරේ මෙහෙයුමට අදාළ සියලු කටයුතු අගමැතිවරයා සම්බන්ධීකරණය හා මෙහෙයවීම කරයි.
බදාදා අගමැතිවරයා උතුරේ සංවර්ධන කටයුතු රැසක් සඳහා මෙන්ම දේශපාලන කටයුතු කිහිපයක් සඳහා පිටත්ව යාමට සූදානම් වූයේ සජිත් හා එජාපෙ නායකයන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුවය.


පසුව පැමිණ සිටි මැති-ඇමතිවරුන් හා නිලධාරීන් මෙන්ම මාධ්‍යකරුවන් සමඟ ද කතා බහ කිරීමට ඔහු අමතක කළේ නැත.


“ඇල්පිටිය අප අවුරුදු 20 ක් තිස්සේ පරදිනවා. ඒත් ආණ්ඩු බලය තිබිලත් අප මීට වඩා ඒකට උනන්දු නොවීම අඩු පාඩුවක්” ලක්ෂ්මන් කිරිඇල්ල මුලින්ම කීවේය.
“ඇල්පිටිය ඡන්දය වෙනුවට මැද කොළඹ, මහනුවර, නුවරඑළිය, මීගමුව වගේ තැනක ඡන්දය තිබුණානම් දිනන්නේ අප නෙවෙයිද?” චමින්ද විජේසිරි මතු කළ තර්කය කාගේත් පිළිගැනීමට ලක්විය.


“ඇල්පිටිය ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරණය කිසිසේත්ම මනින්න බැහැ කියා මහින්ද රාජපක්ෂත් ප්‍රසිද්ධියේ පිළිගත්තා.” චමින්ද විජේසිරි කීවේය.


“2015 මහ ඡන්දෙදී වගේම මෛත්‍රීත් එක්ක හිටපු ශ්‍රීලනිප අයට හූ තියන එක මේ පාරත් පටන් ගත්තා. ඊළඟ මහ ඡන්දයේදී ඔය ඔක්කොම ගෙදර යවන වැඩපිළිවෙළ පොහොට්ටුවේ ලොක්කො දැනටත් ප්ලෑන් කර ඉවර බව රටටම පැහැදිලියි. අනික පොහොට්ටුවයි, ශ්‍රීලනිපයයි නායකයන් එකතු වුණාට, ගම් මට්ටමේ පක්ෂ දෙකෙහි මිනිස්සු එකතු වෙන්නෙ නැහැ, කියන එක ඇල්පිටියේදී තහවුරු වුණා. ඒ නිසා ජනාධිපතිවරණයේදි ශ්‍රීලනිප ඡන්ද වලින් අති බහුතරය පොහොට්ටුවට යන්නෙ නැහැ කියන එක ස්ථිරයි. ශ්‍රීලනිපය විනාශ කරපු එක ගැන ගමේ ශ්‍රී ලංකා කාරයන් පොහොට්ටුව එක්ක වෛරයෙන් ඉන්නේ.” නවීන් දිසානායක කළ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළවිය.
“ලංකාවේ මහ පොළවේ යුද්ධය දිනපු ප්‍රධානියා වූ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකයි, එදා විදේශ ඇමැති හැටියට ජාත්‍යන්තර යුද්ධය අපට දිනාදුන් රෝහිත බෝගොල්ලාගම කියන දෙන්නම ඉන්නෙ දැන් මාත් එක්කයි. ඒක අපේ ජයග්‍රහණයට බලපාන විශේෂ සාධකයයි.” අපේක්ෂක සජිත් කී විට සියලු දෙනා එය අනුමත කළහ.


“රාජපක්ෂලාගේ හා රටේ ණය මේ ආණ්ඩුව විශාල ලෙස ගෙවමින් කකුල් මාට්ටු මැදත් මේ තරම් සංවර්ධනය කළා. රටේ ණය ගෙවන හැටි ඇහුවම පොහොට්ටු අපේක්ෂකට උතුර-දකුණ හොයා ගන්න බැරුව අනිත් අය දිහා බලපු විදිය ගැන රටම පුදුම වෙනවා“ අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කීවේය.
“ආර්ථිකයයි, ණය ගෙවිල්ලයි ගැන ගෝඨා මහින්ද දිහා බලා උත්තර හෙව්වට ඕවා ගැන මහින්ද දන්න දේකුත් නැහැ. එයා කතා කරන්නෙත් කවුරු හරි කියාදෙන දෙයක්නේ?” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“ලංකාවේ මුල්වරට කේබල් කාර් ව්‍යාපෘතිය නුවරඑළියේදී පටන් ගන්න නවීන් ඇමැතිතුමා ක්‍රියාකිරීම ඉතා වටිනවා” රෝහිත බෝගොල්ලාගම කීවේය.
“ඔව්. ඒක කෝටි 5000කට අධික ඔස්​ට්‍රියානු සමාගමක විශාල ආයෝජනයක්. අප ගිවිසුම් අත්සන් කරලත් ඉවරයි. ඉක්මනින් වැඩ පටන් ගන්නවා.” නවීන් දිසානායක කීවේය.
“මේ ආණ්ඩුව කළ වැඩ ගැන ප්‍රචාරය නොගත්තට සමහරුන් කකුලෙන් අදිද්දිත් කළ සංවර්ධනය හා ජනතාවට දීපු සහන අති විශාලයි. පාසල් ගොඩනැගිලි දහස් ගණනක් අලුතින් තැනීම හෝ අලුත්වැඩියා කිරීම් හෝ කළා. රෝහල් දියුණු කර බෙහෙත් වර්ග 100ක මිල අඩු කළා.


“පාරවල්, පාලම්, බෝක්කු, මාතෘ නිවාස, සජිත්ගේ දහම් පාසල් හා නිවාස දස දහස් ගණන චම්පිකගේ නාගරික නිවාස දස-දහස් ගණන් අප හැදුවා. තව අධිවේග මාර්ග, උමං මාර්ග, කණු උඩ දිවෙන අධිවේගි මාර්ග හා සැහැල්ලු දුම්රිය මාර්ගත් අප පටන් ගත්තා. මේ බොහෝමයක් ළඟදී විවෘත වෙනවා.
“පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මේ සතියේ විවෘත කළා. ඊළඟට මුළින් 10,000 කින් හා පස්සෙ 2500 කින් වැඩි පඩි, සමෘද්ධි, මහපොල, විශ්‍රාම වැටුප්, වැඩිහිටි දීමනා දෙගුණ කළා. රට උකස් කරපු ණය බර කෝටි දහස් ගණනකින් අප ගෙවන්නත් පටන් ගත්තා. තව කියනවානම් පැය ගාණක් කියන්න පුළුවනි.” අගමැතිවරයා පැහැදිලි කළේය.
“විධායක බලතල අඩු කර පාර්ලිමේන්තුවට පැවරීමයි, එතෙක් ජනාධිපති තනියම ගත්තු තීන්දු තීරණ ව්‍යවස්ථාදායක සභාව හරහා සාධාරණව ගැනීම අපගේ වැඩවල ප්‍රතිඵලයි. ඔක්කොටම වඩා රට තුළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ඇති කිරීම හා ගෙවුණ වසර 5 දී ආණ්ඩුව අතින් කිසිම මිනිහෙකු ඝාතනය නොවීම අඩු ගාණේ සීරීම් තුවාලයක් හෝ නොසිදුවීම රටේ සියලු දෙනා ලබපු ජයග්‍රහණයක්.


“අප ආපස්සට - අඳුරට යනවද?, පවතින ආලෝකය රැක ගන්නවද කියා විතරයි, මිනිස්සුන්ට හිතන්න තිබෙන්නෙ.” නවීන් දිසානායක කළ විග්‍රහයට කාගේත් අනුමැතිය ලැබිණ.
“රටේ ආරක්ෂාව මේ ආණ්ඩුව උපරිම ලෙස තහවුරු කළා. පහුගිය ආණ්ඩුවේ අය හදපු-වඩපු අන්තවාදීන් බෝම්බ පුපුරවලා 300 ක් ඝාතනය කළා. ඒ අන්තවාදය දිගටම කරගෙන යන ප්ලෑන් එකක් තිබුණ ද ආණ්ඩුව හැටියට අප පැය 24ක් තුළ සියලු දේ විනාශ කර සියලු සැලසුම් අඩපණ කර අන්තවාදීන් සියල්ල කොටු කරලා රට ආරක්ෂාව පැත්තෙන් සුරක්ෂිත කළා.
“යළිත් රටේ දෙමළ, මුස්ලිම් හෝ සිංහල හෝ අන්තවාදීන්ට ත්‍රස්තවාදී වැඩවලට කිසිම ඉඩක් තියන්නේ නැහැ. ඒත් බොරු බෝම්බ බිය ඇති කර තැන, තැන බොරු පාර්සල් තියා පුළුවන් නම් පොඩි පොඩි බෝම්බ දෙක තුනකුත් පුපුරවන්න විපක්ෂයේ පටු අවස්ථාවාදීන් උත්සාහ කරනවා කියා අපට වාර්තා වෙලා තිබෙනවා” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“ජනතාව බොරු බෝම්බ බියට කලබල විය යුතු නැහැ. උතුරේ ක්ලේමෝ බෝම්බ වළදාපුව තව ඕනෑ තරම් තිබෙන්න පුළුවනි. වෙඩි බෙහෙත් අලෙවි කිරීම සඳහා ඒ වගේ බෝම්බ රහසේ තියාගෙන ඉන්න බිස්නස් එකකුත් යනව කියා ආරංචියි” අර්ල් ගුණසේකර කීවේ එවැන්නකි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමද‌ාස සිය මංගල රැළිය ගාලු මුවදොර පිටියෙන් ඇරඹුවේ ඉතිහාසයේ වැඩිම සෙනඟ ද සමඟය.
එදින උදෑසනින්ම සජිත් දුරකථන ඇමතුමක් දුන්නේ සරත් ෆොන්සේකා - ෆීල්ඩ් මාෂල්වරයාටය. සජිත් කීවේ ‘මම බොහොම දුරදිග බලලා රටේ අවශ්‍යතාවයි, ඔබතුමාගේ දක්ෂතාව ගැන කල්පනා කරලා ඔබතුමාට ජාතික ආරක්ෂාවත්, සිවිල් ආරක්ෂාවත් පිළිබඳ භාරදූර වගකීම පවරන්න තීරණය කළා.’ කියාය. මේ අනපේක්ෂිත පුවතින් ඉමහත් සතුටට පත් ෆීල්ඩ් මාෂල්වරයා කීවේ ‘බොහොම ස්තූතියි. මගේ හැකියාව ගැන හිතලා වගකීම් පවරන්න තීරණය කළාට. මම ඔබතුමාගේ ගෞරවයත් රැකගෙන මගේ කාර්යභාරය ඉහළින්ම ඉටු කරන්න සූද‌ානම්’ කියාය. ‘හවස ගෝල්ෆේස් රැළියේදී මේ බව මම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනවා’ සජිත් කීවේය.
සජිත් විවෘත ජීප් රථයකින් ගෝල්ෆේස් පිටිය වෙත පැමිණියේ ඒ වන විට මුළුමනින්ම පාහේ පිරී ගිය මාර්ගයේ ඉතා අසීරුවෙනි. පිටිය මැද කොටසට නුදුරුව ජීප් රථයෙන් බැසගත් සජිත් සෙනඟ මැදින් වේදිකාව වෙත පියනැගීමට ගත් උත්සාහය ඉතා අසීරු එකක් විය. අනපේක්ෂිතව අපේක්ෂකයා තමන් අතරින්ම මතුවීම නිසා උද්‍යෝගයට පත් ජනතාව ප්‍රීතියෙන් ඔල්වරසන් දෙද්දී සජිත් වේදිකාව වෙත ආවේ ඉතා අසීරුවෙනි. සරත් ෆොන්සේකා ජනතාව අමතමින් කීවේ තිස් වසරක යුද්ධය නිමකළ තමන් ජනතාවට නිදහසේ හුස්මක් ගැනීමට හැකි පරිසරයක් තැනීම වෙනුවෙන් උපරිම වශයෙන් කැපවන බවය.  

 

 


මැතිවරණ කොට්ඨාස මට්ටමින් පවත්වනු ලබන 151 ක ජනරැළි මාලාවේ පළමුවැන්න ඇරඹුණේ වැල්ලවායෙනි. එහිදී රංජිත් මද්දුම බණ්ඩාර සහ ආනන්ද කුමාරසිරි රැස්වීම සංවිධානය කර තිබිණි. සජිත් එහිදී විශේෂ අවධානය යොමුකළේ ගම්මිරිස් සහ වෙනත් සුලු අපනයන බෝග වගා කරන ගැමියන් මුහුණ දී සිටින ගැටලු විසඳීම පිළිබඳවය. ‘ගම්මිරිස් ප්‍රතිඅපනයන කිරීම සහමුලින්ම නතර කරනවා’ කියද්දී ජනතාව ප්‍රීතියෙන් ඔල්වරසන් දුන්හ. ‘සමෘද්ධි’ වැඩසටහන වඩාත් ඵලද‌ායි එකක් බවට පත්කරන බවත් ඊට සමාන්තරව සිය පියා ඇරඹූ ‘ජනසවිය’ යළිත් ක්‍රියාත්මක කරන බවට සජිත් එහිදී පොරොන්දුවක් දුන්නේය.


ජාතික සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ එහි ඒකක දිවයින පුරා පිහිටුවන බවත් සජිත් එහිදී අනාවරණය කළේය. බලංගොඩ රැළියේදී සජිත් කීවේ තමන් බලයට පත්වූ පසුව නැවතත් දිවයින පුරා පාසල් දරු දැරියන්ට දිවා ආහාරය සහ නිල ඇඳුම් කට්ටල 2 බැගින් ලබා දීමට කටයුතු කරන බවයි. මුල් දින 5 තුළදී පස්සර, බිබිල, හාලිඇල, හපුතලේ, බලංගොඩ, පැල්මඩුල්ල, ඇහැලියගොඩ, දැරණියගල, රුවන්වැල්ල, අත්තනගල්ල, මීරිගම, දඹදෙණිය ජනරැළි මහ වර්ෂාව මධ්‍යයේ වුව විශාල ජනතා සහභාගිත්වයක් ඇතිව පවත්වන ලදී. දොඩම්ගස්ලන්ද, හිරියාල, වාරියපොල, නිකවැරටිය, යාපහුව. කැකිරාව, කලාවැව, මිහින්තලේ, අනුරාධපුර බටහිර රැළි ඉන් අනතුරුව පැවැත්විණි. මනෝ ගනේෂන් සහ දිගම්බරම් වැනි කම්කරු නායකයන් අතින් සංවිධානය වූ වතු වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ගේ රැස්වීම් ඉතා ඉහළ මට්ටමින් පැවැත්විණි. මනෝ ගනේෂන් ඇසුවේ ‘ඔබතුමාගේ පියා දමිළ සම්භවයක් ඇති වතු කම්කරු ජනතාවට මේ රටේ පුරවැසිකම ලබා දුන්නා. එතකොට ඔබතුමා මේ ජනතාවට මොනවද ලබා දෙන්නේ’ කියාය. සජිත් කීවේ ‘මම මේ රටේ වතු කම්කරු ජනතාවට ජීවත් වීමට සරිලන වැටුප් හිමිකර දෙනවා.’ කියාය.  
හිල්ටන් හෝටලයේ පැවැති ‘ඇම්චැම්’ ඇමෙරිකානු වෙ​ෙළඳ මණ්ඩල සමුළු සංවාදශීලී හමුවට සහභාගි වූ සජිත් එහි සාමාජිකයන්ගේ අදහස්වලට සවන් දෙමින්, ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගත කළ හෝරා කීපය ඔවුන් සියල්ලන්ගේ සිත් ගත්තේය. ‘ඔබ මෙහි පැමිණ අපේ ව්‍යාපාරික ප්‍රජාව ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීම ලොකු දෙයක්. අපි උපරිම උත්සාහ කළා වෙනත් අපේක්ෂකයන්වත් ගෙන්වා ගන්නට. මුහුණට මුහුණ ප්‍රශ්නවලට උත්තර දෙන එකත් ලොකු ශක්තියක්’ ඔවුන් කියද්දී සජිත් කීවේ ‘ඒකේ කිසිම ගැටලුවක් නෑ. මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර දීමේ හැකියාවෙන් තහවුරු වෙන්නේ ගැටලු විසඳීමේ කුසලතාවයි.’ කියාය. 


ජනාධිපතිවරණය සඳහා ලහි ලහියේ කටයුතු සුදානම් කරමින් සිටින මැතිවරණ කොමිෂන් සභාවට තිබූ ප්‍රධාන බාධාව ගෙවී ගිය අඟහරුවාද සන්ධ්‍යාවේ අවසන් කිරීමට කතානායකවරයා මූලිකත්වය ගත්තේය.


එසේ විසඳන ලද්දේ මැතිවරණ කොමිෂන් සභාවට කොමසාරිස් ජනරාල්වරයෙකු නොමැති වීමේ ගැටලුවයි. එදින සවස් වන විට මැතිවරණ කොමිසමේ නිර්දේශය ලැබුණු බැවින්, පැය කිහිපයක් ඇතුළත හදිසි කටයුත්තක් සේ සලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වකීය නිල නිවසේ දී රැස්කළ කතානායකවරයා නව මැතිවරණ කොමසාරිස් ජනරාල් ධුරය පිළිබඳව ජනපති නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා දීමට කටයුතු යෙදීය. ඒ අනුව, එම්.කේ. සමන් ශ්‍රී රත්නායක මහතා අදාළ තනතුරුට පත් කෙරිණි.
එමෙන්ම, පුරප්පාඩු වී පවතින අභියාචනාධිකරණයේ විනිසුරු ධුරයක් සඳහා ද ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර තිබූ නම් තුනක් අතරින් අදාළ පුරප්පාඩුව සඳහා වන එක් නාමයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි විය.


ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රිටා ජී. මැනෙල්ලා මහත්මිය හා විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා අතර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දී මේ වනවිට ශ්‍රී ලංකාවට ගැටලුවක්ව පවතින ඉවත ලන අපද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියක් ඇති කර ගැනීමට හා ආයෝජන අවස්ථා සලසා දීමට කටයුතු කිරීමට තානාපතිනිය කැමැත්ත පළ කළාය.


ඉන් අපද්‍රව්‍ය ටොන් 100 ත් 300 ත් අතර ප්‍රමාණයක් අපද්‍රව්‍ය ඉවතලන බලාගාරයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ හැකියාවක් ඇත. ඉන් අනතුරුව උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෝදර ප්‍රදේශයෙන් අරඹමින් ඇමැතිවරයා ‘‘ගෙයින් ගෙට හදවතින් හදවතට’’ යන තේමාව යටතේ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළේය.
එහි දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීමට ගෙයින් ගෙට යන වැඩ සටහන අපි උතුරු කොළඹ ආසනයෙන් ආරම්භ කළා. ජනාධිපතිවරණයෙන් 55%ක් හා 57%ක වැඩි ඡන්ද ප්‍රතිශතයක් එක්සත් ජාතික පක්ෂයට ලැබෙනවා. කවුරු කොහොම කිව්වත් කොළඹ දිස්ත්‍රික්කයේ ජය එක්සත් ජාතික පක්ෂයට බව ඒකාන්තයි.


සමහරු කියනවා කොළඹ ඔවුන් දිනාගන්නවා කියලා. ඔවුන් ඒ ආකාරයෙන් කියන්නෙ සිහින ලෝකවල ජීවත් වෙමිනි. කොළඹ කියන්නේ එජාපක්ෂ බළකොටුවක්. නිකම්ම බළකොටුවක් නෙමෙයි වැඩකරපු වැඩකරන දැවැන්ත සංවර්ධනයක් ලබා තිබෙන බළකොටුවක්.


ජනතාවට උපරිමයෙන් සේවය කරන්න ජනාධිපතිවරණයෙන් විජයග්‍රහණයක් ලබන්න අපි සියලු දෙනා අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතුයි. ප්‍රාදේශීය සභා ඡන්දයක් සහ ජනාධිපතිවරණයක් කිසිසේත්ම සංසන්දනය කරන්න බැහැ. අපි මේ තත්ත්වය කල් තියා දැනගෙන හිටියා යැයිද රවී කරුණානායක ඇමැතිවරයා පැවසීය.