ට්‍රම්ප් බදු යයි - එයි ඇමෙරිකාවේ විදෙස් සරසවි සිසුන්ටත් තහංචි


ඉකුත් බ්‍රහස්පතින්දා ඇමෙරිකාවේ වොෂිංටන් ඩී.සී අගනුවරින් වාර්තා වූ ප්‍රවෘත්තියක් ලොව පුරා වෙළෙඳ ප්‍රජාවගේ හා ආණ්ඩු වල අමන්දානන්දයට හේතු විය. ලෝකය පුරා මාධ්‍ය ආයතන එය “එසැණ පුවතක්” (බ්‍රේකිං නිවුස් එකක්)ලෙස විකාශය කළේය. බදු සම්බන්ධයෙන් ලෝකය කැළඹී සිටියද ඉන් වැඩිපුරම බැට කෑ ඇමෙරිකානු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, ට්‍රම්ප් බද්දට එරෙහිව පත්තු කළ පළමු වෙඩිමුරය ලෙසද එම සිද්ධිය සැළකේ. අප දැනටමත් දන්නා පරිදි, සිදුවුයේ ඇමෙරිකානු වාණිජ අධිකරණය මගින් ට්‍රම්ප් බදු වලට තහංචි පැණවීමයි. 

ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය බලය අයුතු ලෙස යොදාගනිමින් නව තීරුබදු පනවා ඇතැයි අධිකරණ තීන්දුවේ සඳහන් විය. මේ නඩුව වාණිජ අධිකරණය හමුවට ගෙන ආවේ ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක සුළු පරිමාණ ව්‍යාපාරිකයන් හා ආනයනකරුවන් පිරිසක් විසිනි. එහි මුලිකත්වය ගෙන තිබුණේ ‍”වොස්” යනුවෙන් හදුන්වනු ලබන නිව්‌යෝක් හි ස්ථාපිත කුඩා වයින් ආනයන සමාගමක හිමිකරුවකු වන වික්ටර් ෂ්වාට්ස් විසිනි. බ්‍රහස්පතින්දා උදෑසන නීතිඥයන් ෂ්වාට්ස් වෙත ගෙන ආවේ පුදුම සහගත ආරංචියකි. ඔහු ඇමෙරිකානු රජයට-ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව පැවරූ නඩුවෙන් ජයග්‍රහණය කර ඇති බවයි. එය සුබ ආරංචියක් වූයේ ට්‍රම්ප් බදු නිසා ෂ්වාට්ස් ඇතුළු සුළු පරිමාණ ආනයනකරුවන් ඉතා බරපතල ලෙස “හතරගාතෙන් වැටි” හිඟමනට පත්වෙමින් තිබූ නිසයි.  

කෙසේ වෙතත් ෂ්වාට්ස්ගේ සැනසීම ඉතා තාවකාලික විය. ට්‍රම්ප් පාලනය ලහි ලහියේ ඇමෙරිකානු ෆෙඩරල් ‍අභියාචනාධිකරණය වෙත ගියේය. අභියාචනයක් ගොනු කෙරිණ.බදු ගැන අභියාචනය විභාග වෙන තෙක් වාණිජ අධිකරණ නියෝගය අත් හිටුවනු ලැබීය. ඒ අනුව ට්‍රම්ප් පාලනයට තවදුරටත් බදු එක්රැස්කිරීමේ යෙදිය හැක. බදු විරෝධීන්ගේ  සතුටට ඒ අනුව ලැබුණේ ඉතා අඩු ආයුෂයකි. එහෙත් ප්‍රශ්නය එතැණින් අවසන් නැත. අභියාචනය ලබන මස 5 වෙනිදා සිට විභාගයට ගැනේ. ඒ අනුට ට්‍රම්ප් පාලනයටද ලැබුණේ තාවකාලික සහනයකි. එහෙත් ට්‍රම්ප් සතුව ඇති රාජ්‍ය පාලන බලය මෙහි තිරණාත්මක සාධකයයි.

ට්‍රම්ප් බදු අධිකරණයට

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දී ජනාධිපති පදවිය භාරගත්තේ මේ වසරේ ජනවාරි 20 වෙනිදායි. එදා සිට මේ දක්වා ඔහු ලෝකයට කරන බලපෑම අති මහත්ය. එය සාම්ප්‍රදායික ඇමෙරිකානු හෙජමනික බලාධිකාරයට වඩා වෙනස් මුහුණුවරක් පෙන්නුම් කරයි. “ඇමෙරිකා ග්‍රේට් අගේන්” හෙවත් ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨත්වයට පත්කිරීම යන තේමාව යටතේ පළමු ධුර කාලය ගෙනගිය ට්‍රම්ප්, සිය දෙවැනි ධුර කාලයේදී වඩාත් අවධානය යොමුකර ඇත්තේ ඇමෙරිකාව මූලික කරගත් නව වෙළෙඳ රටාවක් හා අමෙරිකාවට වාසි දායක ලෙස ගෝලීය වෙළෙදාම හා ආර්ථිකය නතුකරගැනීමයි. ඒ ට්‍රම්ප්ගේ වෘත්තිය මෙන්ම වඩාත්ම හුරු ක්ෂේත්‍රය වෙළෙදාම නිසාවෙනි. කෙසේ වෙතත්, ට්‍රම්ප් අනුගමනය කරන පිළිවෙත නිදහස් වෙළෙදාමෙන් බැහැර වූ, දැඩි ආරක්ෂණවාදී මෙන්ම ගෝලීය වෙළෙඳ රටාව උඩු යටිකුරු කළ පිළිවෙතකි. ඒ ගැන අපි බොහෝ කරුණු දැනටමත් දනිමු. එහෙත් ට්‍රම්ප් බදු පිළිවෙත නිසා ඉහත සඳහන් කළ පරිදි ඇමෙරිකානු වෙළෙඳ ප්‍රජාව පමණක් නොව ගෝලීය වශයෙන් ඇමෙරිකාව සමග ගනුදෙනු කළ සෑම රටක්ම දුෂ්කරතාවට හා දැඩි අභියෝගාත්මක තත්ත්වයකට පත්විය. ඇතැම් රටවල ආණ්ඩු මාරුවීමට හා කැනඩාවේ ජස්ටින් ‍ටෲඩෝ වැනි නායකයන්‍ට ගෙදර යාමට පවා බලපෑවේ ට්‍රම්ප් හා ඔහුගේ ප්‍රතිපත්ති නිසාවෙනි. 

අප්‍රේල් මස දෙවැනිදා ට්‍රම්ප්, ඔහු විසින්ම හදුන්වාගනු ලබන “විමුක්තියේ දිනය” දා ප්‍රකාශයට පත්කළ බදු හේතුවෙන්, දිනක් ඇතුළත ලෝකයේ ව්‍යාපාර වස්තු වෙළෙඳ පොළවලින් පාඩු ලෙස සටහන් වූ මුල්‍යමය අගය ඩොලර් ට්‍රිලියන 10ක් තරම් ඉහළ අගයක් ගෙන තිබුණු බව, බ්ලූම්බර්ග් මුල්‍ය අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල පෙන්වා දෙන ආකාරයට, ගෝලීය ආර්ථික වර්ධනය සියයට 0.1% කින් පහත වැටෙන බව පුරෝකථනයකින් සඳහන් කර ඇත. ඇමෙරිකාවේ යහපතට යැයි කීවත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදල මේ වසර ආරම්භයේදී 2025 ඇමෙරිකානු ආර්ථික වර්ධනයේ පුරෝකථන අගය 2.7% ක් වුවත් එය ‘ට්‍රම්ප් බදු’ හඳුන්වා දුන් අප්‍රේල් මාසයේදී නව පුරෝකථනයක් ලෙස 1.8% ක අඩු අගයක් පෙන්නුම් කරයි. ඒ අනුව, ට්‍රම්ප් බදු ගසා ඇමෙරිකානු ආර්ථිකය ශක්තිමත් කරනු වෙනුවෙට 0.9% කින් ආර්ථික වර්ධනය පහත හෙළා ඇත. තවත් සංවර්ධිත රටවල් කිහිපයක ආර්ථික පුරෝකථන සැළකීමේදීද මේ ආකාරයේ පහත වැටිමක් අයි එම් එෆ් දත්ත අනුව නිරීක්ෂණය වෙයි. උදාහරණයක් වශයෙන්, ට්‍රම්ප් වෙළෙඳ ගැටුම පටන්ගත් කැනඩාව සැළකීමේදී 2% ක ආර්ථික වර්ධන ‍පුරෝකථනය 1.4% දක්වා පහත වැටී ඇත.බ්‍රිතාන්‍යයේ 1.6% පුරෝකථන අගය 1.1% දක්වාත් ජපානයේ 1.1% ක වර්ධන පුරෝකථනය 0.6% දක්වාත් පහත වැටී ඇත. 

ඇමෙරිකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරු මෙන්ම ප්‍රධාන වෙළෙඳ ප්‍රතිවාදියාද වෙන චීනයේ තත්ත්වයද මීට සමානය. 4.6% ක් ලෙස පුරෝකථනය කර තිබු චීන ආර්ථික වර්ධන වේගය 4% දක්වාත් ලබන වසරේ එය 3% පමණ අඩු අගයක් දක්වාත් පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇත. ට්‍රම්ප් බදු ක්‍රියාත්මක වූ දා සිට මේ දක්වා චීනයේ කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ පසුබෑමක් පෙන්නුම් කරයි. එම ක්ෂේත්‍රය ආශ්‍රිත දර්ශකයන් වෙන “පී. එම්. අයි අගය” මුල් වරට ඒකක 50 සීමාවෙන් පහතට වැටී ඇත. මේ අනුව බලන කල, ට්‍රම්ප් බද්ද තමනුත් නැසී අනුන්ද නසන ව්‍යාධියක් බවට පත්වෙමින් තිබේ. එසේනම් ට්‍රම්ප් මේ බදු පවත්වාගැනීම සඳහා මෙතරම් දැඩි උත්සාහයක් ගන්නේ ඇයි?. මූලික වශයෙන්ම කරුණු දෙකක් ඊට බලපා ඇත. අංක එක ලෙස ඇමෙරිකාවට අවාසිදායක ගෝලීය වෙළෙඳ පරතරය අඩු කිරීම. දැනට ඇමෙරිකාවේ අන්තර්ජාතික වෙළෙඳ කටයුතු වලදී පවතින අවාසිදායක වෙළෙඳ පරතරය ඩොලර් ට්‍රිලියන දෙක ඉක්මවයි. දෙවැනිව, ට්‍රම්ප් ඇමෙරිකාවේ ප්‍රතිවාදී හා ප්‍රති මතධාරී පාර්ශ්ව මර්දනය කිරීමේ අවියක් ලෙස බදු පාවිච්චි කරයි. හොඳම උදාහරණය, ට්‍රම්ප් සමග ඉකුත් සතියේ මතබේදයක් ඇතිකරගත් යුරෝපා සංගමයට 50% ක තිරු බදු පැනවීමට ට්‍රම්ප් කළ තර්ජනය පෙන්වා දිය හැක.

ශ්‍රී ලංකාව හා ට්‍රම්ප් බදු

ශ්‍රී ලංකාව, ට්‍රමප් බදු ක්‍රමය තුළ ඉහළ අගයකට උරුමකම් කියන අනතුරුදායක බදු ප්‍රතිශතයක්, එනම් 44% ක අධි බදු තර්ජනයක් අත්වූ රටකි. ට්‍රම්ප් පාලනය සමග සාකච්ඡා ඇරඹීමට ඉඩ දෙමින් මේ වෙනවිට ‍එම අධික බදු බර 10% ක් දක්වා සීමා කොට ඇත්තේ සියළු රටවල් සඳහා වෙන දින 90 සහන කාලයකට හිමිකම් කියමිනි. දැනට ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මකව පවතින්නේ 10% පොදු බද්ද පමණි. දැන් ශ්‍රී ලංකා රජය ට්‍රම්ප් පාලනය සමග සාකච්ඡා පවත්වයි. දැනට සාකච්ඡා වට දෙකක් පවත්වා ඇත. දෙපාර්ශ්වයටම පොදු වාසිදායක අගයක් කරා යොමුවීම මෙන්ම ශ්‍රී ලංකාව මෙතෙක් පවත්වාගෙන ගිය අන්තර්ජාතික වෙළෙඳ ක්‍රමවේදයේ අඩුපාඩු සපුරාලීම එම ක්‍රියාවලියේ අරමුණයි. ඇමෙරිකාවට ශ්‍රී ලංකාව වෙළෙඳ වශයෙන් තීරණාත්මකව වැදගත් භාවය අඩු වුවත්, ශ්‍රී ලංකාවට ඇමෙරිකානු වෙළෙඳපොළ ඉතා වැදගත්වෙන්නේ මෙරට ප්‍රධානතම විදෙස් වෙළෙඳපොළ වීම නිසයි. ඇමෙරිකානු වෙළෙඳපොළ ශ්‍රී ලංකාවේ සමස්ත විදෙස් අපනයන වලින් 23% කට හිමිකම් කියන අතර ශ්‍රී ලංකාවේ ඇගලුම් නිෂ්පාදන වලින් 43% ක් පමණ යොමු වෙන්නේ ඇමෙරිකානු වෙළෙඳ පොළටයි. මේ අතර, ඇමෙරිකාව මෙතෙක් ලබාදුන් ජී එස් පී බදු සහනය ට්‍රම්ප් පාලනය යටතේ අහිමි කෙරෙන අතර අවාසිදායක තත්ත්වය ඉන් තවත් ඉහළ යයි. මේ නිසා ශ්‍රී ලංකාවට ඇති එකම විසදුම වෙළෙඳ සාකච්ඡා වලින් යම් සාධනීය එකගතාවක් අත්කරගැනීමයි. බ්‍රිතාන්‍යය හා චීනය දැනටමත් එවැනි ගිවිසුම් වලට එළැඹ තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය අපනයන සඳහා වන බදු 10% මට්ටමේ පවත්වා ගැනීමට ඉන් එකඟතාව පළවී ඇත. චීනය හා ඇමෙරිකාව අතර ඇතිකරගැනුනු වෙළෙඳ සම්මුතිය යටතේ පුර්ණ ගිවිසුමකට එළැඹෙන තුරු, 245% ක් වූ ඇමෙරිකානු බදු 30% කට අඩුකරගැනීමටත් 127% ක් වූ චීන බදු 10% මට්ටමේ පවත්වාගැනීමටත් එකඟතාව පළවී ඇත. තවත් රටවල් ගණනාවක් මේ වෙනවිට ඇමෙරිකාව සමග සාකච්ඡා පැවැත්වීමට එකඟතාව පළ කර ඇත. සංඛ්‍යාත්මක වශයෙන් එය රටවල් 60ක් පමණ බව ට්‍රම්ප් පාලනය ප්‍රකාශ කරයි. 

බදු වලට එරෙහි නඩු

අන්තර්ජාතික වෙළෙදාමේදී තීරු බදු යනු ඉතා අසාර්ථක ක්‍රමවේදයක් බව පිළිගත් වෙළෙඳ හා ආර්ථික න්‍යායාත්ම කරුණකි. ට්‍රම්ප් බදු නිසා ඇතිවි තිබෙන සංකීර්ණතා ‍ඉහත සාකච්ඡාවට ලක් විය. මෙය සම්පුර්ණයෙන්ම ගෝලීය නිදහස් වෙළෙදාම අනතුරේ හෙළන්නකි. චීනය ඇතුළු රටවල් කිහිපයක් ට්‍රම්ප් පාලනයට එරෙහිව ලෝක වෙළෙඳ සංවිධානයට පැමිණිලි කර තිබේ. ඒ අන්තර්ජාතික වශයෙනි. එහෙත් ට්‍රම්ප් බදු වැළැක්වීමේ සාර්ථකම වෙඩිමුරය පත්තු වූයේ ඇමෙරිකාව තුළින්මය. ට්‍රම්ප් බදු මුළින් හඳුන්වාදුන් 2017-2018 වකවානුවේ එනම් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළදී ඇමෙරිකානු සමාගම් 3500ක් පමණ ට්‍රම්ප්ට එරෙහිව අධිකරණය හමුවට ගියහ. එහෙත් වෙළෙඳ යුද්ධය බල රහිත වෙද්දී නඩු විභාග වල  තත්ත්වයද දුර්වල විය. දැන් දෙවැනි ධුර කාලය තුළ ඇමෙරිකානු බදු හදුන්වාදීමේ ට්‍රම්ප් ක්‍රියාමර්ගයේදීද ඇමෙරිකානු සුළු හා මධ්‍ය පරිමාණ වෙළෙඳ ව්‍යාපාරිකයන් පෙරමුණ ගෙන තිබේ. 

ඇමෙරිකානු වාණිජ අධිකරණයෙන් නිකුත් වූ නඩු තින්දුව එවැනි එක් පියවරකි. එහෙත් ට්‍රම්ප් පාලනය දැනටමත් අධිකරණය එරෙහි සටනකට කැස කවන බවක් පෙනේ . ට්‍රම්ප් නව බදු ගෙන එද්දී ඉන් බැට කෑ ව්‍යාපාරිකයන් අධිකරණය හමුවට එද්දී ට්‍රම්ප් පාලනය එය කඩාකප්පල්කාරි ක්‍රියාවක් ලෙස දකී. අධිකරණයට අභියෝග කරමින් ප්‍රකාශ නිකුත් කෙරුණේ එබැවිනි. කෙසේ වෙතත්, බදු අත්හිටුවමින් වාණිජ අධිකරණය දුන් තීන්දුව අභියාචනාධිකරණය මගින් තාවකාලිකව අත්හිටවුවද එම කණ්ඩායම මේ දක්වා පරාජය පිළිගැනිමක් නැත. එබැවින් ට්‍රම්ප් පාලනය සිවිල් ක්‍රියාකාරින් සමග පවත්නා ගැටුම්කාරි තත්ත්වය මෙ‍ම වෙළෙඳ අවුල නිසා තවත් උග්‍ර වී තිබේ. වාණිජ අධිකරණ තීන්දුව ඉතා සාධාරණ එකක් වුවද එය ක්‍රියාත්මක කිරීමේදී අභියෝග රැසක් පවතී. ඒ බලය හා පවත්නා විවිධ උපාංග භාවිතයෙන් මේ ඓතිහාසික තීන්දුව වෙනත් පසකෙට හැරවීමේ උපාය මාර්ගයට ට්‍රම්ප් පාලනය අවතිර්ණ වි ඇත්තේ විනිසුරුවන්ට ජනතා වරමක් නැතැයි යන ප්‍රකාශයද තුළිනි. මේ නිසා ජනාධිපති බළතළ, නීතිය නැවිය හැකි තැන් හා විවිධ බලපෑම්කාරි ක්‍රමවේද ට්‍රම්ප් විසින් උරගා බලනු ඇත. මේ නිසා ඉතා පැහැදිළිව සඳහන් කළ හැක්කේ ඇමෙරිකාව කේන්ද්‍ර කරගත් අභ්‍යන්තර ගැටුම්ද ක්‍රමයෙන් උත්සන්න වෙන බවක් පෙන්නුම් කරන බවයි.

සරසවි අවුල

වෙළෙඳ අර්බුදය ඇමෙරිකාවේ මෘදු බලය වඩාත් දුර්වල කරන්නක් බව අන්තර්ජාතික විශ්ලේෂකයන්ගේ අදහසයි. ඒ අතරම ඇමෙරිකාව විදෙස් සිසුන් සඳහා මුදල් ගෙවා හෝ සරසවි අධ්‍යාපනය ලැබීමට ඇති ඉඩකඩ අහුරාලීමට පෙළඹීම තවත් අර්බුදයකි. මේ වෙනවිට සුප්‍රකට හාවඩ් සරසවිය ට්‍රම්ප් කතුරට හසුව තිබේ. එහි මුදල් ගෙවා ඉගෙන ගන්නා විදෙස් සිසුන්, පාඨමාලා අතරමැදදී වීසා අවලංගු කර පිටුවහල් කිරීම වැනි සිද්ධීන් වාර්තා විය. මෙය විශ්වවිද්‍යාලයේ ආදායම් සම්පාදනය මෙන්ම වලංගුභාවයටද දැඩි අවදානමක් ඉස්මතු කරයි. එහි දෙවැනි පියවර ට්‍රම්ප් පාලනය මගින් චීන සිසුන්ට වීසා ලබා නොදීමට හා දැනට විසා ලබා ඉගෙනුම ලබන චීන ජාතික සරසවි සිසුන්ගේ වීසා අහෝසි කොට ඔවුන් පිටමං කරන තැනට පත්වීමක් ගැන ලෝකයේ දැඩි අවධානය යොමුවූ කරුණකි. ඒ චීන සිසුන්ට තැබු අත අනෙක් රටවල සිසුන්ටද තැබිමට ඇති ඉඩකඩ නිසාය. මේ නිසා, ඇමෙරිකාව ගෝලිය අධ්‍යාපනික කේන්ද්‍රයක් ලෙස අත්කරගෙන තිබු කිර්තිනාමය සීග්‍රයෙන් ගරා වැටෙමින් පවති බව දැකගැනීමට හැක.

 

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ